ප‍්‍රතිශක්තිය අහිමි කලාපය

FTZ-Katunayaka

මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ඇඟලූම් කම්හලෙහි සේවය කළ කාන්තාවක් ඔක්තෝබර් මස කොවිඞ් 19 ආසාදිතයෙකු බව හඳුනා ගැනීමත් ඒ සමඟ නිදහස් වෙළෙඳ කලාපය තුළින් ආසාදිතයින් හමුවීමත් එයින් පිටත හමුවූ ආසාදිතයින් බොහෝ දෙනෙකු ඇඟලූම් සේවයේ නියුතුවුන්ගේ ආශ‍්‍රිතයින් ලෙස හඳුනා ගැනීමත් සමඟ ඇඟලූම් කර්මාන්තයෙහි නිරත වූවන් මුහුණ දෙන ගැටලූ, සෑම අතින්ම ඒ දක්වා ඇඟලූම් ක්ෂේත‍්‍රයේ පැවති අර්බුදයම ප‍්‍රකාශමාන වීමක් විය. ඇඟලූම් ක්ෂේත‍්‍රයේ නිරත සියලූ කාන්තාවන් ඉලක්ක කර ගනිමින් කෙරෙන වෛරී, අපහාසාත්මක ප‍්‍රකාශ, කර්මාන්ත ශාලා වසා දැමීම, ප‍්‍රබල සෞඛ්‍ය තර්ජනයක් මධ්‍යයේත් ඇතැම් කර්මාන්ත ශාලා සේවකයන්ගෙ න් බලහත්කාරයෙන් වැඩ ගැනීම, වැටුප් සහ රැකියා කපා හැරීම, සුළු සේවක ප‍්‍රමාණයක් අසීමිත වැඩ ඉලක්ක සඳහා යෙදවීම, සේවකයන්ගේ බොහෝ සිදුවීම් පීසිආර් පරීක්ෂණ සඳහා කිසිදු මූල්‍යමය සහයක් ලබා නොදීම, නේවාසිකාගාරවල හිරවුන හෝ නේවාසිකාගාර අහිමි වූ සේවකයන් සම්බන්ධව කිසිදු වගකීමක් නොදැරීම, නිරෝධායනය සඳහා ගෙන යන කාන්තාවන්ට තමන් ගෙන යන තැනැක් පිළිබඳ පැහැදිලිව තොරතුරු නොදීම, නිරෝධායන ක‍්‍රියාවලිය තුළ ඇඟලූම් සේවිකාවන් අවමන් සහගත සැලකීම්වලට බඳුන්වීම ආදි සිදුවීම් කලාපයෙන් නිරන්තරව අසන්නට ලැබිණි.

රට තුළට විදේශ විනිමය ගෙන එමින් ආර්ථීකයේ විශාලම පංගුව දරන්නන් අතර ඇඟලූම් ක්ෂේත‍්‍රයට හිමි වන්නේ දෙවැනි තැනය. මෙරට දළ දේශිය නිෂ්පාදිතයට 7%ක් එක් කරන ඇඟලූම් කර්මාන්තයෙන් ලැබෙන අපනයන ආදායම, රටේ සමස්ත අපනයන ආදායමෙන් 44% කි. අපනයන ආදායමට, ඇගලූම් ක්ෂේත‍්‍රය හරහා වාර්ෂිකව එක්වන ආදායම ඩොලර් බිලියන 5 කි. එහෙත් කෝවිඩ් වසංගතය පැතිර යාමත් සමග මෙරට ප‍්‍රධාන අපනයන ආදායම් මාර්ග සියල්ල අවහිර වී ඇත. උද්ගත වූ මෙම තත්ත්වය හමුවේ මෙරට ඇඟලූම් කර්මාන්තය ඇතුළු අපනයන සඳහා පවතින ඉල්ලූම අවම වූ අතර අත්‍යවශ්‍ය භාණ්ඩ හැර ඇඟලූම් වැනි දේ මිලට ගැනීමට පෙළඹීමේ පැහැදිලි අඩුවක් විය.

