හොඳම පරිවර්තිත කෙටිකතා සංග්‍රහය වෙනුවෙන්1999 වර්ෂයේ මට රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිකර දුන් 'කාලයට ස්මාරකයක්' යන කෘතිය මා පිරිනැමුවේ අමන්ද කීර්ති ප්‍රශංසාවෙන් උපශෝභිත සුගතපාල ද සිල්වා නාමධේය මගේ සමාන සුඛ දුක්ඛ මිත්‍ර , විශාරද නාට්‍යවේදියාණන්හටය. ඒ අරභයා මවිසින් ලියන ලද ප්‍රණාම පූර්ණ සමර්පණ පාඨය කියවත්වා!
"නූතන වේදිකා නාට්‍යයත් ගුවන් විදුලි නාට්‍යයත් එක සේ එකලු කළ, මගේ ගුවන්විදුලි රචනයත් රංගනයත් එලෙසින්ම එකලු කළ, මගේ ඉටු මිතුරු සුගතපාල ද සිල්වා කලා වේදියාණන්ට"
හෙළ නළු කලාව බබළවන අටියෙන්ම සුගත් මෙලොවට සැපත් වූයේ 1928 අගෝස්තු 4 වැනි දාකය. රත්තරන් මෙන් බර පුළුන් සේ සැහැල්ලු මා කලණ මිත් සුගත්හු අදත් මසිත්හි දිවමන්වම වෙසෙත්. මගේ ජීවිතයට හරය හා රසය නොමසුරුව දුන් ඔහුගේ සොඳුරු මියුරු ඉසුරු ඇසුරෙන් අසෙකින් අසෙක් දැන් ඔබත් අසත්වා!
සුගත් ළංව දැන හැඳින ගෙන ආශ්‍රය කරන්නට මට අවස්ථාව උදා වුණේ
හැටේ දශකයේ මුල් භාගයේ යැයි සිතමි. එකල ඔහු 'අපේ කට්ටිය' නමින් කලා සංවිධානයක් පිහිටුවා ගෙන නාට්‍ය නිෂ්පාදනයට අවතීර්ණව
සිටියේය. ශූර සිනමා විචාරකයෙකු මෙන්ම සුප්‍රකට මාධ්‍ය කරුවෙක්ද වූ
සිරිල් . බී .පෙරේරා, දුර්ලභ ගණයේ
කලා කුසලතාවකින් පොහොසත්
රැලෙක්ස් රණසිංහ, ප්‍රකට නළුවෙක්
හා කෘතහස්ත මාධ්‍ය වේදියෙක් වූ
ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර , සිනමා සාහිත්‍යය සහ ප්‍රබන්ධ සාහිත්‍යය පිළිබඳ හසළයෙකු වන පියසිරි නාගහවත්ත, ප්‍රශස්ත ගීත රචකයෙකු පමණක් නොව සාහිත්‍ය කරුවෙක්ද වූ ඔගස්ටස්
විනයාගරත්නම් ,සුප්‍රකට නළුවෝ දෙදෙනෙක් වූ ටෝනි රණසිංහ සහ වික්‍රම බෝගොඩ ,කීර්තිමත්
නීති වේදියෙක් වූ (එකල නීති ක්ෂේත්‍රයට පිවිස නොසිටි) හේමන්ත වර්ණකුලසූරිය යන දැවැන්තයන් පිරිස සුගත්ගේ 'අපේ කට්ටිය' සංවිධානයේ ආරම්භයේ සිටම ඔහු පිරිවරා සිටි හැටි මට හොඳට මතකය.
සුගත් මෙලොවෙන් පිටත්ව යන තෙක්ම ඔහු හා මා අතර අවුරුදු 40 ක් ඉක්මවන තරම් කාලයක් තිස්සේ නොවෙනස් ඇසුරක් පැවතුණද මම කිසි විටක ඔහුගේ අපේ කට්ටියේ කෙනෙක් නොවීමි. ඔහු විසින් එසේ වන්නට බලකරනුද නොලැබීමි. මම 'නොමම' වීමට නොරිසි එකෙකු බැව් සුගත් මනාව දත් බැවිනි. මමද සුගත්ගේ 'මම' මනාව හැඳින සිටි එකෙක්මි. දිවි හිම් අප දෙදෙනා නොමනාපය නොදැන සිටියේ එම නිසාය. එහෙත් 'අපේ කට්ටියේ' කුට්ටිය සමග මම කිටි කිටියේ කිට්ටු වීම හිටියෙමි.
