මේ රටේ පළමු වරට ජංගම දුරකතන මෙවලමක් වන “වට්ස්ඇප්” සමාජ මාධ්‍ය සන්නිවේදන මෙවලම ඔස්සේ යොමු කළ කෙටි පණිවිඩයකින් කර්මාන්ත ශාලාවක් වසා දැමීම ඉකුත් 19 වන දින රාත්‍රියේ සිදු කෙරුණා. සේවක සේවිකාවන් 1,416 ක් ඉවත් කරමින් කටුනායක නිදහස් වෙළඳ කලාපයේ “නෙක්ස්ට්” ඇඟළුම් කම්හල එසේ වසා දැමීම ඉතිහාසගත වෙනවා පමණක් නෙවෙයි, එසේ වසා දැමීමෙන් අහෝසිවන රැකියා සම්බන්ධ වගකීමක් ආණ්ඩුවට නැතැයිද ඒ සමග ඔප්පු කෙරුණා.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු ඉහළ දැමීමේ තීන්දුව සඳහා කල් දුන්න දින 90 ක පූර්ව සූදානම් කාලය, ලබන ජූලි 09 වන දින අවසන් වෙලා, තීන්දුව නිල වශයෙන් ක්‍රියාත්මක වීමට පෙර, ඇමෙරිකාවට තම නිෂ්පාදන අපනයනය නොකරන සහ ට්‍රම්ප්ගේ තීරුබදු ක්‍රමය අදාල නොවන “නේක්ස්ට්” අපනයන නිෂ්පාදන සමාගමේ කටුනායක කම්හල වසා දැමීම, අපි දකින්නේ හාම්පුතුන් තම බලය අත්හදා බැලීමක් ලෙසයි.
ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ සඳහා ඔවුන් අය කරන තීරු බදු ඉහළ දමන බව ඉකුත් අප්‍රේල් 02 වන දින ජනාධිපති ට්‍රම්ප් නිවේදනය කළ වහා, හාම්පුතාලාත් ඒ අයගෙ සංවිධානාත් සමහර ආර්ථික විද්‍යා විශේෂඥයිනුත් දේශපාලකයින් දෙතුන් දෙනෙකුත් අපේ රස්සා වලට තර්ජනයක් තියෙන්න පුළුවන් කියලා අනුමාන කෙරුවා. සමහර අය නිශ්චිතවම රැකියා අහිමිවීම් ගැන කතා කෙරුවා.
මොකක්ද අපේ රස්සා වලට තියෙන තර්ජනය????
අපනයනය සඳහා අපි නිෂ්පාදනය කරන භාණ්ඩ වලට, විශේෂයෙන් ඇඟළුම් වලට, අවශ්‍ය ගොඩක් දේවල් අපි ආනයනය කරනවා. ට්‍රම්ප්ගෙ බදු වැඩි කිරීමට විසඳුම් හැටියට හැම රටක්ම වගේ තමන්ගේ බදු අය කිරීමුත් වැඩි කරලා නිසා, ඉස්සරහට අපේ නිෂ්පාදන වියදම ඉහළ යන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපට ඇණවුම් ලබා දෙන සැපයුම්කරුවන් අපට වඩා නිෂ්පාදන වියදම අඩු රටවලට ඒ ඇනවුම් අරගෙන යන්න ඉඩ තියෙනවා කියන අනුමානය, අහක දාන්න බැහැ. ඔව්, එහෙම උනොත් රස්සාවලට ප්‍රශ්නයක්.
දැන් මොකක්ද කරන්න කියන්නේ? සාමාන්‍යයෙන් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ වියදම් කප්පාදුවේ එක පියවරක් තමයි හැකි තරම් අඩු සේවක පිරිසකගෙන් උපරිම නිෂ්පාදන ඉලක්ක ලබා ගැනීම. මේ වගේ බාහිර කාරණා නිසා අපි තල්ලු වන ජාතික අර්බුදයකට එහෙම තනි තනිව විසඳුම් සෙවීමට පෙළඹවෙන්නේ පොදු විසඳුමක් වෙනුවෙන් විශේෂයෙන් ආණ්ඩුව සියලු පාර්ශව හවුල්කර ගැනීමට උනන්දු නොවන විටයි.
