ඔබ, අප සියලු දෙනාගේ කෑම් බීම්, ඇඳුම් පැළඳුම්, නිවාස, ජීවන වියදම් ආදී ජන සමාජයක සියලු පැවතුම් අතරින් ගලා යන ප්‍රබලම අදිසි සාධක දෙකක් ලෙස විදුලිය සහ ඉන්ධන කර්මාන්තයන් සැලකිය හැක. මේවාගේ ඉරණම ඔබ අප සියලු දෙනාටම අයත්, මාතෘකාවක් වන්නේ ලංකාවේ විදුලිබල පද්ධතිය ලංකාවේ මිනිස්සුන්ගේ මුදලින් ලංකාවේම මිනිස්සු විදුලිබල සේවකයන් ලෙස එලූ පොදුජන සම්පතක් වන නිසා පමණක් නොවේ. විදුලියේ සුළු වෙනස්වීමක් පවා අනෙක් සියලු දේටම බලපාන නිසාය.
ආණ්ඩුව තවත් පණත් එපා කියන තැනට පත් වූ ජනතාවට තවත් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර තිබේ. මේ සියලු කතාන්දර, ඒ පනත් කෙටුම්පත ගැන කතා කළ යුතු නිසාය.
පෝර්ටො රිකෝ වික්කා!
ලංකාවේ බලශක්ති ක්ෂේත්රයේ දැවැන්ත ප්‍රශ්නයක් තිබෙන බව මුලින්ම කිව යුතුය. ගල් අඟුරු වංචා, නොරච්චෝලේ අකාර්යක්ෂමතා, හදිසි විදුලි මිලදී ගැනීම්, නව බලාගාරවල වංචනික ගිවිසුම් සහ කොමිස් නිසා අර්බුදය අපි දැක ඇත්තෙමු.
එම ප්රශ්නය තිබියදී වුව ලෝකයේ අප තත්ත්වයේ ඇති රටවල් බොහොමයකට වඩා ශ්‍රී ලංකාවට අභිමානවත් විදුලබල කර්මාන්තයක් තිබේ. ඒ නිසා, සාපේක්ෂව සම්පූර්ණයෙන් විනාශ වී නොමැති විදුලිබල ‘සේවාව’ ඉදිරියට පවත්වාගෙන යෑමය සැබෑ ප්රතිසංස්කරණයකින් විය යුත්තේය.
ඔබ නිකමට පෝර්ටෝ රිකෝ රටේ විකුණා දැමූ විදුලිබල පද්ධතිය ගැන අන්තර්ජාලයේ සොයා බැලුවොත්, එකම එක කුණාටුවකින් පසු රාජ්‍ය විදුලිබල පද්ධතිය සම්පූර්ණයෙන් බිඳ වැටුණු බවත්, එය යළි ගොඩනැඟීමට පෞද්ගලික අංශයට ‘අමාරුවක්’ නොතිබුණු නිසා දැන් ජනතාවට දැවැන්ත විදුලි අර්බුදයකට මුහුණ දෙන්නට සිදු වන බවත් දක්නට ලැබෙනු ඇත. ජනතාව වෙනුවෙන්, සේවාවක් ලෙස විදුලිය පවත්වාගෙන යෑම එකකි. ලාභ ලබන කර්මාන්තයක් ලෙස විදුලි සේවාව සම්පූර්ණයෙන් උඩුයටිකුරු කිරීම තවත් එකකි. දැන් කරන්නට යන්නේ දෙවැන්නයි.
පනතේ අරමුණු
විදුලිබල කර්මාන්තය ප්‍රතිසංස්කරණය කිරීම සහ ජාතික විදුලිබල උපදේශන සභාව නමින් අලුත් ආයතනයක් පිහිටුවීම මෙම පනතේ මුල්ම අරමුණු දෙක වේ. තෙවනුව මහජන උපයෝගිතා කොමිසමට මෙම පනත යටතේ අලුතින් බලතල අර්ථකථනය වේ.
