තැපැල් දෙපාර්තමේන්තුවේ පාලක සහ මෙහෙයුම් ගැටලුවට විසඳුම් ඉල්ලමින් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති සංකේත වැඩ වර්ජනයක් අරඹා ඇත. ඊයේ ඇරැඹි මේ වර්ජනය හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතය. තැපැල් හා විදුලි සන්දේශ සේවා සංගමයේ ප්‍රධාන සභාපති හා ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති සම්මේලනයේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර සමඟ සංලාපයක නිරත වූයේ තැපෑල ඇතුළු රාජ්‍යය සේවයේ වර්තමාන තත්ත්වය ගැන විමසීමටය. මේ ඔහු සමඟ කළ දීර්ඝ සංලාපයක සටහන්ය. ලංකාවේ තැපැල් සේවයේ ආරම්භය ගැන මුලින්ම කතා කළොත්?
යටත් විජිත යුගයේ තැපැල් සේවය ආරම්භ වූයේ දෙපාර්තමේන්තුවක් විදිහටය. වසර 217ක් පැරැණි තැපෑලේ මූලිකම අරමුණ වුණේ, ලාභ – පාඩු නොසලකා සේවා සැපයීමයි. මෑත කාලයක් වනතුරු තැපෑල ක්‍රියාත්මක වුණේ ඒ ආකාරයටයි. නඩත්තුව භාණ්ඩාගාරයෙන් ලැබෙන ප්‍රතිපාදන තුළින් සිදුවූ අතර තැපෑලෙන් ලැබෙන ආදායම් සියල්ල භාණ්ඩාගාරය සතු වුණා.
ඔබ කියන්නේ තැපැල් සේවය ලාභයක් ගැන සිතුවෙම නෑ කියන එකද?
නැහැ. සේවා සපයන ආයතනයක් විදිහට තැපැල් සේවය තුළින් ආදායම් එන ක්‍රම සහ නොමිලේ සැපයෙන සේවාවන් වෙන් කර තිබුණා. මහජන සේවයේදී ලාභය පරමාර්ථ කර නොගන්නත් තැපෑල භාණ්ඩාගාරයට බරක් නොවන ආකාරයට ආදායම් ලබාගත හැකි විකල්ප තිබුණා. එහිදී ප්‍රධාන ආදායම් මාර්ගයක් වුණේ, විදුලි සන්දේශ හා ගුවන්විදුලියයි. ඉන් ලැබෙන ආදායමෙන් සේවා සැපැයීම සිදු කළා. එහෙත් පසුකාලීනව තැපෑලට ලාභ ලැබුණු කොටස් දේශපාලන හේතු මත වෙන් කිරීමෙන් ඒ ආදායම් බිඳ වැටුණා.
ඒ පිළිබඳ විස්තර කළ හැකිද?
තැපැල් ඉතිරි කිරීම මුදල් ඇමැති ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා 1971දී තැපෑලෙන් වෙන් කර ජාතික ඉතිරි කිරීමේ බැංකුව නමින් වෙනම ආයතනයක් බවට පත් කළා. ගුවන්විදුලිය, සංස්ථාවක් විදිහට වෙනම ආයතනයක් කළා. විදුලි සන්දේශය, දෙපාර්තමේන්තුවක් විදිහට ස්ථාපිත කළා. දැන් තැපැල් දෙපාර්තමේන්තුව අතපය කපා දාපු කොරෙක් වගෙයි. බහුතරයක් රාජ්‍ය ආයතන සඳහා නොමිලේ සපයන සේවාවක් ලෙසයි අද තැපෑල තිබෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට වසරකට තුන් ලක්ෂ හැත්තෑ පන්දහසක් වටිනා තැපැල් සේවය නොමිලේ සපයනවා.
මන්ත්‍රිවරු 225 දෙනාටම මේ සේවාව නොමිලේ ලබාදෙනවා. සමහර මන්ත්‍රිවරු විසින් පාර්ලිමේන්තුවේ නීතිරීති අනුව පිහිටුවා ගෙන ඇති විවිධ පදනම් සඳහා මේ සේවාව අවභාවිත කරනවා. එය වර්තමාන තැපැල් සේවයට විශාල බරක්. පසුගිය වසරේ තැපැල් ගාස්තුව 300% කින් ඉහළ දැමුවද මන්ත්‍රි සේවාව නොමිලේ ලබාදීමේ වෙනසක් කළේ නෑ.
