ඉතිහාසයක හෙළිදරව්වක්
ලංකාවේ තේ කර්මාන්තයේ අතීතයෙහි කවුරුත් පාහේ දන්නා ඉතිහාසය පටන්ගන්නේ ජේම්ස් ටේලර් තේ අක්කර විස්සේ තේ වගාවෙනි. ඔහු හේවාහැට ලූල්කඳුර වත්තේ පැළ කළ තේ ඇටවලටත් ඉතිහාසයක් තිබෙන නිසා ලංකා තේ කථාව පටන්ගන්නේ ටේලර්ගේ වගාවටත් ඉස්සරයි.
ලංකාවේ තේ කර්මාන්තය ගැන 1907 දී ලිපියක් කළ කෙල්වේ බැම්බර් නම් ලේඛකයා ඒ අතීත කථාවේ ඇතැම් තැන් හෙළි කරන්නේය. ඔහු විසින් පවසන ආකාරයට ලංකාවේ මුල් ජම්මක්කාරයෙක් නොවන තේ පැළය ආදියෙන් ලංකාවට ගෙන එන ලද්දේ 1839 යේ දෙසැම්බර් මාසයේදීය.
ඒ වර්ෂයේ දී ආචාර්ය වොලික් විසින් ඇසෑමයෙන් සොයාගත් තේ පැළ පේරාදෙණියේ උයනෙහි වගා කරනු පිණිස මෙහි එවිණ. 1840 දී තවත් පැළ 200ක් පමණ එවන ලදී. තේ හොඳ ආදායමක් දෙන වගාවක් විය හැකි යැයි රජයට දැනුම් දෙන ලදී. තේ පැළ කිහිපයක් 1840 දී නුවරඑළියට ද යැවිණ. “ඒවා තාමත් (අවුරුදු 67කින් පස්සේ) නේස්බි වත්තේ තිබෙනවාය කියා ආරංචි යැ” යි. 1907 දී ඉහත කී බැම්බර් ලියාලුවේය.
1840 දී සහ 1842 දීත් වතුකාරයන් විසින් චීනයෙන් සහ ඇසාමයෙනුත් තේ පැළ ගෙන්වා ගන්නා ලදී. චීන තේ පැළ පුස්සැල්ලාවේ රොක්ස් වෛල්ඩ් වත්තේත් ඇසැම් තේ දොළොස් බාගයේ පෙනිලන් වත්තේත් වගා කෙරුණේය.
බැම්බර් විසින් 1907 දී ලියූ ආකාරයට ලංකාවේ ඉස් ඉස්සෙල්ලාම තේ හදන ලද්දේ පුස්සැල්ලාවේ දීය. එහෙත් ඒ සඳහා ඉතා අධික වියදමක් දරන්නට සිදු වූයේය.
ඒ නිසා වතුකාරයෝ තේ වගාව ගැන ඒ කාලයේ එතරම් උනන්දුවක් නොදැක් වූහ.
තේ වගාව හොඳ කර්මාන්තයක් යැයි ලංකාවේ වතුකාරයන් තහවුරුව හිත හදාගත්තේ විලියම් කැමරන් නම් වතුකාරයා විසින් කරන ලද පර්යේෂණ සාර්ථක වූ නිසාය.
පේරාදෙණියේ සහ හග්ගල උයන්වල වවා ගත් ඇසැම් සහ චීන තේ පැළ 1873-74 වර්ෂවල දීත් බෝකොට ගන්නා ලද නමුත් පැළ හිඟ කම නිසා 1883 වන තෙක්ම තේ කර්මාන්තයේ දියුණුව පසුබා සිටියේය.
එහෙත් 1883න් පසුව ලංකාවට මෙහි එයට පෙර සමයන්හි වගා කොටගන්නා ලද තේ වලින් ඇට ලබාගත හැකි වූයේය. ඒ නිසා එදා පටන් තේ වගාව පෘථුල වෙන්නට පටන් ගත්තේය.
