පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් බස්නාහිර පළාතේ රෝහල්වල වර්ජනයකට සූදානම්

stricke-wedabima-mlt

බස්නාහිර පළාත් සභාවට අයත් රෝහල් 31ක පරිපූරක වෛද්‍ය සේවාවට අයත් සියලුම වෘත්තිකයන් අඟහරුවාදා(19 වෙනිදා) සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණය වීමට තීරණය කරන ලදී.

පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය මෙම තීරණය ගනු ලැබුවේ බරපතළ විෂමතාවයන් සහිතව සහ දැඩි විරෝධතා මධ්‍යයේ සකස් කල "ස්ථාන මාරු නියෝග 2024" ක්‍රියාත්මක කිරීමට පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරිය නියෝග කිරීමත් සමගය. එම ස්ථාන මාරු නියෝග හෙට දිනයේ (18 වෙනිදා) නිකුත් කිරීමට සූදානම් වන බව මේ වන විට තොරතුරු වාර්තා කොට ඇත.

මෙම ස්ථාන මාරු ක්‍රියාවලිය සම්බන්ධයෙන් බස්නාහිර පළාතේ අදාල නිලධාරීන් සමග වසරකට වැඩි කාලයක් තිස්සේ සාකච්ඡා සිදු කළත් එම ගැටලුව විසඳීමට අදාල කිසිදු බලධාරියෙක් මේ වන තුරු කටයුතු කර නොමැත. අදාළ සිදුකළ සාකච්ඡා වලදී මෙම ස්ථාන මාරු ක්‍රියාවලියෙහි බරපතල ගැටලු පවතින බව අදාළ පාර්ශවයන් පිළිගත්තද එම වැරදි ඉවරදි කිරීමට කිසිදු පාර්ශ්වයක් මේ වනතුරුත් කටයුතු කර නොමැත.

මෙම ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක කළහොත් පැය 24 පුරා රෝහල්වල සිදු කරන සේවා කටයුතු පවත්වා ගැනීමට නොහැකි වන අතර කාර්යබණ්ඩලය සහ රෝගීන් ඉන් දැඩි අපහසුතාවයට පත්වන බවද පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය විසින් අදාළ සියලු පාර්ශ්වයන් දැනුවත් කොට ඇත.

මෙම තත්ත්වය පිළිබඳව බස්නාහිර පළාතේ කිසිදු වගකිවයුතු නිලධාරියෙක් මේ වනතුරු මෙම ගැටලුව විසඳීමට මැදිහත් නොවූ අතර මේ පිළිබඳව බස්නාහිර පලාත් ආණ්ඩුකාරතුමන් ද අවස්ථා කීපයකදීම දැනුවත් කලත් මෙම ගැටළුවට නිසි විසඳුමක් මේ වනතුරුත් ලැබී නොමැත.

මෙම වර්ජන ක්‍රියාමාර්ගයට විකිරණ තාක්ෂණවේදීන්, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන්,    වෘත්තියේ චිකිත්සක නිලධාරීන්, කතන චිකිත්සක නිලධාරීන්,  ඖෂධවේදීන් ඇතුළු වෘත්තික කණ්ඩායම් 07 ක් සම්බන්ධ වන අතර වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් එම සියලු වෘත්තිකයන් විසින් සිදු කරන විකිරණ පරීක්ෂණ ,  CT Scan පරීක්ෂණ, සියලූ රසායනාගාර පරීක්ෂණ සේවා, වෘත්තීය චිකිත්සක සේවා ඇතුලු සියලු සේවාවන් බිඳවැටීමට නියමිතව ඇත.

විරෝධතාවය නොසලකා බලහත්කාරී ලෙස හෙට දිනයේ ස්ථාන මාරු නියෝග නිකුත් කිරීම සිදු කළහොත් 19 වෙනිදා (අඟහරුවාදා) උදෑසන 8  සිට වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට අද සවස රැස්වූ බස්නාහිර පළාතට අදාළ සියලු රෝහල්වල නිලධාරීන් ඒකමතිකව තීරණය කරන ලදී.

| චානක ධර්මවික්‍රම

ප්‍රධාන ලේකම්

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ  ඒකාබද්ධ බල මණ්ඩලය