හිතුමතේට අස් කරන්න හාම්පුතුන්ට නිදහස ඕනෑලු!- නීතිඥ ස්වස්තිකා අරුලිංගම්

හිතුමතේට අස් කරන්න හාම්පුතුන්ට නිදහස ඕනෑලු!- නීතිඥ ස්වස්තිකා අරුලිංගම්
ළමා ශ්‍රමය යළි ගේන්න, ප්‍රසූති නිවාඩුවට වැටුප් නොගෙවන්න, හිතුමතේට අස් කරන්න හාම්පුතුන්ට නිදහස ඕනෑලු! යන හිසින් කාර්මික හා වාණිජ සේවක සංගමයේ සභාපතිනි, නීතිඥ ස්වස්තිකා අරුලිංගම් පළ කළ අදහස් මෙසේ සටහන් කර ඇත.
 
"කම්කරු නීතිය ගැන කතා කරද්දී ඊට අදාල මූලික වටිනාකම් තියෙනවා. සියවස් ගණන් ඈත නෙවෙයි, දහඅටවැනි සියවසේ අග සහ දහනවවැනි සියවසේ මුල, කම්කරු නීති තිබුණේම නැහැ. හිමිකරුවන්ට හිතුමතේට සේවය පැහැරගන්න පුළුවන් සම්පූර්ණ නිදහස තිබුණා. අපි එහි දැක්කේ මොනවාද? අපි දැක්කා ළමා ශ්‍රමිකයන්. අපි දැක්කා ගැහැණුන් ගැබිණියන්ව සිටියදී පවා  සේවයේ යෙදෙනවා.අපි දැක්කා සේවකයන් දරුණු තත්වයන් යටතේ වැඩ කරනවා. හාම්පුතුන් පැය 24 පවා , ඒ කියන්නේ නොනවත්වාම සේවකන්ගෙන් වැඩ ගත්තා. අපි දැක්කා හාම්පුතුන්ට හරිහැටි පඩියක් නොගෙවා  වැඩ ගන්න හැකියාව ලැබිලා තිබුණා. මේක මහා අතීතක නෙවෙයි, අවුරුදු 200කට කලින් තිබුණු තත්වයක්. අවුරුදු සිය ගනණක් තිස්සේ සේවකයන් අරගල කරමින්, සටන් කළා. අපේ රටේ මේ කම්කරු නීති අද තියෙන්නේ ඒ සටන්වල ප්‍රතිඵලයක් ලෙස.
 
පැය අටක වැඩ මුරයක් ලැබීම, නියමිත කාලයට වඩා වැඩිපුර වැඩ ගන්නවා නම් අතිකාල ගෙවීම් කළ යුතු වීම,  කාන්තාවකට වැටුප් ලබමින් ප්‍රසූත නිවාඩු ලබන්න තියෙන හැකියාව, ළමයින් යෙදවීමට නොහැකි වීම, වැඩකරන ජනතාවට නිවාඩු දීම අනිවාර්ය බව ආදියඑක රැයින් ආ ජයග්‍රහණ නෙවෙයි. මේ අයිතීන් දශක ගණන්වල සටන්වලින් වෘත්තිය සමිති සහ වැඩකරන ජනතාව දිනූ අයිතීන්. දැන් පහුගිය කාලෙ ආපු අලුත් කම්කරු ඇමතිට ඕනෑ ලු ආයෝජකයන්ට හිතවත් කම්කරු නීති. ආයෝජකයන් කියනවාලු ලිහිල් කම්කරු නීති. මට ඕනෑ මේක සරලව තේරුම් කරන්න. මම කලින් කීවා වගේ කම්කරු නීති පැවතීම සඳහා අරමුණු කිහිපයක් තියෙනවා. කම්කරු නීති පවතින්නේම කම්කරුවන්ට ආරක්ෂාව සපයන්න. කාගෙන් ආරක්ෂාව සපයන්නද? හාම්පුතුන් විසින් සිදුකරන සූරාකෑමෙන් ආරක්ෂා කරන්නයි කම්කරු නීති ඕනෑ.හාම්පුතුන් තමයි සූරාකන්නේ. කම්කරු නීති තිබෙන්නේ කම්කරුවන්ට ආරක්ෂා කරන්න.
 
