මෙවර අය-වැය ආණ්ඩුවට අභියෝගයක් - මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා

මෙවර අය-වැය ආණ්ඩුවට අභියෝගයක් - මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා

ඕනෑම රටක සාර්ථකත්වය එරටේ ආර්ථිකය මත රඳා පවතී. ආර්ථිකයේ ශක්තිමත් භාවය එරටේ දේශපාලන, සමාජ, සංස්කෘතික ස්ථාවරත්වය කෙරෙහි සෘජුවම බලපානු ලබයි. විසර්ජන පනත් කෙටුම්පත ලෙස හ¾දුන්වන ලේඛනයට යොදනු ලබන වඩාත්ම ජනප්‍රිය යෙදුම වන්නේ ‘අය-වැය’ යන්නයි. රජයේ ඉතාම වැදගත් ප්‍රතිපත්ති ප්‍රකාශනවලින් එකක් ලෙසද මෙය හැඳින්වේ. රටක අය-වැය යනු සාමාන්‍ය මුදල් කෙටුම්පතක් නොවේ.

රජයේ ආර්ථික ප්‍රතිපත්තියත්, පසුගිය වසරවලදී එහි ක්‍රියාකාරිත්වයත්, රජය අනුගමනය කීරීමට යෝජනා කරන නව ක්‍රියාමාර්ගත් රටටත් සත්‍ය වශයෙන්ම ලෝකයටත් ප්‍රකාශ කර සිටීමට මුදල් අමාත්‍යවරයා මෙම අවස්ථාව යොදා ගැනීම සම්ප්‍රදායක් වී ඇත. මෙරට ආර්ථිකය සහ මෙවර අය-වැය පිළිබඳව වයඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා සමඟ කළ සංලාපයකි.

2022 වර්ෂයේදී පුපුරා ගිය ආර්ථික අර්බුදයේ මූලාරම්භය සිදුවූයේ කෙසේද?

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය කාලයක් තිස්සේ යම් ආකාරයකින් වර්ධනය වෙමින් තිබුණා. 2019 අවුරුද්දේ බලයට පැමිණි රජය විසින් ගත්ත වැරදි තීන්දු තීරණ මෙයට බලපෑවා. දේශපාලන පොරොන්දුවකට අනුව අති විශාල බදු කපාහැරීමක් කළා.  එමඟින් මෙරට රාජ්‍ය ආදායම රුපියල් බිලියන හයසීයකින් අඩු වුණා. ඒකත් එක්ක තමයි ලංකාවේ ආර්ථික අර්බුදයක් නිර්මාණය වෙන්නේ. ලංකාවේ ආර්ථික අර්බුදයට ප්‍රධාන කරුණු දෙකක් බලපෑවා. එකක් තමයි අපේ ආදායම් වියදම් අතර පරතරයක් තියෙනවා. ඒ කියන්නේ අය-වැය පරතරයක් තියෙනවා. අනෙක් පැත්තෙන් අපේ ඩොලර් ආදායම සහ ඩොලර් වියදම අතරද පරතරයක් තිබෙනවා. මේ නිසා රුපියල් සහ ඩොලර් කියන දෙකම යම් අර්බුදයක තිබුණේ. ඒ අර්බුදය තුළ තමයි අපි තවදුරටත් රාජ්‍ය ආදායම අඩු කර ගෙන රට බංකොලොත් කියන තැනට තල්ලු වෙන්නේ. 2022 ආර්ථික අර්බුදයට පදනම නිර්මාණය වෙන්නේ ඒ විදිහට තමයි. ආදායම නැති වුණාම, ඩොලර් නැති වුණාම, ඒ නිසා රටට අවශ්‍ය දේවල් ගෙන්න ගන්න අපට බැරි වුණා. ඒ නිසා තමයි පෙට්රල් නැතුව, ගෑස් නැතුව විශාල පෝලිම් ඇතිවෙන්නේ.