විදුලිබලය උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම, වෙළෙඳාම් කිරීම, සැපයීම සහ ප්‍රසම්පාදනය කිරීම සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් සමාගම් ගණනාවක් අලුතින් පිහිටුවනු ලබයි. ඒ අනුව විදුලිබල මණ්ඩලය මස් වේ. වෙන වෙනම සමාගම් තොගයක් නිර්මාණය කරනු ඇත. ඒ හැම සමාගමක්ම විකුණා දැමීමෙන් පසු ඔවුන්ගේ අපේක්ෂාව ලාභ ඉපයීම වනු ඇත.
එම වාර්තාවේ සඳහන්ව තිබුණු විදුලිබල මණ්ඩලයේ සාරධර්ම වන්නේ ‘ගුණාත්මක බව, ජාතියට සේවා සැලසීම, කාර්යක්ෂමතාව සහ ඵලදායීත්වය, කැපවීම, වෘත්තිය නිපුණතාව හා තිරසාර බව’ වේ.
විදුලිබල මණ්ඩලයේ දැන් පවතින ආකෘතිය අනුව, ප්‍රධාන මණ්ඩලය යටතේ ජනන අංශය, සම්ප්‍රේෂණ අංශය, බෙදාහැරීම් අංශය, ව්‍යාපෘති අංශය, වත්කම් කළමනාකරණ අංශය, ආයතනික ක්‍රමෝපාය අංශය ආදී අංශ කිහිපයක් පවතී. ඊට අමතරව නීති අංශ, විගණන ඒකකය ආදී අතුරු කොටස් කිහිපයකින් විදුලිබල මණ්ඩලය සමන්විතය. ඊට අමතරව මහජන උපයෝගිතා කොමිසම ‘ස්වාධීන’ ආයතනයක් ලෙස විදුලි පාරිභෝගික අවශ්‍යතා වෙනුවෙන් පිහිටුවා ඇත.
මෙම අලුත් කෙටුම්පතේ, පූර්විකාවේ සඳහන් වන ප්‍රධාන වචන කිහපයක් පනතේ අරමුණ මනාව තහවුරු කරයි. අප කලින් සඳහන් කර ඇති, 1969 පනත අනුව සහ මෙතෙක් කාලයක් විදුලිබල මණ්ඩලයේ සහ රාජ්‍යයේ ප්‍රතිපත්තිය අනුව සේවාවක්ව පැවති විදුලිබල කර්මාන්තය අවසන් කරයි. ‘වෙළෙඳපොළ තරගකාරීත්වය නිර්මාණය කිරීම සඳහා
වගකිවයුතු ආයතන වන ස්වාධීන සංස්ථාමය අස්තිත්ව සංස්ථාගත කිරීමත්, රජයට හිමි තනි ඒකාධිකරය වෙනුවට විදුලිබල කර්මාන්තයේ කටයුතු වෙන් කර තැබීමක්’ පනතේ පූර්විකාවේ කෙළින්ම යෝජනා කර ඇත.
ඊට අමතරව විදුලිබල කර්මාන්තය සංක්‍රාන්තිය සහ ප්‍රතිසංවිධානය කරන බවත්, කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත කිරීම සහ රාජ්‍ය පෞද්ගලික අංශ හවුල් ව්‍යාපාර පිළිවෙත් හඳුන්වාදීමත් වැඩිදුරටත් පනත හරහා සිදු කර ඇත.
පුහු උපදේශන සභාව
ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක වන්නට නියමිත, ‘ජාතික විදුලිබල උපදේශක සභාව’ වේ. එය නාමයෙන්ම උපදේශක සභාවකි. ‘ජාතික ප්‍රතිපත්ති සම්පාදනය’ සඳහා එයට නාමිකව වගකීමක් පවරා ඇත. එහෙත්, එය සම්පූර්ණයෙන්ම ඇමැතිවරයා පත් කරන ආයතනයකි. දැනටමත් පුද්ගලික අංශයේ වුවමනාවන්ට විදුලිබල මණ්ඩලයේ ස්වාධීනත්වය කෙලෙසා, අතිශය දූෂිත ගනුදෙනු කර ඇති පසුබිමක මින් ඉදිරියේ සම්පූර්ණයෙන් පුද්ගලික අංශය සතු වීමෙන් විදුලිබල මණ්ඩලය කෙලෙස විනාශ කරනු ඇතිද? මෙහි අමුතුවෙන් ඒ ගැන ලියන්නට අවශ්‍ය නොවේ.