1884 සිට ලංකාවේ තේ වගාවේ ශීඝ්‍ර දියුණුවක් හටගන්වන සිද්ධි සමූහයක් හට ගත්තේය. එයට පෙර යුගයෙහි ලංකාවට තරමක ආර්ථික සමෘද්ධියක් ගෙන ආ කෝපි වගාව හානියට පත් කරමින් එයට කොළ රෝගයක් ඉනික්බිතිව කොළ කෘමි රෝගයක් වැළඳුණේය. කෝපි නැති වී ගෙන යන විට වගා කළ සින්කෝනා අධික වශයෙන් සැපයෙන්නට වී, එය ද කිසිම වාසියක් නොසපයන වගාවක් බවට පත්ව තිබුණේය. සින්කෝනා අවුන්සයක මිල සිලිං දහයක්ව තිබී දසවසකින් එය සිලිම දක්වා පහත බැස්සේය.
ලංකාවේ වැවිලිකාරයන්ගේ එකම ගැලවුම්කරුවා සේ පෙනුණේ තේ පැළය නිසා, තේ වගාව ඉතා ශීඝ්‍ර වේගයෙන් කෙරීගෙන ගියේය. මේ වේගය හේතුකොට ගෙන විසි වැනි ශත වර්ෂය ආරම්භයේ දී (1900 දී) ලංකාවේ අක්කර 384,000ක තේ වැවී තිබුණේය.
මෙසේ තිස් තුන් වසකින් (1867-1900) ලංකාවේ තේ වගාව දාහත්දහස් දෙසීය (17,200) ගුණයකින් දියුණු වූයේය.
රට යැවෙන තේ ප්‍රමාණය අධික වූයේත් තේ අක්කර ගණන දියුණු වූ වේගයට සමාන වේගයකින්මය. පළමුවෙන්ම තේ රට යවන ලද්දේ ලූල්කඳුර වත්තෙනි. යැවූ ප්‍රමාණය රාත්තල් 23කි. වර්ෂය 1873 යි. ඉන් දස වසකින් පසුව ලංකාවෙන් එංගලන්තයට පමණක් යවන ලද තේ ප්‍රමාණය රාත්තල් 2,225,851කි. 1886 දී ලංකාවෙන් රට යැවෙන තේ ප්‍රමාණය තවත් දිග පිම්මකින් පෙරට පැන්නේය. ඒ වර්ෂයේදී තේ රාත්තල් 11,580,114ක් රට යැවුණේ යැයි වාර්තා වේ.
තේ අලෙවිය හා සමගම තේ වෙන්දේසිය ද පටන් ගැනුණේය. පළමු වන වරට තේ වෙන්දේසි කරන ලද්දේ කොළඹ කොටුවේ සමර්විල් සහ සමාගමේ ගොඩනැගිල්ලේදීය. දිනය 1883 ජූලි 30 වැනිදායි.
ලන්ඩන් හි තේ වෙන්දේසියේදී අද පවා භාවිත වන්නේ පැරණි පුරුදු පද ලාවය. තේ තොගයක් වෙන්දේසියට ආ විට එය මිලයට ගන්නට පතන අය කියන්නේ “අපටත් ටිකක් ඕනෑය” කියන කියමනයි.
නැත්නම් “අපිත් ඔට්ටු ද?” කියන කියමනයි.
අද තිබෙන ප්‍රධාන තේ සමාගම් සියල්ලම පාහේ ආදී යුගයේ සිට පැවැති එන ඒවාය. සුප්‍රසිද්ධ ලිප්ටන් තේ කොම්පැණිය පිහිටවාලූ සර් තෝමස් ලිප්ටන් පළමු වන වරට ලංකාව දුටුවේ 1800 දීය.
අද ලොව ප්රබලතම තේ සමාගම වන බෲක් බොන්ඩ් සමාගම පිහිටුවන ලද්දේ 1923 දීය.