'එක වල්ලේ පොල්' නමැති නාට්‍යය සුගත්ගේ පළමු වන වේදිකා රචනයයි. එය රංග ගත වූයේ මහරගම අභ්‍යාස විද්‍යාලයේ යැයි සිතමි. එහෙත් ඒ වෙනත් කෙනෙකුගේ නිෂ්පාදනයක් වශයෙනි. ඔහු ලියා නිෂ්පාදනය කළ ප්‍රථම නාට්‍යය 'බෝඩිං කාරයෝ' ය. එය 1962 අවුරුද්දේ පැවති රාජ්‍ය නාට්‍ය උත්සවයේදී රාජ්‍ය සම්මානද හිමි කර ගති. 'බෝඩිං කාරයෝ' නාට්‍යය කළ අවධියේ සුගත් සේවය කළේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ යැයි සිතමි. 'බෝඩිං කාරයෝ' නාට්‍යයෙන් පසු ඔහු 'තට්ටු ගෙවල්' නාට්‍යය කරළියට ගෙනාවේය. මාත් ඔහුත් අතර ඇසුර වඩා ඉක්මනින් ලිය ලා වැඩුණේ 'තට්ටු ගෙවල්' නාට්‍යය රට වටේ පිට පිට පෙන්වමින් යන කාලයේය. ඒ දිනවල ඔහු නැවතී සිටියේ දෙහිවල ගාලු පාර අයිනේ දෙහිවල-ගල්කිස්ස නගර සභාවට හැරෙන අතුරු පාර ඉදිරිපිට මූද පැත්තේ තිබුණු 'ගමගේ හෝටලය' පිටිපස්සේ වූ කාමරයකය. කාමරය වටේටම පොත් රාක්කය. පොඩි ලියන මේසයක් සහ නිදන ඇඳක් ඒ තුළ විය. ලියන මේසය ළඟ වූ පුටුව ඇරෙන්නට වෙනත් පුටු නැත. සුගත් හමුවීමට ආ අමුත්තන්ටද නිදන ඇඳ පිටම වාඩි වෙන්නට සිදු වෙයි. සරොම් ,කමිස , කලිසම් හැම තැනමය. එකල සුගත් ගෙදරට දමා ගෙන සිටියේ ලී සෙරෙප්පු ජෝඩුවකි. ඒවා එකල හැඳින්වුණේ 'කට්ට කෑලි' යන ජනප්‍රිය නමිනි. සුගත්ගේ හා මගේ මිතුරු ඇසුර වඩා ඉක්මනින් ලියලා වැඩීමට ගමගේ හෝටලේ ඔහුගේ වාසය ප්‍රධාන හේතුවක් වූ බැව් නිසැකය. මක් නිසාද යත් මගේ මහ ගෙදර පිහිටියේ එතැනට නුදුරු කළුබෝවිල බැවිනි. ඒ දිනවල බොහෝ හැන්දෑ වරුවල මම සුගත් මුණ ගැසී සතුටු සාමීචියේ යෙදෙනු පිණිස ගමගේ හෝටලයට යෑමට පුරුදුව සිටියෙමි. ඒ ගිය ගමන්වලට අනිවාර්යයෙන්ම සම්බන්ධ වූ මගේ තවත් කුලුපග මිතුරෙක් විය.එකල ප්‍රසිද්ධ වේදිකාවේ රඟ පා ප්‍රේක්ෂක ප්‍රශංසාවට පාත්‍ර වුණු නළුවෙක් වූ ඔහු කරුණාපාල ගමගේය.
සුගත් හමුවීමට ගමගේ හෝටලයට ගිය බොහෝ වාරවල එහිදී මටත් කරූටත් මුණ ගැහුණු අපේ කට්ටියේ කුට්ටියක් විය. රැලෙක්ස්, හේමන්ත , ඔගා, සුරේ , වික්‍රම , ටෝනි යන මේ ශෘංගාර භෘංග වෘන්දය පිරිවරා සිටි සුගත් සමග ගත වුණු ඒ සරස ප්‍රස්තාවන්හි විඳි ආස්වාදයන් මෙන්ම ලද අත්දැකීම්ද මගේ ස්මෘතියෙන් කෙසේ විස්මෘත වී යාද?
ඔවුන්ගෙන් කවුරුන් හෝ කැටුව ඇතැම් දවසක හැන්දෑ වරුවේ මධු සාද සාමීචි අභිරුචියෙන් ගාලු මුවදොර 'ප්‍රෙස් ක්ලබ්' අවන් හල බලා යෑම එදා අපි සතත වතක් කර ගෙන සිටියෙමු. එකල 'ප්‍රෙස් ක්ලබ්' අවන් හල වූකලී ලේඛකයන්ගේ නාට්‍ය කරුවන්ගේ ගුවන් විදුලි ශිල්පීන්ගේ පුවත්පත් කලා වේදීන්ගේ හා වෙනත් කලාකරුවන්ගේ එකම සන්ථාගාරය විය. එය පිහිටියේ කොළඹ ගාලු මුවදොර හෝටලය පසෙක පිහිටි කුඩා ගොඩනැගිල්ලකය. ඊට අයත් පුළුල් බිම් තීරුව ගාලු පාර අයිනෙන් පටන් ගෙන මූදු වෙරළ දක්වා විහිදෙයි. ගොඩනැගිල්ල තුළ හිඳ
මධුර මදිරා රස විඳිනවුන්ට වඩා ගෙමිදුලේ පුටු තබා ගෙන ඈත මුහුදේ පාවෙන මාළු ඔරුවල හා නැව්වල පහන් එළි දෙසත් ඉහළ අඳුරු අහසේ ඇසි පිය හෙළන අනන්ත අප්‍රමාණ තාරකා දෙසත් බලමින් මධු බඳුන් හිස් කරන්නෝම , එසේම ,අල්ලාප සල්ලාපයෙන් සඳ අවරඹරේ රඳවන්නෝම එහි බහුල වූහ. ලුණු සුවඳ ඇද ගෙන මුහුද දෙසින් හමා එන සීතල සුළඟ ගත සරතස දුරලමින් මධුර මදිරාවට වඩ වඩා කෙළිලොල් සිත් පොලඹවා ලයි
එකල 'ප්‍රෙස් ක්ලබ්' අවන් හල් පතිව සිටියේ සිමියොන් අයියාය. ඔහු සුගත්ට ගරු බුහුමන් දැක්වූයේ මහත් වූ බැති සිතිනි. සිමියොන් අයියා (එම්. ඒ. සිමියොන් නමැති හඬ නළුවා) එකල ගුවන්විදුලි නාට්‍යවලට නැතුවම බැරි චරිතයක් විය. ඒ ඔහුට සහජයෙන් පිහිටි අසාමාන්‍ය ගොර බිරම් බැරෑඬි කට හඬ කරණ කොට ගෙනය. ගුවන් විදුලි නාට්‍ය මගින් මාරයා , ආලවකයා , මහ සෝනා , රීරි යකා ආදි චරිත අසන්නාගේ මනසේ පණ පිටින් මැවීමේදී පරම සම්පතක් වූයේ සිමියොන් අයියාගේ ඒ දුලබ අසාමාන්‍ය කට හඬය. සිමියොන් අයියා සතුව පේටන්ට් බල පත්‍ර නොගත් ස්වතන්ත්‍ර නිෂ්පාදන දෙකක් විය. එකක් නම් අමු සිංහල බස් ආර ඇසුරෙන් බය නැතිව නිපදවා ගත් 'සිමියොන් ස්පෙෂල්' ඉංග්‍රීසි කතාවයි. ඔහු සුද්දාගේ සහජ උච්චාරණ ශෛලිය (accent) ගණන් නොගනී. ඔහු කතා කළේ සිංහල ආරට සකසා ගත් අදීන ඉංග්‍රීසියකි. එය වනාහී සිංහල ඉංග්‍රීසි දෙකම නොදත් කට වාචාල වත්මන් නිවේදක නිවේදිකාවන් වැඩි දෙනෙකුගේ අච්චාරු සිංග්‍රීසිය නොවේ.
