PCR swab (පුළුන් රැඳවූ දිග කූරක්) පරීක්ෂණය කොරෝනාවෛරසය සඳහා සම්මත රෝග විනිශ්චය ක්‍රමය ලෙස හැඳින්වේ. කොරෝනාවෛරස පරීක්ෂණ මගින් මිනිසුන්ට හානියක් විය හැකි බවට විවිධ ප්‍රකාශ සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතී.
අනිසි බියක් ඇති කිරීම හෝ “බියවැද්දීමෙන්” මිනිසුන් සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කිරීමට යොමු කිරීම එවැනි ප්‍රකාශවල අරමුණ යැයි එවැන්නක් පළ කළ පුද්ගලයන් කීපදෙනෙකු අප සමග ‘මැසෙන්ජර්’ ඔස්සේ අදහස් හුමාරු කරමින් පැවසූහ.
නමුත් මේ “බියවැද්දීම්” නිසා PCR පරීක්ෂණය මඟහරින පුද්ගලයන් සිටිය හැකිද?
“මම PCR ටෙස්ට් එක කරන්න සෑහෙන බය වුණා. ෆේස්බුක් එකේ පෝස්ට් දැකලම තමයි මේ බය ඇති වුණේ. බය නිසාම ටෙස්ට් එක කළාට පස්සේ වමනේ ගියා. ඒ වගේම මගේ ටෙස්ට් එක කරන්න සෑහෙන අමාරු වුණා. අන්තිමට මට සැර කරළා තමයි කූර උගුරටයි, නහයටයි දැම්මේ,” ජා ඇල පදිංචි ඉනුෂි කුරේ සිය අත්දැකීම් විස්තර කරමින් පැවසීය.
PCR පරීක්ෂණය මොළයට හානි කළ හැකිද?
කොරෝනාවෛරස පරීක්‍ෂණ සිදුකරන අයුරු දැක්වෙන පින්තූර ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හි පුළුල් ලෙස සංසරණය වී ඇත. එමෙන්ම, PCR පරීක්ෂණ මඟින් “මොළයට හානි සිදු විය හැකි යැයි” සමහරු අදහස් පළ කර ඇත.
ඡායාරූප මූලාශ්‍රය,FACEBOOK
කෙසේනමුත්, නාසයෙන් ඇතුළු කරන පුළුන් රැඳවූ කූර (swab) මොළයට පිවිස එයට හානි සිදු කළ හැකි යැයි යන්න සම්පූර්ණ වරදවා වටහා ගැනීමකි.
මොළයේ ආරක්ෂිත ස්ථර රාශියක් පිහිටා ඇත. පළමු හා පැහැදිලිම ආවරණය හිස් කබල වන අතර ආරක්ෂිත පටල හා තරලවලින් තවදුරටත් මොළය ආරක්ෂා වී තිබේ.
මොළයට හානි සිදු කිරීමට නම් නාසයට ඇතුළු කරන කූර පටක ස්ථර කිහිපයක් කඩා අස්ථියක් හරහා හා රුධිර නාල තුළට යා යුතුය.
“පටක හා අස්ථි බිඳගෙන යන තරමේ බලයක් මේ ටෙස්ට් යොදන්නේ නැහැ. මේවා අනවශ්‍ය බිය ගැන්වීම් සඳහා පතුරවන බොරු මත. මොළයට හානි සිදුවෙලා වැනි සංකූලතා මෙතෙක් අපට අසන්න ලැබිලා නැහැ,” වෛද්‍ය පවිත්‍රා ද සිල්වා පැවසුවාය.
“ටෙස්ට් එක කරනකොට උගුරේ, නාසයේ කැසීමක් වගේ දෙයක් දැනෙන එක සාමාන්‍යයයි. සමහරුන්ට පොඩි කැස්සක්, නැත්නම් ඔක්කාරයට එන ගතියක් දැනෙනවා. ඒ කිසිදෙයක් කල් පවතින ලක්ෂණ නෙමෙයි. ටෙස්ට් එකට කිසිසේත්ම බය වෙන්න ඕනේ නැහැ. බය වෙන්න ඕනේ කොරෝනාවෛරසය නිසා ලෙඩ වීමට,” ඇය තවදුරටත් පැවසීය.
