අම්මේ මං ලොකුදුව සුජාතා

අම්මේ මං ලොකුදුව සුජාතා

අම්මේ මං සුජාතා - අම්මගේ ලොකු දුව

මං ආයි කවදාවත් - ගමට නං එන්නේ නෑ

ලොකු දුව ගැන - ඔයාලට තිබුණු හීන

අහිංසක දුප්පත් හීන - ඒවා ඔක්කොම

මරලා දාපු මේ ලොකු දුව

ආයෙ කවදාවත් - එන්නේ නෑ ඔයාලගේ

නෙත් මායිමට - මට කොළඹ ආවම

හමු වුනා මහලොකු - සල්ලිකාරයෙක්

මං ඌව විශ්වාස කළා අම්මේ - මගේ පණ ටත් වඩා

ඒත් එක දවසක් - මං ආසාවෙන් කිව්වා

දරුවෙක් බඩට - ඇවිත් බව

ඒක මට සතුටක් උනත් - ඌට සතුටක් උනේ නෑ අම්මේ

ඌ බය වුණා

 

ඇයිද කියා අදටත් මම - දන්නේ නෑ අම්මේ

නැති කරගන්න කීව දරුගැබ - බඩටත් පයින් ගැහුවා

මං හිටියේ සිහි විකල්ලෙන් වගේ - බැරිම තැන මං ඌව එලෙව්වා

දන්නේ නෑ කොහෙද කියා - මං හෙව්වේ නෑ ඌව

 

වැලේ ගෙඩි වැලට බර නෑ කීවා වගේ

තාත්තෙක් ඕනෙ නෑ කියා - මං මගේ දරුවා බිහිකලා අම්මේ

පුතා දැන් ලොකුයි - හරියට අපේ ලොකු මල්ලි වගේමයි

පුතා දකිනවාරයක් පාසා - මට ලොකු මල්ලිව මතක් වෙනවා

ඒත් මං ගමට නම් - එන්නේ නැහැ කවදාවත් අම්මේ

පුතා දැන් ලොකුයි

 

අවලමේ ගිහින් සුජාතා - දරුවෙක් අරගෙන ගමට ආවා

කියයි වටපිට මිනිසුන් - ඔයාටයි අප්පච්චිටයි ඒක

දරාගන්න බැරි වෙයි අම්මේ - පිරිමි තවමත් සුදනුන්මයි

මගේ අම්මේ - අම්මේ මං ලොකුදුව සුජාතා.

අපි තාම ගල් යුගයේ අම්මේ

 

වැරැද්ද දකින්නේ - ගැහැණියගේ විතරයි

මොන පාදඩ වැඩේ කෙරුවත්

මගේ පුතා මට - බරක් නැහැ අම්මේ

මං එයා හදනවා - හැම ගැහැණියකටම

ගරු කරන පිරිමියෙක් ලෙස - කරදර වැඩි වුන නිසාම

මගේ හිතත් - ගලක් වගේ වෙලා අම්මේ

මට පුළුවන් තනියම - ජීවිතේ ගොඩගන්න

ජීවිතයේ වරද්දපු උන්ට - දඩුවම් ලබාදෙන්න

එකට මම මේ ගෙන්දගම් පොළොවේ - ඉන්නම ඕනෑ අම්මේ

මට සමාවෙන්න - ගමට එන්නේ නැතුවාට

| චන්ද්‍රා දේවනාරායන