ගෘහස්ථ කම්කරුවන් වැනි අවිධිමත් අංශයේ කම්කරුවන් ආරක්ෂා කරන නීති සකස් කරන ලෙස වසර ගණනාවක් තිස්සෙ රජයෙන්, කම්කරු දෙපාර්තමේන්තුවෙන් හා කම්කරු අමාත්‍යවරයාගෙන් ඉල්ලමින් සිටියත්, ඒවා පොරොන්දු එසේම තිබියදී බදුර්දීන්ගේ නිවසකදී හිෂාලනී ද, තවත් නිවෙසක රමණී ද, දැන් නෙත්තිකුමාරලා නිසා ආර් රාජ්කුමාර් ද ජීවිතයෙන් වන්දි ගෙවා ඇති බව ප්‍රොටෙක්ට් වෘත්තීය සමිතිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,
පසුගිය 11 වෙනිදා සුධර්මා නෙත්තිකුමාර නම් සුප්‍රසිද්ධ කාන්තාව විසින් තම නිවසේ සේවය කළ ගෘහ සේවිකාවක් තම රන් ආභරණ සොරකම් කර ඇති බවට වැලිකඩ පොලීසියට පැමිණිල්ලක් කර ඇත. මේ පිළිබඳව ක්‍රියාත්මක වූ පොලීසිය මෙම ගෘහ සේවිකාව අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් කරන අතර තුර 13 වනදා අසාධ්‍ය තත්ත්වයක් මත ජාතික රෝහලට ඇතුළත් කළ පසුව මිය ගොස් ඇත. 42 හැවිරිදි මෙම ගෘහ සේවිකාව බදුල්ල දෙමෝදර නාවලවත්තේ පදිංචි ආර් රාජ්කුමාර් නම් කාන්තාවක් බව මාධ්‍ය වාර්තා කරයි.
මෙම මරණය පිලිබඳව අපට ඇත්තේ සාධාරණ සැකයකි. මක් නිසාද යත් ගෘහස්ත කම්කරුවෙකු යම් චෝදනාවක් ලැබ පොලීසියකට ඉදිරිපත් කල පසු පොලීසියේ ක්‍රියාකලාපයන්හි තුච්ච බව සහ අමානුෂික බව පිලිබඳ අපට අත්දැකීම් ඇත. එවන් තත්ත්වයක් තුළ මෙම ගෘහ සේවිකාවගේ මරණය සම්බන්ධව අපට සැකයක් ඇති අතර සුධර්මා නෙත්තිකුමාරලාගේ බලපෑම් කිරීම් මේ සඳහා බලපෑ හැකි බවට ද සැකයක් ඇත. එවැනි බලපෑම් මෙම ගෘහ සේවිකාවට සිදු වූ අපරාධ ය සාධාරණීකරණය කිරීමටත්, පර්යේෂණ යට ගැසීමටත් හේතු වනු ඇත.
සමාජය තුළ සෑම කාලෙකම මෙන් මුල් බැස ඇති එකාකෘතික අදහසක් වන ගෘහ සේවකයන් යනු හාම්පුතාගේ වහල්කම් කරන්නට සිටින පිරිසක් බව පොලීසිය වැනි ආයතන තුළදී ප්‍රශ්න කරන අවස්තාවලදීද දැකිය හැකිය. නො එසේ නම් යම් තැනැත්තෙක් පැමිණිලි කළ පමණින් වරදක් කලේ යයි සිතන පුද්ගලයෙකුට අමානුශික ලෙස සැලකීමට හෝ වචන භාවිත කළ නොහැකිය. කෙසේ වුවද ප්‍රශ්න කිරීම් වලදී සිදු වූයේ කුමක්ද යන්න දන්නා අයගෙන් දැන් ජිවතුන් අතර සිටින්නේ පොලිසිය පමණක් විය හැකිය. එසේම නෙත්තිකුමාරලාද සිටියා විය හැකිය. නමුත් ගෘහ සේවිකාවට කුමක් වූයේද යන්න අපට ඇසීමට සිදු ඇත්තේ ද එම පොලිසියෙන් සහ නෙත්තිකුමාරලාගෙන්මය.
