“සේවකයෙකු ලබන වැටුප අඩුම වසයෙන් ඔහුට නඩත්තුවීමට තරම් සෑහෙන එකක් විය යුතුය,” යනුවෙන් නූතන ආර්ථික විද්‍යාවේ පුරෝගාමියා වශයෙන් සැලකෙන ඇඩම් ස්මිත් වරක් කීවේ ය. එපමණක් නොව “බොහෝ අවස්තාවලදී එය ඊටත් වඩා ඉහළ අගයක් ගත යුතුය, නැත්නම් ඔහුට පවුලක් නඩත්තු කිරීමට හැකි නොවේ,” යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසී ය. එහෙත් ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට නම් ශ්‍රමය සඳහා ගෙවිය යුතු මිළ හැකිතරම් අඩුවෙන් තබා ගැනීම වැදගත්යැයි හිතන අය තවමත් සිටින බැවින් දරිද්‍රතාව ඉක්මවීමට තරම් සරිලන අවම වැටුපක් නියම කිරීමට ඇතැම් පාලකයාන් මැලිවන බව නො රහසකි. “අවම වැටුප් මත ආයෝජකයින් ආකර්ෂණය වෙතැ,”යි යන්න ඇත්තක් නම් අඩු කුලියට වැඩ ගත හැකි බොහෝ දුප්පත් රටවල් ආයොජකයින්ගෙන් පිරී යා යුතු ය. එහෙත් ඇත්ත වසයෙන් ම දුරදක්නා ශූර ආයෝජකයන් නිෂ්පාදන කටයුතු වලට අවශ්‍ය මානව සම්පත කෙබඳු විය යුතුද යන්න තීරණය කරන්නේ තමන්ට ගෙවිය හැකි සුළු වැටුපට වඩා තම ආයෝජනයට උපරිම ප්රතිලාභ ලබා දීමට රැකියා නියුක්තිකයන්ට ඇති නිපුණතා හා සේවා සඵලදායකත්වය කෙබඳු ද යන්න මතය. ඇත්ත වසයෙන් අප ආකර්ෂණය කළ යුත්තේ ද සේවා නියුක්තිකයාගේ හැකියාව අනුව ජීවත්වීමට සරිලන සාධාරණ වැටුපක් ගෙවීමට සූදානම් නවෝත්පාදන හා නව තාක්ෂණය හඳුන්වාදෙන ආයෝජකයන් මිස කුණු කොල්ලයට ශ්‍රමය සූරාකෑමට සොයන මිනිස් ජාවාරම්කාරයින් නොවේ.
අද කාලයේ දියුණු රටවල බොහෝ පාරිභෝගිකයන් නිමි භාණ්ඩ මිලට ගැනීමේ දී නිෂ්පාදිත හාණඩවල ගුණාගුණ පමණක් නොව නිෂ්පාදන ක්‍රියාවලියේ දී පරිසරයට හානි සිදු වී ඇත් ද සහ නිෂ්පාදනය සඳහා දායක වූ ශ්‍රමිකයන් අනිසි සැලකීම්වලට ලක්වී ඇත් ද වැනි කරුණු ගැනද සැලකිල්ලක් දක්වති. නොයෙකුත් දියුණු ප්රජාතන්ත්රවාදී රටවල පාරිභෝගික සංවිධාන ඒ ගැන විමසිල්ලෙන් සිටිති. පාරිභෝගිකයින් දැනුවත් කරති. එනිසා රටක ශ්‍රම සැපයුම පිළිගත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ඉටු කෙරෙන බව පෙන්වාදීම එවැනි ශ්රමයකින් නිපදවන භාණ්ඩවලට එකතු කළ හැකි වටිනා අමතර අගයකි. අවම වැටුප නිගමනය කිරීමේදී ද එය සැලකිල්ලට ගත යුතුය.