ඉන්දියානුවෝ සහ යාපනයෝද සිමියොන් අයියා මෙන්ම තම තමාගේ මව් බසේ උච්චාරණ ශෛලිය අනුව අදීනව තනා ගත් ඉංග්‍රීසියක් කතා කරන්නෝය. සුගතපාලයන් කතා කළේද සිංහල ආරේ ඉංග්‍රීසියක් බව ඔහු ළඟින් ඇසුරු කළ අය දත් මුත් බොහෝ දෙනා නොදත්හ. ඔහු සිංහල වේදිකාවට නැඟුවේ විශ්ව සාහිත්‍යයට අයත් විශිෂ්ට නාට්‍ය කෘතිය. ඒවා ඔහු කියවූයේ ඉංග්‍රිසි බසිනි. ඔහු ඉංග්‍රීසි බස ව්‍යක්ත ලෙස උද්ග්‍රහණය කොට සිටි බවට එය ප්‍රත්‍යක්ෂ සාධකයකි.. එහෙත් සුද්දන්ගේ භාෂාව ඔහු සිංහල ආරෙන් කතා කළේ බිංදු මාත්‍රයක හෝ හීනමානයකින් තොරවය. ඉන් ප්‍රකට වූයේ ඔහුගේ අදීනත්වය හා පාරිණත්‍යය මිස දීනත්වය හා හීනමානය නොවේ. ඉංග්‍රීසි කතාව පිළිබඳ මේ පුළුල් ආකල්පය දරන අනික් ප්‍රාඥයා සුනන්ද මහේන්ද්‍රයන්ය. ඉංග්‍රීසි භාෂාව ඇසුරෙන් විශ්ව නාට්‍ය කෘති රාශියක් සිංහල වේදිකාවකට නැගූ සුනන්ද මහේන්ද්‍රයෝ නිරන්තරයෙන්ම ව්‍යක්ත ඉංග්‍රීසියෙන් ලේඛන කලාවේද නිරත වන්නෙකි. එහෙත් ඉංග්‍රීසි කතාවේදී ඔහු අදීනයෙකි. අනුකාරකයෙක් නොවේ. මට මෙවේලේ පුවත් පත් කලා විශාරද
ඩී.බී.ධනපාලයන්ගේ හා මහා ලේඛක මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ඉංග්‍රීසිය සිහියට නැගේ. ඔවුහු දෙදෙනාම අදීන ලෙස තමන්ගේම ආරකට ඉංග්‍රීසිය භාවිත කළාහු වෙති. ධනපාලයන්ගේ Among Those Present කෘතිය සහ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ඉංග්‍රීසි කෘති කියවත්වා! මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ඉංග්‍රීසියේ අනන්‍යතා ලක්ෂණයට හා අදීනත්වයට පැසසූ සෝල්බරි සාමි අග්‍රාණ්ඩුකාරවරයා එම බස බෙහෙවින් ඔහුගේ සිත් ගත් එකෙකැයි තමාට කී පුවත මා ඇසුවේ වික්‍රමසිංහයන්ගේ බාල පුත් දොස්තර රංග වික්‍රමසිංහයන්ගේ කටිනි. ඉංග්‍රීසිය නැති කිරීම ගැන සාප කරන වත්මන් පරපුර තවමත් සුද්දාගේ ඉංග්‍රීසිය වරද්දන උන්ට සිනාසෙති. අදීනයෙක් වූ සිමියොන් අයියාගේ අනික් ස්වතන්ත්‍ර නිෂ්පාදනය වනාහි අදටත් රහසක් වන , සිහි වත් සිහි වත් තවමත් රස නහර පිනා යන 'සිමියොන් ස්පෙෂල්' සෝස් මිශ්‍රණයයි. තේවිස් ගුරුගේ හා ජේ .එච් . ජයවර්ධන යන සුහද මිතුරන් ප්‍රෙස් ක්ලබ් අවන්හලෙහි නිරතුරුව මධු මද මුදිත නොවන්නට මෙසේ අසාමාන්‍ය ගුවන් විදුලි හඬ නළුවෙකු බවට පත්වීම සිමියොන් අයියාට සිහිනයක්ම වනු ඇත.
