දේශගුණික විපර්යාසවල විශාලතම බර දරන්නේ කාන්තාවන්

දේශගුණික විපර්යාසවල විශාලතම බර දරන්නේ කාන්තාවන්

Susan Chomba  සිය සුඛෝපභෝගී මෝටර් රථයේ ජනේලයෙන් ප්‍රතිවිරුද්ධ දිශාවට වේගයෙන් ධාවනය වන යතුරුපැදි දුසිම් ගණනක් දෙස බලයි. සෑම යතුරුපැදියකම අවම වශයෙන් අඟුරු බෑග් පහක් රැගෙන යන අතර සෑම මල්ලක් සඳහාම අවම වශයෙන් මධ්‍යම ප්‍රමාණයේ ෂිටිම් ගස් තුනක් කපා පුළුස්සා දැමිය යුතුය. කෙන්යාවේ ගල් අඟුරු නිෂ්පාදනය තහනම් කර ඇත, නමුත් ඒවා තවමත් ගෘහස්ථ උණුසුම සහ ආහාර පිසීම සඳහා බහුලව භාවිතා වේ.

චොම්බා ගස් වලට ආදරය කරයි. ඇයට අසංඛ්‍යාත විශේෂවල විද්‍යාත්මක සහ දේශීය නම් මතකයෙන් ප්‍රකාශ කළ හැකි අතර ඒවායේ පරමාදර්ශී වර්ධනය වන තත්වයන් විස්තර කළ හැකිය. ඇය වන පාලනය පිළිබඳ ආචාර්ය උපාධියක් සහ කෘෂිකර්ම සංවර්ධනය සහ කෘෂි වන වගාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධි ලබා ඇත. ලාභ නොලබන ලෝක සම්පත් ආයතනයේ (World Resources Institute – WRI) ආහාර, ඉඩම් සහ ජල වැඩසටහන් අධ්‍යක්ෂවරියකි. ඇය ඩොලර් මිලියන 20ක් සහ 100ක කාර්ය මණ්ඩලයක් කළමනාකරණය කරයි.

ලෝකයේ ඉහළම දේශගුණ විද්‍යාඥයින්ගෙන් දළ වශයෙන් 12%ක් කාන්තාවන් වන අතර සියයට එකකට වඩා අඩු ප්‍රමාණයක් අප්‍රිකාවෙන් බිහිවී ඇත. (දේශගුණික විපර්යාසවලින් දැඩි ලෙස පීඩාවට පත් මහාද්වීපය)

“ඔබ ලෝකය ක්‍රියාත්මක වන ආකාරය දෙස බැලුවහොත් දේශගුණික විපර්යාසවල විශාලතම බර දරන්නේ කාන්තාවන් බව වටහා ගන්නා බව නිසැකයි” චොම්බා පවසයි.

චොම්බා එවැනි ප්‍රධාන භූමිකාවක සිටින අප්‍රිකානු කාන්තාවකි. විශේෂයෙන් ඇය වඩාත් පීඩාවට පත් වූ සහ බොහෝ විට නොඇසූ ප්‍රදේශවල ගොවීන්, වැඩිහිටියන් සහ විශේෂයෙන් කාන්තාවන්ගේ අදහස් ලබා ගැනීමට ප්‍රිය කරයි.

“ලෝකයේ දේශගුණය බොහෝ දුරට දකින්නේ පුරුෂ දෘෂ්ටිකෝණයකින්” චොම්බා පවසයි.

නිදසුනක් වශයෙන් පිරිමි දේශගුණ විද්‍යාඥයින් තෙල් සහ ගෑස් වැනි පොසිල ඉන්ධන වෙනුවට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් සංවර්ධනය කිරීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන අතර, ඉවුම් පිහුම් වැනි කාර්යයන් සඳහා දර පුළුස්සන ලොව පුරා මිලියන සිය ගණනක් කාන්තාවන් කෙරෙහි ඔවුන් දක්වන අවධානය අඩු බව චොම්බා විශ්වාස කරයි. දේශගුණය සඳහා කාන්තාවන්ගේ (විශේෂයෙන් දිළිඳු, ග්‍රාමීය කාන්තාවන්ගේ) ඉදිරි දර්ශන ඇතුළත් කිරීම වඩාත් හොඳින් සවිස්තරාත්මක විසඳුම් සහතික කරනු ඇති බව ඇය පවසයි.

