වතු කම්කරු වැටුප රුපියල් 1000ක් දක්වා වැඩි කිරීමට කෙරුණු යෝජනාව තේ සහ රබර් සඳහා වන පඩි පාලක සභාවේ වැඩි ඡන්දයෙන් අනුමත වී තිබේ. මේ තොරතුරු හෙළිකරන මාධ්‍ය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ තේ සහ රබර් කර්මාන්ත පිළිබඳ පඩි පාලක සභා දෙක කම්කරු මහලේකම් කාර්යාලයේදී වෙන වෙනම රැස්වූ අවස්ථාවේ වෘත්තීය සමිති මගින් ඉදිරිපත් කෙරුණු යෝජනාවට ඡන්ද විමසීමක් සිදු වූ බවත් එහිදී පඩි පාලක සභා දෙකම විසින් වැඩි ඡන්දයකින් යෝජනාව සම්මත කළ බවත්ය. ඒ අනුව වතු කම්කරුවකුගේ දිනක මූලික වැටුප රුපියල් 900 දක්වා ඉහළ යනු ඇති අතර ඊට එකතු කෙරෙන රුපියල් 100ක අමතර දීමනාව සමඟ දිනක වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නැංවෙයි.
වතු කම්කරුවන්ගේ වැටුප 1000 දක්වා වැඩි කළ යුතු බවට වන යෝජනාවට සෑහෙන ඉතිහාසයක් තිබේ. මේ ඉතිහාසය තුළ මෙතෙක් වැටුප් වැඩි කිරීම් සිදුව තිබුණේ හාම්පුතුන් සහ වෘත්තීය සමිති අතර ඇතිකර ගන්නා සාමූහික ගිවිසුමකිනි. එහෙත් මෙවර එම ගිවිසුමට අනුව වැටුප් වැඩි නොකිරීම පැහැදිලි වෙනසකි.
වෙනත් වෘත්තීන්වලට වඩා වතු කම්කරු වැටුප පිළිබඳ කැපීපෙනෙන වෙනසක් ද ඇත. සෙසු වෘත්තීන් වැටුප වශයෙන් සඳහන් කරන විට එයින් අදහස් කෙරෙන්නේ මාසික වැටුපයි. එහෙත් වතු කම්කරුවන්ගේ වැටුප වශයෙන් සඳහන් කෙරෙන්නේ දිනක වැටුප මිස මාසික වැටුප නොවේ. වතු කම්කරුවන්ගේ ජීවන අරගලය කොතරම් කටුක, අමිහිරි, අභාග්‍ය සම්පන්න වූවක්ද යන්න විස්තර කිරීමට වෙනත් වචන අවශ්‍ය නැත. මේ නිසා බැලූ බැල්මටම රුපියල් 1000ක් දක්වා ඔවුන්ගේ වැටුප වැඩිකර දීමට හැකිවීම ජයග්‍රහණයක් වශයෙන් සැලකිය හැකිය. එය වතු කම්කරුවන් අද ගෙවන දුෂ්කර ජීවිතයට යම් තරමක හෝ සහනයක් වනු ඇතැයි අපි විශ්වාස කරමු.
එය එසේ වුවද මේ වැඩි කළ වැටුප ගෙවන්නේ රජයෙන් නොවේ. වතු කම්කරු වැටුප් ගෙවීම වැවිලි සමාගම්වලට අයිති කටයුත්තකි. වතු ක්ෂේත්‍රයේ හාම්පුතුන් නියෝජනය කරන වැවිලිකරුවන්ගේ සංගමය ප්‍රකාශ කර තිබුණේ වතු කම්කරු දෛනික වැටුප රුපියල් 900ක් දක්වා වැඩි කිරීමේදී වසරකට රුපියල් බිලියන 10ක අමතර වැයක් දැරීමට තමන්ට සිදුවන බවය. එය වැවිලිකරුවන් දැඩි දුෂ්කර තත්ත්වයකට ඇද දමන තත්ත්වයක් බවත් මේ ක්‍රමවේදයට අනුව වතු පවත්වාගෙන යාමට නොහැකි වන තත්ත්වයක් ඇතිවිය හැකි බවටත් ඔවුහු අනතුරු අඟවති. තමන් මුහුණදෙන දුෂ්කරතා පිළිබඳ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවද සංගමය කියා තිබිණි.