අවම වැටුප යන්නෙන් සාමාන්‍යයෙන් අදහස් කරන්නේ නුපුහුණු ශ්‍රමිකයෙකුට අනිවාර්යයෙන් හිමිවිය යුතු අඩුම මාසික වැටුප කොපමණවිය යුතු ද යන්නයි. ජාත්යන්තරු කම්කරු සංවිධානය අවම වැටුප යන්න අර්ථ කථනය කරන්නේ පහත දැක්වෙන අන්දමෙනි; “අවම වැටුප යනු නිශ්චිත වැඩකරන කාලපරිච්ඡෙදයක් තුළ සේවකයෙකු නිෂ්පාදනය කළ භාණ්ඩ ප්‍රමාණය මත හෝ වැඩකල පැය ගණන මත හෝ ඉටුකළ වැඩ හෝ සැපයූ සේවා සඳහා එම සේවකයාට ගෙවිය යුතු අවම මුදලයි. එම මුදල සාමූහික හෝ පුද්ගලික ගිවිසුමක් මගින් අඩු කළ නොහැකි වන අතර, රටේ ආර්ථික හා සමාජයීය තත්ත්ව සැලකිල්ලට ගනිමින් සේවකයාගේ සහ ඔහුගේ/ඇයගේ පවුලේ අවම අවශ්‍යතා සපුරා ගැනීමට ප්‍රමාණවත් වන පරිදි නිශ්චය කොට නීතියෙන් සහතික කළ යුතුය.”
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) මැදිහත්වීමෙන් 1928දී හඳුන්වා දුන් අවම වැටුප් නියම කිරීමේ යාන්ත්‍රණය බිහිකිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට (Convention Concerning the Creation of Minimum Wage-Fixing Machinery) ශ්‍රී ලංකාව 1971දී අත්සන් තැබීය. එහෙත් ඊට අනුකූලව අවම වැටුප බල ගැන් වූ, ශ්‍රමිකයින් ගේ ජාතික අවම වේතන පනත (National MinimumWage of Workers Act) සම්මත කළේ 2016 දී ය. එම පනතට අනුව ජාතික අවම වැටුප නිර්ණය කරන නිසි බලධරයා වන්නේ කම්කරු කොමසාරිස් ජනරාල් වරයායි. හෙතෙම ඒ සඳහා සේව්‍ය සේවක නියෝජන සංවිධානවල අදහස් ද ලබාගත යුතුය. ඒ අනුව 2016 දී ජාතික අවම වේතනය මසකට රුපියල් 10,000ක් ලෙසද දෛනික වැටුප මසකට රුපියල් 400ක් ලෙස ද තීරණය විය.
අනතුරුව, 2021 අංක 16 දරන සංශෝධිත පනත මගින් ජාතික අවම වැටුප මසකට රුපියල් 12,500 සහ දෛනික වැටුප රුපියල් 500 ක් වසයෙන් නියම විය. දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පාසිටි සේවක ජනතාවට මේ අවම වැටුප කිසිසේත්ම ප්‍රමාණවත් නොවූ බව පෙනී ගියෙන් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් ද ඇතුලත්ව සේව්‍ය සංවිධාන හා වෘතීය සමිතිවල නියෝජිතයන්ගෙන් සමන්විත ජාතික කම්කරු උපදේශන සභාවේ නිර්දේශයකට අනුව 2024 අංක 48 දරන සංශෝධිත පනත මගින් 2024 සැප්තැම්බර් මස සිට අවම මාසික වැටුප රු.17,500ක් සහ අවම දෛනික වැටුප රුපියල් 700ක් විය යුතු බව නියම විය. කෙසේ වෙතත් මෙම අවම වැටුපට 2005 අංක 36 හා 2016 අංක 4 දරන අයවැය සහන පනත යටතේ නියම වූ මසකට රුපියල් 3500ක අතිරේක අවම වැටුප ද එකතු කළ යුතු බැවින් වර්තමානයේ ශ්‍රී ලංකාවේ අවම වැටුප මසකට රුපියල් 21,000ක් ලෙස සැලකේ.