චොම්බාට වයස අවුරුදු 40කි. නමුත් කුඩා කාලයේදී තම පවුලට ප්‍රමාණවත් ආහාර ලබා දීමට ගොවිපොළ අසමත් වූ විට ඇය විඳි කුසගින්න ඇයට තවමත් මතකය. ප්‍රඥාවන්ත සහ ගැඹුරු වෙනස්කම් ඉක්මනින් සිදු නොකළ හොත් බොහෝ විට කාන්තාවන් සහ ළමයින් වැඩි පිරිසකට තමා මුහුණ දුන් ඉරණමම හෝ වඩාත් නරක ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇති බව ඇය කියයි.

අද, ඇය WRI විශේෂඥයින් කණ්ඩායමක් සමඟ නයිරෝබි සිට කෙන්යාවේ මහා රිෆ්ට් නිම්නයේ බැරිංගෝ ප්‍රාන්තය දක්වා ගමන් කරයි. එය කෙන්යාවේ ජලයෙන් 75%ක් සපයන කඳුකර වනාන්තරවල නිවහන වේ. නමුත් කෘෂිකර්මාන්තය ස්වභාවික පරිසරයන් කරා ව්‍යාප්ත වීම, අඟුරු සහ දැව කැපීම සඳහා සිදුවන වන විනාශය, නාගරීකරණය සහ දේශගුණික විපර්යාස නිසා භූමිය විනාශ වී ඇති අතර එය පිපාසයෙන් හා හිස්ව පවතී. ප්‍රදේශවාසීන් පවසන්නේ වසර තුනකින් තම ප්‍රධාන බෝග වන බඩඉරිඟු හෝ බෝංචි අස්වැන්නක් නොලැබුණු බවයි.

චොම්බා සහ ඇගේ කණ්ඩායම ගොවිබිම් මධ්‍යයේ පොළව දෙකට බෙදී ඇති යෝධ ගුලියක් නැරඹීමට පැමිණේ. මෙම ප්‍රදේශය අධික ලෙස අස්වනු නෙළා ඇති අතර, පස එකට තබා ගැනීමට ස්වභාවික තෘණ හෝ දේශීය ගස් කිහිපයක් ඉතිරිව ඇත. එය දේශගුණික විපර්යාස සහ දැඩි වියළි සමයක් සමඟ එකතු වී භූමිය වියළී ගිය, ඉරිතලා ගිය සමක් මෙන් පෙනේ.

වයෝවෘද්ධ ගොවියෙක් ගසක් පෙන්වා පවසන්නේ එම දේශීය ශාක විශේෂයෙන් පිසින තෙල් ලබා ගත හැකි බවයි.

“Terrafund හරහා අපට මෙය කළ හැක්කේ කෙසේද?” ඉඩම් හායනය සහ ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපාරවලට සහාය වීම සඳහා WRI හි ණය දීමේ වැඩසටහන ගැන සඳහන් කරමින් චොම්බා ඇගේ කණ්ඩායමෙන් ඉල්ලා සිටී. “අපට දැනුමක් ඇති මුසාවක් [වැඩිහිටියෙක්], ආයෝජනය කිරීමට අවශ්‍ය අරමුදලක් සහ බීජ පැල අවශ්‍ය ස්ථානයක් තිබෙනවා”

ප්‍රජාව විසින් මෙහෙයවන අදහස් සඳහා හදිසි අවශ්‍යතාවයක් තිබේ. නමුත් ඉක්මන් සහ අසම්පූර්ණ “විසඳුම්” හානිය උග්‍ර කළ හැකිය, බරිංගෝ ප්‍රාන්තයට යන ගමනේදී චොම්බා තර්ක කරයි. නිදසුනක් වශයෙන් පසුගිය වසර අවසානයේදී කෙන්යාවේ අලුතින් තේරී පත් වූ ජනාධිපති විලියම් රූටෝ 2032 වන විට කෙන්යාවේ ගස් බිලියන 15ක් සිටුවීමට තම අභිප්‍රාය ප්‍රකාශ කළේය. නමුත් කුමන විශේෂයක් (ස්වදේශීය හෝ විදේශීය) සිටුවන්නේද යන්න සඳහන් කිරීමට එම සැලැස්ම අපොහොසත් වන බව චොම්බා පවසයි. ඒවා රෝපණය කරන්නේ කොහේද (වන රක්ෂිත හෝ ගොවිපළ), ඒවා සිටුවන්නේ ඇයි (දැව, කාබන්, පලතුරු හෝ පාංශු සාරවත් බව සඳහා) සහ ඇත්ත වශයෙන්ම ඒවා වගා කරන්නේ කවුද? යන ප්‍රශ්නවලට නිසි සැලසුමක් ජනපතිවරයාට නැති බව ඇය පෙන්වා දෙයි.