1994 බලයට පැමිණි පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව තැපෑල සංස්ථාවක් කිරීමට යෝජනා කළා නේද?
ඔව්. මංගල සමරවීර තැපැල් හා විදුලි සන්දේශ ඇමැතිව සිටියදී තැපෑල දෙපාර්තමේන්තුවක් ලෙස දියුණු කිරීමට අසීරු බව කියා සංස්ථාවක් බවට පත් කිරීමට යෝජනා කළා. හැබැයි තැපෑල දෙපාර්තමේන්තු ලෙස දියුණු කළ රටවල් තිබෙනවා. හැබැයි බහුතරයක් දියුණුවී ඇත්තේ සංස්ථා ලෙස හෝ පෞද්ගලික අංශය යටතේ. ලෝකයේ බොහෝ රටවල ‘තැපෑල’ ඉතා දියුණු මට්ටමක පවතිනවා. අසල්වැසි ඉන්දියාවේ තැපෑල දෙපාර්තමේන්තුවක්. යම් යම් අංශ පොද්ගලීකරණය කර තිබෙනවා. එරට තැපෑල සමඟ රක්ෂණය හා බැංකු අංශද ක්‍රියාත්මක වෙනවා. එය සාර්ථකයි.
මැලේසියාව වැනි රටක තැපෑල දියුණු මට්ටමක තිබෙනවා. එරට භාණ්ඩ ප්‍රවාහනයේ අධිකාරිය තියෙන්නේ තැපෑලටයි. වෙනත් කිසිදු ආයතනයකට භාණ්ඩ ප්‍රවාහනය කරන්න බෑ. 1994 ආණ්ඩුව කළ, ‘සංස්ථා’ යෝජනාව යටතේ හොඳ නීති රීති තිබුණා. එහෙත් එවැනි ස්වාධීනත්වය රාජ්‍ය ආයතනයකට ලැබුණත් අපේ රටේ පවතින දේශපාලන සංස්කෘතියට අනුව අදාළ ඇමැතිවරයාට හෝ පක්ෂයට වුවමනා විදිහට තීරණ ගන්න ගියොත් ආයතනය දියුණු කරන්න බෑ. වෙනම අවුලක් නිර්මාණය වෙනවා. ලංකා ගමනාගමන මණ්ඩලය ඊට කදිම උදාහරණයක්. අපේ රටේ සංස්ථා නීතිය යටතේ සංවර්ධනය කිරීමට උත්සාහ කළ බොහෝ රාජ්‍ය ආයතන දියුණු වුණේ නෑ. සමහර ආයතන වසා දැමීමට සිදුවුණා. සතොස වැනි කලක් සාර්ථකව ක්‍රියාත්මක වූ ආයතනයක් වැසී යන තත්ත්වයක තිබෙන්නේ.
තැපැල් දෙපාර්තමේන්තුව සංස්ථාවක් කිරීමට සේවකයන් විරුද්ධ වුණාද?
ඔව්. සේවකයන් විරෝධතා ව්‍යාපාරයක් ඇරැඹුවා. වෘත්තීය සමිති දෙකක් එකතුවෙලා අධිකරණය හමුවට ගියා. අධිකරණ තීන්දුව වුණේ, දෙපාර්තමේන්තුව සංස්ථාවක් කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර අනුමැතිය ලබාගත යුතු බවයි. එම නඩු තීන්දුවේ පැහැදිලිව ප්‍රකාශවී තිබුණේ, මැතිවරණ කටයුතුවලදී තැපැල් දෙපාර්තමේන්තුව විශාල කාර්ය භාරයක් ඉටු කරන තත්ත්වයක් තුළ සංස්ථාවක් කිරීමේදී හෝ පෞද්ගලීකරණය කිරීමේදී තැපෑලේ විනිවිදභාවය අහෝසි වීමට ඉඩදිය නොහැකි බවයි. දැනටත් තැපෑල රැකිලා තියෙන්නේ යටත් විජිත යුගයේ සකස් කළ ශක්තිමත් නීති දේශපාලනඥයන්ට වෙනස් කිරීමට නොහැකි නිසයි. කෙසේ නමුත් සමහර නීති නම් කාලයට නොගැළපෙන නිසා සංශෝධනය කළ යුතුයි. ඕනෑම දෙපාර්තමේන්තුවක් පෞද්ගලික ආයතනයක් සමඟ ගිවිසුම්ගත වන්නේ නම් නීතිපතිගේ නිර්දේශ ලබාගන්න ඕනෑ. තැපෑලට අදාළව ගත්තොත් තැපැල්පති තමන්ගේ අභිමතය පරිදි යම් පෞද්ගලික ආයතනයක් සමඟ ගිවිසුම්ගත වුණොත් නීතිපතිට ඊට විරුද්ධ විය හැකියි. ඒ කියන්නේ තැපැල්පතිවරයා නීතිපතිවරයාට යටත්වයි වැඩ කළ යුත්තේ. එවැනි නොගැළපෙන කාරණා වෙනස් විය යුතුයි.
