කොරෝනාවෛරසය ආසාදනය වූ ශ්‍රී ලංකාවේ පළමුවන වෛද්‍යවරයාගේ මරණය කරාපිටිය රෝහලෙන් වාර්තාවීමත් සමඟම ඉදිරි පෙළ සෞඛ්‍ය නිලධාරීන්ගේ ආරක්ෂාව පිළිබඳව දැඩි ගැටළු මතුවෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි මෙසේ මියගොස් ඇත්තේ රාගම හීන්කන්ද පදිංචිව සිටි ගයාන් දන්තනාරායන නමැති 31 හැවිරිදි වෛද්‍යවරයාය.
ඔහු රාගම රෝහලේ සේවය කරමින් සිටියදී කෝවිඩ්-19 ආසාදනයවීම හේතුවෙන් කොළඹ අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කිරිමෙන් පසු නිව්මෝනියා වැළඳිම නිසා කෘතිම ශ්වසන යන්ත්‍රයකට සවි කොට ප්‍රතිකාර ලබාදිම සඳහා ඉකුත් 27 වෙනි දින කරාපිටිය රෝහලට මාරුකර එහි දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.
මියගිය වෛද්‍ය ගයාන් දන්තනාරායන නුගේගොඩ ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලබා චීනයේ විශ්ව විද්‍යාලයකින් වෛද්‍ය උපාධිය ලබාගෙන තිබේ.
මේ අතර මියගිය වෛද්‍යවරයාගේ පවුලේ අයද මේ වනවිට නිරෝධායනයට යොමු කර ඇති බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පැවසීය.
වෛද්‍ය ගයාන් දන්තනාරායන ගේ දේහය ආදාහනය කරා රැගෙන යමින්
පසුගිය ඔක්තෝබර් මාසයේ බ්‍රැන්ඩික්ස් පොකුරත් සමඟ ආරම්භ වූ දෙවන රැල්ලේ දී මේ වන විට වෛද්‍යවරුන් 100 කට වැඩි ප්‍රමාණයකට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බවත් සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ දහසකට ආසන්න පිරිසක් මේ වන විට ආසාදිතයන් බවට පත්වී ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ බීබීසී සිංහල සේවය සමඟ පැවසීය.
ඔහු පැවසුවේ මේ වනවිට වෛද්‍යවරුන් 50 කට අධික පිරිසක් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින බවයි.
“මේක අපි දෙයාකාරයකින් විග්රහ කළා. එකක් තමයි ඉදිරි පෙළ සේවය කරන සෞඛ්‍ය වෘත්තීකයන්ට ඔවුන්ගේ මානසික ඒකාග්ර තාවය තියෙන්න එපැයි හොඳට වැඩ කරන්න, ඒගොල්ලන්ගේ ආරක්ෂාව සහතිකයකුත් එක්ක. ඉතින් එතන ප්‍රශ්නයකුත් තිබුණා මේ විදිහට අසාමාන්‍ය ඉහළ ප්‍රමාණ වලින් අපි පළමුවෙනි රැල්ලේදී මෙහෙම දැක්කේ නෑනේ. දෙවැනි රැල්ල සමාජය තුළත් ලොකුවට ව්‍යාප්ත වෙලා තියෙන තත්වය යටතේ මේක ව්‍යාප්ත උනා රෝහල් තුළ. ඒ අනුව වෛද්‍ය වරු ඇතුළු කාර්යමණ්ඩල ගණනාවක් රෝගීන් බවට පත්වුනා. ඒ හරහා යම් අවිශ්වාසයක් යම් අවිනිශ්චිත තාවයක් එක්ක තමයි මේ වෛද්‍ය වරුන්ට හා හෙද කාර්යමණ්ඩල වලට වැඩ කරන්න සිද්ධ උනේ ඒක negative impact එකක් වෙනවා අපේ system එකට.”
ඔහු තවදුරටත් පැවසුවේ මෙසේ දිගින් දිගටම සෞඛ්‍ය අංශ නිලධාරීන් ආසාදිතයන් බවට පත්වුවහොත් දැනටමත් සීමා සහිත වූ සෞඛ්‍ය කාර්යමණ්ඩලය තව දුරටත් සේවයෙන් ඉවත් කිරීමට සිදුවුවහොත් රටේ සෞඛ්‍ය ධාරිතාවය තදුරටත් සීමා සහිත වීම රටටම තර්ජනයක් වන බවයි.