ආර්ථික ක්ෂේත්‍රයේ අද මතු වී ඇති ප්‍රධාන ගැටලු මොනවාද?

වර්තමානය වෙනකොට ලංකාවේ ආර්ථික අර්බුදය යම් ආකාරයක සාමාන්‍ය තත්ත්වයකට පත්වුණා කියලා යම් කෙනකුට හිතෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි 2022දී අපි දැකපු තෙල් පෝලිම්, ගෑස් පෝලිම් අද නැතිකම. නමුත් මම පිළිගන්න දෙය තමයි, මේ ආර්ථික අර්බුදය නැතිවීමට වඩා ආර්ථික අර්බුදය යම් ආකාරයක පාලනය කිරීමක්, එහෙම නැත්නම් යටගැසීමක් තමයි අපි කරලා තියෙන්නේ. එකපැත්තකින් ජාත්‍යන්තර අරමුදලෙන් ණය ලබාගත්තා. ඊට පස්සේ ණය ගෙවීම් සියල්ල නවත්තලා තියෙනවා. ආනයන සීමාවන් පනවලා තියෙනවා. මේ විධියට ආර්ථිකය කෘත්‍රිමව හැසිරීම තුළ තමයි යම් ආකාරයක මේ ආර්ථිකයේ සරල බවක්, එහෙම නැත්නම් අර්බුදයෙන් තොර බවක් අපට දැනෙන්නේ. හැබැයි අදටත් මේ ගැටලුවට විසඳුමක් සොයාගන්න රජයට හැකි වෙලා නැහැ.

විදේශ විනිමය අර්බුදයට විසඳුම් මොනවාද?

විශාලම ආර්ථික අභියෝගය තමයි අපේ තියෙන ජංගම ගිණුමේ ශේෂය, එහෙම නැත්නම් අපි සරලව කිව්වොතින් මේ රටට ලැබෙන ඩොලර් ප්‍රමාණය සහ අපි ඩොලර් සඳහා කරන ඉල්ලුම අතර පරතරයක් පැවැතීම. ඒ නිසා අපිට සිදු වෙනවා අනිවාර්යයෙන්ම ඩොලර් ආදායම වැඩි කර ගන්න. ඩොලර් වියදමට වඩා ඩොලර් ආදායම අපි වැඩි කර ගන්න  ඕන. ඒ සඳහා අපිට ප්‍රධාන විකල්ප කීපයක් තියෙනවා. එකක් තමයි අපේ අපනයන කර්මාන්තය වැඩි කර ගන්නම වෙනවා. ඒක දිගුකාලීන ඉලක්කයක් වෙන්න පුළුවන්. නමුත් කෙටි කාලීනව අපිට පුළුවන් අපේ සංචාරක ආදායම, විදේශ ප්‍රේෂණ වැනි දේවල්වලට වැඩි අවධානයක් යොමු කරන්න. ලංකාවේ වැඩිපුරම ඩොලර් ලැබෙන්නේ අපනයනවලින්. ඊට අමතරව අපිට සංචාරක කර්මාන්තය සහ විදේශ ප්‍රේෂණවලින් සැලකිය යුතු මුදලක් ලැබෙනවා. තවදුරටත් රජයට අවශ්‍ය නම් පුළුවන් සෘජු විදේශීය ආයෝජනය කෙරෙහි අවධානය යොමු කරන්න. රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම එහෙම නැත්නම් රජයේ ආයෝජනය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ රජයේ අවධානයක් යොමුවෙලා තියෙනවා. මේ සියල්ලෙන්ම බලාපොරොත්තු වෙන්නේ සෘජු විදේශ ආයෝජන වැඩි කර ගැනීමක්.

ණය අර්බුදයට කුමක් කළ යුතුද?

