හඬමින් සිටින කුඩා දරුවෙකුගෙන් ගුරුවරියක් විසින් ප්‍රශ්න විමසන වීඩියෝවක් මේවන විට සමාජ මාධ්‍ය තුළ පුළුල් ලෙස විවාදයකට තුඩු දී තිබේ. එම කෙටි වීඩියෝව පෙබරවාරි 27 දිනට ආසන්න දිනයක පටන් සමාජ මාධ්‍යවල හුවමාරු වූ අතර, වයස අවුරුදු හයක් පමණ වන පළමු පන්තියේ සිසුවෙකු යැයි අනුමාන කළ හැකි දරුවා හඬමින් සිටින අතර ගුරුවරිය දරුවාගෙන් විමසන ප්‍රශ්න වලට දරුවා හඬමින් පිළිතුරු දෙන ආකාරය එම වීඩියෝවේ දැක් වේ.
මුල් අවස්ථාවේදී දරුවාගේ සුරතල් බව සම්බන්ධයෙන් අදහස් සමග වීඩියෝව හුවමාරු වුවද එහි ඇති බරපතලභාවය සම්බන්ධයෙන් මේ වන විට අදහස් හුවමාරු වෙමින් පවතියි. එමෙන් ම බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයන් විසින් එම වීඩියෝව සමාජ මාධ්‍යට එක් කළ අයට සහ එය සිදුවීම වීඩියෝ කළ ගුරුවරියට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට අදහස් දක්වා තිබේ.
'විනය පරීක්ෂණයක් කරනවා'
ප්‍රශ්නගත සිදුවීම සම්බන්ධයෙන් අදාල පාසලේ ගුරුවරිය පිළිබඳ පරීක්ෂණයක් කරන්නේ ද යන්න පිළිබඳව බීබීසී සිංහල අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් කටයුතු අංශයෙන් විමසීමක් කළ අතර, එහි නිලධාරියෙකු පැවසුවේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව ය.
කෙසේ නමුත් අධ්‍යාපන අමාත්‍යංශයේ ජාතික පාසල් අංශයෙන් කළ විමසීමක දී එම අංශයෙන් ප්‍රකාශ කළේ එවැනි පරීක්ෂණයක් සම්බන්ධයෙන් සිය අංශය මෙතෙක් දැනුවත් කර නොමැති නිසා අදාළ පරීක්ෂණය පාසල අයත් පළාත් සභාව යටතේ සිදු කරනු ඇති බවයි.
'නීතිය ක්‍රියාත්මක කරන ආයතන දැනුවත් කළා'
මෙවැනි ක්‍රියාවක දී නීතිය ක්‍රියාත්මක කළ හැකි වන්නේ කෙසේද යන්න පිළිබඳ බීබීසී සිංහල ජාතික ළමා ආරක්ෂණ අධිකාරියෙන් විමසීමක් කළ අතර එහි මාධ්‍ය අංශයේ නිලධාරියෙකු ප්‍රකාශ කළේ සිය ආයතනය උක්ත සිදුවීම නිරීක්ෂණය කළ වහාම මේ පිළිබඳ නීතිය ක්‍රියාත්මක කළ යුතු ආයතන සියල්ල දැනුවත් කිරීමට පියවරගත් බවයි.
එම නිලධාරියා මෙම සිදුවීමේ ස්වභාවය වැඩිදුරටත් විස්තර කළේ මේ අයුරිණි.
"අපේ ආයතනය විසින් ළමා අපයෝජන ශාරීරික අපයෝජන, ලිංගික අපයෝජන, මානසික අපයෝජන සහ නොසලකාහැරීම කියන ප්‍රධාන වර්ග හතර යටතේ හඳුනාගන්නවා. මේ සිදුවීම නිරීක්ෂණය කළ විට ඒ ගුරුවරිය දරුවාව මානසික අපයෝජනයකට ලක් කරන බවක් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ වගේම ඒ සිදුවීම වීඩියෝගත කරලා සමාජ මාධ්‍යට මුදාහැරලා දරුවාට අනවශ්‍ය නිරාවරණයක් සිදුවෙලා තියෙනවා."
එහි දී අප එම නිලධාරියාගෙන් විමසුවේ මේ සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විසින් ගනු ලබන ක්‍රියාමාර්ගය කුමක් ද යන්නයි.
"ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ පනතට අනුව මේ සිදුවීමට අදාලව කටයුතු කරන්න අපට මුලින් පැමිණිල්ලක් ලැබිය යුතුයි. නමුත් මෙතෙක් අපට කවුරුවත් පැමිණිල්ලක් යොමු කරලා නෑ. එ නිසා තමයි අපි Law enforcement එහෙමත් නැතිනම් නීතිය ක්‍රියාත්මක කරවීමේ ක්‍රියාවලියේ කොටසක් විදිහට අදාල ආයතන දැනුවත් කරලා තියෙන්නේ."
මෙම නිලධාරියා පැවසුවේ දරුවන්ගේ ඡායාරූප හෝ වීඩියෝපට සමාජ මාධ්‍යට මුදාහැරීම ඉතා අවධානම් සහගත බවයි. "සමාජ මාධ්‍ය තුළ දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ හුවමාරු වෙලා සිදුවන නරක සිදුවීම් ගැන අපට වසරකට විශාල පැමිණිලි සංඛ්‍යාවක් ලැබෙනවා. දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ ඕනෑ තරම් වැරදි ආකාරයට පාවිච්චි කරන අවස්ථා තියෙනවා. එවැනි අවස්ථාවල අපි පුළුවන් තරම් උත්සහ කරනවා ඒ දේවල් සමාජ මාධ්‍යයෙන් ඉවත් කරන්න. CERT ආයතනය සමඟ සහයෝගයෙන් අපි ඒ වැඩේ කරනවා. නමුත් සමහර දේවල් අපට වුණත් ඉවත් කරන්න බැරි අවස්ථා තියෙනවා. ඒ නිසා දරුවන්ගේ භාරකාරයන් මේවා සම්බන්ධයෙන් හොඳින්ම සැලකිලිමත් විය යුතුයි."
විවාදයට තුඩු දී ඇති සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින නීතිය අනුව වසර පහක් දක්වා සිර දඬුවමක් හෝ අධිකරණය විසින් නියම කරන දඩයක් හෝ එම දඬුවම් දෙකම හෝ ලබා දීමට දණ්ඩ නීති සංග්‍රහයේ 286 වගන්තියට අනුව හැකි බව නිලධාරියා පෙන්වා දුන්නේ ය. නව ඔන්ලයින් පනත තවත් සංශෝධන මට්ටමේ පවතින නිසා මේ සඳහා එහි ප්‍රතිපාදන යොදාගත නොහැකි බව ද ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.
‘වර්ධනය වෙමින් සිටින අවධියක සිටින දරුවෙකුට සිදුවිය හැකි නරකම සිදුවීමක්’
මෙවැනි වීඩියෝවක් සමාජ මාධ්‍යට එක් වීම හා එය පුළුල් ලෙස හුවමාරු වීම දරුවාගේ මානසික යහපැවැත්මට සහ පෞරුෂ වර්ධනයට කුමනාකාරයේ බලපෑමක් එල්ල කරන්නේ ද යන්න පිළිබඳව ළමා උපදේශිකාවක් වන සුබෝධිනී දිසානායකගෙන් විමසීමක් කළ අතර ඇය ප්‍රකාශ කළේ වර්ධනය වෙමින් සිටින අවධියක දරුවෙකුට මෙය නරක බලපෑමක් ඇති කරන බවයි.
"මේ දරුවා සිටින්නේ ඔහුගේ මොළයේ වර්ධනයන් සිදුවෙමින් පවතින වයසක. මේ වීඩියෝ එක නිසාම මිනිස්සු එයාව හඳුනාගන්නවිට, වීඩියෝ එක නිසා ඔහුට විහිළු තහළු කරනවිට වගේම වීඩියෝ එකෙන් තමන්ගේ දුර්වලතාවයක් සමාජයේ අය අතරට ගියා කියන එක දරුවාගෙ මනසේ තැන්පත් වුණොත් එයාට දිගුකාලීන සමාජයට මුහුවීමේ බය වගේ තත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ තත්ත්වය මානසික රෝගයක් දක්වා වුණත් පරිවර්තනය වෙන්න පුළුවන්."
