අධ්‍යාපනයේ අයිතිය අහිමි දකුණේ වතුකරයේ දරුවෝ

අධ්‍යාපනයේ අයිතිය අහිමි දකුණේ වතුකරයේ දරුවෝ

ඉන්දියානු සම්භවයක් සහිත කඳුරට දෙමළ ජනතාව, මෙරටට පැමිණ වසර 200ක් ගතවීම නිමිති කරගෙන, ඔවුන්ගේ ජීවිත පිළිබඳ සමාජ කතිකාවතක් ගොඩනැගෙමින් තිබේ. එහෙත් මධ්‍යම සහ ඌව පළාත්වලින් බැහැරව, රටේ විවිධ ප්‍රදේශවල විසිරී සිටින එම ප්‍රජාවට අයත් ජනයා පිළිබඳ තතු, තවදුරටත් කිසිදු අවධානයකට ලක් නොවීම කනගාටුවට කරුණකි. සමූහයක් ලෙස දිවිගෙවීම හා වෘත්තීය වශයෙන් සංවිධානගත වීම ඔස්සේ ඉහත පළාත්වල ජනයා දිනාගත් සීමිත අයිතිවාසිකම් පවා අහිමිව, දැඩි ලෙස ආන්තීකරණයට ලක් වූ ජීවිත ගත කරන ලක්ෂයකට ආසන් දෙමළ ප්‍රජාවක් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල දිවි ගෙවති. මෙම ලිපියෙන් අවධානය යොමු කෙරෙන්නේ, ඔවුන් මුහුණ පාන දහසකුත් එකක් ගැටලු අතුරින් ප්‍රමුඛ ගැටලුවක් වන, ස්වභාෂාවෙන් අධ්‍යාපනය ලැබීමේ අයිතිය අහිමි වීම පිළිබඳවය.

දකුණු පළාතේ කඳුරට දෙමළ ජනගහනය කොපමණදැයි ඇසුවොත්, ඊට දිය හැකි නිල පිළිතුරක් කිසිදු රාජ්‍ය ආයතනයක් සතුව නැත. ඔවුන් කෙතරම් දැඩි ලෙස නොසලකාහැරීමට ලක්ව ඇත්ද යන්න වටහාගැනීමට එයම ප්‍රමාණවත්ය.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් 2023 වසරේ ජනවාරි මාසයේ කරන ලද සංගණනයකට අනුව වර්තමානයේ වතු සමාගම් යටතේ පාලනය වන රාජ්‍ය වතුවල සහ රාජ්‍ය වැවිලි සංස්ථාව යටතේ පාලනය වන වලහන්දුව වතුයායේ පදිංචි ජන සංඛ්‍යාව 14,869කි. ඊට වඩා බෙහෙවින් වැඩි සංඛ්‍යාවක් පෞද්ගලික හිමිකාරිත්වය යටතේ පවතින වතුවල හා තේ කර්මාන්තශාලා ආශ්‍රිතව දිවි ගෙවන නමුත් ඉහත සංගණනයට එම පිරිස අයත් වන්නේ නැත. ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත ඇසුරු කර ගනිමින් 2022 වසරේ සකස්කර තිබෙන ගාල්ල දිස්ත්‍රික් සංඛ්‍යා අත්පොතෙහි වතු ජනගහනය 20,240 ලෙස සඳහන්ව ඇත.

මාතර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ක්‍රියාත්මක වන Community Development service for Plantations Peoples නැමති රාජ්‍ය නොවන සංවිධානය විසින් 2017 වසරේ සිදුකරන ලද දෙමළ ඡන්ද හිමි පුද්ගලයින් පිළිබඳ සංගනනයක තොරතුරු අනුව මාතර දිස්ත්‍රික්කයේ වතු ප්‍රදේශවල දෙමළ ඡන්ද ප්‍රමාණය 26,000කි. ඉන් දසදහසක් පමණ කොටපොළ ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට අයත්ය. පහතරට වතු ආශ්‍රිත දෙමළ ජනගහනය පිළිබඳව මෙතෙක් අනාවරණය කෙරුණු විධිමත් ජන සංගනන වාර්තාවක් නොමැති අතර අප විසින් සිදු කළ සොයා බැලිම් වලදී ලබාගත් ඉහත තොරතුරුවලට අනුව ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක දෙකෙහි වතු ප්‍රදේශවල දෙමළ ජනගහනය ලක්ෂයකට ඉතා ආසන්න බව සඳහන් කළ හැකිය.