රජයේ ආදායම සහ වියදම පියවා ගන්න රජයකට ණය ගන්න සිද්ධ වෙනවා. 2023 අවුරුද්දේ රාජ්‍ය ආදායම අපි ඇස්තමේන්තු කරා දළ වශයෙන් රුපියල් බිලියන 3,500ක් විතර. නමුත් ණය ගෙවීම් ඇතුළු රාජ්‍ය වියදම රුපියල් බිලියන 7,800ක විතර විශාල පරතරයක් තිබුණා. පහුගිය අය-වැයට අනුව අපි දළ වශයෙන් රුපියල් බිලියන 5000ක් විතර ණය ගැනීමේ අවශ්‍යතාවක් තිබුණා. මේ විදිහට දිගින් දිගටම ණය ගැනීම නිසා තමයි අපි විශාල ණය අර්බුදයකට පත් වෙලා තියෙන්නේ. අද දළ දේශීය නිෂ්පාදිතයෙ 130%කට වඩා වැඩි ප්‍රමාණයක් ණය වෙලා තියෙනවා. ඒ නිසා රජය අනිවාර්යයෙන්ම මේ ණය කළමනාකරණය කිරීම කෙරෙහි අවධානය යොමු කරන්නම  ඕන. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට දීල තියෙන ප්‍රධානම ඉලක්කයක් වන්නේ මේ රටේ තියෙන ණය ප්‍රතිව්‍යුහගත කරන්න. ඒක විවිධ ක්‍රමවලට කරන්න පුළුවන්. එක්කෝ ණය කපා හැරීමක් කරන්න පුළුවන්. ණය පොලිය අඩු කිරීමක් කරන්නත් පුළුවන්. ණය සඳහා තිබෙන කොන්දේසි වෙනස් කිරීමක් කරන්නත් පුළුවන්. ඒ කුමන ආකාරයකින් හෝ මේ ණය රටට දරන්න පුළුවන් තැනකට අඩු  කර ගැනීම තමයි අපිට දීලා තියෙන ප්‍රබලම ඉලක්කය.

අය-වැය පරතරය පියවා ගැනීමට කළ යුත්තේ කුමක්ද?

2023 අය-වැය කියන්නේ රටක් ඒ රටේ ඉතිහාසයේ බරපතළම අර්බුදයක් තුළ ඉදිරිපත් කරන අය-වැයක් බවට පත්වෙනවා. එක් පැත්තකින් මූල්‍ය අරමුදලේ අභිප්‍රාය ඉටු කරන්න ඕනේ. අනික් පැත්තෙන් ඉදිරි වර්ෂය ඡන්ද වර්ෂයක්. ඒ කියන්නේ දේශපාලන වර්ෂයක්. ඒ වර්ෂය තුළ රජයේ ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනීමට රජය උත්සාහ කරන්න වෙයි. මේ වෙනකොට යම් ආකාරයක දේශපාලන අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා. ආණ්ඩුව තුළ ඒ දේශපාලන අර්බුදය සමථකත්වයට පත්කර ගැනීම පිළිබඳ විශාල අභියෝගයක් තියෙනවා. ඉතිහාසයේ වැඩිම ආදායමක් ඉපැයිය යුතු අය-වැය බවට මේක පත් වෙනවා. ඒ නිසා වෙවර අය-වැයට ඉතාම අභියෝගාත්මකව මේ ආණ්ඩුවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.

ඉදිරි අය-වැය යෝජනාවලින් මෙරට ආර්ථික අර්බුදයට විසඳුම් සෙවිය හැකිද?