 සූරාකෑමේ යෙදෙන හාම්පුතුන්ගේ වුවමනාවට නීති ගේනවා නම්, ඒවා කම්කරු නීති නෙවෙයි. ඒවා ට හාම්පුත්න්ගේ නීති කියන්න පුළුවන්. සමාගම් නීති කියන්න පුළුවන්. හැබැයි ඒවා කම්කරු නීති නෙවෙයි. පහුගිය සති තුන හතරේ ඇමතිවරයා විසින් ලොකු විශාල සංදර්ශනයක් කළා අදහස් ලබාගැනීම් කියලා. දැන් එක් එක් ක්ෂේත්‍රවල හාම්පුතුන්ගේ සංවිධාන වගේම නීතිඥ සංගමය පවා  එකිනෙකට හරිම සමාන යෝජනා වලියක් හරිම පුදුම හිතෙන විදියට ඉදිරිපත් කරලා තියෙනවා, මේ අදහස් ලබාගැනීම්යැයි කියාගත් ක්‍රියාවලියට. ඔවුන් කියනවා හාම්පුතන්ට හිතුමතේට අස් කරන්න බලය ඕනෑලු. හාම්පුතුන්ට අයිතිය ඕනෑලු ඕනෑ හැටියට වැඩ කරන පැය ගණන තීන්දු කරන්නට. ඒ කියන්නේ ඔවුන්ට ඕනෑ  රාජ්‍ය මැදිහත්වීමක් නැතිව, කම්කරුවා පැය අටක් වැඩ කරනවාද, පැය 15ක් වැඩ කරනවාද කියා තීන්දු කරන්න බලය. කාන්තාවන්ට රාත්‍රිය් වැඩ කරන්න ‘සමාන අයිතිය‘ ඕනෑලු. හැබැයි සමාන අයිතියයැයි කීමේදී ඔවුන් නොකියා හංගන දේ තමයි කාන්තාවන්ට අවදානමක් වන, ලිංගික හිංසනය සහ අනෙකුත් පීඩාවන්ට ලක් නොවී ආරක්ෂා කාරීව සේවයේ යෙදෙන්නට තියෙන නීති ඉවත් කරන බව.
 
ඔවුන් කියනවා වැටුප් තීන්දු කරන නිදහස හාම්පුතුන්ට ඕනෑලු. ඔබ හාම්පුතුන් කියන දේ සලකා බැලුවොත්, මූලිකව ඔවුන් කියන්නේ මේකයි. අපට ඕනෑ ගැහැණුන්ව හූරගෙන කන්න බලය. අපට ඕනෑ මුදල් ගෙවන්නේ නැතිව ප්‍රසූති නිවාඩු ලබාදීමේ බලය. අපට බැහැ සමාජ ආරක්ෂක වගකීම්වල බර දරන්න. හාම්පුතුන්ට ඕනෑ හිතුමතේට වැඩ කරන පැය ගණන තීන්දු කරන්න. අපි අද එකතුවෙලා ඉන්නේ වැඩකරන ජනතාවගෙන් වගේම සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලන්නට, කල්පනා කරලා බලන්න, අර්බුද සමයන් පසුකරමින් වැඩ කරපු මිනිස්සුන්ට මේ කරන දේ ගැන. කොවිඩ් අර්බුදය, ආර්ථික අර්බුදය මැද වැඩ කරමින් රට පවත්වාගෙන ගිය වැඩකරන ජනතාව සතු අයිතීන් සූරා කන්නට ආණ්ඩුවට සහ හාම්පුතුන්ට ඉඩ දෙන්න එපා. වැඩකරන ජනතාව සූරාකෑමේ නිදහස හාම්පුතුන්ට දෙන්න එපා. 
 
