වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණේ මැයි දින සැමරුම් ප්‍රකාශනය

වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණේ මැයි දින සැමරුම් ප්‍රකාශනය

ප්‍රජාතන්ත්‍රවාදී සිවිල් පාලනයක් සමග ජීවත් වීමට සරිලන වැටුපක් වෙනුවෙන් පෙනී සිටින වෘත්තීය සමිති ඒකාබද්ධ ප්‍රකාශනය

2024 මැයි දින සැමරුම පැවැත්වෙන්නේ දිගින් දිගට ආර්ථික අර්බුදය නිසා දැඩි පීඩනයකට පත්ව සිටින ජනතාවක් මෙන්ම වැඩපොළ මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා කම්කරු අයිතිවාසිකම් කප්පාදු කරමින් දැඩි මර්දන යාන්ත්‍රණයක් රටපුරා ක්‍රියාත්මක වන තත්ත්වයක් තුළය.

ආරක්‍ෂණ කම්කරු නීති 13 ක් අහෝසි කරමින් ගෙන ඒමට සැළසුම් කර ඇති ඒකීය කම්කරු පනත අප වෘත්තීය සමිති ඒකාබද්ධව දැක්වූ අඛණ්ඩ විරෝධය නිසා ප්‍රමාද කර ඇතත් එය තවමත් හකුළාගෙන නැත. සමාජ මාධ්‍ය විධිමත් කිරීමේ මුවාවෙන් එය පාලනය කිරීමට අවශ්‍ය අණපනත් සම්මත කරගෙන ඇති අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ මුවාවෙන් ත්‍රස්ත විරෝධී පනතක් ලෙස නම් කර මර්දන පනතක් සකස් කර ඇති අතර ඒ යටතේ ආණ්ඩුව විවේචනය කරන ඕනෑම සංවිධානයක් ත්‍රස්ත සංවිධානයක් ලෙස හංවඩු ගැසිය හැක.

ලෝකයේ වෙනත් කිසිදු රටක් නොකළ ආකාරයට දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා සේවකයින්ගේ විශ්‍රාම අරමුදල් වන ෑඡත්‍ සහ ෑඔත්‍ යොදාගෙන ඇති මෙම ආණ්ඩුව රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීමේ මුවාවෙන් ජනතා සේවාවන් සියල්ලම පාහේ ව්‍යාපාරිකයින්ට පැවරීමේ වැඩපිළිවෙළක් ද හෙමින් සීරුවේ ක්‍රියාත්මක කරමින් සිටී.

2022 වසරේ ආරම්භ වූ ආර්ථික අර්බුදය මේ වන විට පාලනය කර ඇතැයි ආණ්ඩුව වහසි බස් දෙසුවත්, අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල කිසිසේත් අඩුවී නැති අතර එනිසාම ලැබෙන වැටුප ජීවත්වීමට ප්‍රමාණවත් නොවන බව රහසක් නොවේ. සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසන ආකාරයට එක් පුද්ගලයකුට මූලික අවශ්‍යශතාවයන් සපුරා ගැනීම සඳහා රු. 17,400/= ක් අවශ්‍ය බව ප්‍රකාශ කර ඇති බැවින් ඒ අනුව හතරදෙනෙකු ඉන්නා පවුකලට අවම වශයෙන් රු. 69,600/= ක් අවශ්‍යව ඇත. එහෙත් තවමත් පෞද්ගලික අංශයේ සේවකයින්ගේ මාසික අවම ජාතික වැටුප රු. 12,500/= ක් වන අතර අයවැය සහන දීමනා මුදල වන රු. 3,500/= ද එකතු වූ විට එය රු. 16,000/= ක් වී ඇත. ඒ අතරතුර ජාතික අවම වැටුප රු. 21,000/= ක් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි ආණ්ඩුව පුරසාරම් දොඩන නමුත් සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන අනුව එය ජීවත්වීමට ප්‍රමාණවත් වැටුපක් නොවේ. අමාත්‍ය මණ්ඩලය තීරණය කළේ යැයි කියන මුදල පවා තවමත් නීතිගත කර නැති බැවින් තවමත් පවතින අවම ජාතික වැටප රු. 12,500/= ක් වේ.