මෙවර අය-වැය යෝජනා තුළ රටට විසදුම් ලැබේද කියන කාරණය අපට තාම කියන්න කල් වැඩියි. රටට විසඳුම් ලැබෙන්න නම් මේ රටේ අර්බුදය රජය තේරුම් ගන්න  ඕනේ. තාම මේ රටේ අර්බුදය ගැන මේ රටේ පාලකයන්ට නිසි අවබෝධයක් නෑ. මේ අර්බුදය නිර්මාණය වුණේ කොතනද? ඒ අර්බුදයේ පදනම මොකක්ද? කියන එක පිළිබඳ නිසි ඇගයීමක් කරන්නේ නැතුව ඉදිරිපත් කරන අය-වැයක් තුළ ඒ අර්බුදයට විසඳුමක් හොයන්න හරි අමාරුයි. ඒ නිසා රජය ඉස්සෙල්ලාම කරන්න  ඕනේ මේ අර්බුදයේ දිග, පළල හොයලා බලන්න. අඩුම ගානේ ස්වාධීන කොමිසමක් පත් කරලා හෝ ඒ පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාගන්න  ඕනේ. මේ රටේ අපනයන වර්ධනය කර ගන්න යම් ආකාරයකට මැදිහත් වීමක් වෙන්න, සංචාරක කර්මාන්තය වැඩි කර ගන්න අලුත් යෝජනා ගේන්න, විදේශ ප්‍රේෂණ ආකර්ෂණය කර ගන්න යම් ආකාරයක අලුත් යෝජනා ගේන්න අපි අර්බුදයට පත් වෙච්ච තැන ඉඳලා අද වෙනකන් අපිට බැරිවෙලා තියෙනවා. ඒ කියන්නේ ඩොලර් ආදායම වැඩි කර ගැනීම පිළිබඳ නිසි අවධානයක්, අවබෝධයක් මේ රටට තාම නැහැ.

හැම අවස්ථාවක් තුළම ආර්ථික කළමනාකරණය ඉක්මවා ගියපු දේශපාලන මැදිහත් වීමක් තමයි මේ රජය මඟින් ඉස්මතුවෙලා තියෙන්නේ. තවදුරටත් මේ දූෂණ, වංචා, අක්‍රමිකතා පිරිච්ච පරිපාලනයක් අපේ රට තුළ තියෙන්නේ. ආර්ථික අර්බුදයක් තියෙන අවස්ථාවක පවා ඔවුන් තම පටු දේශපාලනික අරමුණු වෙනුවෙන් තමා පෙළගැහිලා තියෙන්නේ. ඒවගේ තැනක මොන අය-වැයක් ඉදිරිපත් කළත් ඒක අර්බුදයට විසඳුමක් වේවිද කියන කාරණයකට වඩා ඒක තුළ තවදුරටත් අර්බුදය වැඩි කරයිද කියන අවදානම තමයි මට පෞද්ගලිකව තියෙන්නේ.

ආර්ථික ප්‍රතිසංස්කරණ ජනතාවගේ අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමට සමත් විය යුතුය. නමුත් එසේ නොවී ඇති බැවින් ඒ සඳහා කළ යුත්තේ කුමක්ද?

මේ රටට දිගුකාලීන ආර්ථික විස¾දුමක් සෙවීමට නම් අනිවාර්යයෙන්ම ආර්ථිකයේ සමස්ත ක්‍රියාවලියම ප්‍රතිව්‍යුහගත කිරීමක්, ප්‍රතිසංස්කරණයක් කළ යුතුයි. එක පැත්තකින් රාජ්‍ය ආයතන අතිවිශාල ප්‍රමාණයක් පාඩු ලබන තැනකට පත්වෙලා තියෙන්නේ. එකම ව්‍යාපාරය තුළ පෞද්ගලික අංශය ලාභ ලැබීමත් රාජ්‍ය අංශය පාඩු ලැබීමත් තුළින් පෙන්නුම් කරන්නේ කළමනාකරණයේ ‍ෙදා්ෂයක්.

