IMF කරන්නේ කෝපි කඩේ පොළී මුදලාලිගේ වැඩේ

IMF කරන්නේ කෝපි කඩේ පොළී මුදලාලිගේ වැඩේ

IMF එක කරන්නේ, කෝපි කඩේ පොළී මුදලාලිගේ වැඩේ කියලා අමතක කරන්න එපා. පොළියට ගත්ත කෙනෙකුගේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවාට පොලී මුදලාලි කැමති නෑ. ඒ වගේම පොළියට සල්ලි නොගෙන, හොදින් තමන්ගේ ආර්ථිකය කළමනාකරණය කර ගන්නවාටත් පොලී මුදලාලිගේ කිසිම කැමත්තක් නැති බව අපි හොඳින් මතක තියා ගන්න ඕනෑ බව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ, කැඳවුම්කරු, රවි කුමුදේස් මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ, IMF කියන්නේ මේ වෙලාවේ අපිට ඇතුවත් බැරි නැතුවත් බැරි එකක්. ඒක හරියට ළිදක වැටිලා ඉන්න කෙනෙකුට කඹයක් වගේ එකක්, ගොඩ ආවාම ඒ කඹයෙන්ම තමා අපේ බෙල්ල හිර කරන්නේ. අපේ රටේ නායකයෝ ඒකේන් අනවශ්‍ය විදිහට වාව් වෙන (උද්දාමයට පත්වෙන) එකෙන්ම පේනවා ඔවුන් හරි පාරක යනවාට වඩා, රටේ මිනිස්සුන්ව රවට්ටලා දේශපාලන වැඩක් කරන්න යනවා කියන එක.

රට හදන්න අනවශ්‍ය ප්‍රොපගැන්ඩා වලට වඩා අවශ්‍ය වෙන්නේ, පුරවැසියන්ට ඇත්ත කියලා සහයෝගය සහ කැපවීම ලබා ගන්න එක. එහෙන එකක් අපි තවම ආණ්ඩුව පැත්තෙන් දැක්කේ නෑ. එහෙම වැඩකට ඉඩක් හැදුණු වෙළාවකත්, අපේ රටේ දේශපාලනය හුදු බල අරගලවලට යථාර්ථය හංගං යන්න හදන එක ගැන අපි කණගාටු වෙනවා.