සෑම වසරකම ජූනි මස 16 දිනට යෙදී ඇත්තේ ගෘහ සේවක දිනයයි. මෙවර එහි තේමාව වී ඇත්තේ "කෝවිඩ්-19 වසංගතය පසුකරමින් ශිෂ්ඨ රැකියා යන්න යථාර්ථයක් කරමු" යන්නයි.
ජාත්‍යන්තර පරිමාණවත් ලංකාව තුළත් කෝවිඩ් වසංගතයෙන් ඉතාම දරුණු ලෙස බැට කෑ කොටසක් වූයේ අවිධිමත් අංශයේ කම්කරුවන්ය. ඒ අතරින් ගෘහ සේවක සේවිකාවන් විශේෂය.
පසුගිය වසරේ ඔක්තෝබර් මස සිට 2021 ජනවාරි මස දක්වා කොවිඩ් -19 වසංගතයේ දෙවැනි රැල්ල පැවති කාලයේ ලෝක කම්කරු සංවිධානයේ කොළඹ කාර්යාලය සමඟ එක්ව “Rapid Assessment of the Impact of Covid – 19 on Domestic Workers in Sri Lanka” ව්‍යාපෘතියට සහභාගි වීමටත් එහි ක්‍රියාකාරී වැඩ කොටසක් කිරීමටත් අපට අවස්ථාව ලැබුණු අතර ඒ හරහා මෙරට ගෘහ සේවිකාවන් කෝවිඩ් වසංගතය තුළ මුහුණ දුන් තත්ත්වය පිළිබඳව අපට ඉතා හොඳ අවබෝධයක් ලබා ගත හැකි විය. එම ව්‍යාපෘතිය අවසානයේ එළි දුටු වාර්තාවේ තිබූ මූලික කරුණු කිහිපයක් නම්:
- ලංකාවේ ගෘහ සේවිකාවන්ගෙන් 98% කට පමණ ලිඛිත සේවා කොන්දේසි සහිත පත්වීමේ ලිපියක් නොමැත.
- ගෘහ සේවිකාවන්ගෙන් 70% කට පමණ සමාජ ආරක්ෂණයක් නොමැත. සමාජ ආරක්ෂණයක් ඇතැයි පවසන බොහෝ දෙනා එසේ පවසා ඇත්තේද සමෘද්ධි වැනි වැඩසටහන් වැනි පොදු වැඩ සටහන් සම්බන්ධයෙන් මිස ගෘහ සේවිකාවන් ඉලක්ක කරගත් වැඩ සටහන් නොවේ.
- වසංගත කාලයේදී ගෘහ සේවිකාවන්ගෙන් 70% කට පමණ රැකියා අහිමි වී ඇති අතර ඔවුන්ගේ ආදායම් ඇණහිට ඇත.
- ගෘහ සේවිකාවන්ගෙන් 94% කගේ වැටුප ඔවුන්ගේ පවුල්වල ප්‍රධාන ආදායම් මාර්ගය වී තිබුණි.
- ඔවුන්ගේ සාමාන්‍ය මාසික වැටුප රුපියල් 16,000.00ක් පමණක් විය.
- මෙම ගෘහ සේවිකාවන්ගෙන් 85% ක් පමණ එක සේවායෝජකයෙකුට පමණක් සේවය කරයි.
- රජය විසින් කොවිඩ් -19 වසංගත කාලයේ ලබා දී තිබු ආධාර ලැබී තිබුණේ ගෘහ සේවිකාවන්ගෙන් 54%ක ප්‍රමාණයකටය.
- ගෘහ සේවිකාවන්ගෙන් 70% ක් පමණ නැවත රැකියාව ලැබෙන්නේනම් වසංගත කාලයේ වුවද සේවයට යාමට අදහස් කර සිටින බව පවසා සිටින අතර 50% කට වඩා ප්‍රමාණය රෝගය බෝ වුවත් සේවයට යාමට අදහස් කරන බව දක්වා ඇත.
ඉහත කරුණු සැලකීමේදී අපට පෙනී යන්නේ මෙම ගෘහ සේවිකාවන්ගේ සේවා කොන්දේසි හා සේවා තත්ත්වය සම්බන්ධයෙන් අප රටේ විධිමත් නීතියක් නොමැති වීම නිසා ඉතාමත් අසරණ භාවයට පත්ව ඇති බවයි. රැකියා අහිමි වීම නිසා ඔවුන්ගේ හා පවුලේ අයගේ ජිවිත ඉතාමත් දුක්ඛිත තත්වයකට ඇද වැටී ඇත. කිසිදු සමාජ ආරක්ෂණයකට හිමිකමක් නොමැතිවීමෙන් ඔවුන්ගේ පැවැත්ම හා අනාගතය සම්බන්ධයෙන් ඉතාමත් අවිනිශ්චිත තත්වයකට පත්ව ඇත. මේ කෝවිඩ් පළමු හා දෙවන රැල්ල තුල ලද අත් දැකීම්ය.
ඉහතින් සඳහන් කළ “Rapid Assessment of the Impact of Covid – 19 on Domestic Workers in Sri Lanka” ව්‍යාපෘතිය සමඟ එම සංගණනයට තෝරාගත් ගෘහ සේවිකාවන් හට වියළි සලාක මල්ලක්, මුහුණු ආවරණ හා සනීපාරක්ෂණ ද්‍රව්‍ය ලබා දීමට හැකිවීම ඒ අවස්ථාවේ එම සාමාජිකාවන් ලද යම් අස්වැසිල්ලක් බවද සඳහන් කළ යුතුය.
දැනට අප පසු කරන කෝවිඩ් තුන්වන රැල්ල පළමු හා දෙවන රැළිවලට වඩා බෙහෙවින්ම ව්‍යසනකාරී වී ඇති අතර අප සාමාජිකාවන් මුහුණ දෙන ගැහැට මෙම සමීක්ෂණයෙන් හෙළිවූ තත්ත්වයට වඩා බෙහෙවින් බියකරුය. මෙම මස 16 වෙනි දින ජාත්‍යන්තර ගෘහ සේවක දිනය සැමරීමට ඔවුන්ට සිදුව ඇත්තේ රැකියා අහිමිව සිටින සේවක කොට්ඨාශයක් ලෙසටය.
මෙවර ජාත්‍යන්තර ගෘහ සේවක දිනයට සමගාමීව ලෝක කම්කරු සංවිධානයේ ගෘහ සේවක අයිතීන් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති C189 ප්‍රඥප්තිය එළි දැක්වීමේ 10 වර්ෂ පූර්ණ සමරුවද යෙදී තිබීම විශේෂත්වයකි. එහෙත් ලංකාව විසින් මෙතෙක් ILO - C189 අපරානුමත කර නොතිබීම නිසා අප සේවක සේවිකාවන්ට ඉන් ලබාගත හැකිව තිබූ ප්‍රතිලාභ මේ දක්වාමත් අහිමිවී ඇත. එනිසා මීළඟ වසර තුළ ලංකාව තුළ ILO - C189 අපරානුමත කර ගැනීම සඳහා කටයුතු කිරීමේ අභියෝගය ගෘහ සේවකයින් නියෝජනය කරන වෘත්තීය සමිතියක් ලෙස අප හමුවේ ඇත. එය ඉදිරි කාලය තුළ අප හමුවේ ඇති අභියෝගයයි.