එනිසා මෙම දරුවාට ගොඩනැගීමට හොඳ සහයෝගයක් ඔහුගේ අවට සිටින අයගෙන් ලැබිය යුතු බව ඇය පෙන්වා දෙයි. "දරුවාගේ අවට ඉන්න කවයෙන් හොඳ සහයක් ලැබුණොත් හොඳ අභියෝග ජයගන්නා ශක්තිමත් පෞරුෂයක් හැටියට පරිවර්තනය වීමේ හැකියාවත් තිබෙනවා. "
"දෙමවුපියන් සහ ගුරුවරුන් දැනගත යුතුයි දරුවන්ව සමාජ මාධ්‍යවලට නිරාවරණය නොකර සිටීමට. මම සේවය කරන ආයතනයේ ප්‍රතිපත්තියක් විදිහට අපි වැඩ කරන ළමයින්ගේ ඡායාරූපයක්වත් ගන්නේ නෑ. ප්‍රධාන මාධ්‍යක වුවත් දරුවන්ව නිරාවරණය වෙන එක ගැන දෙමවුපියන් මීට වඩා හිතන්න ඕනෑ. වීඩියෝ ඡායාරූප අපි දැකලා තියෙනවා දරුවන්ගේ විවිධ තරග වගේ දේවල්වල දි. නමුත් මේවැනි අනවශ්‍ය ජනප්‍රිත්වය දරාගන්න බැරිවීම නිසා විවිධ දේවල්වලට ගොදුරුවුණු දරුවන්ගේ උදාහරණ ලෝකයේ වගේ ම ශ්‍රී ලංකාවේත් තියෙනවා. දැනට මේ සම්බන්ධ ජාතික ප්‍රතිපත්තියක් නැති වුණත් ඉදිරියේ දී හොඳ ශක්තිමත් ප්‍රතිපත්තියක් තිබුණොත් දරුවන්ගෙ අනන්‍යතා නිරාවරණය වීමෙන් සිදුවන බලපෑම් අඩු කරගන්න පුළුවන්," මනෝ උපදේශකවරිය අවසන් වශයෙන් ප්‍රකාශ කළා ය.
‘දරුවාගේ ආත්ම ශක්තියට බලපෑමක් විය හැකි සිදුවීමක්’
හඬන දරුවාගෙන් ප්‍රශ්න විමසන ආකාරය සහ එය වීඩියෝ ගත කර සමාජ මාධ්‍යට මුදාහරින සිදුවීම දක්වා සමස්ත සිදුවීමේ ප්‍රශ්න සහගත තැන් කිහිපයක් හඳුනාගත හැකි බව රාගම වෛද්‍ය පීඨයේ මනෝ වෛද්‍ය අධ්‍යනාංශයේ අංශාධිපති හා ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය මියුරු චන්ද්‍රදාස පෙන්වා දෙයි.
"දරුවෙක් සහ ගුරුවරියක් අතර තියෙන සම්බන්ධතාවය දරුවෙක් සහ දෙමවුපියන් අතර තියෙන සම්බන්ධතාවය වගේ ම ගෞරවණීය සම්බන්ධතාවයක්. දරුවන් ගුරුවරියකට මොනවා හරිදෙයක් කියන්නේම ඒක හරි වුනත් වැරදුණත් ඒක ආදරයෙන් පැහැදිලි කරයි කියලා. එහෙම දරුවා දෙන උත්තරයක් දරුවාගේ දෙමවුපියන්ගේ කැමැත්තකින් තොරව බාහිර පාර්ශවයක් දැනගන්නවා නම් ඒක ගුරුවරයා හා දරුවා අතර තියෙන සම්බන්ධයේ පුද්ගලිකත්වය බිඳ දැමීමක්. මේ දරුවා කුඩා නිසා මේ තත්ත්වය නොතේරෙන්න ඉඩ තිබුණත් ඔහුට වැඩිය අවුරුද්දක් දෙකක් වැඩිමල් දරුවෙක්ට මෙය සිදුවුණා නම් ඒ දරුවා නැවත ගුරුතුමිය ප්‍රශ්නයක් ඇහුවොත් හරි උත්තරය දීමේ පීඩනයට සහ උත්තරය වැරදුණොත් ලැජ්ජාවට පත් වෙන්න වෙයි කියලා එන සිතුවිල්ලේ පීඩනයට ලක් වෙනවා. "
"මෙහෙම වුණොත් දරුවාගේ සංජානාන කුසලතා වර්ධනය කරගන්න හිතසැහැල්ලුවෙන් උත්තරයක් දෙන්න දරුවා බය වෙනවා."
