ජෝෂප් ඇතුළු වෘත්තීය සමිති නායකයින් ගැන ඉන්ඩස්ට්‍රි-ඕල් ග්ලෝබල් යූනියන් ආණ්ඩුවේ නායකයින්ට ලියයි

ජෝෂප් ඇතුළු වෘත්තීය සමිති නායකයින් ගැන ඉන්ඩස්ට්‍රි-ඕල් ග්ලෝබල් යූනියන් ආණ්ඩුවේ නායකයින්ට ලියයි

අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ශ්‍රී ලංකා ජනාධිපතිතුමා (විද්‍යුත් ලිපිනය හරහා)
ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යතුමා (විද්‍යුත් ලිපිනය හරහා)
ගරු සරත් වීරසේකර මැතිතුමා, මහජන ආරක්ෂාව පිළිබඳ කැබිනට් අමාත්‍යතුමා (විද්‍යුත් ලිපිනය හරහා)

අතිගරු ජනාධිපතිතුමනි
ගරු අග්‍රාමාත්‍යතුමනි
ගරු මැතිතුමනි

2021 ජූලි 9 වැනි දින විරෝධතාකරුවන්ට එරෙහිව භාවිත කරන ලද පොලිස් ක්‍රියාමාර්ගය හා ප්‍රචණ්ඩත්වය හෙළා දකිනු පිණිස, මම ලොව පුරා වෘත්තීය සමිති හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සඳහා වූ සටන භාර ගනිමින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 140 ක පතල් කැනීම්, බලශක්ති හා නිෂ්පාදන ක්ෂේතයන්හි කම්කරුවන් කෝටි 5 ක් නියෝජනය කරන ඉන්ඩස්ට්‍රි-ඕල් ග්ලෝබල් යූනියන් නමැති වෘත්තීය සංවිධානය වෙනුවෙන් මෙය ලියමි.

අපට දැන ගන්නට ලැබී ඇත්තේ ගුරු සංගම් ඇතුළු වෘත්තීය සමිති හා ශිෂ්‍ය-ශිෂ්‍යාවන් අධ්‍යාපනය පෞද්ගලීකරණයට හා මිලිටරිකරණයට එරෙහිව විරෝධතාව පළ කරමින් සිටි බවයි. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් විරෝධතා දැක්වීමේ අයිතිය සුරක්ෂිත කර තිබියදී වුවද, පොලිසිය විසින් විරෝධතාවේ යෙදී සිටි අය සම්බන්ධයෙන් කුරිරු ලෙස කටයුතු කර තිබේ. මහේස්ත්‍රාත්තුමා විසින් විරෝධතාකරුවන්ට ඇප නියම කරනු ලැබූ බවද අප වෙත තවදුරටත් දන්වා තිබේ. ඔවුන් මුදා හරින ලද අවස්ථාවේදී පොලිසිය ඔවුන් වට කර ඔවුන්ව බලහත්කාරයෙන්ම නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙන ගියහ. ඔවුන්ව සිය කැමැත්තට එරෙහිව නිරෝධායන මධ්‍යස්ථානයෙහි රඳවා ගෙන තිබේ.

මෙය ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිතිකරුවන්ගේ හා පුරවැසියන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝණය කිරීමකි. එමෙන්ම අධිකරණයක් විසින් ඇප මත මුදා හරින ලද අය රඳවා ගැනීමටද පොලිසියට කිසිදු අයිතියක් නැත. සෞඛ්‍ය බලධාරීන් එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති අවස්ථාවක නිරෝධායනය නාමයෙන් ජනතාව රැගෙන යාමේ අයිතියක් පොලිසියට නැත.

මෙම තත්ත්වය හමුවේ, ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හා පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වල භාරකරුවන් වන ඔබගෙන් අප ඉල්ලා සිටින්නේ වෘත්තීය සමිතිකරුවන් ඇතුළු සියලුම විරෝධතාකරුවන් වහාම නිරෝධායනයෙන් නිදහස් කරන ලෙසයි.

මම ඔබගේ ධනාත්මක ප්‍රතිචාරය අපේක්ෂා කරමි.

විශ්වාසී

(අත්සන වී. සැන්චෙස්)
වෝල්ටර් සැන්චෙස්
ප්‍රධාන ලේකම්
ඉන්ඩස්ට්‍රි-ඕල් ග්ලෝබල් යූනියන්