ශ්‍රී ලංකා ජාතික රෝහලෙහි තොරතුරු ජාලගත කිරීමේ පද්ධතිය (PAC System) සති 2 ක සිට බිඳවැටිලා. CT, MRI පරීක්ෂණ සදහා දින ලබාදීම නවතා දමා ඇති බව පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මීට වසර කිහිපයකට ඉහතදී ශ්‍රී ලංකා ජාතික රෝහලේ තොරතුරු ජාලගත කිරීමේ පද්ධතියක් ස්ථාපනය කළ අතර එම පද්ධතිය ස්ථාපනය කිරීමෙන් අනතුරුව සිදු කරන විකිරණ පරීක්ෂණ, CT, MRI ඇතුළු රෝග විනිශ්චය සේවාවට අදාළ සියලු විකිරණ පරීක්ෂණයන්හි ඡායාරූප සහ තොරතුරු එම පද්ධතියට එකතු කිරීම සිදුකරන ලදී. මෙම පද්ධතිය ස්ථාපනය කිරීමට පෙර සිදු කරන විකිරණ පරීක්ෂණයන්හි ඡායාරූප විකිරණ ඡායාපටල මත මුද්‍රණය කොට ලබාදීම සිදුකරන ලදී. මෙම පද්ධතිය ස්ථාපනය කිරීම මගින් තොරතුරු ඩිජිටල්කරණයට ලක් කිරීම, ඡායා පටල සඳහා වැය වන ඉතා විශාල වියදම නවතා ගැනීම වැනි මූලික කරුණු අපේක්ෂා කළ අතර ලෝකයේ බොහෝමයක් රටවල් මෙම පද්ධතිය භාවිතා කිරීම මගින් රෝහල්වල කටයුතු කාර්යක්ෂම කර ගැනීම සිදුකර ඇත.
ජාත්‍යන්තර තත්ත්වය එසේ වුවත් මෙම පද්ධතිය නිර්මාණය කරන මුල් අවධියේ සිටම එම කටයුත්ත කිසිදු විනිවිදභාවයකින් තොරව පවත්වා ගැනීම වෘත්තික කණ්ඩායම් ලෙස අප නිතර ප්‍රශ්න කරන ලදී. මේ පිළිබඳව දැක්වූ විරෝධතාවයන් එවකට සිටිපාලකයන් කිසිදුු අයුරකින් පිලි නොගත් අතර තමන්ට අවශ්‍ය කණ්ඩායම් යොදවා ගනිමින් සුදුසුකම්ලත් අත්‍යවශ්‍ය වෘත්තික කණ්ඩායම් මගහැර පද්ධතිය ස්ථාපනය කිරීම සිදුකරන ලදී.
දැනට සති දෙකක කාලයක සිට මෙම පද්ධතිය සේවා සැපයීම සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති අතර එයට හේතුව වශයෙන් හෙළිවන්නේ අදාළ සමාගමට ගෙවිය යුතු මුදල් පැහැර හැරීම සහ තොරතුරු පද්ධතියේ ජාලයේ දත්ත ගබඩාව සම්පූර්ණයෙන් පිරී පැවතීමයි. ඉතා විශාල වියදමක් මූලිකව වය කොටසස හා වාර්ෂිකව නඩත්තුව සඳහා ඉහළ වියදමක් දැරීමට සිදුවී ඇති මෙම පද්ධතිය මේ වන විට සුදු අලියෙක් වී ඇති බව පෙනෙන්නට ඇත.
අද වන විට රෝගීන්ගේ CT, MRI පරීක්ෂණ සිදු කිරීම සඳහා දින ලබාදීම නවතා දමා ඇති අතර රෝගීන්ගේ පරීක්ෂණ සිදු කිරීම දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇත. කෙසේ නමුත් පවතින තත්ත්වය හමුවේ රෝගීන්ගේ පරීක්ෂණ අඛණ්ඩව සිදුකිරීමම සඳහා අවශ්‍ය වටපිටාව සකස් කිරීමට පෙර පැරදිම හැකියාව පවතින අතර ඒ සඳහා සෞඛ්‍ය ඇමතිවරයා ලේකම්වරයා හෝ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා මැදිහත් වී අවශ්‍ය පාර්ශ්වයන් කැඳවන ලෙස පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය ඉල්ලා සිටි.