මෙය පවා ප්‍රමාණවත් නොවන බැවින් අවම වැටුප නිර්ණය කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ සමාජ කතිකාවක් වහාම දියත් කිරීම වැදගත් ය. අවම වැටුප තීරණය කිරීම සඳහා කිනම් ක්‍රමවේදයක් යොදාගත යුතුද කුමන සාධක උපයෝගිකරගත යුතුද යන්න සලකා බැලීම එම සාකච්ඡාවට ප්‍රයෝජනවත් ය. කුමන ක්‍රමවේදයක් හා සාධක උපයේගි කරගත්තත් අවම වැටුප (Minimum Wage) හා ජීවත්වීමට සරිලන වැටුප (Living Wage) අතර සහ–සම්බන්ධයක් තිබිය යුතුය. වෙනත් අන්දමකින් කිවහොත් ආර්ථිකය ප්‍රසාරණය වන ප්‍රමාණය අනුව කලක් ගතවන විට අවම වැටුප අනුක්රමයෙන් ජීවත් වීමට සරිලන වැටුපෙන් අඩු වශයෙන් 50% ක ප්‍රමාණයකටවත් ඉහළ දැමීම අපේ ඉලක්කය විය යුතුය.
Gloable Living Wage Coalition විසින් පළ කරන ලද වාර්තාවට අනුව 2022 වසරේ දී ලංකාවේ නාගරික ප්‍රදේශවල සාමාන්‍ය සේවකයෙකුට මූලික අවශ්‍යතා සපුරාගෙන ජීවත්වීමට සරිලන මාසික වැටුප වන්නේ රුපියල් 84,231ක් හෙවත් ඩොලර් 259කි. ජීවත්වීමට සරිලන වැටුපක් යනුවෙන් එම වාර්තාව නිර්ණය කරන්නේ තමාට සහ තම පවුලේ අයට අවශ්‍ය ආහාර, ජලය, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය, ඇඳුම් සහ වෙනත් අත්‍යවශ්‍යය දේවල් සම්බන්ධ සෑහීමකට පත්විය හැකි ජීවන මටට්මක් ගත කිරීමට ප්‍රමාණවත්වන පරිදි සේවකයෙකුට මාසිකව ලැබෙන වේතනයයි. අද පවතින ඩොලරයේ අගයට සාපේක්ෂව ඉහත සඳහන් ජීවත්වීමට සරිලන වැටුප මසකට රුපියල් 76,174ක් වනු ඇත. සාමාන්‍ය සේවකයෙකුට උචිත මධ්‍යක්ෂ වැටුප (Median Wage) මෙය ලෙස සලකා අවම වැටුප තීරණය කිරීමට මධ්‍යක්ෂ වැටුප් ආකෘතිය (Median Wage Model) යොදා ගැනීම අපට සලකා බැලිය හැකිය.
මධ්‍යක්ෂ වැටුප් ආකෘතියට අනුව අපේ අරමුණ විය යුත්තේ අවම වැටුප (Minimum Wage) අනුක්රමයෙන් ජීවත්වීමට සරිලන වැටුප (Living Wage) දක්වා හැකිතරම් සමීප කිරීම ඉලක්කය කර ගැනීමයි. මේ ආකෘතියට අනුව සිදුවන්නේ පවතින ආර්ථිකය තුළ සාමාන්‍ය සේවකයෙකුට ගෙවිය යුතු ජීවත්වීමට සරිලන වැටුපේ සාමාන්‍ය අගයෙන් 50%-60% ප්‍රමාණයක් ලෙස අවම වැටුප නිර්ණය කිරීම යි. 1894 තරම් ඈත කාලයක දී ලෝකයාට මුල්ම වරට අවම වැටුප හඳුන්වාදුන් නවසීලන්තය අවම වැටුප නිර්ණය කිරීමට යොදාගන්නේ මේ ක්‍රමයයි. මෙහි දී ඉහත දැක්වූ Gloable Living Wage Coalition වාර්තාවෙන් යෝජනා කළ උචිතම වැටුප රු 76,174/- මධ්‍යක්ෂ වැටුප ලෙස සැලකුවහොත් ඒ අනුව සේවකයෙකුට ගෙවිය යුතු අවම වැටුප මසකට රුපියල් 38,000 සිට රුපියල් 45,000ක් වනු ඇත.