ගමගේ හෝටලයේ සිට මාත් සුගත් සහ කරූත් 'ප්‍රෙස් ක්ලබ්' අවන් හල වෙතට තම කාමන්ගියා මෝටර් රියෙන් රැගෙන යෑම නියත වතක් කර ගෙන සිටියේ හේමන්ත වර්ණකුලසූරිය ප්‍රබුද්ධ රසිකයාය.විලිකුන් සුරත් පල වැනි රිවි මඬල අවර ගිරි නැටියෙන් වැටෙන යාමයේ ප්‍රෙස් ක්ලබි අවන්හල් වදින අප රැළ මැදියම් යාමයද ගෙවී යන තෙක්ම නොනවතන මධුර මධු සාද සාමීචිය අමාරුවෙන් නිමා වෙන්නේ අවන්හල් පති සිමියොන් අයියාගේ සොඳුරු අණසකට අවනත නොවීම බැරි වන බැවිනි. අප සමග එකට නටමින් ගී ගයමින්ම දෙන ආදරණීය අණකට කෙසේ අවනත නොවී ඉන්නද? 'ගැටවරයෝ' චිත්‍රපටයේ 'ආරිච්චි බෝරිච්චි' ගීයෙහිදී ගැහැනියකගේ වෙස් ගත් මේ සුන්දර මිනිසා කොමල පාමින් රඟන රැඟුම කාට නම් අමතක වේද?
එකල 'ප්‍රෙස් ක්ලබ්' අවන් හලේ
ප්‍රධාන වේටර් තැන සැමි අයියාය. සුගත් ඇතුළු අප මධු ලෝල කල්ලියේ නිත්‍ය සත්කාරකයා වූයේ ඒ සොමි ගුණ හිමි සැමි අයියාය. නුවරඑළිය බෘවරිය හා හපුරා කියා හඳුන්වා දුන් 'බීහයිව්' බ්‍රැණ්ඩිම බීමේ නොතිත් දොළක් අප කල්ලියට පහළව තිබූ කලක්ද වූ බැව් මට මතකය. 'බීහයිව්' බෝතලය බිහි වුණේ රුපියල් 25 ක මිලකිනි. දැනුදු මතක මාත්‍රයෙන් වුව රස නහර පිනා යන 'සිමියොන් ස්පෙෂල්' සෝස් මිශ්‍රණයෙන් රස ගන්වා නොමසුරුව සැකසුණු රුපියල් 2.50 මිලැති පෝකීස් (කුඩා ඌරු ලිංගුස්) කටගැස්ම පිඟාන වමතටද 'බීහයිවි' බ්‍රැණ්ඩි බෝතලය සුරතටද ගෙන අපේ මේසයට කඩිසර ගමනින් එන සැමි අයියාගේ රුව අදද නොමැකෙන සිතු සිත්තමකි. 'සිමියොන් ස්පෙෂල්' සෝස් රසේ අනුහසේ නිසාම එසේ වී යැයි සිත කියනු ඇසේ. 'ප්‍රෙස් ක්ලබ්: මධු සාද මැදදී මධු මතින් මත්ත අප සමග හේමන්තයන් හරි හරියට වාද වදින්නේ මද මත් ඇත් රජෙකු වෙසින් වුවද ඔහු වූකලී බිඳකුදු මද මත් නොකරන පැසෝනා (වැල්දොඩම්) පානියෙකි. එහෙත් අනභිභවනීය පෝකීස් භක්ෂකයෙකි. මධු මද මුදිත අප එදා නිරුපද්‍රිතව යළි උන් හිටි තැන් බලා ගියේ ජීවිතයේ වසන්තයේ පසු වුණු හේමන්තයන් මධුර මධුවට පෙම් බැඳි මත්ත මධුකරයෙකු නොවුණු පිනිනි.
දැනුදු මා ඉඳ හිට ගාලු පාර ඔස්සේ ඒ සුන්දර සන්ථාගාරය වූ තැන පසු කොට යන මොහොතක අද එම බිමෙහි උත්තුංගව නැගී සිටින ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාල ගොඩනැගිල්ල දකිත්ම සාංකාවෙන් බර වෙන මගේ ළයෙන් සුසුමක් පිට වන්නේ ඉබේය.
සුගතපාල ද සිල්වා නාට්‍ය
වේදියාණන් බොහෝ විචාරකයන් විසින් එදා හඳුන්වන ලද්දේත් අද හැඳින්වෙන්නේත් විප්ලවකාරයෙකු හැටියටය. හැටේ දශකයේ බහුලව පැතිරුණු ගතානුගතික ශෛලීගත නාට්‍ය රැල්ල අබිබවමින් සමාජ යථාර්ථය කුළු ගැන්වෙන සේ වේදිකාවට නැංවූ 'බෝඩිංකාරයෝ' නාට්‍යය දුටු ප්‍රේක්ෂකයන්ට මෙන්ම විචාරකයන්ටද සුගත් විප්ලව කාරයෙකු ලෙස දිස්වීම විස්මයට කරුණක් නොවේ. සුගත් විප්ලව කාරී නාට්‍යකරුවෙකු ලෙස දකින්නේ ඔහුගේ නාට්‍ය නරඹන ප්‍රේක්ෂකයන් හා විචාරකයන්ය. එහෙත් ඊට පටහැනි ඇතැම් සංකීර්ණ ඇවතුම් පැවතුම් ඔහුගේ චරිතය සතුව පැවති බව ඔහු ඉතා සමීපව ඇසුරු කළ කා හට වුවද රහසක් නොවේ. සුගත් වේදිකා නාට්‍යයේ මෙන්ම ගුවන්විදුලි නාට්‍යයේද නව මං සොයා ගිය නිර්මාණකරුවෙකි. එසේ වුවද ඔහුගේ අධ්‍යාත්මය තමාට උපතින් උරුම වුණු සංස්කෘතියට අයත් ගූඪ ඇදහිලි විශ්වාස සමග දැඩි ලෙස බැඳී පැවතුණේ එම බන්ධනය කුමන භෞතික බලවේගයකින්වත් සිඳ බිඳ දැමිය නොහැකි අයුරිනි. සමාජ වාදය කෙරෙහි මෙන්ම කතරගම දෙවියන් කෙරෙහිද ඔහු තුළ වූයේ සම බද්ධ භක්තියකි. තම නාට්‍යයකට හෝ පොතකට නමක් යොදන විට ඔහු එහි ඉෂ්ට අනිෂ්ට ගණ හා සුභ අසුභ අකුරු ගැන මහත් සේ සැලකිලිමත් වුණි. ඔහු තුළ පැවති මේ ගුප්ත විශ්වාසය ඔහුගේ නාට්‍යවලට හා පොත්වලට යොදා ඇති නම්වලින් මනාව සනාථ වෙයි. එසේම තම නාට්‍ය නිෂ්පාදන කාර්යේදී ඔහුගේ අපූරු පෙර සූදානමක් නම් එකල නුවර යන ගමනකදී මගහැරම නොයනු බැරි වන කඩුගන්නාවේ ගල විදපු තැන සිහියට නගා ගෙනම වේදිකා ආම්පන්න සම්පාදනය කර ගැනීමය. නාට්‍ය කණ්ඩායම ගමන් ගන්නා බසයේ වහලෙන් ඒවා බා නොගෙනම ගල යටින් රිංගා යෑමේ අරමුණෙනි.