නමුත් අපි ජනාධිපතිටත් කම්කරු ඇමතිවරයාටත් අනෙක් වෘත්තීය සමිති හා සමාජ ක්‍රියාකාරීන්ටත් රැකියා සුරක්ෂාව සමග මේ අර්බුදයෙන් ගොඩ එන්නට හැකි ක්ෂණික හා මධ්‍ය කාලීන විසඳුම් ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා සාකච්ඡාකර නිවැරදි විසඳුම් තීන්දුකර ක්‍රියාවට නගන්න, පාර්ලිමේන්තුව විසින් පත්කරන, සියලු පාර්ශව නියෝජනය වන ජාතික කමිටුවකුත් අපි යෝජනා කර තියෙනවා.
කාට කාටත් සමාජ වගකීමක් තියෙනවා
මෙතෙක් අවුරුදු 45 ක් මහජනතාවට අය විය යුතු ආදායමෙන් සැළකිය යුතු ප්‍රතිශතයක් බදු සහන, බදු විරාම, බදු ඉවත් කිරීම් හැටියට අපනයන සඳහා නිෂ්පාදනය කරන කර්මාන්තකරුවන්ට ලබා දී තියෙනවා. ඒ වගේම රජයේ යටිතල පහසුකම්, නොමිලේ ලබා දෙනවා. ඒ සියල්ල තවමත් ලබා දෙනවා. ඊට අමතරව, යුරෝපා ඨීඡ “අධි සහන” සමගින් යුරෝපා වෙළඳපලට අපනයනය කිරීමේදී ලැබෙන බදු ඉවත් කිරීමේ වාසිය වෙනුවෙන් සේවක අයිතිවාසිකම් හා සේවා තත්ත්වය දියුණු කිරීමේ කොන්දේසි කිසිවක් මෙතෙක් ක්‍රියාත්මක කෙරිලා නැහැ.
සමාජයේ පොදු අවශ්‍යතා වෙනුවෙන් අය කරගත යුතු බදු ආදායමෙන් වැදගත් ප්‍රතිශතයක් අපනයන නිෂ්පාදනකරුවන් වෙනුවෙන් අත හැරෙන කොට, ඒ ක්ෂේත්‍රයේ රැකියා සුරක්ෂිත කිරීමේ වගකීම ආණ්ඩුවේ වගකීමක් කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා ට්‍රම්ප් ගේ බදු වැඩි කිරීම් ගැන කතා කරන කොට, ඊයේ පෙරේදා ට්‍රම්ප් චීනයට ලබා දුන් අළුත් සහනය අපටත් ලැබෙයි කියන අනුමානවල අපට ඉන්න බැහැ. අපට විශ්වාසය තියන්න පුළුවන් අපේ එක්සත් ශක්තිය මත අප හදා ගන්න අපේ වැඩපිළිවෙලක පමණයි. සියලු පාර්ශව හවුල් කර ගැනීමට අපි යෝජනා කරන්නේ ඒ අනුවයි.
ඒ නිසා ආණ්ඩුවටත් අනෙක් බලධාරීන්ටත් අපි ඉදිරිපත් කළ අපේ යෝජනා සම්බන්ධ සමාජ කතිකාවක් සේවක සේවිකාවන් හැටියට ආරම්භ කිරීමේ සමාජ වගකීම දැන් පෙරටත් වඩා වැඩියි. කටුනායක නේක්ස්ට් කම්හල වසා දැමීමේ බලහත්කාරය හමුවේ ආණ්ඩුව ඵලදායී පියවරක් මෙතෙක් ගෙන නැති තත්ත්වය තුළ අපි අභියෝගයක් හැටියට මෙය භාර ගත යුතුයි. ඒ වගකීමත් එක්ක වැඩපළ මට්ටමින්, කලාප මට්ටමින් මේ සාකච්ඡා ආරම්භ කරමු. ට්‍රම්ප් ගේ බදු වැඩි කිරීම් නිසා අගතියට පත්වන සමාජයේ අනෙක් හැමෝමත් මේ සාකච්ඡා වලට හවුල් කර ගනිමු.
ගෝලීය බදු අර්බුද හමුවේ විකල්ප විසඳුම් සඳහා වන සමාජ ව්‍යාපාර