වෛද්‍ය හිඟයෙන් මෘත ශරීරාගාරත් වැසෙන ලකුණු. මුස්ලිම් මරණ භූමදානය ට බාධා - වෛද්‍ය චමල් සංජීව
- අලුත් වෛද්‍යවරු පන්සීයක් රාජකාරි භාර නොගනී.
- ගෙවන වාට්ටු ඇති කිරීමට පෙර පවතින රෝහල් පද්ධතිය ශක්තිමත් කරන්න.
දිවයින පුරා වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරු සැලකිය යුතු ප්‍රමාණයක් දිගින් දිගටම රාජ්‍ය සේවය හැරයාම නිසා මේ වන විට මෙතෙක් සායනික විශේෂඥ වෛද්‍ය ක්ෂේත්රයේ (clinical) බලපාන ලද ගැටළු සායනික නොවන විශේෂඥ වෛද්‍ය සේවා (Non clinical) සඳහා ද ව්‍යාප්ත වෙමින් පවතින බව වෛද්‍ය හා සිවිල් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති චමල් සංජීව මහතා හෙළි කරයි.
දැනටමත් දිවයින පුරා රෝහල් රැසක සායනික විශේෂඥ වෛද්‍ය සේවා කටයුතු ඇනහිට ඇති බව පසුගියදා ජනමාධ්‍ය වාර්තා කළ අතර වෛද්‍යවරුන්ගේ හිගය බරපතල තත්ත්වයට පත්කරමින් මෙවර අලුතින් පත්වීම් ලබා ගැනීම සඳහා අපේක්ෂිත වෛද්‍යවරුන් අතරින් පන්සියයකට ආසන්න ප්‍රමාණයක් පත්වීම් භාර නොගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ තොරතුරු පසුගියදා අනාවරණය කළේය.
මේ වර්ෂය තුළ දී වෛද්‍යවරුන් දහසකට ආසන්න ප්‍රමාණයක් විශ්‍රාම ගැනීමත් සමඟ නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතිය පවත්වාගෙන මේ සමග බරපතළ අභියෝගයකට ලක් වන බව වෛද්‍ය කපන සංචි මහතා වැඩිදුරටත් පවසයි.
මින් වැඩිම පීඩනය ග්‍රාමීය රෝහල්, වතු රෝහල්, මාතෘ රෝහල්, පර්යන්ත රෝහල්වල බාහිර රෝගී අංශ වල වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන දුප්පත් අසරණ රෝගීන්ට බලපාන බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
දැනටමත් මොනරාගල වැනි රෝහල් රැසක ස්ථිර අධිකරණ වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරයෙකු නොමැතිවීම නිසා දිවයිනේ ප්‍රදේශ රැසක පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමේදී අහිංසක ජනතාවට එම මෘත ශරීරය වෙනත් රෝහල් වලට රැගෙන යාම නිසා විශාල මුදලක් දැරිමට සිදුව ඇත. වෛද්‍යවරුන්ගේ හා විශේෂඥ වෛද්‍යවරුන් හිගය නිසා වාර්ෂික ස්ථාන මාරු අපේක්ෂිත නිලධාරීන් ද දැඩි ලෙස අපහසුතාවයට පත්ව ඇත.
එසේම උතුරු නැගෙනහිර ඇතුළු උපදේශ කිහිපයකම අධිකරණ වෛද්‍ය ක්ෂේත්රය සේවය කරන වෛද්‍යවරුන්ද සේවය හැර යාම හෝ විශ්‍රාම යාම නිසා පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ප්‍රමාද වීම සිදුවන බව වාර්තා වන අතර මුස්ලිම් කලාපවල මෙම තත්වයේ ඇති වීමේ ප්‍රතිඵලයක් ලෙස මුස්ලිම් මරණ නියමිත ආගමික වතාවත් සඳහා භූමදානය කිරීමේ දී ගැටලු ඇතිවන බවද පෙනී ගොස් ඇත.