පැරණිතම තේ සමාගම වශයෙන් සැලකෙන්නේ හිත් සහ සමාගමයි. පිහිටුවන ලද්දේ 1897 දීය.
මේ ආදී යුගයන් හිදී තේ සමාගම් පිහිටුවන්නට මෙන්ම තේ වගා කරන්නට මෙහි ආවෝ බහුල වශයෙන්ම වීරවික්රම ක්‍රියාවලට කැමති අභිතයෝ වූහ. ආදියෙන්ම ආ අය අතර බොහෝ සේ සිටියේ දැඩි කාලගුණයට වුවද නොබා ඔරොත්තු දී කටුක දිවි පෙවෙත ගත කළැකි අය සේ ප්‍රසිද්ධ ස්කොච් ජාතිකයෝයි.
අනුක්රමයෙන් තේ වගාවට මෙහි ඇදී ආ අය අතර කාලීන බවින් හා බහුශ්‍රැත බවින් ද ඉතා විශිෂ්ට අයත් සිටියහ. වික්ටෝරියා රැජිනගේ අගමැතිවරයකුගේ මුණුබුරු සර් තෝමස් විල්යර්ස් එවැන්නෙකි.
මේ පැරණි තේ ව්‍යාපාරිකයෝ ලංකාවේ පාලු වන ගහනවල වාසය පටන්ගෙන මහ කැලෑ නිලට ක්‍රමානුකූලව වැඩුණු තේ පඳුරු සහිත “මිල මුදල් සාගර” බවට පත් කළහ. වන සතුන් නොබා රජකම් කළ වනාන්තරවල තේ වවන්නන්ගේ බංගලා සහ කුලීකරුවන්ගේ “ලැයිම්” ද සහිත ජනපද පිහිටුවාලූහ.
සිය සිතේ පාළුව මැකෙන්නට මේ තේ වතුවලට සිය නිජ භූමියේ විවිධ ස්ථානවල නම් දුන් ඔවුන් විනෝදයට කළේ “ක්ලබ්” වල (සමාජ ශාලා) එකතුවී මසකට වරක් සම්භාෂණ පැවැත්වීමයි.
මෙයට අවුරුදු සියයකට පෙර ජේම්ස් ටේලර් හේවාහැට ලූල්කඳුර වත්තෙන් අක්කර විස්සක් හෙළි කොට තේ වගා කිරීමෙන් ලංකාවේ තේ වගාවේ ‘පියා’ වූයේ ය.
ඔහු විසින් එදා වගා කළ තේ අක්කර විස්ස අද වනවිට තේ අක්කර 597,117 වී තිබේ.
මේ දියුණුව ලංකාව විසින් ලබන ලද්දේ තේ වගාවෙහිලා අප්‍රතිහත ධෛර්යයෙන් මෙහෙය කළ වතුකාර කණ්ඩායමක පුරෝගාමීත්වය නිසායි.
ජේම්ස් ටේලර්
ලංකාවේ තේ වගාවෙහි පුරෝගාමී වූ සෙසු බොහෝ දෙනෙකු මෙන්ම ජේම්ස් ටේලර් ද ස්කොට්ලන්ත වාසියෙක් වූයේය. 1935දී උපන් ජේම්ස් ටේලර් සදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලයි. වැවිලි කාරයෙකු වන්නට ඉටාගෙන ලංකාවට එන්නට ඔහුට උදක්ම හිත දුන්නේ ඔහුගේ සුළු මව ඔහුට එතරම් කුළුණු බරකමක් නොදැක්වීම යැයි කියැ වේ.
| ලංකා තේ වගාවේ පියා හැටියට සැලකෙන ජේම්ස් ටේලර්
ඔහු ලංකාවට එනවිට වයස දහහතකි. ලංකාවට අවුත් ලූල්කඳුර වත්තේ ගත කළ මුල් දෑවුරුද්ද තමාගේ දිවි පෙවෙතේ ඉතාම කටුක සමය යැයි ජේම්ස් ටේලර් යාළුවෙකුට යැවූ ලියමනක සඳහන් වේ. වයස විසි දෙකේදී ලූල්කඳුර වත්තේ සුපිරින්ටෙන්ඩන්ට් පදවිය ලද හෙතෙමේ 17 වසක්ම නිවාඩු නොගෙන මෙහෙයෙහි යෙදුණේය.