“යක්ෂයා විස්තරවල ඉන්නවා. ඔබ වනාන්තර විනාශයට බලපාන හේතු ගැන අවධානය යොමු නොකරන්නේ නම්, ඔබේ ගස් සිටුවීම ගැන අමතක කරන්න. එය නිෂ්ඵලයි” චොම්බා පවසයි.


චොම්බා හැදී වැඩුණේ මධ්‍යම කෙන්යාවේ කිරිනියාගා ප්‍රාන්තයේ වන අතර එහිදී ඇගේ මව සුළු මාමා කෙනෙකුට අයත් කුඩා ඉඩමක් වගා කළාය. චොම්බාගේ මව කැප්සිකම් සහ ෆ්‍රෙන්ච් බෝංචි වගා කළ අතර අනෙකුත් ගොවීන් සමඟ සමුපකාර පිහිටුවා ගත් අතර එමඟින් ඔවුන්ට අපනයනය සඳහා නිෂ්පාදන එකතු කර ගත හැකි විය. ඇගේ මව තනි මාපියෙකු වූ නිසාත්, නිතරම රැකියාව කරන නිසාත්, චොම්බා බොහෝ දුරට හැදී වැඩුණේ ඇගේ ආච්චි ළඟය.

“එයා මට නිතරම කිව්වේ ඉස්කෝලේ යන්න තිබුණා නම්, එයාගේ නාස්පුඩු වලින් දැනුම දුම් පිටවෙන තරමට ඉගෙන ගන්න තිබුණා කියලා. දරිද්‍රතාවයෙන් මිදීමට, එදා අපට තිබූ ජීවිතයෙන් මිදීමට ඇති එකම මාර්ගය අධ්‍යාපනය බව මට අව‍බෝධ කර වීමට ඇය වග බලා ගත්තා” චොම්බා පවසයි.

චොම්බාට වයස අවුරුදු නවයේදී, ඇගේ මවට ඇයව ප්‍රදේශයේ පාසලකට යැවීමට අවශ්‍ය වූ නමුත්  ඇතුළත් කිරීමේ කාර්ය මණ්ඩලය ඇගේ කුණු ඇඳුම් දෙස එක බැල්මක් හෙළා ඇයව ප්‍රතික්ෂේප කළේය.

“මගේ ළමා කාලයේ දුප්පත්කම ගැන මම ලැජ්ජා  වුණේ නැහැ. එය මාව එදා ඉදිරියට ගෙන ගිය අතර අද දක්වා මා සංවේදී කරන්නේ එයයි.” චොම්බා පවසයි.

ඒ වෙනුවට, චොම්බා බටහිර කෙන්යාවේ වෙනත් පාසලකට බස් රථයක තනිවම ගමන් කළාය. වසර කිහිපයකට පසු චොම්බාගේ මවගේ මුදල් නැති වූ විට චොම්බා නැවත කිරිනියාග පළාත් උසස් පාසලට පැමිණියාය. සෑම සිසුවෙකුටම ගොවිතැන් කිරීමට තමන්ගේම කුඩා ඉඩමක් ලබා දී ඇති අතර, කිරින්‍යාගයේ සීතල දේශගුණය තුළ වගාබිම් සශ්‍රීක වූ නිසා චොම්බා ගෝවා වගා කළාය. රසායනික පළිබෝධනාශක වෙනුවට සුදු ළූණු සහ බ්ලැක් ජැක් භාවිතා කිරීමට ඇය තීරණය කළේ කාබනික ගොවිතැන අත්හදා බැලීමටය.

චොම්බා පුළුල් සිනහවක් දල්වයි: “මගේ ගෝවා ඉතා විශාලයි.”

1990 ගණන්වල අගභාගයේ සහ 2000 ගණන්වල මුල් භාගයේදී, කෙන්යානුවන් ඒකාධිපති ඩැනියෙල් අරප් මෝයිට එරෙහිව අරගල කරන විට, වංගරි මාතායි / Wangari Maathai වනාන්තර සංරක්ෂණය සඳහා බලපෑම් කරමින් බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සටන් කළාය. නොබෙල් සාම ත්‍යාගයක් දිනූ පළමු අප්‍රිකානු කාන්තාව වන මාතායි, තරුණ, කාන්තා කෙන්යානු පරිසරවේදීන්ගේ පරම්පරාවකට ආස්වාදයක් ලබා දුන්නාය.

