ශ්‍රී ලංකාව වෙතින් අපනයනය කරන භාණ්ඩ සඳහා වන තීරුබදු අනුපාතය වහාම ක්‍රියාත්මක වන පරිදි 12.5% සිට 44% දක්වා වැඩි කරන බවට එක්සත් ජනපද රජය කළ නිවේදනය කිරිමෙන් ලංකා වෙළඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමය (සීඑම්යූ) විසින් ඇමරිකානු ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.
එම ලිපිය පහතින් දැක්වේ,
(මෙම ලිපිය ඉංග්‍රිසි ලිපියේ සිංහල පරිවර්තනය)
2025 අප්‍රේල් මස 03 වන දින සංගමය විසින් ඇමරිකා එක්සත් ජනපදයෙහි ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් මහතා වෙත යොමු කරන ලද ලිපියෙහි සිංහල පරිවර්තනය
2025 අප්‍රේල් මස 03 වන දින
ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් මහතා
ජනාධිපති - ඇමරිකා එක්සත් ජනපදය,
ධවල මන්දිරය,
1600 පෙන්සිල්වේනියා මාවත NW,
වොෂින්ටන්, DC 20500
ඇමරිකා එක්සත් ජනපදය.
හිතවත් ජනාධිපතිතුමනි,
හදිසි අභියාචනයක් - ශ්‍රී ලංකාවේ තීරුබදු වැඩි කිරීමට ගත් එක්සත් ජනපද තීරණය
ශ්‍රී ලංකාව වෙතින් අපනයනය කරන භාණ්ඩ සඳහා වන තීරුබදු අනුපාතය වහාම ක්‍රියාත්මක වන පරිදි 12.5% සිට 44% දක්වා වැඩි කරන බවට එක්සත් ජනපද රජය කළ නිවේදනය ඇසීමෙන් අපි කම්පනයට පත් වී සිටිමු.
රට බංකොලොත් තත්ත්වයකට ගෙන ඒමට හේතු වන ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ තම පැවැත්ම සඳහා අරගල කරමින් සිටින ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මෙම තීරණයේ අහිතකර බලපෑම පිළිබඳව අමුතුවෙන් පැහැදිලි කර දීම අවශ්‍ය වන්නේ නැත.
අර්බුදයේ බලපෑම රටේ කම්කරුවන්ගේ මෙන්ම අතිමහත් බහුතරයක් සාමාන්‍ය ජනතාවගේ ද ජීවන තත්ත්වය අහිතකර ලෙස පිරිහීමට ලක් කරයි. ඇමරිකානු රජයේ තීරණය අපනයන වෙළඳපොළට විශාල සීමාවන් ගෙන එනු ඇති අතර එමඟින් ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවිතයේ සෑම අංශයකම තත්ත්වය තවදුරටත් පිරිහෙනු ඇත.
පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී බලයට පත් වූ නව රජය ද මෙම තත්ත්වය ජය ගැනීමට අරගල කරමින් සිටින අතර එය එතරම් සාර්ථක නොවීය. ශ්‍රී ලංකාව දැන් IMF ඇපකරයක් මත යැපේ.
ඇමරිකානු රජයේ තීරණය රටේ අපනයන කර්මාන්තයට සෘජුවම බලපාන අතර දහස් ගණනක් කම්කරුවන්ට රැකියා අහිමි කිරීමට හේතු වනු ඇත.
ශ්‍රී ලංකාව වසර ගණනාවක් තිස්සේ එක්සත් ජනපදයට ඇඟලුම් භාණ්ඩ නිෂ්පාදනය කර අපනයනය කරන ප්‍රධාන රටවලින් එකකි. මෙම කර්මාන්තය සෘජුව සහ වක්‍රව සේවකයින් 500,000 කට වැඩි පිරිසකට රැකියා සපයයි, බොහෝ දුරට කාන්තාවන්.
අප, අපනයන කර්මාන්තයේ සේවකයින් දහස් ගණනක් නියෝජනය කරන සහ අවදානම් තත්ත්වයක සිටින ජනතාවගේ යහපැවැත්ම සම්බන්ධයෙන් සෑමවිටම කටයුතු කරන සංගමයක් වශයෙන් ඔබගේ තීරණය නැවත සලකා බලා අපගේ රටට පෙර තිබූ තීරුබදු අනුපාතය භුක්ති විඳීමට ඉඩ දෙන ලෙස ඔබෙන් ඉල්ලා සිටිමු.
ඔබ අපගේ ඉල්ලීම හිතකර ලෙස සලකා බලනු ඇතැයි බලාපොරොත්තු වෙමු.
ස්තූතියි.
මෙයට විශ්වාසී,
ලංකා වෙළඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමය (සීඑම්යූ)
එස්.පී.නාදන්
ප්‍රධාන ලේකම්
පිටපත – ජූලි ජේ. චුන්ග් මහත්මිය - ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි