විගණකාධිපති ධූරය නිසි ක්‍රමවේදය අනුව පත් කරන්න - ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය

විගණකාධිපති ධූරය නිසි ක්‍රමවේදය අනුව පත් කරන්න - ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය

පුරප්පාඩු වූ විගණකාධිපති ධූරය ව්‍යවස්ථාපිත නිසි ක්‍රමවේදය හා මෙතෙක් පැවති පරිචයන් අනුගමනය කරමින් දේශපාලනයෙන් ස්වාධීන පත්කිරීමේ ක්‍රමවෙදය අනුගමනය කරන ලෙස ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත්ු සඳහන් වන්නේ, විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වෘතිය සමිති දැනුම්දී ඇති පරිදී, 2025 අප්‍රේල් 08 දින පුරප්පාඩුවූ විගණකාධිපති ධුරය සඳහා ව්‍යවස්ථාපිත ක්‍රමවේදයට අනුව ඊලඟට නිසි සුදුස්සා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිවරයා වෙනුවට අඩු සුදුසුකම් ඇති අයවලුන් විගණකාධිපති දෙපාර්තමේන්තුවට පිටින්  පත්කිරීමට ව්‍යවස්ථාදායක සභාවට නිර්දේශ කර ඇත. ලැබී ඇති තොරතුරු අනුව වඩාත්ම බරපතළ කරුණ වන්නේ මෙම අයවලුන් විගණකාධිපති කාර්ය හා ලබැඳියාවේ ගැටුම් ඇති ස්ථානවල දැනටමත් කාර්යයේ නියුතු අය වීමයි. දූෂණයට එරෙහි යහපත් ආණ්ඩුකරණයක් සහ දූරදර්ශී මෙන්ම තිරසර සංවර්ධනයක් ඉලක්ක කළ ආණ්ඩුවක් පවත්වාගැනීමට සහ රාජ්‍ය ආයතන කාර්යක්‍ෂමව පවත්වා ගැනීම මෙම තීරණය හරහා අධි අවදානමකට ලක්වන අතර එම අර්ථයෙන් මෙම පත්කිරීම සම්බන්ධයෙන් කෙරෙන  අයථා උත්සාහයන්,  රට සහ ජනතාව කෙරේ සහකම්පනයෙන් හා සංවේදීත්වයෙන් යුත් වගකිවයුතු වෘත්තීය සමිති සමූහයක් ලෙස මුළුමනින්ම ප්‍රතික්ෂේප කර සිටිමු.

තවද පිළිගත් හා නිසි ක්‍රමවේදයන් වෙනුවට ඉතිහාසයේ සිදු කළ ආකාරයට දේශපාලන වුවමනාවන් මත තනතුරුවලට පත් කිරීමට යෝජනා කිරීම සම්පුර්ණයෙන්ම හෙලා දකිමු. එසේම මේ සම්බන්ධයෙන් අවස්ථා කීපයකදීම විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති විසින් රජයේ දේශපාලන අධිකාරියෙන් සාකච්ඡාවක් ඉල්ලා ඇති අතර එවැනි සාකච්ඡාවක් ලබා නොදීම පාරදෘෂ්‍ය භාවය පිළිබඳ ගැටලුවක් ලෙස දකිමු.

ව්‍යවස්ථාපිත නිසි ක්‍රමවේදය හා මෙතෙක් පැවති පරිචයන් අනුගමනය කරමින් දේශපාලනයෙන් ස්වාධීන පත්කිරීමේ ක්‍රමවේදය අනුගමනය කරන ලෙස බලකර සිටිමු.