ඡන්දයට පෙර “ජාතික වැඩපිළිවෙල“ කතිකාවක් සඳහා ප්‍රසිද්ධ කරන්න - සිවිල් ක්‍රියාකාරින් පක්ෂවලින් ඉල්ලීමක් කරයි

ඡන්දයට පෙර “ජාතික වැඩපිළිවෙල“ කතිකාවක් සඳහා ප්‍රසිද්ධ කරන්න - සිවිල් ක්‍රියාකාරින් පක්ෂවලින් ඉල්ලීමක් කරයි

ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ වෙත - 2024 ජුනි 24

ශ්‍රී ලංකා පොදුජන පක්ෂය,

සමගි ජන බලවේගය,

ජ.වි.පෙ/ජාතික ජන බලවේගය,

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

එක්සත් ජාතික පක්ෂය

ද්‍රවිඩ ජාතික සන්ධානය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය

පක්ෂ හා සන්ධාන නායකත්ව වෙත.

 

පක්ෂයේ සමාජ-ආර්ථික ප්‍රතිසාධනීය ජාතික වැඩපිළිවෙල සමාජ කතිකාවක් සඳහා ප්‍රසිද්ධ කරන මෙන් ඉල්ලීම 

 පළමුව පැවැත්විය හැකි ජනාධිපතිවරණයට පසු පැවැත්විය හැකි පාර්ලිමේන්තු මැතිවරණයද අපේක්ෂාවෙන් ප්‍රධාන ධාරාවේ සියලු දේශපාලන පක්ෂ මැතිවරණ කටයුතු අරඹා තිබීම දැන් දකින්නට තිබෙන්නකි. කොතැනින් කෙසේ හෝ ඔවුන්ද හවුල්වූ මෙතෙක් පැවති ආණ්ඩු ගැන බරපතල විවේචන දැන් ඔවුන්ටද ඇත. ඒවායේ උත්ප්‍රාසය ඇත්තේ විපක්ෂයේ සියල්ලන් ඔවුන්ගේ පූර්ණ අවධානය “දූෂණය හා ආර්ථික අර්බුදයට” ලඝු කිරීමෙහි පමණක් නොව, ඔවුන්ගේ වගකීමක් ඒ කිසිවකට නැති අයුරු කතා කිරීමෙහිය. ජනාධිපති වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් වන ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කළ ගිවිසුම ගැනද ඔවුන්ට ඇත්තේ අපැහැදිලි වෙනස්කම් කිහිපයක් පමණි. ආණ්ඩුවේ සහ විපක්ෂයේ පොදු පිළිගැනුම වන්නේ ජා.මූ.අරමුදල මේ මොහොතේ එකම ගැලවුම්කාරයා වන බවය.

අකර්මන්‍ය වූ පටිපාටික ප්‍රජාතන්ත්‍රවාදයක “පුරවැසියන් පාරිභෝගිකයින්” බවට පත් කළ අවුරුදු 40 ට වැඩි මේ විවෘත වෙළඳපල ආර්ථිකය ඉතිරිකර ඇත්තේ සංකීර්ණ සමාජීය ඛේදවාචකයකි. පසුගිය දසකයෙහි පොලිස් දත්ත වාර්තා පිරික්සුවහොත් බිඳ වැටෙන රාජ්‍ය පාලනයක් සමග සියලු ආකාරයේ අපරාධ සීඝ්‍රයෙන් වැඩි වී ඇති බැව් ඔබට දැකිය හැකිය. මිනිස් ඝාතන වල සිට කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, ස්ත්‍රී දූෂණ, බාල වයස්කාර දැරිවියන් දූෂණය, ළමා ලිගික අපයෝජන හා ශාරීරික හිංසන නොකඩවා වැඩි වී ඇත. ඒ සමග 2023 වසරේ අවසන් නොවුනු නඩු සංඛ්‍යාව මිලියන 01.1 ක් වූ අතර, බන්ධනාගාර තද බදය සියයට 232 කින් උග්‍රව ඇත.

