මහනුවර ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන ඇතැම් රෝගීන්ට උපස්ථාන කිරීම සඳහා ලඟ රඳවා තැබීම සඳහා දෛනිකව රුපියල් 4500 ක් අය කරමින් ක්‍රියාත්මක රෝගී සහන සේවා මධ්‍යස්ථාන මහනුවර ක්‍රියාත්මක වන බව මහනුවර මහ නගර සභාවේ ජාතික ජනබලවේගයේ සභික මහත්මිය පවසයි.
රෝගියෙකු අසළ පැය 24 ක කාලයක් නතර වී සිටීමට රුපියල් 4500 ක පමණ මුදලක් මෙම ආයතන මගින් අය කරනු ලැබුවත් මේවාහි සේවය සඳහා සිටින කිසිදු පුද්ගලයෙකුට රෝගි සත්කාර සම්බන්ධ කිසිදු දැනුමක් නොමැති බවද ඇය පැවසුවාය.

මහනුවර මහනගර සභාවේ මාසික රැස්වීමේදී ලියනආරච්චි මහත්මිය මේ බව ප්‍රකාශ කළාය.
මේ සම්බන්ධව වැඩිදුරටත් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇය මෙසේද ප්‍රකාශ කළාය. රෝහලේ නේවාසිකව සිටියදී තනිවම වැඩකටයුතු කර ගැනීමට නොහැකි රෝගීන් අසළ කවුරුන් හෝ නතර කරන ලෙස රෝහල මගින්ම දැනුම් දෙන අවස්ථා තිබෙනවා. රෝගි සත්කාරක සේවා පවත්වාගෙන යන ස්ථාන වලට ඇතැම් අවස්ථාවල රෝගීන්ගේ පවුලේ උදවිය යොමු කරන්නේ රෝහලේම සුළු සේවකයින් වීම විශේෂයි. මෙම ස්ථාන වල සේවය කරන බොහෝ දෙනෙක් මහනුවරින් පිටත පදිංචිකරුවන්. ඔවුන්ට නේවාසික පහසුකම් ලබා දෙමින් අදාළ ආයතන ඊට අදාළ මුදල් වැටුපෙන් කපා ගන්නවා. අර්ථ සාධක අරමුදල් හෝ බැර නොකරමින් නගර සීමාවේ සිදු කරන මේ ව්‍යාපාර යම්කිසි නියාමනකට ලක්කළ යුතුයි. අහිසක රෝගීන්ගේ පවුලේ උදවිය මේ විදිහට කොල්ලකන්න දී අපි බලාගෙන සිටීම වැරදියි.
රෝගීන් අසළ නතර වී සිටින ඇතැම් පුද්ගලයින් රෝගියා දඟලන අවස්ථාවල ඔහුගේ අතපය බැඳ දමන බවටද වාර්තා වෙනවා. ඇතැම් පුද්ගලයින් එක් රෝගියෙකු රැක බලා ගැනීමට පැමිණ වාට්ටුව තුළදී තවත් අයගෙන් මුදල් ලබාගෙන වෙනත් රෝගීන්ද බලා ගන්නවා. මේ ඇතැම් පුද්ගලයින් රෝගීන් ළඟ තිබෙන ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ සොරාගෙන යන අවස්ථාත් තිබෙනවා.මේවා ගැන අපි සභාවක් ලෙස සොයා බැලිය යුතුයි.
| අසේල කුරුළුවංශ හා කමල් සුරවීර