කම්කරුවන් ප්‍රමුඛ පීඩිත ජනතාවට බලපාන මෙම තත්ත්වයන් ගැන ලෝකයට හඬගා කීමට ඇති ජාත්‍යන්තර කම්කරු දිනය වන මැයි දිනය මේ වන විට වෙනත් කිසිදු අවුරුද්දකට වඩා මෙවර දේශපාලන පක්‍ෂවල ශක්තිය විදහාපෑමේ අවස්ථාවක් කර ගනිමින් දේශපාලන පක්‍ෂ සියල්ලම පාහේ මැයි දින උත්සව සංවිධානය කරමින් සිටින බව පෙනී යන අතර මේ කිසිදු මැයි දින වේදිකාවක කම්කරු පංතිය ප්‍රමුඛ පීඩිත ජන කොටස්වලට බලපාන දැවෙන ප්‍රශ්න කිසිවක් සාකච්ඡාවේ යැයි විශ්වාස කළ නොහැක.

එම සන්දර්භය තුළ මැයි දිනයේ සැබෑ උරුමයන් රැකගනිමින් කම්කරුවන් ප්‍රමුඛ පීඩිත ජනකොටස්වලට බලපාන ප්‍රශ්න ඉස්මතු කරමින් මෙවර මැයි දිනය ස්වාධීන වෘත්තීය සමිති පහක් සමග එක්ව සැමරීමට කටයුතු යොදා ඇත. මෙම සියළු මර්දනකාරී තත්ත්වයන් නොතකාම මෙවර අප සංගමය මැයි දිනය සමරන්නේ මෑත යුගයේ දීර්ඝතම වැඩ වර්ජනය වන පුරා දින හැත්තෑ පහක වැඩ වර්ජනයක් කළ හසලක සුමිත්‍රා ගාමන්ට්ස් අප සාමාජික සාමාජිකාවන්ගේ වැඩ වර්ජනය සාර්ථක ලෙස අවසන් කිරීමට සමත්වීමේ ආඩම්බරයෙනි.

අප ඒකාබද්ධ මැයි දින පෙළපාලිය මැයි මස 01 වන දින කොල්ලුපිටිය මංසන්ධියෙන් පිටත්ව විහාරමහාදේවී එළිමහන් රංගපීඨයේදී ඒකාබද්ධ මැයි දින රැළිය පැවැත්වීමට කටයුතු යොදා ඇති බැවින් අප සංගම් ශාඛාවල ධජයන් ද රැගෙන අප සංගම් ශාඛාවල සියළුම සාමාජික සාමාජිකාවන් මෙවර අප සංගම් ධජය යටතේ සංගම් ශාඛා ධජ ලෙලදෙවමින් ගමන් කිරීමට පැමිණෙන ලෙස සංගමය ආරාධනා කර සිටිමු.

1. නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය

2. ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය

3. ලංකා වෘත්තීය සමිති සම්මේලනය

4. එක්සත් වතු කම්කරු සංගමය

5. ජාතික කම්කරු සංගමය

6. ශ්‍රී ලංකා නාවිකයින්ගේ ජාතික සංගමය

7. ලංකා වතු සේවක සංගමය

8. ලංකා කම්කරු සම්මේලනය

9. ලංකා වෙළඳ කාර්මික සහ පොදු සේවක සංගමය

10. ඒකාබද්ධ වැවිලි වෘත්තීය සමිති මධ්‍යස්ථානය

11. ස්වාධීන වරාය සේවක සංගමය

12. සමගි සේවක සංගමය - ස්වාධීන රූපවාහිනී සේවය

13. සමස්ත ලංකා පෞද්ගලික සමගි සේවක සංගමය

14. රක්ෂණ සේවක සංගමය

15. ලංකා වතු කාර්මික සේවක සංගමය