ටේලර් පුරෝගාමි වූයේ ලංකාවට තේ බෝ කිරීමේ පමණක් නොවෙයි. පළමු වරට ලංකාවේ සින්කෝනා වැව්වේත් ඔහුය. 1891 දී වැවිලිකාර සංගමය ඔහුට කෙරුණු පරිත්යාගයෙක ඒ බව සඳහන් වූයේය.
ලංකාවේ තේ වගාවේ ආදි කර්තෘ වශයෙන් ලංකාවේ වැවිලිකාර සංගමය විසින් සම්මානයට පාත්‍ර කරන ලද්දේ ඔහුට බව මෙයින් ද නිසැකවම පැහැදිලි වේ.
ආතර් මොරිස්
ජේම්ස් ටේලර් තේ වගා කරන්නට දැරූ ඉමහත් ප්රයත්නය සෙසු බොහෝ දෙනෙකුගේ උද්යෝගය නිසා ලියලා වැඩුනේය. ආතර් මොරිස් එවැන්නෙකි. හෙතෙමේ ඇසෑමයට ගොස් තේ ඇට රාත්තල් 200ක් ගෙනවුත් ලංකාවේ තේ වගා කරනු කැමැති අයට ඒවා බෙදා දුන්නේය.
ජේම්ස් ටේලර් 41ක් වසක් ම ලූල්කඳුර වත්ත බලාගෙන තේ වගා කළේය. විශ්මය නම් තේ වගාවේ පුරෝගාමීන් අතර තේ වතු හිමියෙකු නොවූ එකම තැනැත්තාත් ඔහු විය හැකි බවය. ඔහු තේ වගා කළේ වැටුපට මෙහෙ කළ සුපිරින්ටෙන්ඩන්ට් කෙනෙකු හැටියටය.
තේ වගාවේ මුල් සමයේ තිබුණු ප්‍රධාන අපහසුකම් නම් වතුවලට යෑමට ඒමට ක්‍රම නොමැති කමය. කොත්මලේ බලන්ගොඩ ආදී පෙදෙස්වල ඝන වන ගහණ, වගාව සඳහා බෙදා වෙන්කරවා ගත්තාට පසුව පවා ඇතැම් වැවිලි කරුවන්ට තමන්ට අයත් ඉඩම කඩම සොයා ගත හැකි නොවූයේය. වෙනෙකක් තබා මං පෙන්වන්නට ආ අයත් මං මුළාව ගිය හැටි සර් තෝමස් විලියර්ස් ලියන්නේය.
එහෙත් අනුක්රමයෙන් ස්කොට් ජාතිකයන්ගෙන් පසුව, ඉංගිරිසි ජාතිකයෝ වතු වගාව සඳහා ලංකාවට ඇදී ආහ. ඔවුන්ගෙන් බොහෝ දෙනා යුද්ධාභ්‍යාස විද්‍යාල, නාවික අභ්‍යාස විද්‍යාල ආදියේ තැන් නොලද නිසා බි්රතාන්යයෙන් බැහැර රැකී රක්ෂා අවස්ථා සෙවූ අය වූහ.
1887 වනවිට තේ වගාව ලංකාවේ පළමුවන වගාවේ තැනට අවිවාදයෙන්ම එළඹ සිටියේය.