මවු බස අහිමිවීම

දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සම්බන්ධ ගැටලුව මේ ප්‍රජාව මුහුණ දෙන බරපතළම ගැටලුවකි. විශේෂයෙන්ම ඔවුන්ට තම මවු බසින් ඉගෙන ගන්නට ඇති අවස්ථා ඉතාමත්ම සීමිතය. ගාල්ල දිස්ත්‍රික්කයේ වතු ප්‍රදේශවල දෙමළ මාධ්‍යයෙන් ඉගැන්වීම් සිදු කෙරෙන දෙමළ විද්‍යාල හතරක් පිහිටුවා ඇත. තලංගහ සරස්වතී විද්‍යාලය, දිවිතුර විවේකානන්ද විද්‍යාලය, ඇල්පිටිය ඉගල්කන්ද විද්‍යාලය සහ තල්ගස්වල දෙමළ විද්‍යාලය එම පාසල්ය. මෙයින් තලංගහ සහ දිවිතුර විද්‍යාල දෙකෙහි කලා විෂයන්ගෙන් උසස්පෙළ දක්වා පන්ති පැවැත්වෙන අතර ඉගල්කන්ද සහ තල්ගස්වල ද්‍රවිඩ විද්‍යාලවල පන්ති පැවැත් වෙන්නේ සාමාන්‍ය පෙළ දක්වා පමණි.

 

මීට අමතරව හෝමදොල වත්ත ආශ්‍රිතව ඉහළ හෝමදොල විද්‍යාලය, ලේල්වල වත්ත ආශ්‍රිතව වඳුරඹ මධ්‍ය මහා විද්‍යාලය, ගල්කඩුල්ල සහ වික්‍රමසිංහ කණිෂ්්‍ය විද්‍යාලය, ගුළුගහකන්ද සහ මනෝමනිය වතු කොටස් ආශ්‍රිතව ඌරල මහා විද්‍යාලය, වල්පිට සහ සිට්ට්‍රස් වතු ආශ්‍රිතව බලගොඩ මහා විද්‍යාලය, බෙන්තොට වත්ත ආශ්‍රිතව ඕමත්ත මහා විද්‍යාලය සහ ඕපාත නාලන්ද කණිෂ්ඨ විද්‍යාලය යන සිංහල මාධ්‍ය පාසල් පිහිටා ඇත. මෙම ප්‍රදේශවල ළමුන් මෙම විද්‍යාලවල සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරන අතර ඔවුන්ට මෙම විද්‍යාලවල අඩුම තරමින් තම මවු බස හෝ ආගම ඉගෙන ගන්නට ඇති අවස්ථා දුලබය.

දෙමළ මාධ්‍ය ගුරු හිඟය

දෙමළ මාධ්‍ය පාසල්වල ප්‍රධාන විෂයන් උගන්වන ගුරුවරුන් හිඟය එම පාසල්වල දරුවන්ට මුහුණදෙන්නට සිදුව ඇති  මහත් ගැටලුවකි. තල්ගස්වල දෙමළ විද්‍යාලය තල්ගස්වල වත්තේ වතු කොටස් හයක ළමුන් 163ක් ඉගෙනුම ලබන සාපෙළ දක්වා පන්ති පැවැත්වෙන පාසලකි. විද්‍යාලයේම ඉගෙණුම ලැබූ පසුව අධ්‍යාපන විද්‍යාපීඨවලින් පිටවූ ගුරුවරුන් හය දෙනෙකු සහ යාපනය, මඩකලපුව වැනි දුර බැහැර සිට පැමිණි උපාධිධාරී ගුරුවරු කිහිප දෙනෙක් මෙහි සේවය කරති. එහෙත් විද්‍යාව සහ ගණිතය විෂයන්ට විෂය ප්‍රවීණ ගුරුවරු නොමැත. එම විද්‍යාලයේ විද්‍යාව විෂය ක්‍රීඩා ගුරුවරයා විසින් උගන්වනු ලබන අතර ගණිතය විෂය උගන්වනු ලබන්නේ දෙමළ විෂය උගන්වන ගුරුවරියක විසිනි.