තම තමන්ගේ රෝහල්වල පවතින මෙම ගැටළු සම්බන්ධයෙන් බොහෝ රෝහල් අධ්‍යක්ෂකවරුන් සෞඛ්‍ය අමාත්‍යාංශයට කරුණු ඉදිරිපත් නොකිරීම බරපතළ තත්ත්වයක් බව වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
එසේම සෞඛ්‍ය අමාත්‍යාංශය වෛද්‍යවරුන් හා විශේෂඥ වෛද්‍යවරු අනුක්ත කිරීම් වල දී සමහර වෘත්තීය සමිතිවල අවශ්‍යතා අනුව තීන්දු තීරණ ගැනීමෙන් තත්ත්වය උග්‍ර තත්ත්වයට පත් වන බව ද ඔහු පෙන්වා දෙයි.
වෘත්තිකයන්ගෙන් අධික බදු මුදලක් අය කිරීමත් ශ්‍රී ලංකාව තුළ වූ ජීවන වියදම ඉහළ යාමත්, ඉදිරි වර්ෂ කිහිපයේදී රටේ ණය වාරික ප්‍රමාණය ඉහළ යාමත්, තම දරුවන්ගේ අධ්‍යාපනය හා සෞඛ්‍යය සුභසාධක පහසුකම් සම්බන්ධයෙන් මාර්ගගත සැලැස්මක් දර්ශනය නොවීමත් , මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය බිඳ වැටීමත් වැනි කරුණු රැසක් වෛද්‍යවරුන් රට හැර යාමට ඍජුව බලපා ඇති බව ඒ මහතා පෙන්වාදෙයි.
මෙවන් තත්ත්වයක් යටතේ දී පළමුවෙන්ම සිදු කළ යුතු වන්නේ නිදහස් සෞඛ්‍ය සේවය ශක්තිමත් කරමින් රෝහල්වල පවතින අඩුපාඩු සම්පූර්ණ කිරීම මිස මුදල් ලබාගැනීමේ අරමුණෙන් එක වරක් ගෙවන වාට්ටු හඳුන්වාදීම නොවන බව ද ඔහු කියයි. මූලික රෝහල්, ශික්ෂණ රෝහල්වල ගෙවන වාට්ටු ඇති කළ ද රජය රෝහල් ගැන මහජන විශ්වාසය බිඳ වැටීමත්, ඖෂධවල ගුණාත්මක භාවය බිඳවැටීමත්, ඖෂධ හිගයත් සමග ගෙවන වාට්ටු වලට පැමිණ මුදල් ගෙවා ආ හිස් අතින් ගියා යෑමට කැමැති වන්නේ කවුදැයි ඔහු ප්‍රශ්න කරයි.
නිදහස් සෞඛ්‍ය සේවාව බිඳ වැටී පවතින අවස්ථාවකදී ගෙවන වාට්ටු සංකල්පය හන්වාදීම හරහා රෝහල් පද්ධතිය තුළ ඇති නැති පරතරයක් ඇති කිරීමෙන් යම් අසහනකාරී තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවද ඒ තත්ත්වය මැඩපැවැත්වීම සඳහා නිදහස් සෞඛ්‍යය ශක්තිමත් කිරීමේ වගකීම රජය සතු වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
සෞඛ්‍ය පද්ධතිය තුලින් මුදල් පාදනය කළ හැකි නවෝත්පාදක ක්‍රම රැසක් පවතින බවත් නිදහස් සෞඛ්‍යයට හානියක් නොවන පරිදි ආදායම් ලබන තත්වයක් දක්වා රජයේ සෞඛ්‍ය සේවය පරිවර්තනය කිරීම පවතින හැකියාව මීට පෙර තමන් විසින් පෙන්වා දී ඇති බව ඒ මහතා සඳහන් කළ අතර අවාසනාවකට මෙන් නිසි මාර්ග සැලසුමකින් තොරව මුදල් අහේනියට විසඳුමක් ලෙස සෞඛ්‍ය පෞද්ගලීකරණය කිරීම කණගාටුදායක තත්වයක් දක්වා ගමන් කළ හැකි බව ඔහු පවසයි.
ඖෂධ හිගය හා වෛද්‍යවරුන්ගේ හිඟයට විසඳුම් සෙවීමට රජය සතු වැඩපිළිවෙළ මේ දක්වා ප්‍රකාශයට පත් කොට නොමැති බවත් මේ නිසා නිදහස් සෞඛ්‍ය සේවය ගැන ඇති විශ්වාසය බිඳ වැටීම සම්බන්ධයෙන් සියලු දේශපාලකයන් වගකිව යුතු බව ද ඔහු පවසයි.