 ජීවිතයටවත් ගුවන් ගමනක් ගිහිල්ලා නැති අහිංසක ජනතාවගෙන් එකතු කරගන්නා බදුවලින් තමයි අද අපි ගුවන් සේවාව ඇතුළු සියලුම පාඩු ලබන රාජ්‍ය  ආයතන නඩත්තු කරන්නේ. මේවා පාඩු නොලබන තැනට ගේන්න නම් අනිවාර්යයෙන්ම යම් ආකාරයකට ප්‍රතිව්‍යුහගත කිරීමක් වෙන්න  ඕනේ. ඒක එක ශීර්ෂයක් කියලා කියන්න බෑ. ඒක සමස්තයටම අදාළ දෙයක්. සමහරවිට ඒක අධ්‍යාපනයට, සෞඛ්‍යට, රාජ්‍ය ආයතනිකව සහ දේශපාලනිකව වෙන්න පුළුවන්. සමස්තය ගැනම නැවත වතාවක් හිතලා මේ ප්‍රතිව්‍යුහගත කිරීම කරන්න ඕන. මෙතෙක් කල් කරගෙන ආපු සියලු ක්‍රියාවන් අසාර්ථකයි. අපි අවුරුදු 74කට පස්සේ බංකොලොත් රාජ්‍යයක් බවට පත්වෙන්නේ, අද ලෝකය ඉස්සරහපිට ඉතාම අසරණ තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ, මේ රටේ උගත්, බුද්ධිමත් ජනතාව රට අත්හැරලා වෙන රටවලට යන තැනකට පත්වෙලා තියෙන්නේ. මේ සිස්ටම් එක වැරැදි නිසයි. මේ අවස්ථාවේද මේ සිස්ටම් එක වෙනස් කිරීම සඳහා රාජ්‍ය මැදිහත් වීම ඉතාමත්ම වැදගත්.

මධ්‍යම පාන්තිකයන් මත පමණක් පටවන බදු ප්‍රතිපත්තිය පිළිගත හැකිය?

ලංකාවේ වැඩ කරන ජනතාව ලක්ෂ 81ක් ඉන්නවා. ලක්ෂ 81න් මේ 50,000-75,000ත් අතර ප්‍රමාණයක් නම් බදු ගෙවන්නේ ඒ පිළිබඳව විශාල අර්බුදයක් තියෙනවා. රජය අනිවාර්යයෙන්ම මේ ගැන විධිමත් පරීක්ෂණයක් කරලා බදු පදනම පුළුල් කරන්න  ඕනේ. මධ්‍යම පාන්තිකයන් විතරයි මේ බදුවලට යටත් වෙලා තියෙන්නේ. රාජ්‍ය සේවකයෝ පෞද්ගලික අංශයේ සේවකයෝ වැටුපෙන් යැපෙන අය. ඔවුන්ගේ තොරතුරු රජයට තියෙනවා. ඒ මත ඔවුන් බදු ගහන්නේ.

හැබැයි ඉහළ ආදායම් ලබන ගොඩක් අය මේ බදු දැලෙන් පිට ඉන්නේ. විශාල ව්‍යාපාරිකයෝ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් විශාල ධනවතුන් වෙන්න පුළුවන් ඒ සියලුම අය මේ බදු ජාලයෙන් මිදිලා ඉන්නේ. මේක සාධාරණීකරණය කරන්න නම් සියල්ල සාධාරණ බද්දට යටත් කරන්න  ඕනේ. ව්‍යාපාර මත බදු පනවනවට වඩා මේ ව්‍යාපාර සංවර්ධනය කරන්න අවශ්‍ය පදනම සකස් කරලා, ඒ ව්‍යාපාරවලින් ලබන අතිරේක ආදායම, ලාභය වැඩි කර ගැනීමත් සමඟ ඒවා මත අලුතෙන් බදු පනවනවා මිස මේ තියෙන ලාභයෙන්, මේ තියෙන ආදායම් මත බදු පැනවීම නොකළ යුතුයි. ව්‍යාපාර සංවර්ධනය වෙද්දී ඔවුන් අතිරේක ලාභ උපයද්දී අපට පුළුවන් බදු ආදායමක් ලබා ගන්න.