ආර්ථික අර්බුදයට අමතරව ඒවා වහා විසඳුම් ලැබිය යුතු බරපතල සමාජීය ගැටළු ය. ඒ සමග අධ්‍යාපනය, සෞඛ්‍ය, පෙදු මගී ප්‍රවාහනය සහ ග්‍රාමීය ජීවන තත්ත්වයන්ද දුර දිග යන ප්‍රතිසංවිධාන ඉල්ලා සිටින්නීය. කාලයක සිට හැම ආකාරයේම විවේචන අසා හෙම්බත්ව ඉන්නා හෙයින් තමන් හසුව ඉන්නා බරපතල ගැටළු සඳහා විසඳුම් ඉල්ලන ජනතාවට මේ දේශපාලන නායකයින් ඉදිරිපත් කරන විසඳුම් කවරේදැයි අපි නොදනිමු. දේශපාලන නායකයින් වශයෙන් ඔබට ආණ්ඩු පාලනය බාරදීම සඳහා ඔබගේ සුදුසුකම ඔප්පු කිරීමේදී ඔබ ජනතාවට ඔබගේ පක්ෂයේ සමාජ-ආර්ථික ප්‍රතිසාධනීය ජාතික වැඩපිළිවෙල ජනතාවට පැහැදිලි කර දීමේ වගකීම ඔබට ඇතැයි අපි අවධාරණය කරන්නෙමු. ජනතාව විසින් සාකච්ඡාවට ගත යුතු ඔබගේ පක්ෂයේ වැඩපිළිවෙල, නිසැක වශයෙන්ම සාම්ප්‍රදායික මැතිවරණ ප්‍රකාශනයක් නොවිය යුත්තකි. මැතිවරණයකට පෙර කල් තබාම සංවාදයකට තැබීමට අවශ්‍ය වන්නේ පූර්ණ ආවරණයක් සහිත වන සවිස්තරාත්මක “ජාතික ප්‍රතිසාධනීය වැඩපිළිවෙලකි”. එහි අනිවාර්යෙන් ඇතුළත් විය යුතු -

01. “ජාතික සංවර්ධනය” සම්බන්ධ ඔබගේ අර්ථකතනය කුමක්ද යන්න සහ දේශීය සමාජ සංවර්ධනය යනුවෙන් ඔබගේ පක්ෂය පැහැදිලි කරන්නේ කුමක්ද යන්නත්

02. දැන් ක්‍රියාත්මක වන ජා.මූ. අරමුදලේ වැඩසටහන සම්බන්ධ පැහැදිලි විවරණයක් ඉදිරිපත් කරමින් ඔබට ඒ සම්බන්ධ වෙනස්කම් ඇතොත් ඒ වෙනස්කම් නිශ්චිතව ජන වරමක් වෙනුවෙන් මැතිවරණයට ඉදිරිපත් කිරීමට සැකසුණු කෙටුම් පතත්

03. ස්වාධීන රාජ්‍ය ක්‍රියාකාරිත්වයක් තහවුරු කිරීමේදී ස්වාධීන කොමිසම් සම්පූර්ණයෙන් අසාර්ථකව ඇති බැව් ඔප්පුවන හෙයින්, රාජ්‍ය සමස්ථයක් ලෙස ස්වාධීන, කාර්යක්ෂම හා දූෂණයෙන් තොර ආයතන  ව්‍යුහයක් බවට පත් කිරීමේ ඔබ පක්ෂයේ සවිස්තරාත්මක යෝජනාවත්.

04. පොලිස් දෙපාර්තමේන්තුව සම්බන්ධකර ඇති සියලු ආරක්ෂක වගකීම් වලින් මුදවා එය නැවත සිවිල් දෙපාර්තමේන්තුවක් ලෙස සමාජයේ සිවිල් කාර්යන් සඳහා පවත්වා ගැනීම වෙනුවෙන් ඔබ පක්ෂය ඉදිරිපත් කරන්නාවූ ප්‍රතිසංස්කරණ හා ප්‍රතිසංවිධානත්  1

05. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 14.1(ඈ) වගන්තිය මගින් සහතික කර තිබියදී පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් මිලියන 02 ට ආසන්න සංඛ්‍යාවකට අහිමිකර ඇති මූලික අයිතිවාසිකම්ද සමග සක්‍රීය සහභාගී ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් ඔබගේ පක්ෂයේ යෝජනා සියල්ලත් 

06. අධ්‍යාපනය, සෞඛ්‍ය, පොදු මගී ප්‍රවාහන සේවා සහ ග්‍රාමීය කෘෂි ආර්ථිකය වෙනුවෙන් ඔබ පක්ෂය ඉදිරිපත් කරන්නා වූ අනාගතවාදී ප්‍රතිසංස්කරණත්

07. ස්ථාවර සිවිල් පාලනයක්, ඉඩම් ආරවුල්, සන්නද්ධ කල්ලි නිරායුද කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහාවන බලය බෙදීමක අවශ්‍යතාව අවධාරණය කෙරෙන උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ අවසන් වාර්තාවෙහි නිර්දේශ සම්බන්ධ ඔබ පක්ෂයෙහි නිල ස්ථාවරය කුමක්ද යන්නත්  නොසඟවා සඳහන් කළ යුතු යැයි අපි දැඩිව ඉල්ලා සිටිමු.

ඉහත කරුණු ඇතුළත් ඔබ පක්ෂයේ වැඩපිළිවෙල, පක්ෂයට අනුබද්ධ සියලු සංවිධානවල එකඟතාව හා අනුමැතිය ඇතිව මැතිවරණය ප්‍රකාශයට පත් කෙරෙන තෙක් නොසිට වහා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ යුතු යැයි අපි කියන්නෙමු. තම කේෂ්ත්‍රයන්ට හා ප්‍රජාවට එම වැඩපිළිවෙල කෙසේ බලපානු ඇතිදැයි සාකච්ඡාකර අදහස් හුවමාරු කර ගැනීමට සහ ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමට වෘත්තිකයින්ට, වෘත්තීය සමිති වලට, සිවිල් හා ප්‍රජා සංවිධාන වලට සැළකිය යුතු කාලයක් අවශ්‍ය වන හෙයින්ය.

කල් තියා ඔබට ස්තුතියි කරමින් අද 2024 ජුනි 24 වන දින සිට දෙසතියක් ඇතුළත ඔබ මෙයට සාධනීය වැදගත් ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි අපි බලාපොරොත්තු තබන්නෙමු.

ස්තුතියි.

මෙයට,

දේශපාලන විශ්ලේෂක හා විචාරක කුසල් පෙරේරා 

හුරීගම ජයසේන

ගෞරවලාභී මහාචාර්ය අජිත් අබේසේකර

ප්‍රතිපත්ති සැළසුම් හා ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (විශ්‍රාමික) චන්ද්‍රසේන මාලියද්ද

සමාජ ක්‍රියාධර අසංක සේනාධීර

ස්ත්‍රීවාදී ව්‍යාපෘති නිර්මාණ ශිල්පිනි ගයනී ගෝමස් 

සම්මානලාභී වේදිකා, ටෙලි නාට්‍ය හා සිනමා අධ්‍යක්ෂ පරාක්‍රම නිරිඇල්ල

නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමයේ සමලේකම් ඇන්ටන් මාකස්

“නිවුස් සෙන්ට” යූටියුබ් නාලිකාවේ ප්‍රධාන ප්‍රවෘත්ති සංස්කාරක මන්ජුල බස්නායක

රංග ශිල්පිනී ටිලානි මහමාලගේ 

නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමයේ සභාපතිනි ක්‍රිශාන්ති මංගලිකා

මානව හිමිකම් ක්‍රියාධර අධිනීතිඥ කේ. එස්. රත්නවේල්

ස්වාධීන සමාජ ක්‍රියාකාරිනී විශාකා තිලකරත්න

ගෞරවලාභී මහාචාර්ය කමල් බණ්ඩාර

මෙහි නම් සඳහන් වන්නේ අනුමැතිය ලැබුණු අනුපිළිවෙලට ය.