රාජ්‍ය සේවයේ විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා සංශෝධනය කිරීමත්, වෛද්‍යවරුන් රට හැර යෑමත් හරහා මෙරට සෞඛ්‍ය සේවාවට සිදුවන බලපෑම සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් මතුවෙමින් පවතින අතර, පසුගියදා ඉදිරිපත් කරන ලද රජයේ අතුරු අයවැය ලේඛනය හරහා රාජ්‍ය සේවයේ විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා අඩු කිරීම හේතුවෙන්, මෙම වසර අවසානයේදී විශේෂඥ වෛද්‍යවරුන් 300 කට ආසන්න පිරිසක් සහ ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන් 500 කට ආසන්න පිරිසක් එක්වරම විශ්‍රාම ගොස් සෞඛ්‍ය පද්ධතියෙන් ඉවත්වීමේ අවදානමක් මතු වී ඇති බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්කර ඇත්තේ, පවතින ආර්ථික, සමාජ හා දේශපාලන අර්බුදය හමුවේ වෛද්‍යවරුන් 500 කට ආසන්න ප්‍රමාණයක් වසරේ පළමු මාස අට තුළ දී මෙරට හැරදා ගොස් ඇති බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සිදුකරන ලද සමීක්ෂණයකදී හෙළි විය. රාජ්‍ය සේවකයින්ට ස්වකීය ජ්‍යෙෂ්ඨත්වයට බලපෑමක් සිදු නොවන පරිදි වැටුප් රහිත නිවාඩු ලබාගෙන විදේශයන්හි සේවය කිරීමට අවස්ථාව සලසා දෙමින් නිකුත් කරන ලද විශේෂ චක්‍රලේඛය හරහා වෛද්‍යවරුන් රට හැර යාම යම් නියාමනයකට යටත් කළ හැකි වුවද සම්පූර්ණයෙන් නවතාලිය නොහැක.
මෙවන් වෛද්‍යවරුන් පිරිසක් කෙටි කලක් තුළ සෞඛ්‍ය පද්ධතියට අහිමි වීම සෞඛ්‍ය සේවාවේ අභ්‍යන්තර ස්ථායිතාවය සහ ගුණාත්මකභාවය කෙරෙහි හානිකර බලපෑමක් ඇති කරන බව අවිවාදිතය.
මේ සියලු කරුණු හරහා ඇතිවන වෛද්‍යවරුන්ගේ රික්තකය තුළින් විශාලම බලපෑම සිදු වන්නේ මෙරට පර්යන්ත රෝහල් පද්ධතියට ය. මේ වන විටත් වෛද්‍යවරුන්ගේ හිඟය නිසා මුලතිව්, කිලිනොච්චිය වැනි දුෂ්කර ප්‍රදේශයන්හි ප්‍රධානතම රෝහල් වල පවා සේවාවන් බිඳවැටීමේ අවදානමකට ලක්ව ඇත. එපමණක් නොව විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය නිසා තිස්සමහාරාම මූලික රෝහලේ ද දෛනික රාජකාරි වලට දැඩි බලපෑමක් එල්ල වී ඇත. රට පුරා දුෂ්කර ප්‍රදේශ වල ජනතාවට සේවය සපයන පර්යන්ත රෝහල් පද්ධතියේ තත්ත්වය අද වන විට මීට වඩා බරපතලය.
මෙම ගැටලුව සඳහා වහාම තිරසාර විසඳුම් ලබාදිය නොහැකි වුවහොත් නුදුරේදීම මෙරට පර්යන්තයේ රෝහල් පද්ධතිය වැසීගොස් එම ජනතාවට සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීම සඳහා විශාල ගැටලුවකට මුහුණ පෑමට සිදුවනු ඇත.
වෛද්‍යවරුන් පද්ධතියෙන් ඉවත්වීම පාලනය කරගැනීම පමණක් නොව මෙරට තුළ රැඳී සිටිමින් අඛණ්ඩව ජනතාවට සේවය සැපයීමට කැපවී සිටින බහුතරයක් වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීම සඳහා යම් වැඩසටහනක් දියත් කිරීමද මේ මොහොතේ අත්‍යවශ්‍යය. 2009 වර්ෂයේදී යුද්ධය අවසන් වීමෙන් පසුව එවකට පැවති රජය විසින් හඳුන්වා දෙනු ලැබූ එවන් වැඩසටහන් මෙරට සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ඉතා විශාල වශයෙන් ඉහළ නංවාලීමට ඉවහල් විය.
මේ තීරණාත්මක මොහොතේ දී, ඖෂධ අර්බුදය වැනි සෞඛ්‍ය සේවාව මුහුණ පා ඇති මූලික ගැටලු සඳහා විසඳුම් ලබා දීම, වෛද්‍යවරුන්ට විවිධ පාර්ශව වලින් සිදුවන අඩත්තේට්ටම් හා හිරිහැර නැවැත්වීම, වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, පශ්චාත් උපාධි අධ්‍යාපනය හා වෘත්තීය සංවර්ධනය සඳහා ඇති බාධා ඉවත් කිරීම ආදිය හරහා සිය වෘත්තීයේ යෙදීම සඳහා යහපත් පරිසරයක් නිර්මාණය කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දු සහ වැඩසටහන් රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය පාර්ශවයෙන් ක්‍රියාවට නැංවීම අතිශයින් වැදගත්ය. එවන් වැඩසටහනක් ඔස්සේ හැකිතරම් වෛද්‍යවරුන් පිරිසක් ශ්‍රී ලාංකාව තුල රඳවාගැනීම මෙරට සෞඛ්‍ය සේවාවේ අභ්‍යන්තර ස්ථායීතාවය සහ ගුණාත්මකභාවය ආරක්ෂා කර ගැනීම සඳහා මේ මොහොතේ අනිවාර්යය. එමඟින් වැසී යාමේ අවදානමකට ලක්ව ඇති මෙරට පර්යන්ත රෝහල් පද්ධතිය නැවත පණගන්වා සමස්ත සෞඛ්‍ය සේවාවම ස්ථාවර කිරීමට හැකි වනු ඇති බව අපගේ නිගමනයයි.
එබැවින් රාජ්‍ය සුබසාධන වැඩසටහනේ ප්‍රමුඛතම අංගය වන නිදහස් සෞඛ්‍ය සේවාවේ ස්ථාවරභාවය සහ ගුණාත්මකභාවය ස්ථාපිත කිරීම සඳහා රජය සහ වගකිවයුත්තන් මෙම කාලීන අවශ්‍යතාවය හඳුනාගනිමින් අවශ්‍ය වැඩපිළිවෙල වහාම ඉදිරිපත් කරනු ඇතැයි අපගේ බලාපොරොත්තුවයි.