ලංකා බැංකුවේ පාලනාධිකාරිය පිළිබඳ සමාජ මාධ්‍යවල සංසරණය වන වෛරී සහගත අසත්‍ය ප්‍රකාශනය පිළිබඳව ලංකා බැංකු සේවක සංගමය මාධ්‍ය නිවේදනයක් කරමින් කියා සිටින්නේ, මෙම අසත්‍ය හා වෛරී සහගත ප්‍රකාශන බැංකුවේ කීර්තිනාමයට දැඩි කැළලක් ඇති කරන බැවින්ද, එය සෘජුවම රටේ ආර්ථිකයට බලපෑමක් ඇති කරන බැවින්ද, මෙවැනි ප්‍රචාර ගෙන යන පුද්ගලයන් සොයාබලා ඔවුනට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසටයි.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරන්නේ, ලංකා බැංකුවේ පාලනාධිකාරිය පිළිබඳ වෛරී සහගත හා අසත්‍ය තොරතුරු රැසක් අන්තර්ගත වූ ප්‍රකාශනයක් මේ දිනවල සමාජ මාධ්‍ය කිහිපයක සැරිසරමින් පවතියි. (රාජ්‍ය ප්‍රතිපත්තියට අකුල් හෙළන ලංකා බැංකුවේ නිලධාරීන් ගැන විමර්ශන ආරම්භ වෙයි. - 2025-03-24 - lanka daily)
මෙයට පෙර එනම් 2025-01-30 වන දින ද lanka daily නමැති වෙබ් අඩවියම “ලංකා බැංකුවේ ඉහළ නිලධාරීන්ගේ වසුරු වැඩ ගැන විශේෂ විමර්ශනයක්” යන සිරස්තලය යටතේ ද මෙවැනිම මුළුමනින්ම අසත්‍ය හා ගොතන ලද ප්‍රබන්ධනයන්ගෙන් ගහන මාධ්‍ය වාර්තාවක් පළ කර තිබිණ.
මෙම ප්‍රකාශන තුළ අන්තර්ගත සියලු කරුණු ලංකා බැංකු සේවක සංගමය තරයේ ප්‍රතික්ෂේප කරන අතර, මෙය හුදෙක් එක්තරා දූෂිත කල්ලියක් විසින් ලංකා බැංකුවේ වත්මන් පාලනාධිකාරිය අපකීර්තියට පත්කිරීමේ අදහසින් කරන ලද්දක් බව පැහැදිලිය.
විශේෂයෙන් පසුගිය 2020 වසර ආරම්භයේ සිට 2023 වසර ආරම්භය දක්වා එවකට රට තුළ පැවති දූෂිත දේශපාලන පාලනයේ අනුග්‍රාහය සහිතව බැංකුව තුළ පෝෂණය වූ දූෂිත පිරිසකගේ අනීතික ක්‍රියාවන්වලට 2023 වසරේ ජනවාරි මාසයේ වත්මන් මහා කළමනාකරු රසල් ෆොන්සේකා මහතාගේ පත්වීමත් සමඟ ඉඩ ප්‍රස්ථාව ඇහිරිණි. ඒත් සමඟම ක්‍රියාත්මක වන එම දූෂිත කල්ලි විටින් විට බැංකුවේ වත්මන් පාලනාධිකාරිය අපහසුතාවයට පත්කිරීමේ නිෂ්ඵල උත්සාහයක නිරත වෙමින් සිටින බවට විශ්වාස කර සිටිමු.
එමෙන්ම, වත්මන් ආයතනික ශාඛාවේ පරිපාලනය පිළිබඳවද අසත්‍ය හා වෛරී සහගත ප්‍රකාශ නිකුත් කරන අතර, දූෂිත කල්ලිවල බලාපොරොත්තු ඉටු නොවීම ඔවුනට හිසරදයක් වී ඇති බව ඉහත ක්‍රියා මගින් පැහැදිලි වේ.
එමෙන්ම ඉහත මුළුමනින්ම අසත්‍ය කරුණුවලින් ගහන මාධ්‍ය නිවේදන හරහා බැංකුවේ වර්තමාන මහා කළමනාකරුට හා නිලධාරීන් කීප දෙනෙකු ඉලක්ක කරමින් ගොතන ලද මුළුමනින්ම අසත්‍ය කරුණු හේතුවෙන් රටේ දැවැන්තම හා ශක්තිමත්ම රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුවේ කීර්තිනාමයට බරපතල අගතියක් සිදුවී ඇත.
මෙම වාර්තා දෙකම ඒවා නිකුත් කළ පාර්ශවයට යොමු කර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් බවට සටහන් වී ඇති බැවින් එම නිවේදන හා සියලු තොරතුරු ජනාධිපති ලේකම්වරයාගේ අවධානයට ද යොමු කිරීමට කටයුතු කර ඇත.
එමෙන්ම මෙම ප්‍රකාශනය තුළ වෘත්තීය සමිති විරෝධතාවන් පිළිබඳව ඉස්මතු කර ඇති කාරනා ද පදනම් විරහිත මුළුමනින්ම අසත්‍ය බව ඉතා දැඩිව අවධාරණය කර සිටිමු.
මෙම අසත්‍ය හා වෛරී සහගත ප්‍රකාශන බැංකුවේ කීර්තිනාමයට දැඩි කැළලක් ඇති කරන බැවින්ද, එය සෘජුවම රටේ ආර්ථිකයට බලපෑමක් ඇති කරන බැවින්ද, මෙවැනි ප්‍රචාර ගෙන යන පුද්ගලයන් සොයාබලා ඔවුනට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ඉල්ලා අප සංගමය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටද බලාපොරොත්තු වන බව දන්වා සිටින අතර, ඉහත අසත්‍ය හා වෛරී සහගත ප්‍රකාශනවලට එරෙහිව ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව දන්වා සිටිමු.