තලංගහ සරස්වතී ද්‍රවිඩ විද්‍යාලය තලංගහ වතු කොටස් හයක ළමුන් 278ක් ඉගෙනුම ලබන කලා විෂයන්ගෙන් උසස්පෙළ දක්වා පන්ති පැවැත්වෙන පාසලකි. එහි උසස්පෙළ ආරම්භ කරන ලද්දේ 2018 වසරේදී වන අතර 2020 වසරේ එම පළමු ශිෂ්‍ය කණ්ඩායම උසස්පෙළ විභාගයට පෙනී සිටියේය. ඔවුන් අතරින් සිසුන් දෙදෙනෙකු විශ්වවිද්‍යාලයටද, සිසුන් පස් දෙනෙකු ශ්‍රීපාද අධ්‍යාපන විද්‍යාපීඨයටද තේරිණි.

උසස්පෙළට අවස්ථා සීමිත වීම

දුෂ්කරතා මධ්‍යයේ වුවද ඉගෙනුම් දක්ෂතා ඇති දරුවන් විභාග ඉහළින් සමත් වන බවට ඒ නිදර්ශනය හොඳ සාක්ෂියකි. එහෙත් එම දක්ෂතාවලට සාධාරණය ඉටු කරන්නට මේ සමාජ පරිසරය සමත්ව නැත. ඔවුන් තමන් කැමති විෂය ක්ෂේත්‍රයකින් අධ්‍යාපනය ඉදිරියට රැගෙන යන්නට නම් ගාල්ල නගරාසන්නයේ පිහිටි උසස්පෙළ විෂයයන් දෙමළ මාධ්‍යයෙන් උගන්වන ගිංතොට සහීරා, හිරිඹුර සුලෙයිමානියා, සරෙන්තුකඩේ මල්හරුස්සුල්ලියා හෝ කොන්ගහ මුස්ලිම් බාලිකා වැනි මුස්ලිම් විද්‍යාල කරා යා යුතුය. නැතිනම් යාපනය, මඩකලපුව හෝ තම ඉතිහාසය පටන් ගත් මධ්‍යම කඳුකරයේ පාසලකට ඇතුළත් විය යුතුය. වත්තට සින්න වූ ජීවිත ඇති ඔවුන්ගේ පවුල්වල ආර්ථිකය කිසිසේත්ම ඊට ඉඩ දෙන්නේ නැත.

දක්ෂතා අනුව, තම මවුබසින්, තමන් කැමති විෂය ක්ෂේත්‍රයක අධ්‍යාපනය හදාරන්නට සිසුන්ට ඇති අධ්‍යාපන අයිතිය පහතරට වතු ආශ්‍රිත දරුවන්ට අහිමිවිම ගැන තල්ගස්වල ද්‍රවිඩ විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයෙකුවු ඒ.එස්.එම්.කාමීල් මහතා මෙසේ කීය. “මේ ළමයි දුෂ්කරතා විඳගෙන සාපෙළ හොඳින් සමත් වුණත් තමන්ගෙ භාෂාවෙන්, කැමති විෂය ධාරාවකින් උසස් පෙළ හදාරන්න ඔවුන්ට වරම් නෑ. විද්‍යා, ගණිත හෝ වාණිජ විෂයන් ඉගෙන ගන්න නම් ගමෙන් බැහැරට යන්න වෙනව. ඒකට හොඳ ආර්ථික ශක්තියක් තියෙන්න ඔින. නැත්තම් ඒ විෂයන් ඉගෙන ගන්න පහසුකම් තියෙන පාසල් තියෙන පළාත්වල නෑදෑයො ඉන්න ඕන. නැත්තම් හිත හදාගෙන දිවිතුරට හරි තලංගහට හරි ගිහින් කලා විෂයන් හදාරන්න ඕන. එහෙමත් නැත්නම් එතනින් අධ්‍යාපනය ඉවර කරල වෙන අතක් බලා ගන්න ඕන.”