“අපි දැන් මහාචාර්ය වංගරි අගය කළා. සොබාදහම අපි හැමෝටම අයිති බව ඇය අපට ඉගැන්නුවා.” චොම්බා පවසයි.

චොම්බාට නීතිය හැදෑරීමට අවශ්‍ය වූ නමුත් එක් ලකුණක් අඩු වූ නිසා ඇයට එම අවස්ථාව අහිමි විය. ඇගේ දෙවන තේරීම වූයේ කෘෂිකාර්මික ආර්ථික විද්‍යාව වූ නමුත් දෛවයේ අමුතු පෙරළියක් නිසා ඇය වන විද්‍යා පාඨමාලාවකට ඇතුළත් වූවාය. චොම්බා කෘෂි වන විද්‍යා පන්තියකට සහභාගී වූ විට ඇගේ තුන්වන වසරට පසුව, තමාට හිමි ස්ථානය සොයාගත් බව ඇයට වැටහුණි.

“දෙවියන් මා වෙනුවෙන් මගේ ජීවිතය තෝරා ගත්තා” ඇය සංවේදී ස්වරයෙන් පවසයි.

මාතායි වීදිවල උද්ඝෝෂණ කරන අතරතුර, චොම්බා ඇගේ ශක්තීන්ට වඩා ගැළපෙන වෙනත් මාර්ගයක් තෝරා ගත්තාය. ඒ පර්යේෂණ කිරීමය.

“මම ක්‍රියාකාරීත්වයට ගොඩක් ගරු කරනවා. මම හිතන්නේ අපිට ක්‍රියාකාරීත්වය අවශ්‍යයි” චොම්බා පවසයි. නමුත් ඇය ඒ වෙනුවට තෝරා ගත්තේ පද්ධතිමය ව්‍යුහයන් වෙනස් කිරීමට පදනම ලෙස සාක්ෂි මත පදනම් වූ දත්ත මත යැපෙන රැකියාවකි.

චොම්බා කෘෂි වන විද්‍යාව පිළිබඳ පර්යේෂණ සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානයට (International Centre for Research in Agroforestry – ICRAF) සම්බන්ධ වූ අතර, “Regreening Africa” නමින් රටවල් අටක ඉඩම් ප්‍රතිසංස්කරණ වැඩසටහනකට නායකත්වය දුන්නාය. එය අප්‍රිකාවේ විනාශ වූ ඉඩම් හෙක්ටයාර මිලියනයක් ප්‍රතිසංස්කරණය කළේය.

මේ වන විට තනි මාපියෙකු වූ චොම්බාට යුරෝපයේ ද්විත්ව ශාස්ත්‍රපති උපාධිය හැදෑරීම සඳහා තම පුතා තම මව සමඟ නිවසේ තබා යුරෝපයට යාමට සිදු විය.

ICRAF හි චොම්බාගේ පළමු උපදේශකයෙකු වන Tom Vandenbosch පවසන්නේ ඇයට ඇත්තටම සටන් කිරීමට සිදු වූ බවයි. “ඇයට ඇගේ අධ්‍යාපනය අවසන් කිරීමට යුරෝපයට යාමට සිදු වූ විට ඇයට කුඩා පුතෙකු සිටියා. එය එතරම් පහසු දෙයක් නොවේ.”

චොම්බා නැවත ICRAF වෙත පැමිණියේ දේශගුණික විපර්යාස පර්යේෂකයෙකු ලෙසය. COP වෙනුවෙන් ඇය පසුව තම මව්බිම නියෝජනය කළාය.

චොම්බා එම අවස්ථාව ගැන මෙසේ ආවර්ජනය කළාය. “තරුණ පර්යේෂකයෙකු ලෙස මා මෙතෙක් අල්ලාගෙන සිටි වඩාත්ම නිහතමානී අවකාශය එය වන අතර එම කාර්යය මගේ ආත්මයේ සමාජ සාධාරණත්වය ස්පර්ශ කළා”

මෙම අත්දැකීම චොම්බාට කෝපන්හේගන් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය ලබා ගැනීමට උත්තේජනයක් විය.

චොම්බා 2009 දී විවාහ වූ අතර 2010 දී යළි පුතෙකු බිහි කළාය. ඇගේ පුතුන් දෙදෙනාම පරිසරයට උනන්දුවක් දක්වන බව පෙනේ, නමුත් “ළමයින් කිසි විටෙකත් තම දෙමාපියන්ට අවශ්‍ය දේ නොකරන” බව චොම්බා පිළිගනී.