රාජ්‍ය සේවයට අසීමිතව කරන බඳවා ගැනීම් තැපෑලටද බලපෑමක් වී තිබෙනවාද?
රාජ්‍ය සේවයේ සේවක සංඛ්‍යාව ලක්ෂ නවයේ සිට ලක්ෂ 14-15 දක්වා මේ වනවිට වැඩිවී තිබෙනවා. එසේ වැඩිවී තිබෙන්නේ දේශපාලනඥයන්ගේ පටු අවශ්‍යතා මතයි. ජනාධිපති ගෝඨාභයගේ ආණ්ඩුව සිය පක්ෂයට ආධාර කළ ලක්ෂයකට බහුකාර්ය ශේර්ණි පදනමින් රජයේ රැකියා ලබාදුන්නා. උපාධිධාරීන්ටද රජයේ රැකියා ලබාදෙනවා. අපි එයට විරුද්ධ නෑ. නමුත් බුද්ධිමය ශ්‍රමය නිවැරදිව ලබාදීමේ ක්‍රමවේදයක් සැකසීමකින් තොරව රැකියා ලබාදීමෙන් අදාළ උපාධිධාරීන්ටත්, පොදුවේ රට වැසියාටත් අසාධාරණයක් සිදුවෙනවා. ආණ්ඩුවක් අලුතෙන් පත්වූ වහාම කරන්නේ සිය ආධාරකරුවන්ගේ හා හිතවතුන්ගෙන් රාජ්‍ය ආයතන පුරවා දැමීමයි. මුල් යුගයේ මේ ආකාරයට රාජ්‍ය සේවයට බඳවා ගැනීම් කිරීමට ඉඩක් තිබුණේ නෑ. රාජ්‍ය ආයතනයකට අවශ්‍ය සේවක සංඛ්‍යාව කොපමණද යන්න භාණ්ඩාගාරයෙන් අනුමත කිරීමෙන් අනතුරුව කළමනාකරණ දෙපාර්තමේන්තුවෙන් සියල්ල ගණනය කරනවා. එහෙත් මේ සියලු දේ පසෙකට දමා කර ඇති ඇතැම් බඳවා ගැනීම් නිසා අද රාජ්‍ය සේවයම රටට බරක් වී තිබෙනවා. තැපැල් දෙපාර්තමේන්තුව තවදුරටත් රැකී ඇත්තේ එලෙස නීතියට පිටින් බඳවා ගැනීමට දේශපාලනඥයන්ට ඉඩ නොදුන් නිසයි. එහෙත් තැපැල් අමාත්‍යාංශයට බඳවා ගැනීම් කර තිබෙනවා. ආණ්ඩුවේ කටයුතු පහසුකර ගැනීම සඳහා හිතවාදියකු අමාත්‍යාංශ ලේකම්වරයකු හෝ ආයතන ප්‍රධානියකු ලෙස පත් කර ගනු ලබනවා.
රාජ්‍ය සේවය තරමටම අද පරිපාලන සේවයත් පිරිහිලා නේද?
1977න් පසු තමයි පරිපාලන සේවය බරපතළ ලෙස දේශපාලනීකරණය වුණේ. අතීතයේ සිටි පරිපාලන නිලධාරීන් බොහෝ විට ස්වාධීනව කටයුතු කළා. ඇතැම් අවස්ථාවල ඇමැතිවරයා ලබාදෙන වැරදි නියෝග පිළිපැදීම ඔවුන් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. එහෙත් අද ඇමැතිවරයාට අවශ්‍ය තීන්දු තමයි බොහෝ ලේකම්වරු ගන්නේ. අකුරට වැඩ කරන ලේකම්වරයකුට, නිලධාරියකුට අද විවිධ බාධක දුෂ්කරතාවලට මුහුණ දෙන්න වෙනවා. ස්ථාන මාරු ලැබෙනවා. උසස් වීම් අහිමි වෙනවා.