ඒ ගැන රජයේ අවධානය යොමු වෙන්න  ඕනේ. බදු පිළිබඳ මූලික මූලධර්ම ගණනාවක් තියෙනවා. අපි බද්දක් පනවන කොට බද්ද සාධාරණ වෙන්න  ඕන. බද්ද අනුක්‍රමණික වෙන්න ඕනෙ. බද්ද සරල වෙන්න  ඕනේ. මේ බදු මූලධර්ම පිළිබඳ රජයේ අවධානය යොමු වෙන්න  ඕනේ. මේ පනවලා තියෙන බදුවලට අනුව පේන්නේ රජයට බදු මූලධර්ම පිළිබඳවවත් කිසිදු අවබෝධයක් නැති බවයි. ඒ බදු මූලධර්ම මත බදු පනවනවා නම් මේ මධ්‍යම පාන්තිකයාට සිදු කරන අසාධාරණ බදු පීඩනය අඩු කරගන්නත් පුළුවන්, රාජ්‍ය ආදායම සැලකිය යුතු මට්ටමකින් වැඩි කර ගන්නත් පුළුවන්.

මෙවර අය-වැයෙන් කුමන යෝජනා ඉදිරිපත් කළත් එම යෝජනා ක්‍රියාත්මක කළ හැකි දේශපාලන ස්ථාවරත්වයක් ආණ්ඩුව සතුව තිබේද?

මේ අය-වැය තුළින් දේශපාලන ප්‍රතිරූපය නංවාගන්න පාර්ශ්ව ගණනාවක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒක විපක්ෂය වෙන්න පුළුවන් එහෙම නැත්නම් ආණ්ඩු පක්ෂයේම කොටසක් වෙන්න පුළුවන්. ඉදිරි අවුරුද්ද දේශපාලනික වර්ෂයක් නිසා මේ අය-වැය තුළ සිදුවන ජනතා පීඩනයන්ට එරෙහිව ගොඩනැඟෙන කණ්ඩායමක් ඉන්නවා. ඒක මේ ආණ්ඩුවේම අය. මේ ආණ්ඩුවේ ඇත්තටම අයිතිකාරයා කවුද කියලා සැක හිතෙන තරමටම මේ ගැටලුව බරපතළ වෙලා තියෙනවා. ඇත්තටම මේ ආණ්ඩුව අයිති රනිල් වික්‍රමසිංහටද එහෙම නැතිනම් මහින්ද රාජපක්ෂටද කියන ගැටලුවක් අපිට තියෙනවා.

ඒකට හේතුව තමයි මෑත කාලයේ කරපු ප්‍රකාශ දැක්කම අපිට පේන්නේ මෙවර අය-වැය සම්මත කර ගැනීම පවා මේ ආණ්ඩුවට අභියෝගයක් බව. ඔවුන් දිගින් දිගටම ප්‍රකාශ කරනවා මේ විධිහට බදු වැඩි කළොත්, රාජ්‍ය දේපළ පෞද්ගලීකරණය කළොත් මේ අය-වැයට විරුද්ධව ඡන්ද ප්‍රකාශ කරනවා කියලා.  ඒ තුළ අපි දකිනවා විශාල දේශපාලනික අස්ථාවරතාවක් රට තුළ නිර්මාණය වෙමින් පවතිනවා. ඒ නිසා දේශපාලන අස්ථාවරතාවට අනිවාර්යයෙන්ම විසඳුමක් දෙන්න ඕනේ. ඉදිරි කාලයේදී මේ දේශපාලන අස්ථාවරතාව තුළ නැවත වතාවක් ආර්ථික අර්බුදය සහ ආර්ථිකයේ යම් ආකාරයක පසුගාමිතාවක් රට තුළ නිර්මාණය වීමේ ඉඩකඩ වැඩියි.

(මව්බිම)