එහි ප‍්‍රතිඵලයක් වශයෙන් නිදහස් වෙළෙඳ කලාපයේ කර්මාන්ත ශාලා ගණනාවක් පසුගිය කෝවිඞ් සමයේ වැසි ගියේය. කර්මාන්ත හිමියන් බොහෝ දෙනෙකු සේවකයන්ගේ වැටුප් සහ රැකියා කප්පාදු හැරීමට පියවර ගත්තේය. නමුත් ඇඟලූම් ක්ෂේත‍්‍රයේ 74,000ක පමණ ඇබෑර්තු පවතින බව කලාපයේ සේවක ගැටලූ වෙනුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ පෙනී සිටි සිවිල් ක‍්‍රියාකාරීන්ගේ අදහසයි. මෙම වාතාවරණය සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රිනි ආචාර්ය හරිනි අමසූරිය කියා සිටින්නේ, ”කොවිඩ්-19 වෛරසය නැවත වරක් ඉස්මතු වීමෙන් මෙම රෝගය පැතිරීම හා සම්බන්ධ සමාජ අසමානතා මෙන්ම සෞඛ්‍ය සම්බන්ධ අසමානතාවයන් යළිත් වරක් පෙන්නුම් කර ඇත. අපගේ අවධානය යොමු වියයුතු මුලිකම කරුණක් වන්නේ තම සෞඛ්‍ය තත්ත්වය මෙන්ම තම සගයන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ දැන දැනම මෙම කාන්තාවන්ට වැඩ කිරීමට බල කළ කොන්දේසිය; අප සෞඛ්‍ය හා ආරක්ෂණ ප‍්‍රමිතීන් පිළිබඳව සේවා ස්ථාන හා කර්මාන්තශාලාවල හිමිකරුවන් සහ කලමනාකාරීත්වය ප‍්‍රශ්න කළ යුතුය. ශ‍්‍රමය සූරාකෑම පිළිබඳ නම් දරා සිටින ක්ෂේත‍්‍රයක සිදුවූ මෙම සිදුවීම අහඹුවක් නොවන” බවයි. ඇඟලූම් කර්මාන්තය ශ‍්‍රී ලංකාවේ ශ‍්‍රම බලකායෙන් 15%කට රැුකියා සපයන අංශයයි. එහි ශ‍්‍රමිකයන්ගෙන් 80%ක් පමණ කාන්තාවන් වීම සුවිශේෂිය. මෙම තරුණ ශ‍්‍රම බලකායේ අතිබහුතරයක් ග‍්‍රාමීය ප‍්‍රදේශවලින් සංක‍්‍රමණය වූවන් වන අතර ඔවුන් වසර ගණනාවක් කලාපය ආශ‍්‍රිතව ජීවත් වී තිබුනද එහි ස්ථිර ලියාපදිංචියක් නැත. එනිසාම රජය විසින් පසුගිය වර ලබා දුන් රුපියල් 5000 දීමනාව මෙම ඇඟලූම් සේවක සේවිකාවන්ට අහිමි විය. ශ‍්‍රමයට සරිලන වැටුපක් නොමැති මෙම තරුණ කාන්තාවන්ට පෝෂ්‍යදායී සහ ශරීරයේ ප‍්‍රතිශක්තීකරණය වඩවන ආහාර පවත්නා වාතාවරණය හමුවේ වඩාත් අර්බුදයට පත්ව ඇත්තේ අවිධිමත් සේවයේ නියුතු සේවකයන්ය. මෑන් පවර් සේවාව තුළ කාන්තාවන් වඩාත් අනාරක්ෂිතය. විවිධ සේවා ස්ථානවලට සිදුකෙරෙන ප‍්‍රවාහනය කිරීම් අතරතුර, සේවා ස්ථාන තුළ විවිධ හිංසනයන්ට ලක්වීමට මොවුන්ට සිදුවේ.