වෘත්තිය සමිති මහ පාරට
මෙම පනතේ අන්තර්ගතය සහ එයට එරෙහිව ගන්නා පියවර ගැන, ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රන්ජන් ජයලාල් මෙසේ පැවසීය.
‘පනත ප්‍රතිව්‍යුහගතකරණය කියන නමින් විකිණීමයි මේ සැලසුම් කරලා තියෙන්නේ. මේ පනත 24 වැනිදා පාර්ලිමේන්තුවේ සභාගත කරනවා. මැයි මාසය වෙනකොට සම්මත කරගත්තොත් 1969 අංක 17 දරන විදුලිබල පනත අහෝසි වෙනවා.
මේකට පෙර, 2021 දී ජුනි මාසයේ 10 වැනිදා 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත කියන එක සංශෝධනය කළා. එතැනදී හෙළි වුණ දේ අමතක කරන්න හොඳ නැහැ. විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති ෆර්ඩිනෑන්ඩු මහතා ප්‍රසිද්ධියේ කීවා, 2020 දී පැවති ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී කී කතාව. එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පිටට තට්ටු කරලා තමන්ට කීවාලු, ෆර්ඩි මට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි බලපෑම් කරනවා අදානිට මේක දෙන්න ඕනෑ කියලා. මාධ්‍ය මේ කතාව ලොකුවට අරගෙන ගියේ නෑ. පසුව ඔහුව සභාපතිකමින් අයින් කළා. පසුව ඔහු කීවා තමන්ට මානසික අසහනයක් තිබුණ නිසා ඒ නිසා මට එහෙම එකක් වුණාද, කියලා මතක නැති බව.
විදුලිබල මණ්ඩලයේ බෙදාහැරීම් කලාප 4කින් පවතිනවා. පනතේ කොහේවත් නෑ ඒවා දෙන්නේ කාටද, කොහොමද කියා. දැනට කරන්නේ වෙන් කිරීම පමණයි. එහෙත් පැහැදිළිව බෙදාහැරීම් අංශ හතරම කම්පැණිවලට දෙන්න යනවා. විදුලිබල මණ්ඩලයේ තාප විදුලි බලාගාර අදානිට දෙන්න යන බව පනතේ නොතිබුණත් අපි දන්නවා. පනතේ කියා තියෙනවා, ජල විදුලි පද්ධතිය රජය සතුව තියාගන්නවා කියන එක. ඒ බව පමණක් සඳහන් වීමෙන්, අනෙක් ඒවා සමාගම්ලට දෙන්න යන්නේ කියා පැහැදිලියි.
මේ පනත බලශක්ති ක්ෂේත්රයේ අය එක්ක සාකච්ඡා නොකළ පනතක්. ඉන්දියානු සම්භවයක් සහිත, ඒ ගති ලක්ෂණ සහිත පනතක්. ඉන්දියාවේ වුවමනාවට අදානි සහ ලෝකයේ රටවල් ගණනාවකට සූර්ය බලාගාර ලබා දෙන්න පාර කපන පනතක්. ලාභදායීම විදුලි ප්රභවය කැත විදියට එම ව්‍යාපාරිකයන් සතු කිරීමක් වෙන්නේ.
මෙයට එරෙහිව අපි පියවර ගණනාවක් ගන්නවා. මේ පනත පාර්ලිමේන්තුවට දානකොට 24 වැනිදා අපි පාර්ලිමේන්තුව ඉදිරිපිට විශාල උද්ඝෝෂණයක් කරනවා.
මේ පනතට එරෙහි වෙමින් විදුලිබල සේවකයන්ට එළියට එන්න බැරි විදියට ලොකු මර්දනයක් දියත් කරලා තියෙනවා. එහෙම කරලා කොහොමහරි සම්මත කරගන්නයි බලන්නේ. ඒ ගැනත් කියන්න ඕනෑ.’
