සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන් ඇතුළු රෝග නිවාරණ අංශයේ සමස්ත කාර්යමණ්ඩලය තුල විශ්වාසය සහ උනන්දුව ජනිත කිරීම මගින් කොවිඩ් වසංගතය මෙරටින් තුරන් කිරීම වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සපයන ලෙස ඉල්ලා සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.
එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,
ශ්‍රී ලංකාව තුල කොවිඩ් වසංගතය ආරම්භ වූ 2020 මාර්තු මාසයේ සිට අද වන තුරු කිසිදු දිරි දීමනාවක් හෝ විවේකයන් නොමැතිව තවදුරටත් නිවාඩු ලබා නොගනිමින් සේවය කරන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල වලට අනුයුක්ත සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයේ සේවය තවදුරටත් ලබා ගැනීමට නොහැකි තත්වයක් උද්ගත වෙමින් පවතී. සෑම දිනකම පාහේ කොවිඩ් වසංගත පාලනය කිරීමේ කටයුතු මධ්‍යම රාත්‍රීය වනතුරු වුවද කිසිදු මැසිවිල්ලක් නොමැතිව සිදු කරනු ලබන්නේ මෙම වසංගතය මර්දනය කිරීමට එම කාර්ය මණ්ඩලවල සියලුම සේවකයන්ගේ ඇති දැඩි වුවමනාව හා අධිෂ්ඨානය මතය. නමුත් තවදුරටත් මෙම වසංගතය පාලනය කිරීමට රජයට අවශ්‍යතාවයක් නොමැති බව ඔවුන්ට දැනෙමින් පැවතීම රෝග ව්‍යාප්තිය පාලනය සදහා ඔවුන්ගේ මැදිහත්වීම කෙරෙහි සෘජුවම බලපාන බව කිව යුතුය.
කොවිඩ් ව්‍යාප්තියේ පළමු රැල්ලේ දී මෙම කාර්යමණ්ඩලය මුහුණ දුන් සියලුම ගැටළු මෙම තෙවන රැල්ලේදී ද එලෙසම නොවිසඳී පවතී. එමෙන්ම නව ගැටළු ගනනාවක්ද උද්ගත වෙමින් පවතී.
1. නියමිත කාලයට නියමිත ප්‍රමාණයට පී.සී.ආර්. පරීක්ෂණ කිරීමට අවශ්‍ය පහසුකම් නොමැති වීම සහ ඒවායේ ප්‍රතිඵල දින ගණනාවක් ප්‍රමාද වීම. (මෙවැනි ප්‍රමාදයක් මගින් ආසාදිතයන් ප්‍රජාව තුළ තවදුරටත් වර්ධනය වීමට අවකාශ සැළසේ. – 2021/05/10 දින වන විට සමහර ප්‍රදේශවල පී.සී.ආර්. පරීක්ෂණ මුළුමනින්ම නවතා ඇති අතර සමහර දිස්ත්‍රික්ක වල සතියකට කල හැකි පරීක්ෂණ ප්‍රමාණය සීමා කර තිබේ. )
2. පී.සී.ආර් මගින් හඳුනාගත් රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන හෝ රෝහල් ගත කිරීමට සිදුවන ප්‍රමාදය හෝ අවස්ථාව නොමැති වීම නිසා රෝගයට අදාළ රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් සමාජය තුළ නිදැල්ලේ හැසිරීම හා ඔවුන් රෝහල්වලට යොමු කිරීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් නොමැති වීම. (ඒ සම්බන්ධ රාජකාරි කටයුතු දිස්ත්‍රික් මට්ටමින් ඉටු කරනු ලබන්නේ ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥයන් විසිනි. ඔහුගේ සහායට තවත් වෛද්‍යවරුන් ඇතුළු සේවක කණ්ඩායම් යොදවා නැති වීම.) එමෙන්ම දින 10 ක ප්‍රතිකාර කාල සීමාවකින් පසුව නිවසට එවන රෝගීන් නැවතත් රෝග ලක්ෂණ පෙන්වූවද ඔවුන්ව යොමු කලහැකි ස්ථානයක් නැත.
3. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විටින් විට නිකුත් කරනු ලබන සෞඛ්‍ය මාර්ගෝපදේශ වැනි අත්‍යාවශ්‍ය තොරතුරු අදාල මොහොතේදී සන්නිවේදනය නොවීම.
4. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව ගන්නා වූ තීන්දු තීරණ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් ඇතුළු සෞඛ්‍ය බළධාරීන්ගේ තීන්දු තීරණ හා නොගැළපීම නිසා නෛතික කටයුතු වල දී ගැටලු මතුවීම සහ තීන්දු තීරණ ගැනීමේදී ඇතිවන දේශපාලන බලපෑම.
5. ප්‍රභූවරුන් සම්බන්ධ වන උත්සව හා ආගමික උත්සව වලදී ඒවායේ සංවිධායකයන් දේශපාලන අවශ්‍යතා මත සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකිරීම නිසා සාමාන්‍ය පුද්ගලයන් සමග නීතියට අනුව ක්‍රියා කිරීමට යාමේදී ඇතිවන ප්‍රතිරෝධය හේතුවෙන් නිසි පරිදි රාජකාරි කිරීමේ අපහසුතාවය.
6. දෛනිකව තම ප්‍රදේශය තුල සිදුවන සියලු කොවිඩ් මරණ හා ආසාදිතයන් සංඛ්‍යාවන් නිවැරදිව ප්‍රකාශ නොවිම නිසාම ජනතාව තුල රෝගයට පවතින ආකල්ප වෙනස් වීමෙන් ඔවුන් කොවිඩ් පාලන මූලධර්ම වලට අනුගත නොවන තත්වයක් මතුව තිබීම.
7. පෞද්ගලික අංශයේ කර්මාන්ත ශාලා, සංස්ථා හා මණ්ඩලවලට අදාල සේවා ස්ථානවල සේවකයන් ආසාදිතයන් බවට පත් වූ විට ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමේ දී ගැටළු මතු වීම.
8. ආශ්‍රිතයන් හඹා ගොස් සොයාගෙන ඔවුන්ට පරීක්ෂණ සඳහා යොමු කිරීමටත් අදාල පරිදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත හෝ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරීමේ වගකීම මේ වන විට සම්පූර්ණයෙන් පැවරී ඇත්තේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් වෙතය. ඔවුන් හැර වෙනත් රාජ්‍ය ආයතන/ ක්ෂේත්‍ර නිලධාරීන් කිසිවකු මේ වනතුරු සහභාගී කරවා නැත. තවද සෞඛ්‍ය සේවකයන් හා ඔවුන්ගේ පවුල්වල පුද්ගලයන් ආසාදිතයන් වූ විට ඔවුන්ව වෙන්කර තැබීම, නිරෝධායනය සදහා වෙනම පහසුකම් අවශ්‍ය වුවද ඒ සඳහා මැදිහත් වීමට නොහැකිවීම. අමතර වරප්‍රසාද රහිතව සියලුම සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යන අතර තුර අමතර සේවාවන් ලෙස සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ කටයුතු නිරෝධායන කටයුතු හා රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීම වැනි සියලුම කොවිඩ් මර්ධන කටයුතු වෙනුවෙන් ක්‍රියා කරන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට වෙත මේ වන තුරු කිසිදු අමතර ගෙවීමක් හෝ පහසුකම් සැපයීමක් සිදු කර නොමැත.
මේ සම්බන්ධව වහා අවධානය යොමුකරන ලෙසත් ඉහත ගැටළු සම්බන්ධව ඉක්මනින් මැදිහත්වී සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන් ඇතුළු රෝග නිවාරණ අංශයේ සමස්ත කාර්යමණ්ඩලය තුල විශ්වාසය සහ උනන්දුව ජනිත කිරීම මගින් කොවිඩ් වසංගතය මෙරටින් තුරන් කිරීම වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සපයන ලෙසත් ඉල්ලමු.