රෝහල්වල විකිරණ තාක්ෂණවේදීන් මාරු කිරීමෙන් ජනවාරියේ සේවාවන් අඩාල විය හැකියි - රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය

x-ray-machine-oparator-1

බස්නාහිර පළාත් සභාව ගත් තීරණයට අනුව පළාත් සභාවේ  රෝහල්වල විකිරණ තාක්ෂණවේදීන්ගේ ස්ථාන මාරු සිදු කිරීම හේතුවෙන් එළැඹෙන ජනවාරි මාසයේ සිට එම රෝහල් වල පැය 24 සේවාව අඩාල වීමට ඉඩ ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, බස්නාහිර පළාත් සභාවට අයත් රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය ආයතන 09 ක විකිරණ තාක්ෂණවේදීන්ගේ සේවාවන් සැපයීම සිදුවේ.  එම රෝහල්වල  CT ස්කෑන් පරීක්ශණ, සාමාන්‍ය X කිරණ පරීක්ෂණ, ශල්‍යාගාර විකිරණ පරීක්ෂණ සේවාව ආදී රෝග විනිශ්චය සේවාවන් සිදු කරනු ලබයි.

අනුමත නිලධාරී ප්‍රමාණයෙන් 60% පුරප්පාඩු ප්‍රමාණයක් පවතිද්දීත් එම සියලු රෝහල්වල මෙම නිලධාරීන් විසින් පැය 24 සේවාව ලබාදීම මේ වන විටත් සිදු කරගෙන යනු ලබන්නේ දැඩි අපහසුතා මධ්‍යයේය. මේ පිළිබඳව අදාළ සෞඛ්‍ය බලධාරීන් සියලු දෙනා දැනුවත් කර ඇති අතර රෝගීන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් කෙසේ හෝ එම සේවාව ලබාදෙන ලෙස සිදුකළ ඉල්ලීම මත මෙම සේවාවන් පවත්වාගෙන යාම අපගේ නිලධාරින් විසින් සිදු කරන ලදී.

මෙම අපහසුතා සියල්ල පිළිබඳව හොඳින් දැනුවත් වූ පළාත් සභාවේ බලධාරීන් රෝහල් සේවාවන් පත්වන අපහසුතාවය,  බිඳවැටීම නොසලකා ජනවාරි මස පළවෙනි දා සිට බහුතරයක් වූ නිලධාරීන් ප්‍රමාණය ස්ථාන මාරු කිරීමට තීරණය කර ඇති අතර ඊට අදාල නියෝගය මේ වන විටත් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය විසින් නිකුත් කොට ඇත.  මෙම ගැටලුව පිළිබඳව මාස 6 කට වැඩි කාලයක් තිස්සේ දැනුවත් කළ අතර එම කිසිදු කාරණාවක් පිළිබඳව අදාල බලධාරීන් අවධානය යොමුකොට නොමැත.

එසේම බස්නාහිර පළාත් සභාව තුළ ස්ථාන මාරුවීම් වලට ලක් වූ නිලධාරීන් පෞද්ගලිකව යොමු කළ අභියාචනා කිසිවක් පිළිබඳව සැලකිල්ලට නොගැනීම  පිළිබඳවද ගැටලු සහගතය.

ස්ථාන මාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට පෙර රෝහල්වල අනුමත නිලධාරී  සංඛ්‍යාව අනුයුක්ත කිරීම සහ අදාල නිලධාරීන්ට ලබාදිය යුතු අවම පහසුකම් ලබාදීම සිදු කළ යුතු වුවත් ඒ පිළිබඳව කිසිදු සැලකිල්ලක් අදාල බලධාරීන් සිදුකර නොමැත.

රෝහල්වල අවශ්‍යතාවය අනුව පැය 24 ඇමතුම් සේවාවේ නිරත වන මෙම නිලධාරීන්ට නිල නිවාස පහසුකම් ලබා දී නොමැති අතර මෙම නිලධාරින් රෝහලේ අවශ්‍යතාවයට අනුව ඔවුන්ගේ පදිංචිය අදාළ රෝහල් ආසන්නයට වනසේ මේ වන විට ස්ථානගත වී සිටින අතර සිදු කිරීමට නියමිත ස්ථාන මාරුව සිදු කලහොත් ඔවුන් තමන්ගේ නේවාසික ස්ථානයේ සිට ඉතා දුරබැහැරකට යොමු කරන අතරම පුද්ගලික ප්‍රවාහන සේවයක් සපයා ගැනීමේදී දැඩි අසීරුතාවයන්ට ලක්වනු ඇත. එවැනි තත්ත්වයක් යටතේ එම නිලධාරීන්ට තමන්ගේ සාමාන්‍ය රාජකාරිය ඉටු කරනවා හැර ඉන් පසුව තමන්ගේ අමතර රාජකාරි කාලය තුළ රෝහල්වල අවශ්‍යතාවයට අනුව ඇමතුම් සේවාව සැපයීම සිදුකළ නොහැකි වනු ඇත.

එසේ වුවහොත් අදාල රෝහල්වල සීටී පරීක්ෂණ සේවා , එක්ස් කිරණ පරීක්ෂණ සේවා, ශල්‍යාගාර විකිරණ පරීක්ෂණ සේවා බරපතල ආකාරයෙන් අඩාල වනු ඇත.

දීර්ඝ පැහැදිලි කිරීම් පිළිබඳව සලකා බැලීමකින් තොරව මෙයාකාරයෙන් ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීමට ගත් තීරණය අනුව රෝහල් සේවා අඩාල වීමේ වගකීම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරිය ඇතුළු බලධාරීන් බාරගත යුතු බව දන්වා සිටින අතර මේ පිළිබඳව බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරතුමා දැනුවත් කිරීමට අදාළ කටයුතු මේ වන විටත් සිදුකොට ඇත.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාර තුමන් විසින් රෝහල් සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය වටපිටාව සකස් කොට ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නතර කිරීමට පියවර ගන්නා ලෙස සංගමය විසින් ඉල්ලීමක් සිදු කොට ඇත.