PCR පරීක්ෂණය සිදු කරනු ලබන්නේ ඒ සම්බන්ධයෙන් නිසි පුහුණුවක් ලැබූ පිරිසක් වන අතර, එයින් හානි සිදුවීමක් ගැන ශ්‍රී ලංකාවෙන් වාර්තා වී නොමැති බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ බීබීසී සිංහල සේවයට පැවසීය.
මොකක් ද මේ PCR පරීක්ෂණය?
PCR swab (පුළුන් රැඳවූ දිග කූරක්) පරීක්ෂණය කොරෝනාවෛරසය සඳහා සම්මත රෝග විනිශ්චය ක්‍රමය ලෙස හැඳින්වේ. රසායනික ද්‍රව්‍ය භාවිත කරමින් වෛරසයේ ජානමය ද්‍රව්‍ය විස්තාරණය කිරීම මෙමගින් සිදුවේ. PCR යනු කෙටි නාමය වන අතර, එහි දිගුව වන්නේ Polymerase Chain Reaction යන්නය.
වෛරසය ඇති දැයි විනිශ්චය කිරීමට ඔබෙන් ලබා ගන්නා සාම්පල විද්‍යාගාර පියවර ගණනාවක් හරහා යා යුතුය.
පුළුන් රැඳවූ දිග කූරක් (Swab) නාසයෙන් හෝ මුඛයෙන් ඇතුළු කර උගුර සහ නාස් කුහරය කෙළවර ආසන්නයෙන් සෙම පටල ලබා ගැනීමෙන් පසු, එම සාම්පල PCR පරීක්ෂණය සඳහා පැය 48ක් තුළ රසායනාගාර වෙත යොමු කළ යුතුය.
එම රසායනාගාර අප එදිනෙදා දකින සාමාන්‍ය ඒවා නොවන අතර, විශේෂ දැනුමැති තාක්ෂණවේදීන්, විද්‍යාඥයන් සිටින රසායනාගාරය.
GETTY IMAGES
කොරෝනාවෛරස පරීක්ෂණයෙන් පසු ඔබට “ඔව්” හෝ “නැත” යනුවෙන් පිළිතුරක් ලැබේ. කෙසේනමුත් ලබා ගත් සාම්පල තුළ වෛරසය කොපමණ ප්‍රමාණයක් ඇත්ද යන්න හෝ ක්‍රියාකාරී ආසාදනයක් වීමට ඇති ඉඩකඩ පිළිබඳ කිසිදු සඳහනක් පරීක්ෂණ ප්‍රතිඵලවල සඳහන් වන්නේ නැත.
සක්‍රීය ලෙස වෛරස් විශාල ප්‍රමාණයක් ඇති පුද්ගලයෙකුට මෙන්ම දැනටමත් සුව වී ඇති ආසාදනයකින් ඉතිරිව ඇති කොටස් ඇති පුද්ගලයෙකුට ද ‘ධනාත්මක’ ලෙස පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙනු ඇත.
එංගලන්තයේ මහාචාර්ය හෙනගන් පවසන්නේ සාක්ෂි අනුව කොරොනාවෛරසය “සතියකට පමණ පසු ආසාදනය අඩු වන බව පෙනේ,” යනුවෙනි.
සක්‍රීය වෛරස තිබේදැයි බැලීමට සෑම සාම්පලයක්ම පරීක්‍ෂා කළ නොහැකි වුවද, කඩඉම් ලක්ෂ්‍යය විය යුත්තේ කොතැනදැයි විද්‍යාඥයින්ට සොයාගත හැකි නම් ව්‍යාජ ධනාත්මක ප්‍රතිඵල ලබා ගැනීමේ සම්භාවිතාව අඩු කළ හැකි බව ද මහාචාර්යවරයා පැවසීය.
මෙමගින් පැරණි ආසාදනයක් මත පදනම්ව ධනාත්මක ප්‍රතිඵලයක් ලබා දීම මෙන්ම පුද්ගලයන් අනවශ්‍ය ලෙස නිරෝධායනයට යොමු කිරීම වළක්වා ගත හැකිය.