දෙණියායේ අධ්‍යාපන ගැටලු

මාතර දිස්ත්‍රික්කයේ දෙණියාය වතු ප්‍රදේශයේ දෙමළ ජනතාවට මුහුණ දෙන්නට සිදුව තිබෙන ගැටලු ගාල්ල දිස්ත්‍රික්කයේ වතු පෙදෙස්වල දෙමළ ජනයා මුහුණදෙන ගැටල වලින් වෙනස්  වන්නේ නැත. නිවාස, අධ්‍යාපන, සෞඛ්‍ය, ආර්ථික, ආගමික හා සංස්කෘතික, ප්‍රවේශ මාර්ග, පොදු ප්‍රවාහන, සහ භාෂා අයිතිය ඇතුළු ගැටලු රැසක අයහපත් ප්‍රතිඵල භුක්ති විඳින්නට ඔවුන්ට සිදුව ඇත.  ළමුන් පාසල් අධ්‍යාපනයෙන් පිටමංවීම දෙණියායේදී දකින්නට ලැබෙන ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වයකි.

අධ්‍යාපනය ලබන වයසේ පසුවන දරුවන් විශාල සංඛ්‍යාවක් පාසල් අධ්‍යාපනයෙන් පිටපැනීම දෙණියායේ වතු ආශ්‍රිතව දීර්ඝ කාලයක සිට පවතින විශාල ගැටලුවකි. පවුල්වල ආර්ථික දුෂ්කරතා, දෙමාපියන්ගේ නූගත්කම සහ නොදියුණු ආකල්ප ඊට බලපා ඇති අතර ප්‍රධාන වශයෙන් අධ්‍යාපන ආයතන වත්තෙන් බොහෝ ඈත පිහිටීම, තමන්ගේ භාෂාවෙන් ඉගෙන ගන්නට ඇති අවස්ථා දුලබ වීම යන හේතු මේ කාරණයේදී වඩාත් ප්‍රබල සාධක බව අපගේ සොයා බැලීමේදී අනාවරණය විය.

දෙණියාය අධ්‍යාපන කලාපයට අයත් වන්නේ කොටපොල, මොරවක සහ පස්ගොඩ කොට්ඨාශයන්ය. කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැඩිම දෙමළ ජනගහනයක් වෙසෙන අතර එහි දෙමළ මාධ්‍ය පාසල් හතරක් පිහිටා ඇත. අනින්කන්ද කණිෂ්ඨ විද්‍යාලය, හෑන්ෆර්ඩ් දෙමළ විද්‍යාලය, බෙවර්ලි දෙමළ මධ්‍ය පාසල, සෙල්වකන්ද විදුහල දෙමළ මාධ්‍යයෙන් උගන්වනු ලබන පාසල්ය. එහෙත් ඒවායේ ප්‍රධාන විෂයන් සඳහා (විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි) ගුරුවරු නැත. බෙවර්ලි සහ හෑන්ෆර්ඩ් සහ දෙනියාය නගරයේ පිහිටි ද්විභාෂා පාසලක් වන ශාන්ත මැතිව් විද්‍යාලය උසස්පෙළ දක්වා පන්ති පැවැත්වෙන පාසල්ය.

මෙම ප්‍රදේශවල පිහිටුවා ඇති සිංහල මාධ්‍ය පාසල්වල දෙමළ සිසුන් විශාල සංඛ්‍යාවක් ඉගෙනුම ලබන අතර  ඔවුන්ට ඉගෙන ගැනීමට සිදුව තිබෙන්නේ සිංහල මාධ්‍යයෙනි. විහාරහේන ආද්‍ධාරදෙනිය මහා විද්‍යාලයේ සිසුන්ගෙන් 50%ක් පමණ දෙමළ සිසුන්ය. කොටපොල මුගුණුමුල්ල කණිෂ්ඨ විද්‍යාලයේද, කන්දිලිපාන කණිෂ්ඨ විද්‍යාලයේද ප්‍රතිශතය එවැනිය. එම දරුවන්ට පාසලේදී සිංහලයෙකු ලෙසත් ගෙදරදී දෙමළෙකු ලෙසත්, පාසලේදී  බෞද්ධයෙකු ලෙසත් ගෙදරදී හින්දුවෙකු ලෙසත් ක්‍රියා කරන්නට සිදුව ඇත.

