(2023 ජූනි මස 19 වැනි දිනට යෙදෙන ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ 110 වන ජන්ම සංවත්සරය නිමිත්තෙනි.)
(පළමු තරංගය)
මගේ හිත බොරලැස්ගමුවේ පිරිවෙන පාරේ 'වාපි මේඛලා' මන්දිරය සොයා දිව යයි. 'වාපි මේඛලා' යනු සකු වදනකි. බොහෝ අය අද ළමයින්ට හෝ තැනකට හෝ දෙයකට හෝ නම් යොදන්නේ අරුත් නොසලකමිනි. එහෙත් 'වාපි මේඛලා' යන රමණීය නම යෙදූ තැනැත්තා හෙළ, පෙළ, සකු, වඟු යන සිවු බස්හිම හසළයෙකි. එබැවින් ඔහු එය යොදන්නට ඇත්තේ එහි අරුත් මැනවින් දැන බැව් නිසැකය.
'වාපි මේඛලා' වූකලී ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ වාස භවනයේ අභිධානයයි. එය සෞන්දර්ය මහෝදධියක අභිධානයයි. එය සෞන්දර්ය නිධානයක අභිධානයයි. එය සෞන්දර්ය සෞභාග්‍යයක අභිධානයයි.
ඔවුනොවුන් මුණගැසී දැනහැඳින බද්ධ ස්නේහයෙන් කුලුපගව ඇසුරු කිරීමේ භාග්යෝදය මගේ ජීවිතයට උරුම කර දුන් සත්කීර්තිමත් සත්පුරුෂයන් අතළොස්ස අතර වඩාත්ම සෞන්දර්ය කාමී රසවන්තයා වූයේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ය. ඔහුගේ වාසයට ශ්‍රී නිකේතනය වූ 'වාපි මේඛලා' මන්දිරය උසුලා සිටි ගෙඋයනේ කොනක වූ 'ගෙදිගු විල' කිසි කලෙක මගේ මතකයෙන් නොමැකෙන්නකි. 'ගෙදිගු විල' යනු 'ගෘහ දීර්ඝිකා' යන සංස්කෘත වචනයෙන් සිංහලයට බිඳුණු පදයෙකි. එයින් හැඳින්වෙන්නේ ගෙමිදුලෙහි තනන දික් පුළුල් පොකුණකි. අපේ පැරණි සන්දේශ කාව්‍යවල 'ගෙදිගු විල්' ගැන නිතර කියැවේ.මේ ඊට නිදසුනකි.
පුරඟන සරන වර මිණි නිල්
සඳලු තෙලේ
වැකි ලත පදලසින් රැවටුණු
බමර වැලේ
දැක දැක තඹරනම මේ පුර
ගෙදිගු විලේ
තම තුඩ නොලත් එහි මිහි ලොලිනි
කිසි කලේ
(තිසර සන්දේශය; 13 පද්‍යය)
පුර අඟනන් නිල් මැණික් ඇල්ලූ සඳැල්ලේ ඇවිදින විට ඔවුන්ගේ ලතු ගෑ පතුල් සටහන් එහි රැඳේ. ඒවා රතු නෙළුම් යැයි රැවටෙන බමරු ගෙදිගු විල්වල ඇති නියම රතු නෙළුම් දැක දැකත් ඒවායේ මී බීමට ලොල් නොවෙති. පුර අඟනන්ගේ ලතු ගෑ පතුල් සටහන් රතු නෙළුම් මල්වලටත් වඩා ලස්සන බව කී සැටිය ඒ.
ඒ මා නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ S.S.C Prep පන්තියේ ඉගෙන ගනිමින් සිටි කාලයයි. ඒ කාලයේ අප විදුහලේ S.S.C පන්තියේ ඉගෙන ගනිමින් සිටි ගිල්බට් ද කෝස්තා කළුබෝවිල මගේ ගමේම ඉපිද වැඩුණු මගේ ඉතා ළෙන්ගතු මිතුරෙකි. කළුබෝවිල සමසමාජ තරුණ සමිතියේ ප්‍රබල ක්‍රියාකාරී සහෝදරයෙක් වූ ඔහු උග්‍ර මානවසිංහ ප්‍රේමියෙකි. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් විසින් කලින් කල ලියන ලද කවි හා ගීත එකතු කොට පළ කළ 'කෝමල රේඛා' නමැති පොත එකල ගිල්බට් අතින් නොගිලිහුණකි. ඔහු එය පෙරළා තැනින් තැන කියව කියවා රස වින්දේ නොතිත් ආසාවෙනි. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් කෙරෙහි මා තුළ බලවත් ඇල්මක් ඇති කිරීමට පළමු තැත දැරුවේ එකල දැඩි මානවසිංහ ලෝලියෙක් වූ ගිල්බට් ද කෝස්තා රසිකයාය. ඒ කෙසේද යත්,
'කෝමල රේඛා' පොතේ උතුරා ගලා ගිය කවි හැඟීම් දහරෙහි රසය මට නිදැල්ලේ විඳින්නට මග පෑදීමෙනි. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ 'කෝමල රේඛා' පොතේ 'පෙර තලය' වූකලී මගේ අනාගත අධ්‍යාපන මාර්ගයේ වෙනසක් ඇති කිරීමට මහත් සේ බල පෑ මානසික සාධකයක් වී යැයි සිතමි. සංස්කෘත භාෂාව ඉගෙන ගැනීමට මා තුළ බලවත් ආසාවක් ඇති කළේ 'කෝමල රේඛා' 'පෙර තලය' නොවේද?