වේලක් යනු සිහිනයකි. කොවිඞ් මර්දනය නිසා රට ලොක්ඩවුන් තත්ත්වයේ පැවතිදි රැකියා සහ වැටුප් අහිමිව නේවාසිකාගාරවල සිරවූ ඇඟලූම් සේවික සේවිකාවන් නිරහාරව පසු වූ බව ඩාබිඳු සාමූහිකයේ චමිලා තුෂාරී පවසයි. වැඩපොළේ සුරක්ෂිතතාව සහ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ 1981 අංක 155 දරන ප‍්‍රඥප්තිය (Occupational safety and Health Convention, 1981 (No. 155) ප‍්‍රකාර, සේවකයන්ට වැඩපොළේ දී වසංගතය බෝවීමේ හැකියාව අවම කිරීම සඳහා සහ සේවකයන් වසංගතයෙන් ආරක්ෂා කිරීම පිණිස ප‍්‍රායෝගිකව ගත හැකි සියලූ පියවර ගැනීම සහතික කිරීමේ සම්පූර්ණ වගකීම සේව්‍යයන්ට (හාම්පුතුන්ට) පැවරෙන බව ලෝක කම්කරු සංවිධානය පවසයි. ජාත්‍යන්තර ප‍්‍රමිතීන් වෙනුවෙන් පෙනී සිටිමින් වෙළෙඳ කලාපය ආශ‍්‍රිතව කටයුතු කරන වෘත්තීය සමිති මෙන්ම සිවිල් සංවිධාන පසුගිය කාලයේදී දිගින් දිගටම පෙන්වා දුන්නේ මේ සේවක සේවිකාවන්ගේ ජීවන සහ රැකියා තත්ත්වය වෙනස් කළහොත් එය මෙම ක්ෂේත‍්‍රයේ දියුණුවට මෙන්ම ආර්ථීකයට විශාල පිටුවහලක් වන බවයි. නමුත් ඒ කෙරෙහි ප‍්‍රමාණවත් අවධානයක් යොමු නොවීය. කොරෝනා පළමු පහර එල්ල කරන්නේ සමාජයේ තිබෙන දුර්වල, අව වරප‍්‍රසාදිත, සහ තර්ජනයට ලක්ව ඇති කලාපයන් වෙතයි. වෙළෙඳ කලාපය යනු එවන් තැනකි. ඒ නිසා දෙවන රැල්ල වෙළෙඳ කලාපයෙන් ආරම්භ වීම හුදු අහඹුවක් නොවේ. කොරෝනාවලට මුහුණ දිය හැක්කේ තනි පුද්ගලයෙකුගේ ප‍්‍රතිශක්තීකරණය වර්ධනය කිරීමෙන් නොව සමාජ ප‍්‍රතිශක්තීකරණය වර්ධනය කිරීමෙන්ය. සමාජ ප‍්‍රතිශක්තීකරණය දුර්වල කරන්නේ මේ සමහර අයිතිවාසිකම් අහිමි ජන කණ්ඩායම්ය. ඒ නිසා කොරෝනා සමග කෙරෙන සටන, මේ දුබල ස්ථානයන් ඉවත් කිරීමේ සටනක් දක්වා ව්‍යාප්ත විය යුතුය. එය අයිතිවාසිකම් පිළිබඳ සටනකි.

අධීක්ෂණයක් තිබුනේ නැහැ - චමිලා තුෂාරී - ඩාබිඳු සාමූහිකය

ලංකාවේ කොවිඩ් වසංගතය මාර්තු මාසේ ඉඳලා මතු වෙන්න පටන් ගන්න කොට රට ලොක් ඩවුන් කළත් ඇලූඟම් ක්ෂේත‍්‍රය අනිවාර්ය සේවාවක් හැටියට ක‍්‍රියාත්මක වුනා. සැප්තැම්බර් මාසේ වෙනකම් අවම වැටපුක් ගෙවන්න ගත්ත තීරණට අනුව, අවම වැටුපකට අතිකාල දීමනා පවා අහිමි කරගනිිමින් මේ අය වැඩ කළේ. නමුත් මේ වෙද්දි ලක්ෂයකට ආසන්න සේවක පිරිසකගේ රැකියා අහිමි වෙලා තිබෙනවා. ILO නිර්දේශයන් යටතේ සෞඛ්‍ය කමිටු පිහිටුවන්න නියම වෙලා තිබුනත් මේ දක්වා ඒවා පිහිටුවලා නැහැ. ඒ වගේම අපදා කලමනාකරණ දෙපාර්තමේන්තු තිබුනත් ඒවා යවාත්කාලීන වෙලා නැහැ. මේ වෙන කොට ප‍්‍රශ්නය කර්මාන්ත ශාලාවලින් එළියට ඇවිල්ල ඉවරයි. ඒ වගේම අපේ ප‍්‍රධානම ගැනුම්කරුවන් වෙන්නේ යුරෝපය හා ඇමෙරිකාව. දැවැන්තම සන්නාමකරුවන් වෙනුවෙන් තමයි මේ නිෂ්පාදන සිදුවෙන්නේ. නමුත් මේ කොවිඞ් තත්ත්වය එක්ක මේ අය ඇනවුම් අහෝසි කළා. එයින් බලපෑමට ලක්වෙන්නේ කම්කරුවන්. ඒනිසා මේ වෙලාවේ අපි ඉල්ලීම් කරනවා සන්නාමකරුවන්ගෙන් මේ ඇනවුම් අහෝසි නොකර ලබා දෙන ඇනවුම් වලින් 2%ක කොටසක් ඍජුවම කම්කරුවන් වෙනුවෙන් වෙන් කරන්න කියල.