අප සමඟ අදහස් දැක්වූ තාක්ෂණික විදුලි අධිකාරී සංගමයේ සම ලේකම් නන්දන උදයකුමාර මෙසේ කීය.
‘ඇත්තටම විදුලිබල පනත ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ මුලින් ඉදිරිපත් කරලා ආණ්ඩුව අකුළාගත්තා. ජනවාරි මාසයේ මුල විදුලිබල මණ්ඩලයේ සේවකයන්ගේ දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් තිබුණා. දැන්, දෙසැම්බර් 08 වැනිදා දාපු පනතයි, අප්‍රේල් 17 වැනිදා දාපු පනතයි අතර සංශෝධන කිහිපක් ඇවිල්ලා තියෙනවා.
බැලූ බැල්මට පෙර පනතට වඩා වෙනස්කම් ටිකක් තියෙනවා. එහෙත්, පනතේ මූලික සංකල්පය වෙනස් වෙලා නෑ.
කලින් එකට වඩා බරපතළ කාරණාවක් මෙහි තියෙනවා. කලින් තිබුණා, ජල විදුලි බලාගාර රජයේ තබාගන්නා බව. ඒ බව මේකේත් සඳහන්. හැබැයි, මේ පනතේ තියෙනවා විදුලිබල මණ්ඩලයේ ණයවල කොටසක් ජල විදුලි බලාගාරවලටත් බෙදලා දෙනවා කියා.
එහෙත්, විකුණන්නට නියමිත සමාගම්වලට ඒ විදියට ණය පවරන්නේ නැහැ. ශ්‍රී ලංකන් සමාගම විකුණන්නට වුවමනාවෙන් ඒකේ තිබුණ ණය සියල්ලම රජයට පවරාගත් බව අපි දන්නවා. ඒ අනුව පෞද්ගලික අංශයේ මිලට ගන්නා කෙනාට ණය ලැබෙන්නේ නෑ. මෙතැන සිද්ධ වෙන්නේ විකුණන කොටස්වලට ණය පවරන්නේ නැතිව, අනෙක් කොටස්වලට පමණක් ණය පැවරීම.
දැන් කවුරුහරි හිතාගෙන ඉන්නවා නම් අඩු තරමේ ජල විදුලිබලයවත් 2.50ට ගන්න පුළුවන් කියලා, ඒක කරන්න ලැබෙන්නේ නෑ. විදුලිබල මණ්ඩලයේ බිලියන 160ක පමණ ණය තියෙනවා. ඒකෙන් කොටසක් ජල විදුලි බලාගාර
විදුලිබල මණ්ඩලය දැන් තියෙන තත්ත්වයේ සිට වසර තුනක් යද්දී නව ආකෘතියට හුවමාරු කිරීමේ සැලැස්මක් ගැන කියා තියෙනවා. එහෙත්, ඒක හදන්නේ ප්‍රතිව්‍යුහගතකරණ කමිටුවෙන්. ඒකෙන් ඉදිරියේදී හදලා එළියට එන පනත අනුව අපි භාරගන්න ඕනෑ. පනත සම්මත වුණාට පස්සේයි ප්‍රතිව්‍යුහගතකරණ සැලැස්ම හදන්නේ. ඒක හදනතුරු අපි දෙන්නේත් නෑ. කුමනාකාර තක්සේරුවක් අනුවද ලබා දෙන්නේ ආදී සියල්ල ඒ කමිටුවෙන් තීන්දු කරන්නේ. ඒක හරි හෝ වැරදි වුණත් ජනතාව භාරගන්න ඕනෑ.’
