රාජ්‍ය සේවකයන් කියන්නෙ රජයේ පංගුකාරයන්. පංගුවෙ විවිධ ප්‍රමාණ තිබෙන්න පුළුවන්. ඒ වුණාට, රජයේ ආදායමෙන් 80%ක් යන්නෙ ඔවුන්ට වැටුප් ගෙවන්න. වැටුප්වලට අමතරව, ඔවුන් පුහුණු කරන්න, විදේශ ශිෂ්‍යත්ව දෙන්න, වෙනත් වරප්‍රසාද දෙන්න, ඔවුන්ගෙ කාර්යාල සුවපහසු අන්දමින් පවත්වාගන්න වගේ දේවලට වැයවන අතිවිශාල මහජන මුදලත් එක්ක බැලුවොත්, රජයේ ආදායමෙන් 90%ක් විතර වැයවන්නෙ රාජ්‍ය සේවය වෙනුවෙන්.
ඒ නිසා, රජයේ සේවකයන් තමයි, ප්‍රධාන වශයෙන්ම රජයේ අයිතිකාරයන් හා එයින් ප්රතිලාභ ලබන්නන් වෙන්නෙ. රාජ්‍ය අංශය පවතින්නෙ ඔවුන් වෙනුවෙන්. රාජ්‍ය අංශය පවත්වාගෙන යාම සාධාරණීකරණය කරන්නට ප්‍රමාණවත් තරමටවත් මහජන සේවයක් එයින් සිදුවෙන්නෙ නැහැ.
මේක උදාහරණයකින් පැහැදිලි කරන්නට පුළුවන්. මම උදාහරණයකට මතුගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගන්නම්. සාමාන්‍ය පුරවැසියකු වන මම අවුරුද්දකට දෙවතාවක් එහි යනවා. ඒ මගේ පුංචි කාර් එකේ හා යතුරුපැදියේ ආදායම් බලපත්‍ර ලබාගන්නට. ඊට අමතරව මම එක් අවස්ථාවක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කරගෙන තිබෙනවා. ග්‍රාමසේවක සහතිකයකට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහතිකය ලබාගැනීමට තවත් වතාවක් ගිහින් තිබෙනවා. හැඳුනුම්පත, ගමන් බලපත්‍රය, උප්පැන්න සහතිකය සම්බන්ධ යම් යම් කටයුතුවලටත් යන්නට ඇති. මගේ ජීවිත කාලය තුළ, මට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් වෙනත් සේවාවක් ලැබී නැහැ. ගහක් කපන්නට බලපත්‍රයක්වත් අරගෙන නැහැ. මොන දේ කරගන්නට ගියත්, අපට අපේ වාහනය ඒ භූමියේ පාක්කරන්නට අවසර නැහැ. විස්තරයක් ඇහුවාම විනීත සේවයක් සපයන්නේ නැහැ. ආදායම් බලපත්‍ර නිකුත් කරන කවුළුව ඒ ගොඩනැගිල්ලේ පිටතට විවෘත වන ජනේලයක්. එතන හරිහමන් හිසට හෙවණක් නැහැ. අව්වෙන් වැස්සෙන් පීඩා විඳිමින් තමයි සේවා සපයාගන්නට ඕනැ. රාජ්‍ය සේවයේ කාර්යාලවල මහජනයාට සේවය සපයන ස්ථාන බොහොමයක් ඒ වගේ තත්වයකයි තියෙන්නෙ.
රජය ඔවුන්ගෙ. ඔවුන් තමයි රජවරු. අපි දාසයෝ. ඒක තමයි තත්වය. මේ පසුබිම තුළ, රජයේ සේවකයන් වර්ජනය කිරීම කියන්නෙ හරියට සමාගමක අයිතිකාරයන් වැඩවර්ජනය කිරීම වගේ දෙයක්.