පෞද්ගලික වතුවල දරුවෝ

දෙණියාය අවට පෞද්ගලික වතු විශාල සංඛ්‍යාවක් පිහිටා ඇත. මේවායේ පදිංචිව සිටිමින් කම්කරුවන් ලෙස රැකියාවේ නිරත පවුල්වල දරුවන් පාසල් අධ්‍යාපනය කෙරෙහි යොමුවීම ඉතාමත්ම අඩුය. සාමාන්‍යයෙන් වයස අවුරුදු 16 දී පමණ සාමාන්‍යපෙළ විභාගයට පෙනී සිටීමේදී පාසල් සිසුන්ට පාසල මාර්ගයෙන් ජාතික හැඳුනුම්පත අයදුම් කිරිමට හැකියාව ඇත. එසේ නොවුව හොත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් එය ලබා ගතයුතුවන අතර 16 සීමාව ඉක්මවා ඇත්නම් ඒ සඳහා රු. 2000ක දඩමුදලක් ගෙවිය යුතුය. දෙණියාය වතු අවට ප්‍රාලේ කාර්යාලවල දඩ මුදල් ගෙවා හැඳුනුම්පත් ලබා ගන්නා අවස්ථා වැඩිය. විශාල පිරිසක් පාසල් නොයන බවට සහ අවම වශයෙන් සාමාන්‍ය පෙළ දක්වාවත් ඉගෙන නොගන්නා බවට එය කදිම සාක්ෂියකි.

පල්ලේගම ප්‍රදේශයේ පිහිටි බෝගොඩවත්ත. ලුම්බිණිය, කොළවෙනිගම සිරිසිලිය, එනසල්වත්ත සහ කන්දිලිපාන යන පෞද්ගලික වතුවල සහ තවත් වතු කිහිපයකම පාසල් අධ්‍යාපනය නොලද ළමුන්ට දෙණියාය අධ්‍යාපන කලාපයේ නොවිධිමත් අධ්‍යාපන ඒකකය විසින් වසරක පමණ සාක්ෂරතා අධ්‍යාපනයක් ලබා දෙනු ලබයි. වයස අනුව එම ළමුන් ආසන්න පාසල් වෙත යොමු කිරිමට පියවර ගත්තද දෙමාපියන්ට ඇති ආර්ථික දුෂ්කරතා සහ උනන්දුව හේතුවෙන් ඔවුන් දිගටම පාසල් අධ්‍යාපනය ලබන්නේ නැත. බෝගොඩවත්ත, ලුම්බිණිය, සිරිසිලිය ළමුන් ආයුත්තේ දෙනියාය නගරයේ පිහිටි ශාන්ත මැතිව් ද්විභාෂා පාසලටය. එක් අයෙකුට එක ගමන්වාරයක් සඳහා බස් ගාස්තුව රුපියල් 100කි. කුඩා ළමුන්ට බසයේ පැමිණිය නොහැකි අතර ඔවුන් පාසල් වෑන් රථයකට භාර දිය යුතුය. මේ දෙමාපියන්ට ඒ බර කිසිසේත්ම දැරිය  නොහැක්කකි.

පාසල් වෙනුවට සාක්ෂරතා පන්ති

දෙනියාය කලාප කාර්යාලයෙන් පවත්වන සාක්ෂරතා පන්ති කොටපොල, මොරවක සහ පස්ගොඩ අධ්‍යාපන කොට්ඨාස තුනේම පැවැත්වේ. මේ කොට්ඨාස තුනෙහි සාක්ෂරතා පන්ති 20ක් පමණ පවත්වන අතර ඒවායේ ළමුන් දෙසියකට වැඩි පිරිසක් සිටිති. වර්තමානය වන විට ආණ්ඩුව ප්‍රතිපාදන වෙන් කොට ඇත්තේ ඉන් අඩකටත් අඩු ප්‍රමාණයකටය. කොටපොල කොට්ඨාශයේ පැවැත්වූ පන්ති 12න් තුනක් පමණක් පවත්වන අතර 9ක් අක්‍රීයව පවතී. මොරවක සහ පස්ගොඩ තත්ත්වයද එවැනිය.

