තර්ජන නිසා අක්කරපත්තු රෝහලේ වෛද්‍යවරුන් ඉවත් කරගැනීමේ සූදානමක්

akkaraipattu-hospital

රෝගී සත්කාරක සේවාවන්ට බාධා කරන සහ විෂමාචාර චෝදනා සහිත වෛද්‍ය අධිකාරිවරයා ඉවත් නොකිරීමෙන් අක්කරෙයිපත්තුව මූලික රෝහල වැසීයාමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

අක්කරෙයිපත්තුව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාගේ විෂමාචාර ක්‍රියා සම්බන්ධ චෝදනා මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තර්ජනාත්මකව හැසිරෙමින් සිදු කරන අත්තනෝමතික ක්‍රියාකාරකම් හේතුවෙන් රෝහල තුල යහපත් වෘත්තිමය පරිසරය බිඳ වැටි බරපතල අනාරක්ෂිත තත්ත්වයක් මතු වී ඇත.

වෛද්‍ය අධිකාරිවරයාට හිතවත් ප්‍රාදේශිය දේශපාලන කණ්ඩායම් වල මැදිහත්වීම් හේතුවෙන් මෙම ගැටලුව තවත් උග්‍ර වී ඇත.

මෙවන් අනාරක්ෂිත පසුබිමක රෝහල තුල වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට රෝගී සත්කාර සේවාවන් පවත්වා ගැනීමට දැඩි බාධා සහ අවහිරතා මතු වී ඇත.

එහිදි අදාල වෛද්‍ය අධිකාරිවරයාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අපක්ෂපාති සහ සාධාරණ පරික්ෂණයක් සිදු කිරීමත්, එම පරීක්ෂණයේ ස්වාධිනත්වය තහවුරු වීම වෙනුවෙන් පරීක්ෂණය නිම වන තුරු අදාල වෛද්‍ය අධිකාරිවරයා තාවකාලිකව එම තනතුරෙන් ඉවත් කර වෙනත් ස්ථානයකට අනුයුක්ත කිරීමත්, යන කරුණු ඉටු කරමින්, මෙම ගැටලුව විසඳිම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය කිසිදු සාධනීය මැදිහත් වීමක් සිදු නොකිරීම විමතියට කරුණකි.

වෛද්‍ය අධිකාරිවරයාගේ පාර්ශවයේ අත්තනෝමතික සහ තර්ජනාත්මක ක්‍රියාකලාපය හේතූවෙන් මේ වන විට අක්කරෙයිපත්තු රෝහල තුල විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට දැඩි අනාරක්ෂිත තත්ත්වයක් මතු වී ඇත.

මෙම ගැටලු විසඳීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා, අමාත්‍යංශ ලේකම්වරයා ඇතුලු පාර්ශව සමඟ දිගින් දිගටම සාකච්ඡා කලද කිසිදු සාධනීය විසදුමක් නොමැති වීම හේතුවෙන් අවසානයේ වෘත්තීය ක්‍රියාමාර්ග සහ වැඩවර්ජන සඳහා යොමු වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තිරණය කරන ලදී.

ජනවාරි මස දෙවැනි සතියේදි කල්මුණේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය යටතේ ඇති රෝහල් කේන්ද්‍ර කරගනිමින් වැඩ වර්ජනයක් පැවති අතර ගැටලුව විසඳිමට සෞඛ්‍ය අමාත්‍යංශය අසමත් වීම හේතුවෙන්, පසුගිය 2026.01.13 වැනි දින සිට සමස්ත නැගෙනහිර පලාතම ආවරණය වන පරිදි වැඩවර්ජනයක් ආරම්භ කරන ලද අතර තෛයිපොංගල් උත්සවය වෙනුවෙන් එය තාවකාලිකව අත්හිටුවන ලදී.

එහෙත් මේ වන තුරුත් එම ගැටලුවට විසඳුමක් නොලැබිමේ පසුබිමක අද දින (2026.01.19) උදෑසන 8.00 සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලද නැගෙනහිර පලාතේ රෝහල් පද්ධතියේ අඛණ්ඩ වැඩ වර්ජනය යලිත් ආරම්භ කරන ලදී.   

මෙම අර්බුදය මෙතරම් උග්‍ර වී තිබියදීත් ගැටලුවට විසඳුම් ලබා දී, අකර්මන්‍ය වී ඇති නැගෙනහිර පලාතේ සෞඛ්‍ය සේවාව යලි සක්‍රිය කිරීමට අවශ්‍ය මැදිහත් වීම් සිදු නොකරන්නේ නැගෙනහිර පලාතේ ජනතාවගේ නිදහස් සෞඛ්‍ය අයිතින් ආරක්ෂා කිරීමට අවශ්‍ය නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සිතමින් දැයි සාධාරණ ගැටලුවක් පැන නඟි.

මෙවන් පසුබිමක අද දිනයේදි අක්කරෙයිපත්තුව මූලික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කාර්යාලයේදි විධායක සභාව හමු වූ අතර ඉන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා සමඟද සාකච්ඡාවක් පැවැත්විණි. එම සාකච්ඡාව තුලදි වෛද්‍ය අධිකාරිවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් තමන් මුහුණ පා ඇති දුෂ්කරතා, ආරක්ෂාව පිළිබඳ ගැටලු සහ තර්ජන පිළිබඳ අක්කරෙයිපත්තුව රෝහලේ වෛද්‍යවරුන් විසින් සෞඛ්‍ය ලේකම්වරයා දැනුවත් කරන ලදී. පවතින අනාරක්ෂිත තත්ත්වය තුල රෝහලේ සේවය කිරීමට කිසිසේත් සුදුසු වාතාවරණයක් නොමැති බව ඔවුන් අවධාරණය කරන ලදී. සාකච්ඡාව තුලදි ඍජු පිළිතුරක් ප්‍රකාශයට පත් නොවුවත් අද දිනය තුලදි සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් මෙම ගැටලුව විසඳනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටිමු.

වර්ධනය වෙමින් පවතින අනාරක්ෂිත වතාවරණය තුල තවදුරටත් එම රෝහල තුල සේවය කිරීම ජිවිත අවදානමක් සහිත තත්ත්වයක් බවට වෛද්‍යවරුන්ට පත් වෙමින් තිබෙන අතර එවන් පසුබිමක ඉදිරියේදි අක්කරෙයිපත්තු මූලික රෝහලෙන් වෛද්‍යවරුන් ඉවත් කර ගැනිමට වුවද සිදු වනු ඇත.

විෂමාචාර චෝදනා සහිත අක්කරෙයිපත්තු මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා ආරක්ෂා කරන සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රතිපත්තිය හේතුවෙන් අවසානයේ පිඩාවට පත්ව ඇත්තේ වෛද්‍යවරුන් සහ ප්‍රදේශයේ ජනතාව වන අතර එහි සම්පූර්ණ වගකිම සෞඛ්‍ය අමාත්‍යංශය භාර ගත යුතුය.