ඊ. එම්. වයිට්
තේ වගාව ලංකාවේ මුල් බැසගෙන එන කාලයේ ඇතැම් වතුකාරයෝ කෝපි ගැන මිස තේ ගැන එතරම් කරුණු දැන සිටියෝ නොවූහ. දල්බැද්ද වත්තේ ඇල්ප්‍රඩ් ටේබෝර් එවැන්නෙකි. කෝපි ගැන ඔහු නොදත් දෙයක් නොවීය. එහෙත් ඔහු “මේ තේ යැයි කියන කැත පඳුරු” ගැන එතරම් උනන්දුවක් දැක්වූයේ නැත. එහෙත් ඔහු සිය වතුවල තේ වගාව සඳහා ඊ. එම්. වයිට් ගෙන්නා ගත්තේය. වයිට් ද ලංකාවේ තේ වගාවේ පුරෝගාමියෙකි.
තේ වගාවට ධෛර්යයක් දෙමින් 1886යේ පෙබරවාරි මස දෙවනදා “ඌව” නමින් අලුත් පළාතක් පිහිටුවාලූ සර් ආතර් හැමිල්ටන් ගෝඩ්න් ආණ්ඩුකාරයාත් ලංකාවේ තේ වගාවේ පුරෝගාමියෙකැයි සම්මාන ලද යුත්තෙකි. දුම්රිය මාර්ග සහ මහ පාරවලුත් පාලම් ආදියත් තැනීමෙන් ගමනා ගමන පහසුව සම්පාදනය තේ වගාවේ දියුණුව සඳහා අත්‍යාවශ්‍ය බැව් හේ ඇදහුවේය.
මේ ආණ්ඩුකාරවරයා පරීක්ෂා කොට බැලූ වතු දෙකක් වන ස්ප්‍රිංවැලි වතුයායත් ග්ලෙන් ඇල්පින් වතුයායත් ලංකාවේ පළමුවන තේ වතු අතර වෙති. ස්ප්‍රිංවැලි වතුයාය ඉතා ප්‍රසිද්ධ කෝපි වත්තක් ව තිබුණේය. එය පාලනය කළේ ලංකාවට ආ හොඳම යුරෝපීය වතුකාරයන්ගෙන් කෙනෙකු වන ටොම් වුඩ් ය.
දවසක් දා මේ ස්ප්‍රිංවැලි වතුයාය ඉහළින් මහ ගලක් ගැලවී පහළට පෙරළී ගෙන ආයේය. ගල පෙරළෙන පාරේ වල් නෙළමින් සිටි ගැහැනියකට එතැනින් ඉවත් වෙන්නැයි මිනිස්සු මහ හඬින් කීහ. ඒත් ඇයට එය ඇසුනේ නැත. විස්මයකට මෙන් ඒ පෙරළීගෙන ආ මහ ගල ඇය සිටි තැනට ටිකකට ඉහළ දී මහ ගහක හැපී දෙපලු වී පලු දෙක ඇයට දෙපැත්තෙන් විසිවී ගිය හ. ඇයට කිසිවක් සිදු වූයේ නැත.
ජෝන් බ්‍රවුන්
මේ හාස්කම මෙන්ම ඒ කෝපි වත්ත තේ වගාවට සකස්කොට ගැනීමත් හාස්කම කැයි සැලකිය හැකිය. 1885 වනවිට ජෝන් බ්‍රවුන් නම් පුරෝගාමි වතුකාරයාගේ ආධාරයෙන් ස්ප්‍රිංවැලි වතුයායේ මුළුමනින්ම වාගේ වගා වී තිබුණේ තේයි.
ඒ. ටී. රෙටී ද පුරෝගාමී තේ වතුකාරයෙකි. ඔහු විසින් අලුත් ඉඩම්වල තේ වගා කිරීමේ පුවත ලංකාවේ තේ ඉතිහාසයෙහි ඉතා වටිනා අංශය කැයි වතු ගැන දන්නා උදවිය ලියති. ඒ. ටී. රෙටීගේ සහෝදරයෙකු වන ජෝන් රෙටී ද ලංකාවේ තේ වගාවට ප්‍රබල පරිච්ඡේදයක් එක් කළ අයෙකි.
