දේශගුණික විපර්යාස නිසා ලිංගික ප්‍රචණ්ඩත්වය ඉහළ යනවාද ?

දේශගුණික විපර්යාස නිසා ලිංගික ප්‍රචණ්ඩත්වය ඉහළ යනවාද ?

සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශකයකින් වැඩිවීම ශාරීරික හා ලිංගික ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය 6%කට වඩා වැඩි වීම හා ඍජුව සම්බන්ධ වේ

දේශගුණික අර්බුදය මධ්‍යයේ ඉන්දියාවේ, චීනයේ, එක්සත් ජනපදයේ සහ යුරෝපයේ නගර හරහා මාරාන්තික තාප තරංග හමා යද්දී, උෂ්ණත්වය ඉහළ යාම කාන්තාවන්ට එරෙහි ගෘහස්ථ හිංසනය සැලකිය යුතු ලෙස ඉහළ යාම සමඟ සම්බන්ධ වී ඇති බව නව පර්යේෂණයකින් සොයා ගෙන ඇත.

පසුගිය දා JAMA Psychiatry හි ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් කියා සිටියේ සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වයේ සෙල්සියස් අංශක එකක වැඩිවීමක් දකුණු ආසියානු කලාපයේ රටවල් තුනක් වන ඉන්දියාව, පාකිස්ථානය සහ නේපාලයේ ශාරීරික හා ලිංගික ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ (sexual domestic violence) සිදුවීම් 6.3%කින් ඉහළ දැමීමට හේතු වූ බවයි.

මෙම අධ්‍යයනයෙන් 2010 සහ 2018 අතර ඉන්දියාව, පකිස්තානය සහ නේපාලය යන රටවල වයස අවුරුදු 15-49 අතර ගැහැණු ළමයින් සහ කාන්තාවන් 194,871ක් නිරීක්ෂණය කරන ලද අතර ඔවුන්ගේ චිත්තවේගීය, කායික සහ ලිංගික හිංසනය පිළිබඳ වාර්තා ලබා ගෙන ඇත. පර්යේෂකයින් එම දත්ත අදාළ කාලපරිච්ඡේදය පුරා උෂ්ණත්ව උච්ඡාවචනයන් සමඟ සංසන්දනය කළේය. මෙම රටවල් අතර වැඩිම සමීප සහකරු ප්‍රචණ්ඩත්වය (intimate partner violence) වාර්තා වී ඇති ඉන්දියාව තුළ අපයෝජනයන්හි විශාලතම වැඩිවීමක් ද වාර්තා කළේය. ඉන්දියාව තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක එකක වැඩිවීමත් සමඟ ශාරීරික හිංසනය 8% කින් සහ ලිංගික හිංසනය 7.3% කින් ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය විය.

ලොව පුරා රටවල් දැනටමත් අධික උෂ්ණත්ව හා තාප තරංගවල ග්‍රහණයට ලක්ව ඇත. මේ මාසයේ, ඉන්දියාව  සෙල්සියස් අංශක 45 දක්වා උෂ්ණත්වයක් වාර්තා කරන ලද අතර තාපය ආශ්‍රිත මරණ දුසිම් ගණනක් වාර්තා කළේය. මධ්‍යධරණී යුරෝපය වාර්තාගත අප්‍රේල් තාප තරංගයකින් බැට කෑවේය. එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තය සෙල්සියස් අංශක 46C දක්වා වූ මාරාන්තික උෂ්ණත්වයක් සමඟ අරගල කළේය. මේ අතර  චීනයේ උතුරු නගරවල වාර්තාගත සෙල්සියස් අංශක 40 ට වැඩි උෂ්ණත්වයක් වාර්තා වීම සමග චීන රජයේ අනතුරු ඇඟයීමේ රතු නිවේදන නිකුත් කළේය.

යේල් විශ්ව විද්‍යාලයේ පාරිසරික සෞඛ්‍ය පිළිබඳ මහාචාර්යවරියක් සහ අධ්‍යයනයේ සම කර්තෘවරියක් වන මිචෙල් බෙල් පැවසුවේ “කායික විද්‍යාත්මක සහ සමාජ විද්‍යාත්මක යන දෙඅංශයෙන්ම බොහෝ විභව මාර්ග පවතින අතර එමඟින් ඉහළ උෂ්ණත්වය ප්‍රචණ්ඩත්වයේ අවදානමට බලපෑ හැකි” බවයි. අධික උෂ්ණත්වය බෝග අස්වැන්න අඩුවීමට හෝ විනාශ වීමට, යටිතල පහසුකම්වලට බාධා කිරීමට, මිනිසුන් ගෘහස්ථව කොටු කර ඔවුන් වැඩ කිරීමට නොහැකි තත්ත්වයට පත් කිරීමට හේතු විය හැකිය. මේ අතර ඉහළ උෂ්ණත්වය හේතුවෙන්  පවුල් දැඩි ආතතියට පත් කළ හැකි අතර එහි සමාජිකයින් තුළ ප්‍රචණ්ඩත්වය උත්තේජනය කළ හැකිය. පර්යේෂකයන් සොයා ගත් පරිදි සියලුම ආදායම් කණ්ඩායම් අතර තාපය හා සම්බන්ධ ප්‍රචණ්ඩත්වයේ වැඩිවීමක් තිබුණ ද, විශාලතම වැඩිවීම අඩු ආදායම්ලාභී සහ ග්‍රාමීය කුටුම්භ අතර වාර්තා විය.