 
ගොඩක් අතීතෙක නෙවෙයි, 1884 දී තමයි වහල් ක්‍රමය ලංකාවේ ඉවත් කළේ. මේ නීති සම්මත වෙන්නට ඉඩ හැරියොත්, අප මේ ඉඩ හරින්නේ වහල් ක්‍රමයට සමාන තත්වයන් ඇති කරන්නට. 2021 දී නවීන වහල් ක්‍රමවලට එරෙහි විශේෂ වාර්තාකරු මෙරටට ඇවිත් කීවා, මෙරට පවතින නීති ක්‍රියාත්මක නොකරන නිසා  වහල් ක්‍රමයට සමාන තත්වයන් දැනටමත් තියෙනවා. ඒ දැනට තියෙන නීති පවා හරිහැටි ක්‍රියාත්මක නොකරන නිසා. දැන් තියෙන නීති ක්‍රියාත්මක නොවන්නේ ඇයිදැයි හොයන්නේත් නැතිව, හාම්පුතුන්ට ඕනෑ වැඩකරන ජනතාවගේ තියෙන ආරක්ෂාවන් පවා ඉවත් කරලා, නැවත වහල් යුගයට යන්න. අපි හාම්පුතුන්ගේ අභිමතයට සමහර දේවල් ඉඩ හැරියාම වෙන දේ මා කියන්නම්. අවුරුදු ගණනක් තිස්සේ වෘත්තිය සමිති මෙරට අවම වැටුප 16,000 සිට අඩු තරමේ 26,000 දක්වා වැඩි කරන්නට සටන් කරනවා. හරි නම් මේ කාලයේ 40,000වත් වෙන්න ඕනෑ. එහෙත් දිගින් දිගටම හාම්පුතුන්ගේ බලපෑම නිසා ජාතික අවම වැටුප සතයකින්වත් වසර ගණනක් තිස්සේ වැඩි වුණේ නෑ.  වැටුප කුමක්ද කියා නිදහස් කිරීමේ බලය හාම්පුතුන්ට පැවරුවාම මේකයි සිද්ධ වෙන්නේ. 
 
 
ආණ්ඩුව ආයෝජකයන්ට සුභවාදී නීති ඕනෑ  ඇමතිවරයා දිගටම කියන නිසා, මම 2018 දී එළියට ආ හාවඩ් වාර්තාවක් උපුටා දක්වන්නම්. මෙම වාර්තාව පැහැදිලිව කියනවා අපේ කම්කරු නීති ආයෝජන සඳහා බාධාවක් නොවන බව. ඒ වගේම, තමන් ආචාරධාර්මිකව සේවාවන්හි යොදවන බව තමන්ව ප්‍රවර්නය කරන්නට කැමති ආයෝජකයන් ලංකාවට පැමිණීමේ වැඩි ඉඩක් තියෙනවා කම්කරු නීති ශක්තිමත් නම්. ආණ්ඩුව හාම්පුතුන්ගේ වුවමනාවට තමයි වහල් යුගයට රට ගෙනියන නීති ඇති කරන්නේ. මම මෙම සාකච්ඡාව අසා සිටින හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා ශක්තිමත් කම්කරු නීති වෙනුවෙන් සහ පවතින නීති ක්‍රියාත්මක කරවාගැනීම වෙනුවෙන් සටන් කරන සංවිධාන එක්ක හිටගන්න කියා. දුර්වල වහල් නීති ගෙනල්ලා, වහල් යුගයට ගෙනියන්න උත්සාහ කරද්දී මේ වෙලාවේ සටන් කරන වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එක්ක හිටගන්න කියා ආරාධනා කරනවා.
 
සටහන - නීතිඥ ස්වස්තිකා අරුලිංගම්