සුගත් වේදිකා නාට්‍ය නිෂ්පාදනය හා ගුවන් විදුලි නාට්‍ය නිෂ්පාදනය ගැන පොත් දෙකක් ලියා ඇත. ඉන් වේදිකා නාට්‍ය නිෂ්පාදනය පිළිබඳ පොත පළ වූයේ 'සොඳුරු ආඥාදායකයා' යන නමිනි. ගුවන් විදුලි නාට්‍ය නිෂ්පාදනයට සම්බන්ධ පොතට ඔහු තැබුවේ 'හඬ නළුව' යන නමය. 'සොඳුරු ආඥාදායකයා' යන්න බටහිර නාට්‍ය ලෝකයේ ව්‍යවහාරයට පත් ප්‍රකට අපර නාමයක් අනුව සුගත් විසින් සිංහලට නඟන ලද්දක් මිස ඔහු නිපදවූවක් නොවේ. එම
අපර නාමයට මුල් වුණු ඉංග්‍රීසි යෙදුම වූකලී කීර්තිමත් රුසියානු නාට්‍ය අධ්‍යක්ෂ ස්ටැනිස්ලව්ස්කිගේ රංග රීතිය ගැන ලියැවෙන තැන්වල නිතර ඇස ගැසෙන Benevolent Despot යනුයි. එහි පදගතාර්ථය වන්නේ 'කාරුණික ආඥාදායකයා' යන්නය. මේ ඉංග්‍රීසි අපර නාමය නිපදවා ගෙන ඇත්තේ නාට්‍ය අධ්‍යක්ෂවරයා හඟවන සංකේත නාමයක් හැටියටය. නාට්‍ය අධ්‍යක්ෂවරයා අකාරුණික ලෙස නළු නිළියන්ගේ රංග කුසලතා සූරා ගන්නේ ආඥාදායකයෙකුගේ වේශයෙන් නොවේද? එහෙත් ඔහු එය කරන්නේ තම නාට්‍යය කෙරෙහි පතළ මහා කරුණාවෙනි. Benevolent Despot යන අපර නාමය නාට්‍ය අධ්‍යක්ෂවරයා හැඳින්වීම පිණිස නිපදවා ගන්නා ලද්දේ එකී ගුරු අරුතිනි. ඒ අනුව ඔහු ළතෙත් අණ සක්විත්තෙකි. වේදිකා නාට්‍ය නිෂ්පාදනය අරබයා සුගත් ලියූ පොතට 'සොඳුරු ආඥාදායකයා' යන නම ඔහු යොදා ගත්තේ නාට්‍ය අධ්‍යක්ෂවරයා හඟවන Benevolent Despot යන අපරදිග අපර නාමය තමන්ට රිසි පරිදි සිංහලට නැගීමෙනි. තම පොතද නාට්‍ය අධ්‍යක්ෂකවරයාගේ කලාව අරබයා ලියූවක් වන හෙයිනි. තම පරිවර්තන නාට්‍යවලට දී ඇති සිංහල නම් මගින් ඔහුගේ මේ නිදහස් නාමකරණය මොනවට ප්‍රකට වෙයි. 'හරිම බඩු හයක්' (Luigi Pirandello ගේ Six Characters in search of an Author); 'හෙලේ නැග්ග ඩෝං පුතා' (Tennessee Williams ගේ Cat on a Hot Tin Roof); 'හිතහොඳ අම්මණ්ඩි' (Bertolt Brecht ගේ Good woman of Zetswan) යන නිදසුන් ඊට ප්‍රත්‍යක්ෂ සාක්ෂිය.
සිංහල වේදිකා නාට්‍යයේ උඩු යටිකුරු විප්ලවයක් කළ සුගත්ට ගුවන් විදුලි නාට්‍ය ක්ෂේත්‍රයේද එවන් විප්ලවයක් කිරීමට මග පෑදෙන්නේ 1969 ජූලි 01 දා ලත් ගුවන් විදුලි නාට්‍ය නිෂ්පාදක තනතුර කරණ කොට ගෙනය. හුදු සංවාද මගින් කතන්දරයක් ඉදිරිපත් කළ ගතානුගතික සිංහල ගුවන්විදුලි නාට්‍ය වෙනුවට සුගතපාලයන් මිනිස් සිත් සතන් විනිවිද දක්නා අවස්ථා චිත්‍රිත නව රීතියක ගුවන් විදුලි නාට්‍ය විශේෂයක් හඳුන්වා දුන්නේ පළමුව තමාම ඒවා ලියා නිෂ්පාදනය කිරීමෙනි. ඒකාකාරී ගුවන් විදුලි නාට්‍ය කලාවට එමගින් නව ජීවයක් හා ආලෝකයක් ලැබුණි. ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නාට්‍ය නිෂ්පාදක තනතුරට පත්ව නමෝ විත්තියෙන් ලියා නිපදවා ප්‍රචාරය කළේ 'වැල්ලට ගිය ගැහැනිය' නම් නාට්‍යයයි. එහි කතා නායක චරිතය රඟ පෑමේ භාග්‍යය ලත් මගේ කතා නායිකාව වූයේ එකල ප්‍රකට ගුවන්විදුලි ශිල්පිනියක් වූ සුමනා ජයතිලකය. චරිත තුනකින් සමන්විත එම නාට්‍යයේ අනික් සහායක චරිිතය නිරූපණය කළේ එසමයේ ගුවන්විදුලි සහන නිවේදකයෙක් වූ රංජිත් ධර්මකීර්තිහුය. සුගත්ගේ කීර්තිමත් ගුවන්විදුලි නාට්‍ය නිෂ්පාදන යුගයේ ඔහු අතින් බිහිවුණු එක්තරා අසහාය නාට්‍යයක් වෙයි. එය හැඳින්වුණේ 'කොනේ කාමරේ
හෙවත් සිරකරුවෙකුගේ කතාව' යන නමිනි. එය වනාහි ගුවන්විදුලි නාට්‍ය වංශයට පිවිසුණු දුර්ලභ ගණයේ නිර්මාණයකි. එදා මෙදා තුර එකම එක චරිතයකින් සමන්විතව නිෂ්පාදිත එකම ගුවන්විදුලි නාට්‍යය එය බැවිනි. ඊට වස්තු වූයේ හෙට උදෑසන එල්ලා මැරීමට නියමිත මිනීමරුවෙකුගේ අද රෑ හිතේ තතුය.
ඓතිහාසික වශයෙන් එය සදානුස්මරණීය නිර්මාණයක් ලෙස හැඳින්වීම කවර වරදද? ඊට කරුණු තුනක් සාධක වන බැවිනි. ගුවන්විදුලි නාට්‍ය ඉතිහාසයේ නිෂ්පාදිත එකම තනි චරිතයේ නාට්‍යය වීම , ඉන් පෙර කිසි දා ගුවන්විදුලි නාට්‍යයක් නොලියූවෙකුගේ පළමු වන සහ අවසාන රචනය වීම සහ ගුවන්විදුලි රංගන ශිල්පියෙකු පැය භාගයක් තුළ තනි චරිතයක් රඟ පෑ එකම නාට්‍යය වීම ඒ ත්‍රිවිධ සාධකයෝය. සුගත් විසින් නිෂ්පාදිත මෙම ඓතිහාසික නාට්‍යය රචනය කළේ කවි ලොව හා ගී ලොව තුඩ තුඩ නම රැන්දූ ඩෝල්ටන් අල්විසුන්ය. එය ඉතා අප්‍රකට කරුණකි. ඔහු විසින් රචිත එකම නාට්‍යය එයම විය ඔහු එම නිර්මාණ කාරියට එළඹෙන්නට ඇත්තේ සුගත්ගේ පෙලඹවීම නිසා බැව් නිසැකය. ඔවුන් දෙදෙනා එකල ගුවන්විදුලි සේවයේ සද්ධිවිහාරිකව සිටිය බැවිනි. ඩෝල්ටන් අල්විසුන්ගේ නාට්‍ය නිර්මාණ ප්‍රතිභාවෙහි විශිෂ්ට පලයක් ගුවන්විදුලි ඉතිහාසය තුළ චිරස්ථිත කිරීමේ ගෞරවය සුගත්හට අයත්නයෙන්ම අයත් වනු නියතය. හෙට උදයේ එල්ලා මැරීමට නියමව සිටී මිනීමරුවෙකුගේ අද රෑ හිත හඬින් පමණක් නිරූපණය කිරීමේ දුර්ලභ ගණයේ අත්දැකීම අත් පත් කර ගැනීමට මට අවස්ථාව සලසා දුන් සුගතපාලයෝ එමගින් මගේ වාංමය නිරූපණ කලාව මෙන්ම එහි ආත්මය වන් නිර්මාණාත්මක පරිකල්පන ශක්තියද අප්‍රමාණ ලෙස පරිපාකයට පත් කළහ. ළගත් සුගත්හුට අප්‍රමාණ ප්‍රණාම වේවා! එදා මෙදා තුර ගුවන්විදුලි නාට්‍ය ඉතිහාසයේ පැය භාගයක් පුරා තනි චරිතයක් රඟ පෑ එකම වාග් රංගන ශිල්පියා වීමට ලැබීමද මගේ
ගුවන්විදුලි රංගන ජීවිතයේ මහත් පල මහානිසංසයකි. එසේ මා භාග්‍යවත් කළ සුගතපාලයෝද ඩෝලයෝද මෙලෝ හළෝය. මම පමණක් තවමත් හුදකලාවේ මෙලෝය.