මිල වැඩි වේවි
විදුලිය සේවයක් ලෙස සැලකූ කළ, එහි ප්‍රයෝජනය ඇත්තේ වාර්ෂික මූල්‍ය ප්රකාශනය තුළ නොවේ. විදුලිබල මණ්ඩලය වසර අවසානයේ රාජ්‍ය භාණ්ඩාගාරයට රුපියල් කීයක්
ගෙනාවාද? කියා සොයා බලා, ඒ ගෙනා මුදල වැඩි නම් විදුලිබල මණ්ඩලයට ජනතාවට හොඳ සේවයක් කරන බවකුත්, මුදල අඩු නම් ජනතාවට එතරම් සේවයක් ඉටු නොවූ බවකුත් කියන්නට බැරිය. විදුලිය සහන මිලට සැපයීම නිසා කර්මාන්ත ක්ෂේත්රයට ලැබෙන ලාභය අප දකින්නේ වාර්ෂිකව විදුලිබල මණ්ඩලයේ
ගිණුම්වලින් නොවේ. ලාභ ලැබීමේ අපේක්ෂාවකින් තොරව සහන මිලට විදුලිය ලබා දෙන විට ස්වයං රැකියාවක් හෝ වෙළෙඳපොළක් පවත්වාගෙන යන කෙනකුට ලැබෙන ලාභය ඒ මණ්ඩලයේ ගිණුම් වාර්තාවලින් අපට හමු වන්නේ නැත. ඒ ලාභයන් ජාතික ආර්ථිකය තුළ ප්රක්ෂේපණය වේ.
කෙසේ වෙතත්, එහෙත් ස්වාධීනව අධ්‍යයනය කළ කණ්ඩායම් හෙළිදරව් කළ කාරණයක් වන්නේ විදුලිබල මණ්ඩලය ඒ විදියට ගණනය කළත් පාඩු නැති බවය. මේ මණ්ඩලය දූෂණයෙන් තොරව පවත්වාගෙන යන්නේ නම් එක් පැත්තකින් පාඩුව අහවර වනු ඇත. පාඩුවට බලපෑ දෙවැනි සාධකය ඉන්ධනවල මිල ගණන් වෙනස් වීමය. අඩු මිල මූලාශ්‍රවලට ඉන්ධන නිෂ්පාදනය මාරු කරද්දී ඒ අභියෝගයටත් මුහුණදෙනු ඇත.
විදුලිබල මණ්ඩලයේ ඉතිහාසය, එහි ලේඛන පිරික්සද්දී පැහැදිලි වන්නේත්, අප සියලු දෙනාගේම සාමාන්‍ය දැනුම මත තේරුම්ගත යුත්තේත්, විදුලිබල මණ්ඩලය හරහා පාඩු සිදු වූ හැම අවස්ථාවකදී පාහේ එයට බාහිර පෞද්ගලික අංශය සම්බන්ධ වී ඇති බවය.
විදුලිබල මණ්ඩලයට පාඩු ගෙනා පුද්ගලික අංශයටම සම්පූර්ණයෙන් මණ්ඩලය විකුණා දැමීම කිසිසේත්ම දැනට තියෙන අවුල් විසඳීමක් නොවේ. අවුල විසඳන්නට නම්, මේ මණ්ඩලයේ ඉතිහාසයේ සිදු වූ මහා පරිමාණ හොරකම් වංචා ගැන දැවැන්ත යුක්තිය ඉටු කිරීමේ ක්රියාදාමයකින් පටන්ගත යුතුය.
මෙය විකිණීමේ ප්‍රතිපත්තිය ගැනත්, එයින් විදුලි මිලට සිදු වන බලපෑම ගැනත් ආර්ථික විශ්ලේෂක ධනූෂ පතිරණ අප සමඟ විස්තර කළේ විදුලිය පෞද්ගලිකකරණය මගින් වෙළෙඳපොළ සිතූ ආකාරයට ක්‍රියාත්මක නොවන බවයි. එළවළු හෝ වෙනත්
පාරිභෝගික භාණ්ඩයක් විකිණීමට වඩා බලශක්ති වෙළෙඳපොළ සංකීර්ණ වේ. සරල උදාහරණක් කීවොත්, මෙවැනි ක්ෂේත්රයක තරගකාරීත්වයක් හැදීමේ හැකියාවකුත් නැත.