දෙමෝදර වතුයායේ එච්. ඕ. හොසියසන් ද ලංකාවේ පැරණි වතුකාර යුගයේ ශ්‍රේෂ්ඨයෙකි. ඔහු තේ වගාවට කැපවූ ඉඩම කඩම කොපමණ ශීඝ්‍ර ලෙස පෘථුල කළේ ද කිවහොත් 1900 වනවිට දෙමෝදර වතුයායේ පමණක් තේ අක්කර 1925ක් තිබුණේය.
මේ ආදී යුගයන්හි තේ වගාවේ යෙදුනු පුරෝගාමි වැවිලිකාරයන්ගෙන් බොහෝ දෙනෙක් අතිශයින් ශ්‍රේෂ්ඨ පුරුෂයෝ වූහ. හීලෑ කොටගත නොහෙන මහ වන ගහණ දිනාගෙන කිව නොහෙන තරම් පාළුවේ වෙසෙමින් ඉස්සර වන සතුන් සැරි සැරූ පෙදෙස් නගර ගම් හා ජනපද බවට පත් කළ ඔවුහු අපක්ෂපාතීව සලකා බැලීමේදී නවීන යුගයේ නිර්මාතෘවරයන් අතර ද සිටිති.
ආදි යුගයේ වතුකාර පුරෝගාමීන්ට මූණ පාන්නට වූ බැරෑරුම් අපහසුව පාළුව යැයි සිතියැකියි. ටෙලිෆෝන් පාරවල් හා ගමනා ගමන ක්‍රම නැතිකම නිසා ඔවුන්ට අසල්වැසි වතුකාරයන් හමු වූයේ ඉඳහිටය. බොහෝ දෙනාට මාස ගණනක්ම වෙසෙන්නට වූයේ සිය කම්කරුවන් හා සමගයි. පාළුව මඟහැරෙන්නට ඇතැම්මු සිය බසින් මහහඬින් තනිව කතා කළහ.
| ලංකාවේ පැරණි තේ වත්තක අමු තේ දලු කිරීම
ජෝන් ස්ටිල්
පාළුවේත් එක් යහපත් ප්‍රතිඵලයක් තිබුණේයැ. ඇතැම්මු පාළුව මැකෙන්නට පොත් කළහ. “වන ප්‍රවාහය” (ජන්ගල් ටයිඩ්) ලියූ ජෝන් ස්ටිල් ද ‘ලංකාව පෙරදිග මුතු ඇටය’ යන පොත කළ හැරී විලියම්ස් ද වතුකාර ග්රන්ථකාරයන් දෙදෙනෙකි. ඔවුන් ග්රන්ථ කරණය ඇරඹුවේ වතු දිවි පෙවෙතෙහි පාළුව මැකෙන්නට යැයි සිතිය හැකියි.
ගෙදර දොර දිවි පෙවෙත ද ඉතා කටුක වූයේය. කාමර දෙක තුනක බංගලාවල දිය පහසුව නෑමේ පහසුව හෝ ආලෝක පහසුව හෝ තිබුණේ නැත. මුල දී තේ පැක්ටරි වී තිබුණේත් බංගලාමය. ඒවා හොල්මන් සහිත වීම ද ඉතා ප්‍රසිද්ධ කරුණකි. ලෙඩ රෝග බහුල වූයේ සනීපාරක්ෂක ක්‍රම නැති තරම් වූයෙන් ය.
මේ නිසා ඔවුහු වතු වැවීමෙන් වීරයෝ වූහ.
ආශ්රිත කරුණු – 1964 ප්‍රකාශිත ලියවිල්ලකිනි
(කමල් බෝගොඩ - දිවයින)