"මගේ දෙවනි ප්‍රශ්නය තමයි හඬමින් ඉන්න දරුවාව වීඩියෝ කරනවා වෙනුවට සහකම්පනය ඇතිකරගෙන දරුවාව සැනසුවාද කියන එක. දරුවෙක් හඬනවිට අපි මුලින්ම කරන්න ඕනෑ දරුවාව අස්වසලා සනසන එකයි. මොකද දෙමවුපියන් නොමැති පාසල් වෙලාවෙ දරුවාගේ ශාරීරික හා මානසික යහපැවැත්ම ගුරුවරියගේ වගකීමක්."
මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ මෙම වීඩියෝව බෙදාගැනීම සදාචාර සම්පන්න ක්‍රියාවක් ද නොවන බවයි. ඕනෑම දරුවෙකුගේ ඡායාරූපයක්, වීඩියෝ පටයක් හෝ දරුවා විසින් ලියන ලද දෙයක් ප්‍රසිද්ධ කිරීමට නම් ඒ සඳහා දෙමවුපියන්ගේ ලිඛිත අවසරය තිබිය යුතු බව ඔහු පෙන්වා දුන්නේ ය.
එහි දී අප විමසා සිටියේ මෙවැනි තත්වයක් දරුවාගේ පෞරුෂ සංවර්ධනයට බලපාන්නේ කෙසේද යන්නයි. එයට මහාචාර්යවරයා මෙලෙස පිළිතුරු ලබා දුන්නේ ය " මේ දරුවා ගොඩක්ම පොඩි දරුවෙක් නිසා මේ වෙලාවෙදි කෙටි කාලීන බලපෑම් ඇති වෙන්න පුළුවන්. වීඩියෝ එක දකින යාලුවො, අහල පහළ අය 'අපි ඔයාගෙ වීඩියෝ එක දැක්කා' කියලා උසුළු විසුළු කරන විට දරුවා ටික දවසක් වැඩි කතා නැතුව ඉන්න හෝ හියෙන් ඉන්න හෝ සන්තාපයෙන් ඉන්න පුළුවන්. ඉතාම කලාතුරකින් පාසල් යාම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. පාසල් යාම දරුවෙකුට අත්‍යාවශ්‍ය දෙයක් නිසා එය බරපතල තත්වයක් වෙන්න පුළුවන්."
"දරුවා ටිකක් ලොකුවෙලා වයස අවුරුදු දහයෙදී විතර කවුරු හරි එයාට මේක පෙන්වුවොත් එයාට වෛරයක් ඇතිවෙන්න පුළුවන් ඇයි ගුරුතුමිය මෙහෙම දෙයක් ප්‍රසිද්ධ කළේ කියලා. දරුවන්ට තියෙන්නේ ගොඩක්ම සංවේදී මනෝභාවයක් නම් ඒක දැකලා එයාගෙ ආත්ම විශ්වාසය අඩු වෙන්න පුළුවන්. මේ ළමයාගේ මුළු ජීවිත කාලයේම මේ වීඩියෝ එක අන්තර්ජාලයේ තියෙනවා. ඒක ඕන කාලෙක උඩ එන්න පුළුවන්," දරුවෙකුට මෙවගේ සිදු වීමක් නිසා ඇතිවිය හැකි දිගුකාලීන බලපෑම ද මහාචාර්ය මියුරු විස්තර කළේ ය.
"ඇමෙරිකාව වගේ අපි අහලා තියෙන සමහර රටවල්වල මිනිස්සු මේ වගේ සමච්චලයට ලක් වෙන වීඩියෝ නිකුත් වුණාට පස්සෙ තමන්ගේ පෙනුම සම්පූර්ණයෙන් ම වෙනස් කටගෙන, මේකප් දාලා, තමන් පදිංචි වෙලා හිටිය ස්ථාන පවා අතැරලා ගිය අවස්ථා වාර්තා වෙලා තියෙනවා.එනිසා පැහැදිලිවම මෙවැනි සිදුවීම් පුද්ගලයෙකුගේ දිගුකාලීන අත්මශක්තියට බලපාන්න පුළුවන්."
(bbc/Sinhala)