නිකමට කල්පනා කර බලන්න, ඔබ ජීවත්වෙන ප්‍රදේශයට දැනටමත් ලෙකෝ හෝ විදුලිබල මණ්ඩලය යන දෙකෙන් එක් ආයතනයක් විසින් සේවාව සපයනවා විය හැක. ඔබට ලෙකෝ සමාගමේ මිල හෝ සැපයීම් ගැන තෘප්තියක් නැතැයි කියා වෙනත් සේවාදායකයෙක් ළඟට යෑමේ හැකියාව නැත. විදුලිය සපයන සමාගම් කොපමණ හැදුවත්, ඒ ඒ සැපයුම්කරුවන් අතර ඒ ඒ ප්‍රදේශවලට විදුලිය සැපයීමේ අයිතිය බෙදාගනු ඇත. එයින් පසු, ඔවුන් දෙන මිලට ඔවුන් දෙන ප්‍රමිතියෙන් සේවාව ලබන්නට සිදුවෙයි. වෙළෙඳපොළ තර්ක අහෝසි වෙයි. දැනටමත් ඔය බලශක්ති ක්ෂේත්‍ර පෞද්ගලික අංශය සතු පවතින ඇතැම් යුරෝපීය සහ ඇමෙරිකානු රටවල විශාල අධ්‍යයනයන් ප්‍රමාණයක් හරහා තහවුරු කර ඇත්තේ, පුද්ගලික අංශයේ සේවා සපයන්නන් එකඟතාවක් මත තමන්ට ඕනෑ හැටියට ගණන් උස්සන ආකාරයයි. ඔවුන් සියලු දෙනාම ගණන් උස්සද්දී,පාරිභෝගිකයාට හෝ රජයට කරන්නට දෙයක් ඉතිරි නොවේ.
ධනූෂ මහතා මෙසේ පැවසීය.
‘තෙල් සංස්ථාවේ ෂෙඩ් ටික දුන් අවස්ථාව ගනිමු. එයට වඩා මෙම අවස්ථාව වෙනස්. ඒ මොහොතේ යම්කිසි ෂෙඩ් ප්‍රමාණයක් ආණ්ඩුවට තිබුණා. මේක වැදගත් වෙන්නේ, තෙල් මිල තීරණය කරද්දී ආණ්ඩුවටත් බලපෑම් කිරීමේ හැකියාවක් ඉතිරි වෙනවා.
එහෙම තිබියදී වුව තෙල් මිල සාධාරණ නැහැනේ. රුපියල් 200කට පමණ තෙල් ලංකාවට එනවා. එහෙත් විකුණන මුදල ආසන්න වශයෙන් 400ක් පමණ වෙද්දී දෙගුණයක විතර පරතරයක් තියෙනවා.
තත්ත්වය මීටත් වඩා බරපතළ වෙන්න පුළුවන්, විදුලිබලය බෙදාහැරීම සම්පූර්ණයෙන් පෞද්ගලික අංශයට පැවරීම නිසා. මහජන උපයෝගිතා කොමිසම වගේ ආයතනයක් හරහාවත් එවැනි තත්ත්වයකට බලපෑම කළ නොහැකියි. පුද්ගලික අංශයට ඒකාධිකාරයක් හදලා දුන්නාම, මිල තීන්දු කිරීමේ සම්පූර්ණ බලය සම්පූර්ණයෙන් ඔවුන්ට යනවා. බැලූ බැල්මට ඔවුන් එකිනෙකා සමග තරග කරන බව හිතුණත්, ඇත්තටම එවැනි තරගකාරීත්වයක් ඇති වෙන්නේ නෑ. ඒ අනුව ඉදිරියේදී පාරිභෝගිකයන්ට නිෂ්පාදන වියදමට වඩා විශාල වශයෙන් ගෙවන්න සිදු වේවි.