තවමත් ක‍්‍රමවේදයක් නැහැ - අශිලා දන්දෙනිය - Stand up Movement

මේ වේලාවේ තිබෙන බරපතළම ගැටලූව තමයි මේ තත්ත්වය කලමනාකරණය කර ගැනීම වෙනුවෙන් විධිමත් ක‍්‍රමවේදයක් නැතිකම. කලාපය ඇතුළේ නිසි ක‍්‍රමවේදයකට පීසීආර් පරීක්ෂණ සිද්ධ වුනේ නැහැ. වෙළෙඳ කලාපයේ නේවාසිකාගාරවල ඉන්න සේවික සේවිකාවන් එකම ආයතනයේ වැඩ කරන අය නෙවෙයි. එක නේවාසිකාගාරයක විවිධ ආයතනවල වැඩ කරන සේවක සේවිකාවන් විශාල ප‍්‍රමාණවලින් ගොනුවෙලා ඉන්නවා. ඔවුන් භාවිත කරන්නේ පොදු වැසිකිළි, පොදු නානා ස්ථාන. කෑම උයාගෙන කන්නේ එකට. ඒ නිසා මේ තත්ත්වය බරපතළ වෙලා තිබෙනවා. නමුත් එවැනි නේවාසිකාගාරයකින් එක්කෙනෙක් දෙන්නෙක් කොවිඩ් ආසාදිතයි කියල අරගෙන ගියාට ඔවුන් සමඟ එකට හිටපු අනිත් අය ගැන කිසිම වගකීමක් නැති තත්ත්වයක් තමයි තිබෙන්නේ. නේවාසිකාගාරවලට වෙලා ඉන්නත් මේ අයට කෑම බීම ඇතුළු අවම පහසුකම් ටික තිබිය යුතුයි. නමුත් ආයතනවලින් ඒ ගැන සොයා ලබන්නේ නැහැ. ඒ නිසා ආයතන මේ සේවකයන් සම්බන්ධව මේ අවස්ථාවේ වගකීමක් ඇතිව ක‍්‍රියාකළ යුතුයි. BIO එකට කම්කරු දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධව සොයා බැලීමට විශාල වගකීමක් තිබෙනවා.

සෞඛ්‍ය කමිටු හදන්න - පද්මිණි විජේසුරීය - ස්ත‍්‍රී මධ්‍යස්ථානය

කොවිඞ් වසංගත පැතිරෙමින් තිබුනත් වෙළෙඳ කලාපයේ සියලූම කර්මාන්ත ශාලා ටික වහල දාන එක කොවිඞ් පාලනයට උත්තරයක් නෙවෙයි. සෞඛ්‍ය නීති නිසි ලෙස ක‍්‍රියාක්මක කරල සේවකයන්ගේ ආදායම් මාර්ග අවහිර නොකර කටයුතු කිරීම අතිශය වැදගත්. තාවකාලිව කර්මාන්ත ශාලා වැසීම කියන්නේ මේ සේවකයන්ගේ වෘත්තීය අහිමි වීමක් නොවිය යුතුයි. නමුත් සේවක සේවිකාවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කෙරෙන ආකාරයට හැසිරීම සම්බන්ධව බ‍්‍රැන්ඩික්ස් ආයතනයට එරෙහිව පියවර ගැනීමට බලධාරීන් කටයුතු කළ යුතුයි. මොකද එම ආයතනයට එරෙහිව විශාල වශයෙන් චෝදනා එල්ල වෙලා තිබෙනවා පැනඩොල් දීලා වැඩ ගැනීම, සේවිකාවන් ක්ලාන්ත වී ඇද වැටී තිබියදිත් වැඩ ගැනීම, ආයතනය තුළ රඳවා ගෙන සිටීම යනාදි වශයෙන්. මේ සම්බන්ධව කම්කරු දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා පරීක්ෂණයක් කළ යුතුයි. කම්කරු දෙපාර්තමේන්තුව, වෘත්තීය සමිති සහ හාම්පූතුන් එක්ව මාර්තුවලදි යෝජනාවක් ගෙනාවා සෞඛ්‍ය කමිටු හදන්න කියල. නමුත් ඒ යෝජනාව ක‍්‍රියාත්මක වුණේ නැහැ. අපි දැන් කියනවා කම්කරු දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් මේ ආයතවල සෞඛ්‍ය කමිටු හදලා තිබුනා නම් මේ තරම් ව්‍යසනයක් වෙන්නෙ නැහැ කියල. ඒ නිසා දැන් හෝ එම කමිටු හදන්න කටයුතු කරන්න කියල බලපෑම අපි කරනවා.

ජයනි අබේසේකර