එම 'පෙර තලයෙහි' ලා
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් සිය මධුර කෝමල කාන්ත පදාවලියෙන් විසිතුරු ලෙස මගේ මනසේ ඇඳි ඒ රුසිරු වංග සිරිමතියගේ රූ සිරිය නිසා එදා පළමු වරට මා තුළ උපන් මිහිරි හැඟීම් දහර දැනුදු මගේ රිහිරි දිගේ දිව යන්නේ සියොලඟම කුල්මත් කරමිනි. ඒ වංග සිරිමතිය තමාට හදිසියේ හමුවුණු සොඳුරු අවස්ථාව මානවසිංහයන් සිය 'කෝමල රේඛා' 'පෙර තලය' තුළ මවා ඇති අයුරු බස් විස්කමකි. වදන් කැටයමකි.
"කුඩා කතරගම නමින් දන්නා එහෙත් ගමක් හෝ ගෙයක් නැති වන පෙතෙහි ගල් තලා උඩින් සෙමින් දිවෙන දිය රැල්ලෙන් දැකුම්කලු වූ ගං තෙරෙහි උස් බිම මත එකල කුඩා අසපුවෙක් විය. සිවුමැලි ඇඟිලි සිතාරයේ තත් උඩ දුවවමින් විරාම ලීලා සහිතව ගීත ගෝවින්දයේ සකූ ගී ගයමින් සිටි වංග සිරිමතිය මට දක්නට ලැබුණේ මෙහිදීය.
"පැරණි මිහිරි සකු ගීවල රසය සිත් පුරා විඳින්නට අවස්ථාව සැලසුණේය. ඉන් පසු බොහෝ දිනයන්හි ඉර මුදුන් සමයේ කුඹුක් තුරු යට හීල් හෙවණේ සිහින් වැලි තලාවේ පළිඟු පැහැති දිය වැල අයිනේ හිඳගෙන සිතාරය වාදනය කරමින් කියන ඇගේ සකු ගීවලට කන් දී සිටි මගේ නෙත් සුව දායක ලෙස හෙමින් පියවී ගියේය. 'ධීර සමීරේ යමුනා තීරේ වසති වනේ වන මාලී' යන ගීතයත් 'වදසි යදි කිංචිදපි දන්ත රුචි කෞමුදී' යන ගීතයත් 'කේලිකලා කුතු' ගීයත් 'පශ්යති දිශි දිශි රහසි භවන්තම්' යන ගීයත් 'කනක ගිරි ලංඝිතේ' යනුවෙන් ගැයෙන ගංගා ගීතයත් සකු ගී අතරින් මා සිත් ගත් ගී වෙයි.
"දුර්වාසස්ගේ ශාපයෙන් මිහි බට සරස්වතී දේවිය දණ්ඩකාරණ්‍යයෙහි සෝණ නදී තීරයේ ලිය මඬුල්ලේ ළපලු සයනයේ අභිරමණය කළ ලීලාව මවා පාමින් ඒ වංග සුන්දරිය මට 'හර්ෂ චරිතය' ඉගැන්වූයේ ඇසින් හිසින් අතින් මුවින් හැඟුම් නිරූපණය කිරීමෙනි. මට පෙනුණේ සෝණ ගං තෙර සරසවිය ඇයම බවය. ඈ නිසා මම සංස්කෘත කාව්‍යයන්හි රසවත් ජවනිකාවලට පිවිසුණෙමි. වේද කතා උගතිමි."
('කෝමල රේඛා'; 'පෙර තලය;' නව මුද්‍රණය;1981 මාර්තු; පිටුව 05)
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් සංස්කෘත කාව්‍යයන්හි රසවත් ජවනිකාවලට පිවිසවූයේ සෙල්ලකතරගම මැණික් ගං ඉවුරේ වූ කුඩා අසපුවේදී ඔහුට මුණ ගැසුණු වංග සිරිමතියයි. සංස්කෘත කාව්‍ය රසය මගේ හදවතේ මිහිරි උරුමයක් කර ලූයේ මානවසිංහයන්ගේ 'කෝමල රේඛා' පෙර තලයෙන් හඳුනා ගත් 'ගීත ගෝවින්ද' ශෘංගාර කාව්‍යයයි. මා ඉන් පෙර
'ගීත ගෝවින්ද' නම් ඒ සංගීතාත්මක ශෘංගාර කාව්‍යය ගැන අසා නොතිබුණි. එහි පිරී ඉතිරී ගිය සිරිඟර රස මිහිර හද පුරා විඳ ගැනීමේ නෑඹුල් අවස්ථාව මට උදා කර දුන්නේ ඒ රමණීය කාව්‍යය අරබයා මානවසිංහයන් තම 'කෝමල රේඛා' පෙර තලය මගින් නහර ගත කළ රසාවේශයයි.