“කොහොමත් අපේ health staff limited නේ අපේ resources, අපේ ධාරිතාවය සිමා සහිතයි නේ. එතකොට මේ විදිහට positive වෙන්න ගත්තොත් එහෙම ඊළගට මේ positive වෙන අය වටේට හැදෙනවා ආශ්‍රිතයෝ, එතකොට ඒ අශ්රිතයෝත් මේ system එකෙන් අයින් කරන්න සිද්ධ වෙනවානේ. ඒ තත්ත්වය යටතේ දැනටත් ඉතා සිමිත සෞඛ්‍ය කාර්යමණ්ඩලයක් ඉන්නේ. එතකොට තව සීමා වෙනවා. එතකොට අපේ ධාරිතාවය ඉතා ඉක්මනින් ඉක්මවා යන්න පුළුවන්. අපි දැක්කා ලෝකේ අනිත් රටවල් වල ධාරිතාවය ඉක්මවා ගියහම ලෙඩ්ඩු මැරෙනවා ඔය දියුණුයි කියන රටවල පවා. ඉතින් අපිටත් එතනට යන්න වෙන්නේ නැති වෙන්නනම් අපේ සෞඛ්‍ය කාර්යමණ්ඩලය රැකගෙන යන්න ඕන,”යනුවෙන් වෛද්‍ය අලුත්ගේ පැවසීය.
දෛනිකව වාර්තාවන ආසාදිතයන් ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන අතර මෙම මස අග වන විට එය තවත් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති බවත් වෛද්‍ය අලුත්ගේ පැවසීය. දිනකට වාර්තා වන ප්‍රමාණය 500-600යේ සිට මේ වන විට 800-900ක් දක්වා වැඩි වී තිබේ.
“දවසකට හමුවන රෝගීන් ගණන එන්න එන්න වැඩිවෙලා තියෙන්නේ ඉතින් එතකොට මිනිස්සු ලෙඩවෙලා රෝහල් වලට එනකොට රෝහල්වල වෛද්‍යවරු හිටියේ නැත්තන් බෙහෙත් කරන්න, හෙදියෝ හිටියේ නැත්තම් බලාගන්න ඒ මිනිස්සුන්ට කාගේ පිහිටක් ද? ඒකත් බලපානවා මිනිස්සුන්ට.”
ශ්‍රී ලංකාවේ කොරෝනා මර්ධන ප්‍රතිපත්තිය සහ ක්‍රමවේදය වෙනස් විය යුතු බවත් ඔහු පැවසීය.
රටේ පරීක්ෂණ ක්‍රමවේදය බෝහෝ කලකින් වෙනස් වී නැති බවත් ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂා වර්තමානයේ භාවිතකරන පිළිවෙල පිළිබඳව නැවත සමාලෝචානයක් අවශ්‍ය බවත් නීරෝධායන ක්රමවේදයත්, රෝගීන් හැර ප්‍රතිකාර කරන ආකාරයත් වෙනස් විය යුතු බවත් ඔහු පැවසීය.
“මේ වෙලාවේ ඇත්තටම මේ මරුමුවට පත්වුණ මේ වෛද්‍ය වරයාට අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි මේ වගේ deaths අනාගතයේදී නොවෙන්න අපේ අඩුම ගණනේ අපිට පෙන්නලා තියෙන විදිහට අපේ මේ ප්‍රතිපත්ති නැවත සමාලෝචනය කරනන් ඕන. එහෙම නැති උනොත් එහෙම ලෝකයේ අපි 10 වෙනි තැනට ආව තමයි. අපි ඒ 10 වෙනි තැන ඉන්නනම් ලෝකයේ අපිට වඩා හොඳට කරලා තියෙන රටවල් ක්‍රියාකරල තියෙන ආකාරය අරන් තියෙන ක්‍රියාමාර්ග අපේ රටට ගැලපෙන විදිහට පාවිච්චි කරන්න ඕන,” යනුවෙන් වෛද්‍ය හරිත අලුත්ගේ පැවසීය.