ඒ හැර සේවා සහ කාර්මික ක්ෂේත්‍ර අනුව වෙනස් වන අන්දමට අවම වැටුප නියම කිරීම ද සළකා බැලිය හැකි තවත් එළඹුමකි. සේවා හා කාර්මික ක්ෂේත්‍ර අනුව වෙනස්වන ආකෘතියට (Sectoral or Industry Specific Model) අනුව කෘෂිකාර්මික, සාප්පුසේවක, කර්මාන්තශාලා සේවක, නිවාස මෙහෙකරු සේවක, ගොඩනැගිලි කර්මාන්ත සේවක, සාත්තුසේවක, හෝටල් සේවක ආදී වසයෙන් එක් එක් සේවා සඳහා අවම වැටුප නිර්ණය කෙරේ. දකුණු අප්‍රිකාව අනුගමනය කරන්නේ මෙම ක්‍රමයයි. ලංකාවේද විවිධ ක්ෂේත්රවලට අයත් පඩිපාලක සභා 42ක් මගින් මෙය සිදු කළ ද එහිදී අවම වැටුප බොහෝවිට සේව්‍යයන්ගේ අභිමතයට වැඩි බරක් තබා තීරණය වීමට ඇති ඉඩකඩ වැඩි ය. පඩිපාලක සභා, සේව්‍ය සේවක හා කම්කරු කොමසාරිස් යන ත්රෛපාර්ෂවයන්ගෙන් සමන්විත විය යුතු වූ නමුත් බොහෝවිට සේවක නියෝජනය සඳහා කැඳවුම් ලැබූ වෘත්තීය සමිති වලට සැලකිය යුතු සාමාජික සංඛ්‍යාවක් නොමැතිවීම නිසා සේවක පාර්ශවයේ කේවල් කිරීමේ හැකියාව බෙහෙවින් අඩු ය.
රාජ්‍ය අංශයේ වෘත්තීය සමිතිවල සාමාජික මුදල් අදාල සාමාජිකයාගේ ඉල්ලීම පරිදි කෙලින් ම වැටුපෙන් කපා සමිතියට ලබා දීමට ආයතන පාලනාධිකාරිය කටයුතු යොදන නමුත් පෞද්ගලික අංශයේ ආයතන වල බොහෝවිට එය සිදු නොවේ. එබැවින් බොහෝ වෘත්තීය සමිති වල ඇත්ත නියෝජන ශක්තිය පිළිබඳ විශ්වාසාදායක දත්ත ලබා ගැනීම අසීරුය. වෘත්තීය සමිති පිහිටුවීම සහ වෘත්තීය සමිතියක සාමාජිකත්වය ලබා ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කළ මූලික අයිතියක් වන නමුත් පෞද්ගලික අංශයේ බොහෝ ආයතන සාමාජික මුදල් අය කරදීම තබා සේවකයන් සිය අයිතීන් දිනාගැනීමට හා ආරක්ෂා කර ගැනීම පිණිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති වෘත්තීය සමිති පිහිටුවීමට ද හැකි හැම බාධාවක් ම යොදන බව ප්‍රකට කරුණකි. රාජ්‍ය අංශය මෙන් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කළ මූලික අයිතිවාසිකම් පෞද්ගලික අංශයේ ආයතනයක් විසින් කඩකරන විට ඒ පිළිබඳ අධිකරණයේ මැදිහත්වීම ඉල්ලා සිටීමට නීති ප්‍රතිපාදන නොමැතිවීම නිසා එකී මුලික අයිතිවාසිකම කිසිදු හව්හරණයක් නොමැතිව නිරන්තරයෙන් උල්ලංඝනය වෙයි. මේ පිළිවෙත වෙනස් කොට මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වගකීම පෞද්ගලික අංශයේ ආයතන වලටද අදාළ වන ලෙස නීති ප්‍රතිපාදන ඇති කළ යුතුය.