මෙයින් පැහැදිලි වන්නේ වතු කම්කරු වැටුප රුපියල් 1000ක් කිරීමේ යෝජනාව ක්‍රියාත්මක වීම තවමත් තහවුරු වී නැති බවකි. කම්කරුවන් විඳින දුක් ගැහැට මෙන්ම වතු සංගම් මත පැටවෙන අතිරේක වැය බර පිළිබඳව ද එක සේ සලකා බැලීමකින් තොරව මේ ගැටලුවට ස්ථිර විසඳුමක් නැත. සැබෑ ජීවන අරගලයක අසරණ වින්දිතයන් බවට පත්ව සිටින වතු කම්කරුවන්ගේ ජීවන තත්ත්වය උසස් විය යුතු බවට විවාදයක් නැති වුවද එය කළ යුත්තේ වතු සමාගම් මරාගෙන නොවන බවද අවබෝධ කර ගත යුතුව තිබේ. වතු කම්කරුවන්ට වැටුප් ගෙවීමට නම් වතු සමාගම් ලාභදායී ලෙස පවත්වාගෙන යාමේ හැකියාව තිබිය යුතුය. දිගටම පාඩු විඳීමේ අවසන් ප්‍රතිඵලය වැටුප වැඩිවීම කෙසේ වෙතත් රැකියාව පවා අහිමි වී යාම විය හැකිය. මේ බව වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකර ගැනීමේ පෙරමුණ ගත් සියලු වෘත්තීය සමිති නායකයන් විසින් තරයේ සිතට ගත යුතු කාරණාවකි.
වැටුප් ප්‍රශ්නය විසඳා ගැනීමට නම් වතු කම්කරුවන් වෙතද මහත් වගකීමක් පැවරෙන බව සඳහන් කරනු කැමැත්තෙමු. කොතරම් දුෂ්කර තත්ත්වයක් යටතේ වුවද තමන් සේවය කරන වතුවල ආදායම තවදුරටත් වර්ධනය කිරීම සඳහා කැපවීමෙන් සේවය කළ යුතු බව ඔවුන් ද වටහා ගත යුතුය. තමන්ට වතු සමාගම් මගින් ලබාදෙන ඉලක්ක සපුරාදීම ඔවුන්ගේ වගකීම වෙයි. කම්මැලිකමට ඔහේ කරන්නන් වාලේ සේවය කර දවස අවසානයේ රුපියල් 1000ක් උපයා ගැනීමේ චේතනාවට තවදුරටත් ඉඩක් නැත.
වැවිලි සමාගම් ද කම්කරුවන්ගේ සුබසාධනය සම්බන්ධයෙන් වඩාත් නම්‍යශීලී ලෙස කටයුතු කිරීමද අවශ්‍ය වෙයි. හැමදාම කැත්තට පොල්ල මෙන් වෘත්තීය සමිති ඉල්ලීම්වලට එරෙහි වනවාට වඩා කම්කරුවන්ගෙන් උපරිම ඵලදායීතාවක් ලබාගැනීම සඳහා අලුත් ක්‍රමවේද හඳුන්වා දීමට කටයුතු කිරීම අවශ්‍යය. වැවිලි සමාගම් මගින් රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා දෙන බව සත්‍යයක් වුවද එම ආදායම ලබාගැනීම සඳහා වැවිලි සමාගම් පාලකයන් පමණක් නොව වතු කම්කරුවන්ගේ දායකත්වය ද අවශ්‍ය බව වැවිලි සමාගම් තේරුම් ගත යුතුය. වඩාත් හොඳ ප්‍රතිඵලයක් ලබාගැනීමට නම් මේ දෙපිරිසේම තෘප්තිමත් භාවය රැකෙන වැඩපිළිවෙළක් අවශ්‍යව තිබේ.
(ලංකාදීප)