එකල සකු පොත් පත් සිංහලට නගා පළ කළ නුගේගොඩ 'මොඩර්න්' පොත් සාප්පුවට ගිය මම ශ්‍රී ජයදේවයන්ගේ සංස්කෘත 'ගීත ගෝවින්ද' කාව්‍යයේ සිංහල පදගතාර්ථ සන්නයක් රුපියල් තුනයි පනහකට මිල දී ගත්තෙමි. ඒ පදගතාර්ථ සන්නය කේ.ඩී. කුලතිලක නමැති මාතර වාසී සකු පඬිවරයෙකු විසින් සිංහලෙන් ලියන ලද්දකි. අදද මගේ ගෙදර පොත් රාක්කයේ සකු පොත් අතර එය විශේෂ තැනක වැජඹෙයි. සකු බස හදාරන්නට නොතිත් ආසාවක් නහඹ තල් කඳක් සා දිය කඳක් සේ මසිතෙහි පැන නැංගේ කුලතිලක පඬිඳුන්ගේ එම 'ගීතගෝවින්ද' පදගතාර්ථ සන්නය කියවීමෙන් පසුවය. පසු කලක මට සකු බස ඉගෙන සකු බසින්ම 'ගීත ගෝවින්ද' කාව්‍යය කියවා රසයෙන් මන් මත් වීමේ පින පෑදූ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයෝ මගේ මනෝ අම්බරයෙහි යශස් රශ්මි කදම්බ විහිදා ලමින් සදා බැබළෙන පූර්ණ චන්ද්‍ර බිම්බ සදෘශයහ.
මගේ පාසල් මිත්‍ර ගිල්බට් ද කෝස්තාගේ 'කෝමල රේඛා' පොතේ කවි කියවා විඳි රසය නිසා මානවසිංහයන් කෙරෙහි උපන් ආදරය ඔහු සියැසින් දැක ගැන්මට මසිත තදින් පෙළඹවිය. දිනක් මා ඔහුගේ 'වාපි මේඛලා' මන්දිරය සොයා ගියේ එහෙයිනි. ඒ පනහේ දශකයේ අග භාගයේ දිනක් විය යුතුය. මා ඔහු සොයා ගියේ උදේ කාලයේය. ඉර අව්ව සැර වන්නට පෙරය. ඔහුගේ 'වාපි මේඛලා' වාස භවන සොයා ගැන්ම කිසි සේත් අමාරු නොවූයේ මානවසිංහ නාමය බොරලැස්ගමුව ගමේ හැම කෙනෙකුගේම තුඩ තුඩ රැව් දුන්නක් වී තිබුණු හෙයිනි. බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයෝ රටේ මිනිසුන් අතර නම් දැරුවෝ වෙති. එහෙත් තමා ඉපදී හැදී වැඩී වෙසෙන ගමේ කිසි කෙනෙක් ඔහු ගැන අල්ප මාත්‍රයක දෙයක්වත් නොදනිති.ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයෝ ඒ ගණයට නොවැටෙති. ඔහු තමා විසූ ගමේ හැම තරාතිරමකටම අයත් මිනිසුන්ගේ ආදරය දිනා සිටි රසවතෙකු බව වටහා ගැන්මට එදා මට වැඩි වේලාවක් ගියේ නැත.
මානවසිංහයෝ රූප සම්පන්නයෝය. සිංහල, පාලි, සංස්කෘත, වංග භාෂාවන්හි හසළයෝය. ගුණ නුවණ දෙකින්ම යුක්තයෝය. නිසර්ග සිද්ධ ප්‍රතිභානයෙන් සමන්විතයෝ්ය. එහෙත් එදා මා 'වාපි මේඛලා' ගෙඋයනේ ගේට්ටුවෙන් ඇතුළු වන විට එහි තනමින් තිබුණු පොකුණ අසල වැඩෙහි නිරත වී සිටි මිනිසා දැකීමෙන් මම මවිත වීමි. මා තුළ සැකයක් උපන්නේ ඉබේය. පොකුණ අසල සිටි මිනිසාගේ උඩු කය නිරුවත්ය. එය පැහැපත් ඡවි වර්ණයෙන් යුක්තය. ඔහුගේ මුහුණ පොකුණේ සිමෙන්ති ගැට්ට දෙසටම යොමුව ඇත. ඔහු ඇඳ සිටියේ සුදු සරමකි. එහි යට වාටිය වටේ රතු මොනර රූ පෙළකි. ඔහුගේ අතේ මේසන් හැන්දකි. පසෙක වූ ටකරං කෑල්ලක් මත දැමූ සිමෙන්ති බදාම ගොඩකි. ඔහු මේස හැන්දෙන් ගන්නා සිමෙන්ති බදාම පොකුණේ සිමෙන්ති ගැට්ට මත ඒ මේ අත තවරන්නේ පෙදරේරු විසාරදයෙකු ලෙසිනි.
| කරුණාරත්න අමරසිංහ