මෙතරම් ඛේදවාචකයක් තවත් තිබේද? ඇය යම් සොරකමක් කර ඇත්තේ නම් එයට නීතියෙන් පොඩි මිනිහාට ලැබෙන දඬුවම හිමි වනු නිසැකය. නමුත් ඒ වෙනුවෙන් ජීවිතය අහිමි විය නොහැකිය. මේ පිළිබඳව පොලීසිය සාධාරණ පරීක්ෂණයක් සිදු කළ යුතුය. වැරදිකරුවන්ට තරා තිරම නොබලා දඬුවම් දිය යුතුය. ඇයට යුක්තිය ඉටු විය යුතුය. ඒ වෙනුවෙන් අප සංගමයක් ලෙස අවධානයෙන් සිටින අතර කඩිනම් පරීක්ෂණ තුලින් තීන්දුවක් ලැබෙන තුරු අපි බලා සිටිමු!
IMF යෝජනා අනුව යමින් මේ වන විට කම්කරු නීති සංශෝධනයක් පිළිබඳව රට තුළ සාකච්ඡා වෙමින් පවතී. එහි දී පෞද්ගලික අංශයේ කම්කරුවන් නූතන වහල් ශ්‍රමයේ උච්චතම අවස්ථාවක් කරා ගෙන යාමට හාම්පුතුන්ට අවස්ථාව ලබා දෙන සැලසුම් සකස් කෙරෙන බව දක්නට ලැබේ. සැබවින්ම අපි ඉල්ලා සිටියේ එවන් කම්කරු නීති සංශෝධන නොවේ.
ගෘහස්ථ කම්කරුවන් වැනි අවිධිමත් අංශයේ කම්කරුවන් ආරක්ෂා කරන නීති සකස් කරන ලෙස අපි වසර ගණනාවක් තිස්සෙ රජයෙන්, කම්කරු දෙපාර්තමේන්තුවෙන් හා කම්කරු අමාත්‍යවරයාගෙන් ඉල්ලමින් සිටිමු. නමුත් ඔවුන් පොරොන්දු දුන්නා පමණි. ඒ පොරොන්දු එසේම තිබියදී බදුර්දීන්ගේ නිවසකදී හිෂාලනී ද, තවත් නිවෙසක රමණී ද, දැන් නෙත්තිකුමාරලා නිසා ආර් රාජ්කුමාර් ද ජීවිතයෙන් වන්දි ගෙවා ඇත. ගෘහස්ත කම්කරුවන් සඳහා අප කම්කරු අයිතිවාසිකම් නීති ගත කරන ලෙස ඉල්ලා සිටියේ මේ නිසාය. ශ්‍රී ලංකාව මරණ වලින් පාඩම් ඉගෙන ගන්නා රටක් නොවන බව අප දනිමු. නමුත් මේ සමාජය ශිෂ්ට සමාජයක් නම් මේ සෑම මරණයකටම සෑම මිනිහෙක්ම වග කිව යුතුය.
වතුකරයේ වසර 200ක් සමරද්දී ඒ වෙනුවෙන් විවිධ ප්රදර්ශනකාමි සංදර්ශන පවත්වද්දී ඒ වතුකරයේ සහ රටේ සමාජාර්ථික විෂමතා නිසා මෙලෙස මියැදෙන ජිවිත වල යථාර්තය ප්‍රදර්ශනය වන්නේද? එම නිසා මෙම මරණ යනු සමාජය නැවත වෙනස් කිරීමට, සමාජය ප්‍රශ්න කිරීමට, පීඩිත විධිමත් අවිධිමත් කම්කරුවන්ගේ අයිතීන් උදෙසා සටන් කිරීමට මිනිසුන්ගේ දෑස් පාදන මරණ වේ. එම නිසා අප මේ ඔඅමන වලින් පාඩම් ඉගෙන ගත යුතුමය. එම නිසා අප සංගමයක් ලෙස මෙම නරුමත්වයට එරෙහිව සටන් කරන්නෙමු.
මොවුන් සඳහා යුක්තිය වෙනුවෙන් පෙළ ගැසෙන්නෙමු. ගෘහස්ථ කම්කරුවන් කම්කරුවන්ය.
ගෘහස්ත කම්කරු අයිතිවාසිකම් නීතිගත කරනු! හිශාලනි, රමණි, රාජ්කුමර්ට යුක්තිය ඉටු කරනු!