රාජ්‍ය සේවකයා දැඩි ලෙස හිංසනයට ලක්වෙමින් පවතිනවා

thamara-dayani

කොවිඩ් වසංගතය ශ්‍රී ලංකාව දරුණු ලෙස වෙලාගනිමින් සිටිම මෙම අවස්ථාවේ මෙහි පීඩනය වැඩිපුරම දැරීමට සිදුව ඇත්තේ කාන්තාවන්ටය. සමස්ත කාන්තාවන් අතරින් වැඩපොලේ, කාර්යාලයේ වැඩකරන කාන්තාව මෙම තත්ත්වය හමුවේ දැඩි පිඩනයකට ලක්ව ඇත. ඔවුන් දැඩි ලෙස හිංසනයන්ට ගොදුරු වන අවස්ථාවක් මේ වන විට නිර්මාණය වී ඇත. ඒ සඳහා අවශ්‍ය නීතිමය රාමුවක් ලෙස ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් සම්මත කරන ලද සී 190 සම්මුතිය මේ මොහොතේ ශ්‍රී ලංකාවේ නීතියක් බවට පත් කර ගැනීම අත්‍යාවශ්‍ය කටයුත්තක් ලෙස අද පත්ව ඇත.

එය එසේ වන අතර, ශ්‍රී ලංකවේ සමස්ත ජනගහණයෙන් 52%ටත් වඩා ඉන්නේ කාන්තවෝ. ඒ වගේම වැඩකරන ජනතාවගෙන් 60%ක් පමණ මෙන්ම ලක්ෂ 14 වන පමණ වන රාජ්‍ය සේවය තුළත් අති බහුතරය කාන්තාවෝ. කොටින්ම කියනවානම් රටේ සංවර්ධනයට දායකවන... රටට ධනය උපද්දන... විනිමය ලඟා කරවන ධන උල්පත කාන්තාව.

මෙහෙම රටක කාන්තාව අද ඉන්න තත්ත්වය කෙබඳුද ? ඇයට හොඳ තැනක් මේ රටේ තියෙනවාද ? අය සමාජය තුළ නිසි ගරුත්වයට පාත්‍රවෙනවාද ?... ඒ වගේම කාන්තාව ඇත්තටම සුරක්ෂිතද ?...  මේ අපි ඉදිරියේ අද තිබෙන ප්‍රශ්ණ... දිනපතා සමාජය තුළ දළුලා වැඩෙන ප්‍රශ්ණ ?...

අපේ රටේ පැරණිම වෘත්තිය වන ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවට ලැබෙන අවමානය, අපහාසය හා නින්දාව... ඒ කාන්තාව සමග යහන් ගතවෙන පුරුෂයාට ලබානොදීමට වගේම, නාලා ගෙට ආවට පස්සේ ඒ පිරිමියා ඉතා සුපිරිසිඳු උත්තමයෙක් ලෙස දකින හීන මානසික මට්ටමකින් සපිරි වැසියන් රටක... කාන්තාව ගැන කවර නම් කතාද ?... කාන්තාවට නිසි ගරුත්වයක් ලැබිය හැකිද ?... මෙය ඇත්තටම ප්‍රශ්ණාර්ථයකි.

රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික වගේම ගොවි ධීවර, පරිසර වැනි සංවිධාන ගත නොවූ අංශ වල ඉහත කී පිරිදි ඇත්තටම අද වැඩ කරන අති බහුතරය කාන්තාව. එයින් රාජ්‍ය සේවය ගත්විට අමාත්‍යංශ ලේකම්ගේ සිට පහළට සනීපාරක්ෂක කම්කරු තනතුරු දක්වාම කාන්තා නියෝජනයක් තිබෙනවා.

දශක කිහිපයක් තිස්සේ අපේ කාන්තා ශක්තිය මත, අපේ කාන්තා සටන්වල ප්‍රභලත්ව මත මේවන විට ප්‍රධාන තනතුරු හෙබවීමට තරම් කාන්තාවට යම් හැකියාවක් ලැබිලා තිබෙනවා.

ඒ ගැන අපට තියෙන්නේ ලොකු සතුටක් වගේම නිහතමානී ආඩම්බරයක්. නමුත්  ඒ දිනාගත් සතුට සේවා ස්ථාන තුළ සිදුවන වාචික, මානසික මෙන්ම වක්‍රාකාරව සිදුවන හිංසා නිසා වැඩබිම... රජයේ කන්තෝරුව කාන්තාවන්ට කඳුළක් උපද්දවන තැනක් වෙලා තිබෙනවා. ඒවාට සාක්ෂි හා උදාහරණ ඕනෑතරම් දකින්නට, අසන්නට ලැබෙනවා.

