මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සැහැල්ලු බව, කෙළිලොල් කම, රසිකත්වය පමණක් නොව තරුණයන් සමග තරුණයෙකු සේ විනෝද වීමට ඔහු නිතර දැක්වූ උනන්දුවත් ඒ සියල්ලම අබිබවා සිටි ඔහුගේ සහජ උරුමයක් වන් අති නිහතමානයත් මනාව පිළිබිඹු කොට දක්වන එක්තරා සොඳුරු අත්දැකීමක් මගේ සිහියට නැගෙයි. ඒ වූකලී සරච්චන්ද්‍රයන්ගේ 'මනමේ' නාටක මූලාශ්‍රය අරබයා මාර්ටින් වික්‍රමසිංහයන් අලුත් මතයක් ඉදිරිපත් කළ කාලයකි. 'මනමේ' නාටකය රඹුක්කන පින්නවල ජී.එම් සලා ගුරුන්නාන්සේ විසින් රචිත කවි නාඩගමක් ඇසුරෙන් කරන ලද්දකැයි යන එම මතය ඔහු තම 'සිංහල නාටකය සහ සඳ කිඳුරුව' යන පොතෙහි එන නිබන්ධ මගින් ප්‍රකාශ කර සිටියේය. රඹුක්කන පින්නවල ජී.එම් සලා ගුරුන්නාන්සේ සාම්ප්‍රදායික ජන කවි පොත් ලියූ ප්‍රසිද්ධ ගැමි කවියෙකි. මේ පොත් පිළිබඳ විමසුමක් කිරීමේ කුහුලින් පෙළී ගිය මගේ සන්මිත්‍ර සුනන්ද මහෙන්ද්රයෝ සලා ගුරුන්නාන්සේ මුණ ගැසෙන්නට යෑමේ චාරිකාවක් සූදානම් කළහ.
එකල සුනන්ද මහේන්ද්‍රයන් ගුවන් විදුලියෙහි නිබන්ධ සම්පාදක තනතුරෙහි නිරතව සිටි බැවින් චාරිකාව සංවිධානය කෙරුණේ ගුවන්විදුලියේ අනුග්රහයෙනි. කෘතහස්ත ගීත රචකයෙකු මෙන්ම මගේ ඉතා ළෙන්ගතු මිතුරෙකුද වන සුනිල් සරත් පෙරේරාණෝද මේ චාරිකාවට බලවත් අනුග්‍රාහකයෙක් වූහ. මක්නිසාද යත් ඔහුගේ ඇඹණියගේ මහගෙදර රඹක්කන පළාතේ පිහිටි බැවිනි. මේ ගමනට එක් වන්නැයි සුනන්ද මහෙන්ද්රයෝ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ට විශේෂ ආරාධනාවක් කළහ. නිතර විවේක සුවය ප්‍රිය කළ සරච්චන්ද්‍රයෝ චාරිකාවට එක හෙළා එකඟ වූහ. සුනන්ද මහේන්ද්‍රයන්ගෙන් ඇරයුම් ලත් සුනිල් සරත් පෙරේරයෝ, මගේ මිත්‍ර කෝවිද ගායක නාරද දිසාසේකරයෝ සහ මම ද මේ ගමනට එක් වීමු. මහාචාර්ය සරච්චන්ද්‍රයන් සමග එකට යන මේ ගමන අතිශය ඥාන පෝෂක වූවක් මෙන්ම ආස්වාද ජනක වූවක්ද වන බැව් අපි නිසැක ලෙසම දැන සිටියෙමු. මේ පංච පුද්ගල චාරිකාව සඳහා උපයෝගී කොට ගත්තේ ගුවන්විදුලි වෑන් රථයකි. ඒ රිය පැදවූ මාතලී කවුරුන් දැයි දැන් මට මතක නැත.