රාජපක්ෂ ක්‍රමයට අනුගත වාමාංශික, දක්ෂිණාංශික සියලු පක්ෂ කරන්නේ රාජ්‍ය සේවකයන් හුරතල් කරන එකයි. ඔවුන් වගවිය යුතු තත්වයට පත්කරන්නට වැඩ නොකර ඔවුන්ට වැඩකරන්නට බැරි දේශපාලන ඇඟිලිගැසීම් නිසාය, ඔවුන්ට අභිප්‍රේරණයක් නැත්තෙ නායකත්වය හරි නැති නිසාය වගේ තර්ක නිර්මාණය කරදෙනවා. දේශපාලකයන් හොරකම් කරනවාය, තීරුබදු රහිත වාහන බලපත්‍ර වගේ අසාධාරණ වරප්‍රසාද ලබනවාය, විදේශ සංචාර යනවාය වගේ කතා කියනවා. ඇත්ත තත්වය නම්, දේශපාලකයන් ඒ දේ කරන තරම මෙන් සිය දහස් ගුණයක් රජයේ නිලධාරීන් ඒවා කරනවා. උදාහරණයක් විදියට රාජ්‍ය නිලධාරීන් හැම මට්ටමකදීම හොරකම් කරනවා. පගා ගහනවා. රාජ්‍ය නිලධාරීන් විසිදහසක්වත් තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබාගන්නවා. ඔවුන්ට විදේශ ශිෂ්‍යත්ව, සංචාර ආදිය විශාල වශයෙන් හිමිවෙනවා.
ඇත්ත පාලකයන් ඉන්නෙ කීදෙනාද? මේ වෙලාවෙ නම් දුසිම් දෙක තුනක් ඇති. උන්ට ඔය හැම රජයේ ආයතනයකටම ඇඟිලිගහන්න වෙලාවක් නැහැ. උදාහරණෙකට විශ්වවිද්‍යාලවලට දේශපාලන ඇඟිලිගැසීම් තියෙනවද? පාසල්වලට නම්, ළමයින් ඇතුළත් කරන්නට ඇඟිලිගහනවා කියන්න පුළුවන්. විශ්වවිද්‍යාලවලට මොන දේශපාලන ඇගිලිගැසීම්ද? තියෙනවා නම්, ඒ ජවිපෙ, පෙසප වගේ ඒවා මිසක් පාලකයන්ගෙත් නෙමෙයි. එහෙමය කියලා විශ්වවිද්‍යාලවලින් ඵලදායී සේවාවක් ඉටුවෙනවාද? නැහැ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වැඩිදෙනෙකු හරියට උගන්නන්නෙත් නැහැ, වෙනත් ශාස්ත්‍රීය කටයුත්තක් හරියට කරන්නෙත් නැහැ.
එහෙම තමයි අයිතිකාරයන්. වැඩකරන්නෙ තමන් කැමති නම් විතරයි. වැඩකරන එක මළ වදයක්. පුළුවන් තරම් නිකම් ඉන්නවා. නිකම් ඉන්න එක හරි නැහැ කියලා හිතුණොත් මොනව හරි වැඩකුත් කරනවා. ඔය චිචීලා වැඩකරන විදියටම තමයි අනෙක් රජයේ නිලධාරීනුත් කරන්නෙ. චිචීලා වගේ රාජ්‍ය නිලධාරීන් ඔබේ ගමෙත් ඉන්නවා. එක්කෙනෙකු දෙන්නෙකු නෙමෙයි.
රාජ්‍ය නිලධාරීන් හුරතල් කිරීම දැන්වත් නවත්තමු. ඔබ රාජ්‍ය නිලධාරියකු නම්, රාජ්‍ය ආදායමින් 90%කට විතර වගකියන එකට වගවෙන්න දැන්වත්.
රජයේ සේවකයන්ට ගැටලු තියෙන බව ඇත්තක්. ඒ වුණාට ඒක අයිතිකාරයන්, අයිතිකාරයන් අතර ප්‍රශ්නයක් නිසා ඒවා කතාකරලා විසඳගන්න. වර්ජනය කියන්නෙ පුරවැසියන්ට ඒ නඩුව කියන එක. පුරවැසියන්ට කරන්නට පුළුවන් කිසිවක් නැහැ.
අජිත් පැරකුම් ජයසිංහ (praja)