විදුලිය පුද්ගලිකකරණය කළාට පස්සේ අනෙක් බලපෑම එන්නේ කර්මාන්තවලට. ඒවාට විදුලිය දෙන්නේ වියදමට වඩා අඩු මිලටයි. පරණ ගණන් හිලව් සමග කීවොත්, වියදම රුපියල් 35- 40ක් නම්, කර්මාන්තවලට දෙන්නේ රුපියල් 28ට, 40 ආදී මිල ගණන්වලට. හෝටල්, සේවාවන් ආදී ලෙස ඒ ඒ ක්ෂේත්රවලට විවිධ සහන මිල ගණන් තියෙනවා. එහෙම දීලාත් අපි දකින්නේ එම සමාගම් වියදම් වැඩියි කියලා ෆැක්ටරි ගලවාගෙන යන ප්‍රවණතාවක්. දැන්, විදුලිය පුද්ගලික අංශය සතු වුණාම, ඔවුන් රජය වාගේ සහන ලබා දෙන්නේ නැහැ. ඔවුන්ට ලාභය අවශ්‍යයි. ඒ අනුව, කර්මාන්තවලට විශාල බලපෑමක් සිදු වීමටත්, අපනයන ආදායම සම්පූර්ණයෙන් බිඳවැටීමටත් හේතු වෙනවා. එම අපනයන ආදායම් අඩු වුණොත්, විදේශ විනිමය තවත් අඩු වේවි.’
කෙසේ වෙතත්, ධනූෂ පතිරණ පෙන්වා දුන් වැදගත්ම කරුණ එන්නේ ඊළඟටය. ඉදිරියේදී, මෙතෙක් කල් හදිසි මිලදී ගැනීම් කියමින් කාලෙන් කාලෙට පමණක් පෞද්ගලික අංශයෙන් විදුලිය මිලට ගනිමින් සිදු වූ පාඩු සහ වංචා සදාකාලික වනු ඇත. මේ පනතේ 2 (ඇ) වගන්තියෙන් විදුලිබල තොග වෙළෙඳපොළක් පිහිටුවයි. එනම් නිෂ්පාදකයන් විදුලිබලය සම්ප්‍රේෂණ සහ බෙදාහැරීම් අංශ වෙත තොග වෙළෙඳාම් කිරීමට පහසුකම් සලසයි.
දැන්, තාප විදුලිය, සූර්ය විදුලිය, සුළං විදුලිය, ගල් අඟුරු, එල්එන්ජී ආදී විවිධ ප්‍රභවවලින් විදුලිය උපයන සැපයුම්කරුවන් තොග වශයෙන් විදුලිය විකුණන්නට පටන් ගනු ඇත. මේ එක් එක් ප්රභවය ගැන වැදගත්ම රහස කුමක්ද? ඒ එක් එක් ක්‍රමවලින් විදුලිය නිෂ්පාදනයට යන පිරිවැය එකිනෙකට වෙනස් වීමය.
දැන් අපූරුම තත්ත්වයක් උදා වේ. එකම භාණ්ඩය තොග වෙළෙඳපොළ ඉදිරියේ ඇත. එහෙත්, ඒවා හදන්නට යන වියදම විවිධ නිසා එකිනෙක සැපයුම්කරුවන්ට මෙය සපයන්නට සිදු වන්නේ විවිධ මිලටය.
ජල විදුලිය ලාභ වූ පමණින් ලංකාවේ සියලු විදුලි සැපයුම ජල විදුලියෙන් පමණක්ම සම්පූර්ණ කරන්නට බැරිය. මිල අධික ක්‍රම පවා පාවිච්චි කරන්නට සිද්ධ වෙන්නේ රටේ මිනිස්සුන්ට අවශ්‍ය වන සැපයුම අඩු නොවන නිසාය.
මේ තත්ත්වය පැහැදිලි කිරීමට ධනූෂ පතිරණ ආර්ථික විද්‍යාවේ ඇති ‘ඩිෆරන්ෂල් රෙන්ට්’ හෙවත් ‘අවකල කුලිය’ පිළිබඳ සංකල්පය ගෙන ආවේය.