මේ සම්බන්ධයෙන් අදහස් පළකළ දෙනියාය අධ්‍යාපන කලාපයේ නිලධාරියෙක් මෙසේ කියා සිටියේය.

“මේ ඉගැන්වීමෙන් පස්සෙ අපි ළමයි ආසන්න පාසලකට භාර දෙනවා. නමුත් සියයට සියයක්ම ළමයි එතන ඉඳන් පාසල් යන්නෙ නැහැ. දෙමාපියන් විවිධ ගැටලු ඉදිරිපත් කරනවා. බස් ගාස්තු ගෙවා ගන්න බෑ, නිල ඇඳුම් සපත්තු ගන්න වත්කමක් නෑ කියලා. ඇත්තටම මේකට සමහර පෞද්ගලික වතු හිමියන් මැදියත් වෙනවා. මේ අවශ්‍යතා  සම්පූර්ණ කරලා ළමයින් පාසල් එවන්න. මේ පවුල්වල ළමයි ඉන්නව 4ක් 5ක් විතර. ඒ අයගෙන් එක්කෙනෙක් දෙන්නෙක් ඉස්කෝළෙ එවනවා. අනිත් අය ගෙවල්වල. අපි මෙහෙම පාසල්වලට ඇතුළත් කරපු ළමයි හොඳට ඉගෙනගෙන විශ්වවිද්‍යාලවලටත් ගිහින් තියෙනවා. ළමයින්ට ඉගෙනගන්න අවශ්‍යතාව තිබුණත් දෙමාපියන්ගේ ආර්ථික තත්ත්වය, ආකල්ප සහ ජීවත්වන පරිසරය ආදිය ඔවුන්ගේ අනාගතයට බලපානවා.

ප්‍රතිපාදන කප්පාදුවේ ප්‍රතිඵල

දෙමාපියන්ගේ ආර්ථික තත්ත්වය, ඔවුන් ලබා ඇති අධ්‍යාපනය, පසුගාමී ආකල්ප සහ ජීවත්වන පරිසරය වතු දරුවන්ගේ අධ්‍යාපන ගමන අඩාළ වන්නට හේතු වන බව පිළිගත හැකිය. එහෙත් පයින් ගමන් කළ හැකි දුරක පාසල පිහිටි සහ පාසල වෙත ළඟා වන්නට පොදු ප්‍රවාහන පහසුකම් ඇති වතු පෙදෙස්වල දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටෙන්නට මේ දෙමාපියන් ඉඩ දී නොමැත. අපි මේ පැනය දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඕ.ඩීී. මුදලිගේ වෙත යොමු කළෙමු.

“පවතින තත්ත්වයත් එක්ක ප්‍රතිපාදන වෙන් නොවිම නිසා නොවිධිමත් අධ්‍යාපන කටයුතුවලට බාධා එල්ලවෙලා තියෙනවා. ඔය වතු ආශ්‍රිතව සිදු කෙරෙන සාක්ෂරතා පන්තිවලට මේ මගින් එල්ලවන බාධාව හේතුවෙන් ඇති විය හැකි අනතුර නිසා අපි ඉදිරියේදි ඒවාට වැඩි ඉඩක් දෙන්න අපේ ඉදිරි සැලසුම්වලට ඇතුළත් කරල තියෙනවා. අනිත් වැදගත් කාරණය, ආසන්න පාසල් නැති වතු සම්බන්දයෙන් අපි අමාත්‍යංශයේ අවධානය යොමු කරවල තියෙනවා. දැනට කලාප මට්ටමෙන් අපිට තියෙන සම්පත්වලින් අපේ සීමාව ඇතුළේ කටයුතු කරනවා. නමුත් දෙමළ මාධ්‍ය ගුරුවරුන්ගේ අඩුව විසඳාගන්නකම් මේ ගැටලුවට සාර්ථක සහ ස්ථිරසාර විසඳුමකට යන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්.”

saman c liyanage

| සමන් සී. ලියනගේ

සමසමාජ පුවත්පතේ කර්තෘ