ඉන්දීය කාන්තා ක්‍රියාකාරිනියක වන සුනීති ගාර්ගි පැවසුවේ ඉන්දීය ග්‍රීෂ්ම ඍතුවේ දී තාප තරංග වාර්ෂිකව සිදුවන ක්‍රියාවලියක් බවයි. දේශගුණික අර්බුදය හේතුවෙන් ඒවා වඩාත් නරක අතට හැරෙන බව ඇයට ඒත්තු ගොස් ඇති අතර ඇය දකින ගෘහස්ථ හිංසන මට්ටම් සමඟ ඒවා සම්බන්ධ කරයි.

“අසාමාන්‍ය ලෙස ඉහළ උෂ්ණත්වයන් වඩාත් සුලභ වෙමින් පවතින බව මම දකිනවා. එමගින් පවුල් තුළ දැවැන්ත ආර්ථික පීඩනයක් ඇති කරනවා. මෙම තත්ත්වයට මුහුණ දෙන මිනිසෙකුට රැකියාවක් ලබා ගැනීම සඳහා වෙනත් ප්‍රාන්තයකට සංක්‍රමණය විය හැකි නම් ගැටලුවට කිසියම් සහනයක් ලැබෙනවා. නමුත් කුමන හේතුවක් නිසා හෝ ඔහුට එසේ කළ නොහැකි වූ විට ඔහුගේ බිරිඳ ඔහුගේ කෝපය සහ නිෂ්ඵල හැඟීම්වල ගොදුරක් බවට පත් වෙනවා’’ සුනීති පැවසුවාය.

එක් කාන්තාවක් සුනීති හරහා සම්බන්ධ වෙමින් මෙම ලේඛකයා සමග කියා සිටියේ මැයි සහ ජුනි මාසවල උණුසුම ඇති වූ විට සහ තම සැමියාට කුඹුරුවල වැඩ කිරීමට නොහැකි වූ විට ඔවුන්ට ඔවුන්ගේ එකම ආදායම් මාර්ගය අහිමි වන බවයි.

“ඔහු කෝපයට පත් වන්නේ දරුවන්ට කන්න දෙන්න දෙයක් නැති නිසා ඔහු අසරණ වන නිසයි. ළමයි කෙඳිරි ගගා රණ්ඩු වෙද්දී ඒ ගැන කළකිරෙන එයා ඒක මගේ පිටින් පිට කරනවා. ඔහු ඔවුන්ටත් පහර දෙනවා. පසුව දරුවන්ට පහර දීම ගැන ඔහු පසුතැවිලි වෙනවා. නමුත් පසුවදා ඔහුට යමක් උපයා ගැනීමට නොහැකි වූ විට ඔහු එය නැවත කරනවා’’ ඇය තමා මුහුණ දෙන තත්ත්වය පැහැදිලි කරමින් කීවාය.

ෂැංහයි හි ෆුඩාන් විශ්ව විද්‍යාලය විසින් කරන ලද අධ්‍යයනය උෂ්ණත්වය ඉහළ යාම වඩාත් ප්‍රචණ්ඩකාරී ලෝකයකට, විශේෂයෙන් කාන්තාවන්ට බලපාන්නේ කෙසේද යන්න පෙන්වන නවතම පර්යේෂණ ක්ෂේත්‍රයකට මුල පිරීමකි. මැඩ්රිඩ් හි පෙර පර්යේෂණයකින් හෙළි වූයේ තාප තරංගයක් ඇති වූ විට සමීප සහකරු අතින් සිදුවිය හැකි ස්ත්‍රී ඝාතන අවදානම 40% කින් ඉහළ යා හැකි බවයි. කෙන්යාවේ උෂ්ණ තරංග ඇතුළුව දරුණු කාලගුණික සිදුවීම්වලට මුහුණ දුන් කාන්තාවන්ට සමීප සහකරු වෙතින් ප්‍රචණ්ඩත්වයට ලක්වීමේ සම්භාවිතාව 60%ක් බව හෙළිවිය. ගෝලීය අධ්‍යයනයන් මගින් හෙළි වූයේ උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ අන්තර් පුද්ගල ප්‍රචණ්ඩත්වයේ (interpersonal violence) අවදානම 2.3% කින් සහ අන්තර් කණ්ඩායම් ගැටුම් (intergroup conflicts) 13.2%කින් වැඩි වී ඇති බවයි.