මේ රටේ සමාජ ක්‍රමය සැකසිලා තියෙන්නේ පීතෘ මූලික ආකල්ප හා නීතිරීති මත. ඒ නිසාම උපතේ සිටම කාන්තවට තියෙන්නේ දෙවැනි කොට සැලකීම, වෙන්කොට සැලකීම වැනි අවතක්සේරුකම් මත ජීවත්වෙන්න. පිරිමිය තමයි හරි, එයා තමයි ලොක්කා, එයා තමයි තීරණ ගන්න ඕනෑ කියන මේ අන්ධ පුරාණ කුල ගෝත්‍රික ආකල්ප නිසාම සේවා ස්ථාන තුළත් කාන්තාවන්ට වන හිරිහැර, හිංසා වගේම සුදුසු තැන නොලැබීම වැනි කාරණා නිසා අද බොහොමයක් කාන්තාවන් අසරණ වෙලා.

ආයතන ප්‍රධානියාගේ අණසකට කීකරුවීම, සැරපරුෂ වචන ඉදිරියේ ගොළුවන් මෙන් සිටීම, අඳින පළඳින ඇඳුම් මත සිදුවන උසුළු විසුළු කම් දරාගැනීම, තම මූලික කාන්තා අවශ්‍යතාවයන් වෙනුවෙන් ඉඩ පහසුකම් ලබානොදීම, සෞඛ්‍ය හා අනෙකුත් පොදු මානුෂීය කාරණාවලදී නම්‍යශීලී නොවීම වැනි බරපතල පීඩාකාරී තත්ත්වයන් එක්ක තමයි වැඩි පිරිසක් රාජකාරි කරන්නේ. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනෑ විවිධ ආගමික හේතුන් මත රාජ්‍ය ආයතන වල වැඩකරන කාන්තාවට සිදුවන ඍජු හිංසාද පසුගිය කාලය තුළ ඉතා අවාසනාවන්ත ලෙස වැඩිවී තිබෙන බව මෙහිදී කාන්තාවන් විසින් කාන්තාවන් හිංසනයට ලක්කරන ඉතා ශෝචනිය අවස්ථාද දක්නට ලැබීමද කණගාටුවට කරුණකි.

මේවැනි හේතූන් නිසාම අද ඇත්තටම කාන්තාව අන්ධයන්, ගොළුවන් සේ තමයි සේවා ස්ථාන වල හැසිරෙන්නේ. සමහර අවස්ථා වලදී ඇයට නීතිය ඉදිරියට යන්න හොඳ මාර්ගෝපදේශයක් නොමැතිවීම, ඒ නිසා තිබෙන ලැජ්ජාව හා අකමැත්ත, සමාජය ඉදිරියේ ලැබෙන අවමාන  හා අපහාස නිසාම, යම් සමහර ඉතා වේදනාත්මක සිදුවීම් සැඟවී යන අවස්ථා අපට දක්නට ලැබෙනවා. ඉතින් මෙම තත්ත්වය හරිම වේදනාත්මකයි, ඛේදජනකයි වගේම සිදුනොවීය යුතුයි නේද?

ඇත්තටම කාන්තාව - නැතිනම් ගැහැණිය කියන්නේ විටෙක ඔබේ මව, සොහොයුරිය, දියණිය වගේම ඔබගේ බිරිඳ හෝ හිතවතිය. උපතේ සිට විපත දක්වාම මේ විවිධ වූ භූමිකාවන් තුළ ඇය ඇත්තටම ඉටු කරන්නේ මහඟු මෙහෙවරක්. ඇයගේ දරා ගැනීමේ ශක්තිය, ඉවසීම, මනා කළමණාකාරිත්වය, වගේම කුසලතාවය හා ශක්තිය මත තමයි මේ ලොකේ පැවැත්ම රැඳෙන්නේ.

මේ නිසා අනිවාර්යෙන්ම සමාජය තුළ කාන්තාව සුරක්ෂිත විය යුතුය. වැඩකරන ස්ථානය සුදුසු පරිසරයක් මෙන්ම මොනයම් ආකාරයක හෝ හිංසනයන්ට භාජනය නොවන තැනක් විය යුතුය. මේ වෙනුවෙන් අපි කාන්තාවන් ලෙස හඩ අවදි කළ යුතු අතර, එසේ කිරීමට නම් කාන්තාවට යම් නීතිමය පදනමක් ශක්තිමත්ව තිබීම අවශ්‍යයයි.

මේ මොහොතේ ලංකාව කොවිඩ් වසංගත තත්ත්වයෙන් බැටකන වේළාවේ මහත් පීඩාවට ලක්ව ඇති විශේෂයෙන් රාජ්‍ය සේවයේ වැඩකරන කාන්තවන් හට සී 190 සම්මුතිය සම්මත කරගැනීමට කටයුතු කිරීම වැඩකරන සියළු දෙනාගේ වගකීමකි. මෙම සම්මුතිය සම්මත කරගැනීමෙන් වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනයන් අවම කර ගැනීමට වැඩකරන ජනතාව වෙත ලැබෙන නීතිමය රැකවරණයකි. එය සම්මත කර ගැනීම සඳහා සියළුදෙනා එක්ව වැඩකරමු.

තමරා දයානි හෙට්ටිමුල්ලගේ, ජාතික සංවිධායක, ජාතික වෘත්තීය සමිති පෙරමුණ