“මගේ දරුවාට කොවිඩ් 19 ලක්ෂණ නිසා අපේ ගෙදර හැමෝම ටෙස්ට් කළා. හැබැයි දරුවා සහ ගෙදර හැමෝම නෙගටිව්, මම විතරක් පොසිටිව් වුණා. මේක හිතා ගන්න බැරි දෙයක්. මම දොස්තරලගෙන් ඇහුවමත් කිව්වේ මේ වගේ දරුණුවට පැතිරෙන වෛරස් එකක දී මේ වගේ දෙයක් අසාමාන්‍යයි කියලා. ඒක නිසා දවස් තුනකට පස්සේ මම ආයෙත් ටෙස්ට් කළා. ඒ ප්‍රතිඵලේ නෙගටිව්,” එංගලන්තයේ පදිංචි ශ්‍රී ලාංකික කාන්තාවක පැවසූ අතර, ඇය සිය අනන්‍යතාව හෙළි කිරීමට අකමැත්ත පළ කළාය.
මෙය සමාජ මාධ්‍ය ජාලවල පළවන සේ “භයානක” පරීක්ෂණයක් නොවන නමුත් සංකීර්ණ පරීක්ෂණයක් බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ පැවසීය.
ISIRV
වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ
“මෙය සිදු කරන කෙනාට භයානක වන්නේ නැහැ. නමුත් පියවර කීපයක් ඔස්සේ සිදුවන සංකීර්ණ පරීක්ෂණයක්. සමාජයෙන් නැගෙන තවත් චෝදනාවක් තමයි PCR පරීක්ෂණයට මේ තරම් කාලයක් ගත වන්නේ ඇයි කියන එක. ඔවුන් අසන්නේ ලේ පරීක්ෂාවක් වගේ ඉක්මණට මෙය සිදු කරන්න බැරි ඇයි කියලා. මේ තත්ත්වයට හේතුව, මේ වන විට සාම්පල් විශාල ප්‍රමාණයක් එන නිසා අපට කාලයක් ගත වෙනවා මේ පරීක්ෂණ සිදු කරන්න. එය ප්‍රමාදයක් නොවෙයි, නමුත් පරීක්ෂණයේ සංකීර්ණ බව එක්ක ගතවන කාලයයි”
“මෙය සංකීර්ණ ක්‍රියාවලියක් නිසා අපි නිවැරදි වාර්තාවක් දෙන්න ඕනේ. මෙහි දී සිදුවන්නේ යම් කාලයක් ගතවන සම්පූර්ණ ක්‍රියාවලියක්,” ඔහු තවදුරටත් පැහැදිලි කළේය.
PCR පරීක්ෂණය සම්බන්ධ විවිධ අත්දැකීම්
රටවල් ගණනාවක් හරහා ගුවන් ගමන් කීපයකින් පසු ශ්‍රී ලංකාවට පැමිණි නිල්මිණී PCR පරීක්ෂණ හතරකට මුහුණ දී ඇති අතර එම අත්දැකීම් බීබීසී සිංහල සේවයට පැවසුවාය,
“ලංකාවට එන්න ෆ්ලයිට් කීපයක් ගන්න වුණා, රටවල් දෙකක PCR කළා. ලංකාවට ඇවිත් නිරෝධායනයේ ආයෙත් PCR දෙකකට මුහුණ දුන්නා. මට මුලින් අපහසු වුණේ නැහැ. හැබැයි තුන්වෙනි එක කරළා පැය කීපයක් යනකොට නහය, මූණ ඉදිමුණා. දවසක් යනකොට ඒක හොඳ වුණා. කොහොම වුණත් මේකට බය වෙන්න ඕනේ නැහැ. ඊට වඩා ප්‍රශ්න වෙනවා ලෙඩේ හැඳුනොත්,” ඇය පැවසීය.
මේ අතර, ගම්පහ පදිංචි ධම්මිකා ලොකුහේවා පැවසුවේ, PCR පරීක්ෂණය කිරීමේ දී හෝ ඉන් පසුව ඇයට කිසිදු අපහසුතාවක් නොදැනුන බවය.