සමාජ හා ආර්ථික සාධක මෙන්ම, තාපය මිනිස් සිරුර මත ඇති කරන බලපෑම ද මෙහිදී අතිෂයින් වැදගත්ය.

“ඉහළ උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයින් තුළ ආතතිය වර්ධනය වන බවට පැහැදිලි සාක්ෂි තිබෙනවා. එය ආක්‍රමණශීලීත්වය වර්ධනය කරන අතර මානසික රෝග උග්‍ර කරනවා” බෙල් පැවසුවාය.

තීව්‍ර තාප නිරාවරණය හේතුවෙන් ඇඩ්‍රිනලින් නිෂ්පාදනය ඉහළ යන බව පර්යේෂණවලින් සොයාගෙන ඇති අතර එමඟින් ඉහළ ආක්‍රමණශීලීත්වය සක්‍රීය කළ හැකි අතර චිත්තවේගීය නියාමනය හා සම්බන්ධ මොළයේ ප්‍රදේශ සක්‍රීය කරයි. කාංසාව සහ පශ්චාත් කම්පන ආතති ආබාධ ඇතුළු මානසික රෝගවල බලපෑම් නරක අතට හැරීම සමඟ ද තාප තරංග සම්බන්ධ වේ.

බොහෝ රටවල් දැනටමත් තාප තරංග වලදී තාපය ආශ්‍රිත රෝගාබාධ වලින් (heat-related illness) සිදුවන මරණ ගණනය කරයි. නමුත් තාප තරංග හේතුවෙන් සිදුවන ගෘහස්ථ හිංසන සිදුවීම්වලදී මිය යන කාන්තාවන්ගේ ඉහළ යන සංඛ්‍යා ඔවුන් ග්‍රහණය කර නොගනී.

දේශගුණික විපර්යාසවල අහිතකර සෞඛ්‍ය ප්‍රතිඵල බොහොමයක්  හොඳින් අධ්‍යයනය කර ඇති බව බෙල් පැවසුවාය. “මෙම අධ්‍යයනයේ විස්තර කර ඇති පරිදි අඩුවෙන් අධ්‍යයනය කර ඇති සෞඛ්‍ය අවදානම් හේතුවෙන් දේශගුණික විපර්යාසවල සැබෑ මහජන සෞඛ්‍ය බලපෑම අවතක්සේරු කළ හැකියි”

වසර 15ක් පුරා ගෘහස්ථ හිංසනයට ගොදුරු වූවන්ට උපකාර කරන ශිල්පි සිං පැවසුවේ දේශගුණික අර්බුදය හේතුවෙන් පිරිමි සහ ගැහැණු අතර සාම්ප්‍රදායික අසමානතා වඩාත් නරක අතට හැරී ඇති බවයි.

ඇය මෙසේ පැවසුවාය: “යහපත් කාලවලදී පවා තම  බිරිඳට පහර දීම ගම්බද පිරිමි අතර පවතින සිරිතක්. තම අභිමතය පරිදි  බිරිඳට පහර දීම ඔහුගේ අයිතියක් ලෙස පිරිමි සලකනවා. කාන්තාවන් මෙය අභ්‍යන්තරීකරණය කර එය ඔහුගේ අයිතියක් ලෙස පිළිගෙන තිබෙනවා. අලුත්ම ප්‍රවණතාව නම් අධික උණුසුම හෝ අයහපත් කාලගුණය නිසා ඇති වන කලකිරීමයි. එය පවුලට ආර්ථික දුෂ්කරතා ඇති කරන අතර බිරිඳට පහර දීමේ සාමාන්‍ය සම්ප්‍රදායික තත්ත්වය පවා නරක අතට හැරෙනවා. ගැහැණු අය මට කියන්නේ උෂ්ණ තරංගයක් හෝ ගංවතුරක් නොමැති විට සහ පිරිමියා රැකියාවට ගිය විට තත්වය පහසු වන බවයි. ඔහු දවසේ වැඩි කාලයක් එළියේ ගත කිරීම මේ තත්ත්වයට හේතුවයි. නමුත් අයහපත් කාලගුණය ඔහුව නිෂ්ක්‍රීය කර නිවසේ සිටීමට බල කරන විට තත්ත්වය යළි අයහපත් අතට හැරෙනවා. පවුලට ආහාර සැපයිය නොහැකි වීම සමග ඔහු තුළ ඇති වන අධික කෝපය සහ ආතතිය නිසා ඔහු ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට යොමු වෙනවා’’ ශිල්පි සිං පැවසුවාය.

https://www.theguardian.com/environment/2023/jun/28/climate-crisis-linked-to-rising-domestic-violence-in-south-asia-study-finds

(climatealart)