චොම්බාගේ කණ්ඩායම පැය පහක ගමනකින් පසු Baringo ප්‍රාන්තයේ රජයේ කාර්යාල වෙත ඇදී, කුඩා කාර්යාලයකට ඇතුළු වී ප්‍රාදේශීය නිලධාරීන් වාඩි වී සිටින මේසයක් වටා රොක් වේ. ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක වීමට ඇයට ඔවුන්ගේ කාර්ය මණ්ඩලය, සම්පත් සහ අනුමැතිය අවශ්‍ය වනු ඇත.

ඇය උපක්‍රමශීලීව Terrafund සඳහා අයවැය අංක සඳහන් කරන අතර, මහා රිෆ්ට් නිම්න කලාපය සඳහා වෙන් කර ඇති මුදල (ඩොලර් මිලියන 6) ගැන ප්‍රකාශ කරන විට නිලධාරීන් කෙළින් වූ අතර ඔවුන්ගේ උනන්දුව වැඩි විය.

එහෙත් අභියෝග ඉතිරිව පවතී. චොම්බා නීතිවිරෝධී අඟුරු නිෂ්පාදනය පිළිබඳ ප්‍රශ්නය ඉදිරිපත් කරයි. කෙන්යාවේ අරගලකාරී ආර්ථිකය උපුටා දක්වමින් එක් රාජ්‍ය නිලධාරිනියක් ඇගේ උත්සුකයන් පසෙකට දමයි. “ඔවුන්ට වෙනත් විකල්පයක් නොමැති නිසා ඔවුන් අඟුරු විකුණනවා,” ඇය පවසයි.

චොම්බා ඇස් කරකවයි.

පසුදා උදෑසන, චොම්බා බිම් මට්ටමේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය-බලගැන්වීමේ සමුපකාරයේ කොටසක් වන කාන්තාවන් සමඟ කතා කරමින් පැය ගණන් දැඩි උණුසුමේ ගත කරයි. Florence Lomariwo (ෆ්ලෝරස් ලොමාරිවෝ) ගැහැණු ලිංගික අවයව කැපීමෙන් සහ ළමා විවාහයෙන් බේරීමට ළමා වියේදී තම නිවසින් පලා ගොස් විද්‍යාල අධ්‍යාපනය ලැබූ ගුරුවරියක් බවට පත් වූවාය. නියඟය නිසා තම ගවයින්ට තණකොළ හා වතුර සෙවීම සඳහා නිවසින් ඈතට යන පිරිමි එඬේරුන් අතර සන්නද්ධ ගැටුම් ඇති වන ආකාරය ඇය විස්තර කරයි. හුදෙකලාව, කාන්තාවන් මෙහි බර දරයි.

“බොහෝ කාන්තාවන් ජලය නොමැතිකම නිසා මරණයට පත් වෙනවා,” ලොමාරිවෝ පවසයි. “තම පවුල ජීවත් කරවීමට නම් කිලෝමීටර 100 ක් වුවද කාන්තාවක් ජලය සොයා ගමන් කළ යුතුයි” ලොමාරිවෝ කියයි.

37 හැවිරිදි වැන්දඹුවක් වන මොනිකා අලුකු කතා කරයි.

“අපේ වේදනාව දකින කෙනෙක් නෑ” ඇය පවසයි. “වතුර නැහැ. ගෑණු වතුර ගේන්න බොහෝ දුර පයින් යනවා. ඔවුන් ගබ්සා වෙනවා. සෞඛ්‍ය සේවා පද්ධතියක් නැහැ. ළමයින් අපිරිසිදු ජලය පානය කර ටයිපොයිඩ් රෝගයට ගොදුරු වෙනවා. අපි ඇත්තටම දුක් විඳිනවා.” මොනිකා වේදනාවෙන් කියයි.

චොම්බා ඉදිරියට නැඹුරු වේ. ඇය බැරෑරුම්, ස්ථාවර බැල්මකින් දැඩි ලෙස හිස සැලුවාය. චොම්බා සහ ඇගේ කණ්ඩායම පස්වරු එකට පමණ නයිරෝබි වෙත ආපසු යාමට නියමිතව තිබූ නමුත් පැය කිහිපයකට පසුව ද ඔවුන් පිටත්ව නොයති. චොම්බා කාමරයෙන් පිට වූයේ එහි සිටින සෑම කාන්තාවකගේම කතා ඇසීමෙන් පසුව පමණි.

https://www.theguardian.com/environment/2023/jun/21/climate-scientists-susan-chomba-africa