“අපිට ඉහළින් ඉන්න රටවල් පාවිච්චි කරන උපක්‍රම තුනක් තියෙනවා, පළවෙනි එක තමයි පරීක්ෂණ ප්‍රමාණය වැඩි කරගන්න එක. ඒ තුළින් රෝගීන් හදුනාගෙන ඔවුන්ව සමාජයෙන් ඉවත් කිරීම. එතකොට තමයි සමාජය ආරක්ෂිත වෙන්නේ දෙවෙනි එක. අපේ සන්නිවේදනය, අපි හරි විධියට සන්නිවේදනය කරනවද? උදාහරණයක් විදිහට මම අද ගෙදරින් එලියට බහින කොට මම හරි විදියට තත්ත්වය දන්නවද? හරි අවදානම දන්නවානම් නේ මට හරි විදිහට පරිස්සම් වෙන්න පුළුවන් වෙන්නේ. සෞඛ්‍ය නිර්දේශිත ක්‍රමවේදයන් හරි විදිහට අනුගමනය කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි දැන් කරන්නේ බයට නේ නැතිව හරියට හරි තත්ත්වය දන්න නිසා නෙවෙයිනේ.”
මේ අතර ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ හෙදියන් කෝවිඩ් විශේෂ නිවාඩුව ලබා දෙන ලෙස ඉල්ලා අඟහරුවාදා දිනයේ සිට අඛණ්ඩ විරෝධතාවයක් ආරම්භ කර තිබෙන බවට මාධ්‍ය වාර්තා කෙරිණි.
‘අවදානම දන්නවා’
ඉදිරි පෙළ සේවයේ නියුතු නම හෙළි කිරීමට අකමැති වෛද්‍ය වරියක් බීබීසී සිංහල සේවය සමග පැවසුවේ මෙය තම රැකියාවේ ස්වභාවය බවත් එහි ඇති අවදානම දැනගෙන තමන් සේවයට බැඳුණු බවත් ය.
“මෙය හරිම ඛේදනීයයි. අපි දන්නේ නෑ හරියටම මොකද උනේ කියල. මේක අපේ රැකියාව. හැබැයි අපි හිතනවා අපේ පවුල්වලට යම්කිසි රක්ෂණයක් තිබුණ නම් හොදයි කියල.”
මේ අතර වෛද්‍යවරයකු වන රමින්ද ගුණරත්න තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ “අපට මරණ අවශ්‍ය නැත, අපට කිසිදු මරණයක් අවශ්‍ය නැත. කරුණාකර, ඔබේ මුහුණු ආවරණ නිසි ලෙස පැළඳ ගන්න, හොඳින් අත් පිරිසිදුව තබා ගන්න, දුරස්තභාවය තබා ගන්න සහ සමූහයා සමඟ එක්රැස් නොවන්න. ඔබට පිරිනමන විට, එන්නත ලබා ගන්න,” යනුවෙනි.
“ඔබට අන් අයව පාලනය කළ නොහැක, නමුත් ඔබට ඔවුන්ව ආරක්ෂා කළ හැකිය,” යනුවෙන් ද එම සටහනේ දැක්වේ.
“ඇත්තටම මම විශ්ව විද්‍යාලයේ ඔහුත් සමග එකට ඉගෙන ගත්තේ. ඔහුගේ තත්වය ගැන දැනගැනීමෙන් මම කම්පාවට පත් වුනා. ඔහු කරුණාවන්ත හදවතක් ඇති, දක්ෂ වෛද්‍යවරයෙක්,” යනුවෙන් ජාතික රෝහලේ සේවය කරන වෛද්‍ය අංජලී දයාරත්න බීබීසී සිංහල සේවය සමඟ පැවසීය.
“බොහෝ ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයින් දැනටමත් එන්නත ලබාගෙන තියෙන්නේ. එය මෙම කෝවිඩ් වසංගතයට එරෙහිව විශාල සහතිකයක්.
එන්නත දැක දැක ඔහුට එය ලබාගැනීමට නොහැකි වීම ගැන මට කණගාටුයි.” වෛද්‍ය අංජලී දයාරත්න
ඇය තවදුරටත් පැවසුවේ කොරෝනා වෛරසය වැළැක්වීම සඳහා ප්‍රතිශක්තිකරණය වැදගත් වන අතර, ප්‍රතිශක්තිකරණ වැඩසටහන් මගින් ලෝකයේ මෙතෙක් බෝවන රෝග සඳහා විශාල ආරක්ෂාවක් ලැබී ඇති බවයි.
එන්නත ලබාගත්ත ද, ආරක්ෂාව සඳහා තවදුරටත් ආරක්ෂක උපකරණ පැළඳිය යුතු බවත් ඇය සඳහන් කළාය.
සම්පූර්ණ උපුටා ගැනීම 2021 පෙබරාවාරි 02 බී.බී.සී සන්දේශය වෙබ්අඩවියෙනි