“මගේ ටෙස්ට් එක නෙගටිව් ආවා. ටෙස්ට් එක කරනකොට කිසිම අමාරුවක් වුණේ නැහැ. උගුරේ, නහයේ පොඩි කැසිල්ලක් ආවා විතරයි. ඒ අය කියන විදිහට හොඳට කට ඇරලා, දිව එළියට දමලා ඉවසීමෙන් හිටියාම හැමෝටම කරදරයක් නැහැ,” ඇය පැවසුවාය.
PCR පරීක්ෂණය සිදු කරන ආකාරය සහ කොරෝනාවෛරසය පිළිබඳ දිගින් දිගටම වීඩියෝ සහ ඡායාරූප නැරඹීම නිසා ඒ ගැන දැඩි බියකින් පෙළෙන බව කොළඹ පදිංචි සමාධි කුරුවිට බීබීසී සිංහල සේවයට පැවසුවාය.
“මට වෛරස ලක්ෂණවත් නැහැ. හැබැයි PCR කරනකොට අමාරු වෙන වීඩියෝ, ඡායාරූප දැකලා, විවිධ අය කියන කතා අහලා හොඳටම බයක් දැනෙනවා මේ ගැන. මේවා ඇත්තද බොරුද කියලා හිතා ගන්න අමාරුයි.”
AMILAWANNINAYAKA/FACEBOOK
Swab එකට හුස්ම ගැනීමෙන් පමණක් පරීක්ෂණය සිදු කළ නොහැකිද?
“කෝවිඩ් ඇත්තටම ඔබේ හුස්මෙන් බෝ වෙනවා නම්, ඔබට Swab එක මත හුස්ම ගන්න බැරි ඇයි? එය ඔබේ නාසයේ පිටුපසට තල්ලු කළ යුත්තේ ඇයි?” යනුවෙන් ඉන්ස්ටග්‍රෑම් බොහෝ දෙනෙකු අතර බෙදී ගිය ප්‍රකාශයක් දක්නට ලැබිණි.
ආසාදිත පුද්ගලයෙකුට කැස්ස හෝ කිවිසුම් යන විට වෛරසය පිරී ඇති කුඩා බිඳිති වාතයට එකතු වීමෙන් එය පැතිරී යා හැකිය. නමුත්, රසායනාගාර පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ප්‍රමාණවත් ද්‍රව්‍ය මෙමගින් එකතු නොවේ.
“නාසයෙන් හෝ උගුරෙන් සෙම් පටල ගැනීමෙන් වඩාත් නිවැරදි පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙනවා,” යැයි වෛද්‍ය පවිත්‍රා ද සිල්වා තවදුරටත් පැවසුවාය.
සිහින් කූරකට හුස්ම පිටකිරීමෙන් වෛරස් අංශු හෝ වෛරසය රැගෙන යන සෛල හඳුනාගත නොහැකිය. නමුත්, නාසයට සහ උගුරට Swab ඇතුළු කර ලබා ගන්නා සෙම් පටලවලින් වඩාත් නිවැරදි ප්‍රතිඵලයක් ලැබෙනු ඇත.
PCR පරීක්ෂණය යොදාගන්නා වෙනත් කාර්යයන්
කුඩා DNA සාම්පලයක පිටපත් විශාල ප්‍රමාණයක් ගෙන ගැඹුරින් අධ්‍යයනය කිරීම සඳහා භාවිතා කරන්නේ ද PCR පරීක්ෂණයයි.
අධිකරණ වෛද්‍ය විද්‍යාවේ දී අපරාධකරුවන් හඳුනාගැනීම සහ වෙනත් කාර්යයන් සඳහා ද මෙම පරීක්ෂණය යොදාගනු ලැබේ.
ඊට අමතරව පුද්ගලයෙකුගේ දෙමාපියන් හඳුනාගැනීම මෙන්ම විවිධ ආසාදන හඳුනාගැනීමටද මෙම පරීක්ෂණය යොදා ගැනේ.
උපුටා ගැනීම – බීබීසී සිංහල
වැඩබිම