මධ්‍යාහ්නයේ පින්නවල ගමට ළඟා වුණු අප වැලි සහිත පටු අතුරු පාරක් දිගේ යද්දී එක් වරම වෑන් රියේ රෝද වැල්ලේ එරී ගියේය. ළඳු කැලෑ සහිත පාළු පෙදෙසක් වූ එහි ළඟ පාත ගෙයක් දොරක් හෝ මනුස්ස පුලුටක් හෝ නැත. අපි පස් දෙන ම වෑන් රියෙන් බිමට බැස වෑන් රිය තල්ලු කරන්නට පටන් ගත්තෙමු. අසල වූ ගලක් මත මඳක් වාඩිවී සිටින්නැයි අප සරච්චන්ද්‍රයන්ගෙන් ඉල්ලා සිටියද ඔහු අපේ ඉල්ලීම ගණනකටවත් නොගෙන අප සමග එක්ව හඬ නගා සිනාසෙමින් වෑන් රිය තල්ලු කරන්නට වූයේ තරුණයෙකු මෙනි. මනාව පසෙකට පීරු මඳක් දික්ව වැඩුණු කෙස් කලඹ විසිරී අවුල්ව ගියෙන් සරච්චන්ද්‍රයන්ගේ මුහුණේ පෙනුම එවේලේ අමුතු වී පෙනුණි. පොල් ගසක් මුල වැටී තිබුණු වියළි පොල් අත්තක් අහුලා ගෙන ආ නාරද දිසාසේකරයන් එය රෝද දෙකක් අස්සට රිංගවීමෙන් පසු පණ ගැන්වූ වෑන් රිය අපේ වේගවත් තල්ලුවත් සමග වැල්ලෙන් එළියට ආවේය. ඉන්පසු මගේ සාක්කුවේ තිබූ පනාව ඉල්ලාගත් සරච්චන්ද්‍රයන් අවුල්ව ගිය තම කෙස් කලඹ මනාව සකසා ගත්තේ මේ ප්‍රස්තෝචිත ඉංග්‍රීසි ආප්ත වාක්‍යය තෙපලමිනි. "An ounce of Wisdom is worth than thousand pounds of Strength." (ශක්තිය රාත්තල් දාහකට වැඩිය නුවණ අවුන්සය වටිනව.) වැල්ලේ එරුණු වෑන් රිය වේලිච්ච පොල් අත්තේ බලයෙන් ගොඩ ගන්නා නුවණ සරච්චන්ද්‍රයන්ගේ පැසසුමට ලක් වූයේ එලෙසිනි.
බලාපොරොත්තු නොවූ පරිදි වෑන් රියක් තල්ලු කරන්නට වීමේ අකරතැබ්බයට මුහුණ පෑ අප පස් දෙනා රඹුක්කන පින්නවල සලා ගුරුන්නාන්සේගේ ගෙදර ළගට ගොස් වෑන් රියෙන් බිමට බැස්සේ හොඳටම හෙම්බත් වුවන් ලෙසිනි. එදා අපි පස් දෙනා සලා ගුරුන්නාන්සේගේ ගෙට ගොඩ වන විට ඔහු බැහැරක ගොසිනි. ගෙදර සිටියේ ඔහුගේ බාල දුවය. ඇය පාසල් දැරියකි. අපට වාඩි වෙන්න යැයි ආරාධනා කළ ඈ ටික වේලාවකින් අපට තේද පිළියෙල කර දුන්නාය. අප සලා ගුරුන්නාන්සේගේ ගෙදර ඉස්තෝප්පුවේ වාඩිවී අල්ලාප සල්ලාපයේ පසු වෙද්දී ඔහු වතුර කළයක්ද ගෙන කන්ද නැග එනු පෙනුණි. ඒ ඔහු බව අප සිතා ගත්තේ 'අර එන්නෙ තාත්තා' යැයි දුවගේ මුවින් ගිලිහුණු වදනිනි. වතුර කළය පසෙක තබා ගෙට ගොඩ වුණද ඔහුට අප කවුරුන්දැයි නිච්චියක් නොවුණි.
අප කවුරුන්දැයි ඔහුට හඳුන්වා දීමටද අපි කල්පනා නොකළෙමු. ඔහු අප සමග වාඩිවූ පසු සුනන්ද මහෙන්ද්රයෝ කතාවට මුල පිරූහ. "අපි ආවේ සලා ගුරුන්නාන්සේ මුණගැහිලා මුන්නැහැ ලියාපු නාට්‍ය කරපු නාට්‍ය ගැන කාරණා ටිකක් දැනගන්න." ඔහු ඉතා අහිංසක ලෙස හිනැහී පිළිතුරු දුන්නේය. "මං ලොකුවට නාට්‍ය පොත් ලියාපු නාට්‍ය නටාපු මිනිහෙක් නෙවෙයි." "මාර්ටින් වික්‍රමසිංහ මහත්තයව දන්නවද?" මම ඇසුවෙමි. "මං ඒ මහත්තයා ගැන අහලා තියෙනවා" එසේ පිළිතුරු දුන් සලා ගුරුන්නාන්සේ වහා ගෙතුළට ගියේය. මඳ වේලාවකින් ඔහු යළි අප වෙතට ආවේ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ 'සිංහල නාටකය සහ සඳකිඳුරුව' නමැති පොතේ පිටපතක්ද අතැතිවය. ඒ පොත අතට ගත් සුනන්ද මහෙන්ද්රයෝ එය අපටද පෙන්වූහ. