වැඩකරන මිනිසුන් වෙනුවෙන් සටන්පාඨ ඕනෑතරම් ඇතත් ඒවා මැයි පලමු වැනිදා රතු අකුරින් බෝඩ් කෑලි වල ලියා උගුර ලේ රහ වනතුරු කෑ මොර දී නැවතත් තව දින 365කින් එලියට ගැනීමට සුරක්ෂිතව ගබඩා කරයි.එදා සිට සෑම වැඩකරන දිනයකම වැඩපලේ,සේවාස්ථානයේ හිංසනයට ලක් වන කම්කරුවා,සේවකයා වෙනුවෙන් පෙනීසිටීමට හෝ ඔහු හෝ ඇය වෙනුවෙන් හඩක් නැගීමට කිසිදු කාඩ්බෝඩ් වීරයෙක් ඉදිරිපත් වන්නේ නැත.කම්කරු ආරවුල් සම්බන්ධයෙන් කාර්මික ආරවුල් පනත යම්කිසි සහනයක් වූවද එය වැඩකරන කම්කරුවාගේ අයිතීන් සුරක්ෂිත කිරීම විෂයෙහි කෙතරම් දුරට ප්‍රමාණවත්දැයි යන ගැටලුව මතුවෙමින් තිබුනේ කාලාන්තරයක සිටය.
C 190 ජත්‍යන්තර සම්මුතිය යනු මෙම ගැටලුවට මේ මොහොතේ දිය හැකි හොඳම පිළිතුරයි. වැඩ කරන ස්ථානයේ සිදුවන හිංසනයන් පිලිබද විමසුම් ඇස යෙදවීමේදී කාන්තාව වරක් දෙවරක් නොව සියවරක් මූලික මාතෘකාව වීම නොවැලැක්විය හැකි තත්ත්වයකි.ඇගේ සුරක්ෂිතතාවතාව තරම් වැඩපලක අභියෝගයට ලක්වන යමක් තවත් නැති තරම්ය.
ඉන්දීය උපසංස්කෘතිය කාන්තාව විෂයෙහි දක්වන ගතානුගතික සාම්ප්‍රදායික පාට කණ්නාඩියේ බලපෑම මෙරට කාන්තාවටත් තදින්ම බලපා ඇති වග නොරහසකි.C 190 යනු අයිතීන් වෙනුවෙන් අරගල කරන එකී කම්කරු කාන්තාවගේ පෞරුෂය තවත් සවිමත් කරන්නකි. C 190 පොදුවේ ලිංග භේදයකින් තොරව සියලු කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් නිර්මාණය වූවක් වුවද මෙම සම්මුතියෙහි අරටුව වැඩපලේ කාන්තාවට සිදුවන හිරිහැර වැලැක්වීම හා කාන්තා අයිතීන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් වැඩිමනක් කේන්ද්‍රගත වී ඇත.
ජාත්‍යන්තර නීති මෙරටට ආරෝපණය කරගැනීමේදී ද්විත්ව න්‍යාය අනුගමනය කරනු ලබන රටක් වශයෙන් මෙම සම්මුතිය අපරානුමත කර නව පනතක් ලෙස සම්මත කර හෝ පවතින පනතකට කරනු ලබන සංශෝධනයක් ලෙස මෙරට නීති පද්ධතියට ඇතුලත් කරගැනීම කාලීන අවශ්‍යතාවකි.
සටහන - නීතිඥ ධනුක රනංජක