ගෝලීය තොරතුරු දැනගැනීමේ අයිතියේ ඇගයීම් ලේඛනය අනුව ලකුණු 150න් 131ක් ලබා ශ්‍රී ලංකාව සිව්වන ස්ථානයේ පසුවෙමින් පැවතුනද, මේ වන විට ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතියේ අනාගතය පිළිබද අවිනිශ්චිත හා අභියෝගාත්මක තත්වයක් මතු වෙමින් තිබෙන බව “අයිතිය උදෙසා ජනමාධ්යෙව්දීයෝ“ සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ 74 වන සැසිවාරයේදී ඇති කරගත් 38C 57 යෝජනා සම්මතය අනුව තොරතුරු සදහා විශ්වීය ප්‍රවේශයක් සහතික කිරීමේ දිනය සෑම වසරකම සැප්තැම්බර් මස 28 වන දිනට යෙදී තිබේ.
ගෝලීය තොරතුරු දැනගැනීමේ අයිතියේ ඇගයීම් ලේඛනය අනුව ලකුණු 150න් 131ක් ලබා ශ්‍රී ලංකාව සිව්වන ස්ථානයේ පසුවෙමින් පැවතුනද, මේ වන විට ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතියේ අනාගතය පිළිබද අවිනිශ්චිත හා අභියෝගාත්මක තත්වයක් මතු වෙමින් තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව රජය බලයට පත් වූ පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් බොහෝ ප්රජාතන්ත්රවාදී හා පුරවැසි අයිතීන් වෙනුවෙන් වූ නීති ප්‍රතිසංස්කරණ යටපත් කරනු ලැබූවද, තොරතුරු අයිතියට හා එය ක්‍රියාත්මක කිරීම සදහා පවතින යාන්ත්රණයට අත නොතැබීම සම්බන්ධයෙන් අප රජයට ස්තූතිවන්ත වෙමු.
නමුත් 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් පුරවැසි ප්රජාතන්ත්රවාදී සමාජයක අනිවාර්යයෙන්ම ස්වාධීනව පැවැතිය යුතු ප්රජාතන්ත්රවාදය හා පුරවැසි අයිතීන් වෙනුවෙන් ස්ථාපිත ස්වාධීන කොමිෂන් සභාවන්හි ස්වාධීනත්වය බරපතළ අනතුරුදායක තත්වයකට හෙළනු ලැබූ බවද අප මෙහිදී සිහිපත් කරමු. එම ක්‍රියාවලිය තොරතුරු අයිතියේ පැවැත්ම සම්බන්ධයෙන්ද බරපතළ ලෙස බලපාන්නේ පවතින තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ කාල සීමාව අවසන් වීම හේතු කොට ගෙන එයට නව සාමාජිකයන් පත් කිරීමේ බලය 20 වන සංශෝධනය මගින් සම්පූර්ණයෙන් ජනාධිපතිවරයාට ලැබෙන බැවිනි.
මෙම තත්වය තුළ අප ජනාධිපතිවරයාට හා රජයට අවධාරණය කරන්නේ තොරතුරු දැන ගැනීමේ අයිතියේ ප්‍රධාන නිරීක්ෂකයා මෙන්ම එම අයිතිය බලාත්මක කිරීමේ ප්‍රධාන ආයතනය වන කොමිෂන් සභාව සදහා ස්වාධීන සහ පුරවැසි අයිතීන් වෙනුවෙන් කටයුතු කිරීමේ ඉතිහාසයක් සහිත දූෂණ චෝදනා නොමැති පුද්ගලයන් කොමසාරිස්වරුන් ලෙස පත් කිරීමට කටයුතු කරන ලෙසයි.
එමෙන්ම තොරතුරු දැනගැනීමේ අයිතිය මේ දක්වා ජාත්‍යන්තර වශයෙන් ඉහළ පිළිගැනීමකට ලක්ව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වුවද රාජ්‍ය අධිකාරීන් තුළ තොරතුරු පුරවැසියාට විවෘත කිරීමේ සංස්කෘතියක් ගොඩ නගා ගැනීමට තවමත් අපොහොසත් වී ඇති බවද අප රජයට පෙන්වා දීමට කැමැත්තෙමු. මහජනයාගේ ආයතන වන රාජ්‍ය ආයතනයන්ගේ තොරතුරු මහජනයාට විවෘත කිරීමට ඉල්ලීමක් ලැබෙන තෙක් සිටිය යුතු නැති බව අපේ විශ්වාසයයි. එම නිසා අප රජයට බල කර සිටින්නේ තොරතුරු පුරවැසියාට විවෘත කිරීමේ සංස්කෘතියක් රාජ්‍ය අධිකාරීන් තුළ ඇති කිරීමට මැදිහත් වන ලෙසයි.
එමෙන්ම මේ වන විටත් ආන්දෝලනයට ලක් වී ඇති ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත විනාශ කිරීමේ සිදුවීම පුරවැසියාට හිමි තොරතුරු අයිතියට සිදු කරන තාක්ෂණය පදනම් කරගත් නව පන්නයේ බාධාවක් බවත් අප රජයට අවධාරණය කරමු. පුරවැසියාට මූලික අයිතියක් ලෙස හිමි වී ඇති තොරතුරු දැනගැනීමේ අයිතිය සුරක්ෂිත කිරීම රජයේ අත්හළ නොහැකි වගකීමක් බැවින් මෙම දත්ත විනාශ කිරීමේ සිදු වීම සුළු කොට නොතකමින් ඒ සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් සිදු කරන ලෙසත් රාජ්‍ය අධිකාරීන්ගේ දත්ත සුරක්ෂිත කිරීම සදහා වහා පියවර ගන්නා ලෙසත් අප රජයට බල කර සිටිමු. පුරවැසියාගේ තොරතුරු අයිතිය වෙනුවෙන් අප මෙම විමර්ශන දෙස අවධානයෙන් නිරීක්ෂණය කරන බවත් අප රජයට දන්වා සිටිමු.
අප අවසාන වශයෙන් රජයට අවධාරණය කරන්නේ ජනතා පරමාධිපත්‍යයයේ කොටසක් වන තොරතුරු දැනගැනීමේ අයිතිය ඇතුළු මූලික අයිතීන් සුරක්ෂිත කිරීම රජයේ අත්හළ නොහැකි අනුල්ලංඝනීය වගකීමක් බවත් ජනතාවට කොවිඩ් -19 වෛරසයෙන් ජීවිතය රැක ගැනීම වෙනුවෙන් එන්නත්කරණය අත්‍යවශ්‍ය වනවා සේම ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමටත් අයිතිවාසිකම්වලින් පරිපූර්ණ නිවහල් පුරවැසියෙක් ලෙස ජීවත්වීමටත් පුරවැසියාට තොරතුරු දැනගැනීමේ අයිතිය අත්‍යවශ්‍ය වන බවයි.