වර්තමානයේ අපිට ඇති අභියෝගයක් වූ පොදු දේපළ සම්බන්ධ ප්රශ්නය වුවත් තමන්ගේ වගකීම නිසි ලෙස ඉටු කළ හැකි ලෙස ස්ථානගත වී පැවැතියේ නම් මෙවැනි ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ජනාධිපතිවරයා කියන දේ තමන් යටතේ ඉන්න කැබිනට් අමාත්‍යවරයා කළ යුතු නම් එයම අමාත්‍යාංශ ලේකම්වරයා කළ යුතු නම් නීතියක් හෝ රීතියක් එහි නැහැ. ඔවුන් තමන්ගේ අභිමතයට කටයුතු කරන්නේ නම් ඒ තුළම රටේ සාමාන්‍ය නීතිය කැඩෙනවා. එවැනි අවස්ථාවක සාධාරණයක් කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැකියි. රාජ්‍ය නිලධාරීන් තමන්ගේ උගත්කමට අනුවයි අදාළ තනතුරුවලට යොමුවී ඇත්තේ. ඔවුන් වගකිව යුත්තේ මේ රටේ පුරවැසියාට නිසා නීතියට විරුද්ධව කටයුතු කරන ලෙස ඉහළ නිලධාරීන් හෝ දේශපාලකයින් විසින් බලපෑම් කරන විට ඍජුව කටයුතු කිරීමේ ශක්තියක් ඔවුන්ට තිබිය යුතුයි. පාර්ලිමේන්තුව විසින් රටේ නීති රීති සකස් කිරීම මෙන්ම මූල්‍ය පරිපාලනයේ සියල්ල තීරණය කිරීම සඳහා පුරවැසියා විසින් ඔවුන්ව පත් කර ඇත්තේ සිය නියෝජනයක් ලෙසින්. එහිදී යහපත් ලෙස ක්‍රියා නොකර අයුතු දෙයක් කරන්නේ නම් කිව යුත්තේ පුරවැසියාටයි. රටක පැවැතිය යුත්තේ නිලධාරීන්ට ගරුත්වයෙන් වැඩ කළ හැකි පසුබිමක්. එය පරිපාලනයේ සිට පහළම රාජ්‍ය සේවය දක්වා ආ යුතුයි.
මෙවර අය-වැය යෝජනා ගැන ඔබේ මතය කුමක්ද?
අය-වැයක් යනු ඉදිරි වසරේ රටක තිබිය යුතු ආර්ථික පුරෝකථනයක්. එනම්, වියදම් කිරීමත් ඊට සාපේක්ෂව ආදායම් ලබන්නේ කෙසේද යන්නත්. නමුත් වෙනත් රටවල් හා සැසඳීමේදී අපේ රටේ ඇත්තේ වියදම් කරන රටාව සකසා එම වියදම් සොයා ගන්නා ආකාරය පිළිබඳව ඇති විස්තරයක්.
මෙවර අය-වැය පිළිබඳව සාරාංශ කිරීමේදී එහි ආදායම් ඉපදවීමවත් වියදම් රටාවවත් සාපේක්ෂව රටට ගැළපෙන ලෙස දක්වා නැහැ. අඩංගුව ඇත්තේ ජාතික සම්පත් විකුණන්නේ කෙසේද, අවශ්‍යතාවන් සඳහා ණය ලබා ගන්නේ කෙසේද යන්න පමණයි.