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ අත්සන සහිත එම පිටපත ඔහු විසින් සලා ගුරුන්නාන්සේ වෙත තෑගි කොට එවන ලද්දක් බැව් අපට පසක් වුණි. 'මනමේ' කවි නාඩගම් පිටපතක් ගැන සුනන්ද මහේන්ද්‍රයන් සලා ගුරුන්නාන්සේගෙන් විමසුවද එවැන්නක් ගැන කිසිදු තොරතුරක් ඔහුගෙන් හෙළි නොවුණි. අප ඔහුගෙන් අසා දැනගත් තොරතුරු අනුව නිගමනය කළ හැකි වූයේ ඔහු වනාහි ජාතක කතා ජන කවි ආරෙන් කවි කළ හුදු සාම්ප්‍රදායික සරල ගැමි කවියෙකු බවය. අප සලා ගුරුන්නාන්සේ සමග සාකච්ඡා කරමින් සිටිද්දී ඔහුගේ දුව ගෙයින් එළියට අවුත් කිසියම් සංඥාවක් කොට තම පියා ගෙතුළට කැඳෙව්වාය. මඳ වේලාවකින් යළි ගෙයින් එළියට ආ ඔහු කෙළින්ම ගියේ සරච්චන්ද්‍රයන් වාඩිවී සිටි තැනටය. "අනේ මේ මනමේ නාට්‍ය කරපු සරච්චන්ද්‍ර මහත්තයද? මගේ මේ දුව කියන කං මං දන්නෙ නෑනෙ. බොහොම සන්තෝෂයි අඳුන ගන්න ලැබුණට." පාසල් දැරිය සරච්චන්ද්‍රයන් කවුරුන් ද යන්න දැන සිටියාය. සුනන්ද මහේන්ද්‍රයන් අවශ්‍ය සියලු තොරතුරු රැස් කර ගත් පසු අපි සලා ගුරුන්නාන්සේගෙන් සමු ගෙන පිටත් වීමු. රඹුක්කන පින්නවලට ගොස් අප පස් දෙනා සලා ගුරුන්නාන්සේ මුණ ගැසුණු අවස්ථාව මහාචාර්ය සරච්චන්ද්‍රයෝද තම ජීවිත සටහන් සහිත 'පින් ඇති සරසවි වරමක් දෙන්නේ' නමැති කෘතියෙහි එන 'යළි පේරාදෙණියට, මනමේ නාටකය බිහි වීම' යන පරිච්ඡේදයෙහි ලා තත් වූ පරිද්දෙන් හෙළි කොට සිටිති. සලා ගුරුන්නාන්සේ හමුවීමෙන් පසු අප සියල්ලන් අත් විඳි ආස්වාදයන් ගැන සරච්චන්ද්‍රයෝ තම ජීවන සටහන් කෘතියෙහි ලා මුවින් නොබැණ සිටිති. එහෙත් සරච්චන්ද්‍රයන්ගේ මේ වැකිය පමණක් එහි හමුවෙයි. 'එදා දවස අප විනෝදයෙන් ගත කළ බවද සඳහන් කරනු කැමැත්තෙමි.' ( එම පොතේ 236 පි:)
සලා ගුරුන්නාන්සේ හමුවීමෙන් පසු අප විනෝද වූ අයුරු අභිරුචියෙන් විස්තර කිරීම අනුචිත වෙතියි සිතූ බැවින් සරච්චන්ද්‍රයන් එකී වැකිය පමණක් ලියා තබා මුනිවත රකින්නට ඇතැයි සිතමි. සලා ගුරුන්නාන්සේගේ ගෙදර සිට එදා අප කෙළින්ම ගියේ සුනිල් සරත් පෙරේරයන්ගේ ඇඹණියගේ මහ ගෙදරටය. කිතුල් මදිරාව අප එන තුරු එහි නොඉවසිල්ලෙන් බලා සිටියේ සුධා ධවල පෙණ සිනා කැටි ලබු කැට කටින් උතුරුවමිනි. කිතුල් මදිරාව සහ මඤ්ඤොක්කාව අතර දීගය කෙදිනක ඇති වූවක්ද යන්න සිතා ගත නොහැක. එහෙත් එය සදා නොකැඩී පවතීවා යැයි පැතීමට තරම් ඉස්පාසුවක් අපේ කටවලට නොවූ බැවින් ඒ පැතුම සිතින්ම පැතීමු. කිතුල් මදිරාවෙන් සහ මඤ්ඤොක්කාවෙන් මෙන්ම නාරද දිසාසේකරයන්ගේ මධුර මනෝහර ගායනයෙන්ද තෘප්ත වූ අපි සුනිල් සරත් පෙරේරයන්ගේ ඇඹණියගේ මහ ගෙදර ඇත්තන් මහත් සේ වෙහෙසී පිළියෙල කොට තිබුණු රස මසවුළු සහිත දහවල් ආහාරයෙන් සන්තර්පිතව ගම රට බලා පිටත් වීමු. අප වෑන් රියට නගින විට මධු මද මුදිත සරච්චන්ද්‍රයන් ඉංග්‍රීසියෙන් පැවසූ මුකරි රස බස තවම ඇසෙන්නා සේය. "Sara Gurunnanse has come to meet Sala Gurunnanse." (සරා ගුරුන්නාන්සෙ ඇවිල්ලා සලා ගුරුන්නාන්සෙ හම්බ වෙන්න.)
( 2023 සැප්තැම්බරයේ 'විදර්ශන ප්‍රකාශකයන්' ඔබ නෙතට දෙන 'හිතක මතක' පොතෙහි එන මතක වතකි.)
|කරුණාරත්න අමරසිංහ
(මුහුණ පොතෙන්)