‘කෘෂිකර්මයේදී ආහාර නිෂ්පාදනයට අදාළව ආ මෙම සංකල්පය අනුව, එකම බෝගයක් වුණත් එක් එක් ගොවියාට නිෂ්පාදනය කරන්න වෙන්නේ එක එක පිරිවැය අනුව. සරුසාර පසක් හෝ වගා කරන්නට පහසු ඉඩමක් තිබෙන කෙනකුට වඩා ඒවා නැති කෙනකුට යන වියදම වැඩියි. ඒත්, කුමන ක්‍රමයෙන් හෝ නිෂ්පාදනය කරන ආහාර, රටේ පොදු මිනිස්සුන්ට දෙන්න සිද්ධ වෙනවා. එතකොට, අර පිරිවැය වැඩිම කෙනාට ගිය වියදම අනුව තමයි මිල නියම කරන්නේ. නැත්නම් ඒ කෙනාට තමන්ගේ සේවා සැපයීම පාඩු නිසා නවත්වන්නට සිදු වෙනවා.
විදුලිය, විවිධ පිරිවැය මත විදුලිබල මණ්ඩලය විසින් නිෂ්පාදනය කරද්දී, ඒ අඩු වැඩි පිරිවැය මත සාමාන්‍යකරණය කරලා මිනිස්සුන්ට මධ්‍යස්ථ මිලකට දෙන්න පුළුවන්. දැන් එය එකිනෙකට වෙනස් සමාගම් සතු වූ පසු, එහෙම කරන්න බැහැ.
දැන් දැවි තෙල් නිෂ්පාදන වියදම අධිකයි. ඔවුන්ට යන වියදම බලලා, ඔවුන්ගේ ලාභයත් එකතු කරලා තමයි විදුලි (තොග) බිලක් නියම කරන්නට වෙන්නේ. එවිට සුළං හෝ සූර්ය බලය මත ඉතා අඩු පිරිවැයකින් විදුලිය නිෂ්පාදනය කරපු කෙනකුට ලොකු (අයුතු) ලාභයක් ලැබෙනවා. මේකට තමයි රෙන්ට් එක හෙවත් කුලිය කියලා කියන්නේ.
බලශක්ති වෙළෙඳපොළට තියෙනවා එවැනි වෙනම කතන්දර. සාමාන්‍ය වෙළෙඳපොළක් වැඩ කරනවා වගේ නෙවෙයි මෙය. මහා පරිමාණ සැපයුමක් අවශ්‍යයි. වෙළෙඳපොළට භාර දුන්නොත්, එය වැඩ කරන්නේ ප්රශස්ත ආකාරයට නෙවෙයි. එතැන වෙළෙඳපොළ අසමර්ථවීමක් වෙනවා. ඒ නිසා, මෙවැනි ක්ෂේත්රවල රජය පාර්ශ්වකරුවෙක් විය යුතුමයි.
දැවි තෙල්වල තොග මිල සියලු විදුලි නිෂ්පාදන මාදිලිවලට ආවා කියන්නේ පාරිභෝගිකයාගේ විදුලි බිල්පත දරාගන්න බැරි තරම් ඉහළ දානවා.’
විදුලිබල පනත රටේ ජනතාව කියවා බැලිය යුතුමය. ඒ ගැන රටේ ජනතාව මතය ඉදිරිපත් කළ යුතුමය. පුළුල්ව සාකච්ඡා කළ යුතුමය. නැති නම්, අපේ කිසිදු දැනුවත් වීමක් නොමැතිව අපේ ජීවිතයේ මූලිකම සේවාවක්, ව්‍යාපාරිකයන් කිහිප දෙනකුට ‘තරගකාරී ව්‍යාපාරයක්’ බවට හරවනු ඇත. ඔවුන් එම ක්ෂේත්රයේ සූදු කෙළිනු ඇත. විදුලි මිල දරාගන්නට නොහැකි වන ජනතාවට අඳුරේ ඉන්නට හෝ තමන්ගේ සබ්බසකලමනාව බලශක්තිය වෙනුවෙන් යට කරන්නට සිදු වනු ඇත. බලශක්තිය විසින් රටේ සමස්ත ආර්ථිකයත්, කර්මාන්ත ක්ෂේත්‍ර ඇතුළු සියල්ලත් බිහිසුණු ලෙස ගිලගෙන විනාශ කරනු ඇත.
| තරිඳු උඩුවරගෙදර (දිවයින)