අය-වැයේ මූල්‍ය වියදම් පැත්තෙහි වැඩිම බර ඇත්තේ වාර්ෂිකව රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම සඳහා දෙනු ලබන දීමනාව වන රුපියල් 10,000 සඳහායි. ප්‍රායෝගිකව වැඩ කරන පන්තියට කිසිසේත් එය නොගැළපුණත් රටට ලොකු චිත්‍රයක් යනවා මෙන්න රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකළා කියලා අපි රුපියල් 20,000ක වැටුප් වැඩි කිරීමක් ඉල්ලුවේ. අවසානයට වැටුප් වැඩි කිරීමක් සිදු වුණේ 2015දී. ඉන් පසු රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය සේවක කිසිවකුගේ වැටුප් වැඩි කිරීමක් කර නැහැ. රටේ පවතින ජීවන වියදමත් එක්ක ගැළපෙන විදිහට යම් යම් දීමනා ඒ ඒ කාලවලට ගෙවනවා.
එමෙන්ම රටේ ඉන්න පෞද්ගලික ව්‍යවසායකයන් රටේ වැඩි වෙන ජීවන වියදම් දර්ශකයත් එක්ක ඔවුන්ගේ භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යනවා. උදාහරණයක් විදිහට, බුලත්විට විකුණන කෙනාත් තමන්ගේ මිල ගණන් අනුව එහි මිල ඉහළ දානවා. නමුත් රාජ්‍ය සේවකයන්ට අය-වැයෙන් හැර වැටුප් වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. අපි ඉල්ලලා තියෙන්නේ අවම වැටුප් වැඩිවීමක්. 10,000ක් දීලා 12,000ක් ගන්නවා වගේ වැඩක් තියෙන්නේ. ජනවාරි සිට 3%කින් වැට් බද්ද වැඩි වෙනවා. රටේ තියෙන සියලුම සේවා හා භාණ්ඩ සඳහා අපි මේ වැට් බද්ද ගෙවනවා. එමෙන්ම රාජ්‍ය සේවකයන්ගෙන් උපයන විට ආදායම් බද්ද අය කරනවා, ලයිට් බිල 400%කින් වැඩිවෙලා. විශ්‍රාම වැටුපට සාපේක්ෂව තියෙන එක වැන්දඹු අනත් දරු දීමනා සඳහා අය කිරීම වුණේ 6% සහ 7%ක්. එය ඍජුවම 8% දක්වා වැඩිවීම නිසා රුපියල් 500 සිට 3000ක් දක්වා රාජ්‍ය සේවකයන්ගේ එම අය කිරීම් ඉහළ ගිහින්.
ඔබ කියන්නේ මේ යෝජනා පල රහිත බවද?
අය-වැයකදී සියලුම රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ඊළඟ අවුරුද්දේ ආදායම් උපදවන්න මෙම ආයතන පෙළ ගස්සන්නෙ කොහොමද? මෙම ආයතනවලට තිබෙන ක්‍රමවේදයන් සංවර්ධනය කරන්නේ කොහොමද? ආදිය සඳහා ක්ෂේත්‍රගතව අය-වැයේදී ප්‍රතිපාදන වෙන් කර නියෝගයන් නිකුත් කරනු ලබනවා. උදාහරණයක් ලෙස, මම නියෝජනය කරන තැපැල් ක්ෂේත්රයේ ආදායම් කීයද? වියදම කීයද? ලාභයක් හෝ අලාභයක් තියෙනවද? එය ලබන අවුරුද්දේ කොයි කාර්තුවට යනවාද කියලා ආදී ලෙස ඉලක්කයක් තියෙනවා.
අය-වැයේදී දක්නට ඇත්තේ විකිණීම සම්බන්ධයෙන් දරන මතයක් පමණයි. අනෙක් ප්‍රධානම කරුණ නම් බොහෝ ක්ෂේත්රයන් පෞද්ගලීකරණයට ලක්කිරීමයි. අපේ රටේ අනාගත ඉරණම තීරණය වෙන්නේ රටේ පවතින අධ්‍යාපන ක්රමවේදයත් එක්ක. මෙම අය-වැයේදී ඇති කනගාටුදායකම කරුණ නම්, අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමයි. එනම්, එය පළාත් සභාවලට පැවැරීමේදී සිදු වන්නේ ක්‍රියාත්මක වීම පෞද්ගලික අංශ හරහා සිදුවන නිසා ඉන් වන්නේ සමස්ත අධ්‍යාපනයම පෞද්ගලීකරණය වීමයි. මෙම කාරණා සියල්ල ගත් විට මෙම අය-වැය රටේ ඉදිරි ගමනක් නොපෙන්වන අය-වැයක්.
| රේණුකා නිශාන්ති ධර්මප්‍රිය (මව්බිම)