පඩිපාලක සභාවල කේවල් කිරීමේ හැකියාව සේව්‍ය පාර්ශවයට බර කිරීමේ ප්‍රවණතාවය වළක්වා සමබර කිරීම පිණිස එක් පිළියමක් විය හැක්කේ අයර්ලන්තයේ පිහිටුවා ඇති අඩු වැටුප් කොමිසම (Low Pay Commission ) අනුගමනය කරන ක්‍රමය යොදා ගැනීමයි. ඒ අනුව කළ යුත්තේ සේව්‍ය සංගම් මෙන්ම, සාමාජික සංඛ්‍යා පිළිබඳ වාර්තා නිසි විගණනයක් මගින් තහවුරු කළ වෘත්තීය සමිති නියෝජිතයන් සහ අදාළ ක්ෂේත්රය පිළිබඳ ප්‍රමාණික දැනුමක් ඇති ස්වාධීන විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් මගින් ජීවන වියදම් දර්ශකය ද සලකමින් ඒ ඒ ක්ෂේත්‍ර සඳහා අවම වැටුප නිගමනය කිරීමයි.
කෙසේ වෙතත් දැනට පවතින අවම වැටුප වන රුපියල් 21,000 කිසිසේත් ප්‍රමාණවත් නො වන බැවින් ඒ සඳහා අන්තර්කාලීන විසඳුමක් ලෙස දරිද්‍රතා රේඛාව පාදක ආකෘතියක් (Poverty threshold model) යොදා ගෙන අවම වැටුප තීරණය කිරීම වඩාත් සුදුසු විය හැකි ය. ලංකාවේ දරිද්‍රතා මට්ටම සලකා බලන විට මේ ආකෘතියට අනුව අවම වැටුප අඩුම වසයෙන් දරිද්‍රතා රේඛාවේ වර්තමාන අගයට වඩා දෙගුණයක්වත් විය යුතුය. 2024 මාර්තු මාසයේ දත්තවලට අනුව අපේ රටේ දරිද්‍රතාවට මුහුණදුන් අයෙකු ලෙස සැලකෙන්නේ මසකට රුපියල් 16,619/- ක ට අඩු ආදායමක් ලබන්නෙකි. එසේ දරිද්‍රතා රේඛාවේ අගය මසකට රු. 16,619 ලෙස සැලකුවහොත් මේ අනුව නුපුහුණු ශ්‍රමිකයාගේ අවම අවශ්‍යතා සපුරා ගැනීමට හැකිවන පරිදි ජාතික අවම වැටුප මසකට රු. 33,000/- වත් විය යුතුය. ඒ හැර ජීවන වියදම් දර්ශකය මගින් නිරූපණය වන උද්ධමනයේ විචල්‍යතා අනුව එම වැටුප් පරිමාව විටින් විට වෙනස් වීම ද වැදගත් ය.
අවසාන වසයෙන් අවම වැටුප ගණනය කිරීමේදී සමස්ත රටටම එක සමාන අවම වැටුපක් නියම කළ යුතුද නැතහොත් ඒ ඒ පළාත්වල ආර්ථික කටයුතුවල වෙනස්කම්, පරිමාව හා දළ දේශීය නිෂ්පාදිතයට ලැබෙන දායකත්වය අනුව අවම වැටුප තීරණය කිරීම විමධ්‍යගත පාලන ඒකකවලට පැවරිය යුතුද යන්න වෙසෙසින් සලකා බැලිය යුතු කරුණකි. ඒ හැර අවම වැටුප තීරණය කිරීමේ දී සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත හා ව්‍යාපාර සතු සේව්‍යයන්ට එම වැටුප ගෙවීමට ඇති හැකියාව ද සලකා බැලීම වැදගත්ය. ඒ නිසා මේ සටහනේ අභිප්‍රාය ජාතික අවම වැටුප පිළිබඳ දැනුවත් කතිකාවක් දියත් කිරීම දිරිගැන්වීමයි.
| විජයානන්ද ජයවීර
(colombo telegraph)