මෙම වෙසෙස් නාට්‍යයේ පළමු ප්‍රචාරය ඇසූ විශිෂ්ට නවකතාකරුවෙක් වූ ඇරැව්වල නන්දිමිත්‍රයන් තම ආත්ම චරිත කතාවෙහි ලා ඊට මහත් සේ පැසසුම් කොට ඇත්තේ ඔහු එදා ඉන් ලද විස්මය ජනක ආස්වාදය අව්‍යාජ ලෙස හෙළි කරමිනි. පසු කාලයක සිංහල නවකතා ලෝකයේ විශිෂ්ට නිර්මාණකරුවන් බවට පත්වූ තිදෙනකු දොරට වැඩියේ ගුවන්විදුලි නාට්‍ය රචකයන් ලෙසය. ඔවුන් තිදෙනා නමෝ විත්තියෙන් ශ්‍රාවක ජනයාට හඳුන්වා දුන්නේ සුගතපාල සිල්වා ගුවන්විදුලි නාට්‍ය අධ්‍යක්ෂ වරයාය. ඇරැව්වල නන්දිමිත්‍ර , කැත්ලින් ජයවර්ධන සහ සෝමා ජයකොඩි ඒ ත්‍රිමූර්තියයි.
ගුවන්විදුලි නාට්‍ය රචකයෙකු , රංගන ශිල්පියෙකු මෙන්ම නිෂ්පාදකයෙකු ලෙසත් මා ඔහුගෙන් ලද අප්‍රමාණ ආභාසය , ආවේශය හා ආලෝකය මගේ පරම භාග්‍යයක්මැයි!
ඉංග්‍රීසි ව්‍යවහාරයේ එන Four Letter Words (සිවු අකුරු පද) යනු එම බසට අයත් අසැබි (කුණු හරුප) වදන් හඳුන්වන සුප්‍රකට වාගෝක්තියකි. Cunt , Cock , Fuck යනු ඉංග්‍රීසියේ අසැබි වහර ලෙස ප්‍රකට සිව් අකුරු පද තුනය. මීට සමාන සිංහල අසැබි පද තුන නොදන්නෝ කොහි වෙසෙත්ද?
සුගතපාලයන් ගුවන්විදුලියේ වසන සමයේ එක්තරා සුප්‍රකට විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් සිංහල පරිවර්තන සාහිත්‍යය අරබයා එක්තරා ආධානග්‍රාහී මතයක් සාහිත්‍ය ලෝකයේ පතුරුවමින් සිටියේය. මුල් ඉංග්‍රීසි කෘතිවල එන ඉහත කී අසැබි වදන් ඊට සමාන සිංහල අසැබි වදන්වලින්ම පරිවර්තනය කළ යුතුය යනු ඔහුගේ එම දැඩි මතය විය. වියතුන් සභා මැද ඔහු එහි අනුසස් දෙසුවේ ඊට නිදසුන් වශයෙන් එම සිංහල අසැබි වදන් ප්‍රසිද්ධියේ හඬ නගා කියමිනි. ඔහුගේ දෙසුමක් කොළඹ මහජන පුස්තකාලයේ පැවති දිනකි. මා එහි ගියේ තරමක් ප්‍රමාදවය. පුස්තකාල ගේට්ටුවෙන් ඇතුළු වන විට මා දුටුවේ දේශන ශාලාවෙන් පිටවී එන සුගත්ය.
"මොකද සුගත් යන්නෙ?
"ඒ යකා කරන දේශනයක් නෑ මචං.
අපි දන්න කුණුහරප ටික ඌ අපිට
උගන්නන්න හදනව. මේ මං කියන එක අහපන්!
'තිඹිරි පකක් දුන් අඟනක් සඟන
දැක'
කියල වෑත්තෑවෙ හාමුදුරුවො
ගුත්තිලයෙ කියල තියෙනව.
'තොප ගිය කල බැමිණි
අතොබයි පයිය සපැමිණි'
කියල රාහුල හාමුදුරුවො කාව්‍ය ශේඛරයෙ කියල තියෙනව. ඒ 16 වැනි ශත වර්ෂයෙ.ඒ කාලේ ඒ වචන දෙකම කුණුහරප නෙමෙයි. අද පරිවර්තනවල අපිට එහෙම කියන්න පුළුවන්ද? This fellow tries to become a hero of radical idiots. Uncultured bastards.
(මේ යකා හදන්නෙ රැඩිකල් අමනයන්ගෙ වීරයෙක් වෙන්න. අසික්කිත අවජාතකයො.)
සුගත්ගේ කතාව අසා සිටි මගේ සිහියට එක්වරම නැගුණේ Speech Communication in Society නමැති ග්‍රන්ථයේ සඳහන් එක් මූල ධර්මයකි.
Meanings are in people, not in words. Words do not transmit meanings; They merely " Stir Up" meanings already present in people.
(තේරුම් ඇත්තේ මිනිසුන් තුළ මිස වචන තුළ නොවේ. වචන මගින් තේරුම් සන්නිවේදනය නොකෙරේ. ඒවා මගින් කෙරෙන්නේ කලින් සිටම මිනිසුන් තුළ පවත්නා තේරුම් අවදි කිරීම පමණි.)
සුගත් විප්ලවකාරයෙකු වුවද ඕපපාතිකයෙකු නොවන බව මනාව දැන සිටි මට ඔහුගේ එම ගැඹුරු හා පරිණත ආකල්පයෙහි කවර අරුමයක්ද!
විද්‍යුත් මාධ්‍යයේ මෙන්ම මුද්‍රිත මාධ්‍යයේද නිරත අල්පශ්‍රුතයන්ගේ ඥාන හීන ස්වභාවය නිරන්තරයෙන්ම සුගත්ගේ දැඩි විවේචනයට ලක් විය. බසට කරන නිගරුව තරම් සුගත්ගේ උදහසට හා පිළිකුලට ලක් වූ අන් දෙයක් නැති තරම්ය.නිවැරදි වියරණයෙන් යුතුව බස ලිවීම කෙරෙහි ඔහු දැඩි උනන්දුවක් දැක්වූවෙකි. ඔහු විසින් ලියා පළ කරන ලද සෑම ග්‍රන්ථයකින්ම ඒ බැව් ඉඳුරා සනාථ වෙයි.
සුගත්ගේ සම්පූර්ණ නම අවලිකාර ගලප්පත්තිගේ සුගතපාල ද සිල්වා බව දන්නා මම වරක් ඔහුට මෙසේ යෝජනා කළෙමි.
"සුගත් , ඔය සිල්වා කියන පරංගි කෑල්ල අත ඇරලා සුගතපාල ගලප්පත්ති කියලා නම වෙනස් කර ගන්නකො.එතකොට නමේ අසිංහලකම යනවනෙ. යූස්ටස්
රෙජිනෝල්ඩ් ද සිල්වා එදිරිවීර සරච්චන්ද්‍ර වුණා , මොරිස් ඩයස් චිත්‍රසේන වුණා , ඇල්බට් පෙරේරා අමරදේව වුණා."
එවේලේ ඔහු මට උත්තර දුන්නේ මෙසේය.
"මචං ,නාට්‍ය කාරයෙක් හැටියට දැන් ගුණසේන ගලප්පත්තිගෙ නම මේ රටේ ප්‍රසිද්ධ නෙ. සුගතපාල ද සිල්වා කියන නමින් වේදිකාවට ආපු මම හිටිහැටියෙ ගලප්පත්ති කියලා නම වෙනස් කර ගත්තොත් මිනිස්සු හිතාවි මං ගුණසේන ගලප්පත්තිගෙ නමින් බැබළෙන්න යනව කියලා. ඊට වැඩිය හොඳයි ස්වාධීන නාට්‍ය කාරයෙක් හැටියට මගේ පරංගි නමෙන්ම ඉන්න එක."
සුගතපාලයන් වැලිගම උපන්නෙකු වුවද හැදුණේ වැඩුණේ ගම්පොල පුස්සැල්ලාවේය. තාත්තා එහි වෙළදාමේ යෙදී සිටි හෙයිනි. ගම්පොල ජිනරාජ විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ සුගත් ගුවන් විදුලි සංස්ථාවේ රාජකාරියට එන විට ජිනරාජයේ එක පන්තියේ සිටි තම බඩ බැඳ ගත් මිතුරා ගුවන්විදුලියේ කීර්තිමත්ව බැබළෙමින් සිටියේය. ඒ වනාහි ගුවන්විදුලි වාදක මණ්ඩලයේ ශූර වාදකයෙකු මෙන්ම ගායකයෙක්ද වූ ඩී.ඩී. ඩැනී සංගීතවේදියාය. ගුවන්විදුලි ළමා පිටියේ ළමා ගී වැඩි හරියක් ගැයුණේ ඔහුගේ අතිශය ජනප්‍රිය තනු අනුවය.ළමා ශිල්පීන් හැටියට ගුවන්විදුලි ළමා පිටියෙන් මතුවුණු අපට ඔහු ආදරණීය ඩැනි අයියා විය.
දුර්ලභ ගණයේ සහජ රංගන කුසලතාවක් විදහා පාමින් වේදිකාව, සිනමාව , ගුවන් විදුලිය යන ක්ෂේත්‍ර තුනම අලංකාර කළ ලොයිඩ්
වාකිෂ්ඨයෝ නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ අපගේ ජ්‍යේෂ්ඨයන් අතරින් බිහි වුණු විශිෂ්ට කලාකරුවෙකි. පසු කල මගේ ළෙන්ගතු මිතුරෙක් වූ වාකි තවත් ප්‍රශස්ත කලාකාරියක් වූ චිත්‍රා වාකිෂ්ඨගේ වල්ලභයා විය. ඔහු අකාලයේ අප අතරින් වියෝවීම යට කී ත්‍රිවිධ ක්ෂේත්‍රයටම සිදු වූ බලවත් පාඩුවකි. ගුවන්විදුලි නාට්‍යවලදී නිතර පයුරුපාසනයේ යෙදුණු සුගත්, වාකි හා මා අතර පැවතියේ බද්ධ ස්නේහයකි.
මා ලොයිඩ් වාකිෂ්ඨයන්ගේ මළ ගෙදර ගියේ සුගත් සමගය. ප්‍රාණය නිරුද්ධව ගිය වාකිගේ සිරුර තැන්පත් කොට තිබුණු මිනී පෙට්ටිය අසල මඳ වේලාවක් සිට ගෙන හුන් සුගතුත් මමත් වාකිගේ පණ සුන් සිරුරට හිස නමා එතැනින් මෑත් වීමු සුගත් තම දෑසට ඉනූ කඳුළු පිස ගත්තේ පිටි අල්ලෙනි. ඔහු තුළ වාකි කෙරෙහි වූ ආදරය මට පුදුමයක් නො වුණි. 2002 ඔක්තෝබර් 28 වැනි දා මෙලොවින් පිටත්ව ගිය සුගත් සමග පැවති මගේ ආශ්‍රය අවුරුදු 40 ක් ඉක්මවන්නකි.ඒ මුළු කාලය තුළම මා සුගත්ගේ මුහුණේ දුටුවේ ප්‍රසන්න සිනාවක්මය. එය කිසි දා ඔහු අතැර නොගියේය. ඔහු කඳුළු සලනු මා පළමු වරටත් අවසන් වරටත් දුටුවේ වාකිගේ මළගම දවසේය.
| කරුණාරත්න අමරසිංහ
මුහුණ පොතින්