සිහින සහ ගරුත්වය : මලෛයහ දෙමළ තරුණ තරුණියන් පිළිබඳ කතා - විශ්වවිද්‍යාල අධ්‍යාපනය (තෙවන කොටස)

සිහින සහ ගරුත්වය : මලෛයහ දෙමළ තරුණ තරුණියන් පිළිබඳ කතා - විශ්වවිද්‍යාල අධ්‍යාපනය (තෙවන කොටස)

අධ්‍යයනයට සහභාගීවූවන් කිහිප දෙනෙකු සෞන්දර්ය කලා විෂයයන්හි සිට ව්‍යාපාර අධ්‍යයනය දක්වා වන විෂය පරාසයකට අයත් විෂයයන් හැදෑරීම සඳහා විශ්වවිද්‍යාල වලට ඇතුළත් කර ගෙන ඇති බැවින් ඔවුන් උසස් අධ්‍යාපනය හැදෑරීම තෝරාගෙන ඇත. ඔවුන්ගේ පරම්පරාවේ අන් අයට වඩා වැඩි ආදායමක් උපයා ගත හැකි වන රැකියා ලබා ගැනීමේ මාධ්‍යයක් ලෙස ඔවුන්ට අධ්‍යාපනය ලබා දීමට ඔවුන්ගේ දෙමව්පියන්ට අවශ්‍යව ඇති බව ඔවුහු සඳහන් කළහ.

ඔවුන්ගේ දෙමව්පියන් සහ තේ වතුවල සේවය කරන අනෙකුත් සේවකයින් උපයන මුදල බොහෝ විට ඔවුන්ගේ පවුල් වලට එදිනෙදා පැවැත්ම සඳහා ප්‍රමාණවත් වන නමුත් ඔවුන්ට එයින් කිසිදු ඉතිරි කිරීමක් සිදු කිරීමට ඉඩ නොලැබේ. විශ්වවිද්‍යාලයට ඇතුල්වන තරුණ තරුණියන් අවුරුදු හතරක කාලයක් ගතවන එම අධ්‍යාපනය ලබා ගැනීම සඳහා තමන්ට දැරීමට සිදු වන අමතර වියදම් පිළිබඳව සඳහන් කළ අතර, මෙය නිවැරදි තේරීම දැයි ඔවුහු ප්‍රශ්න කළහ.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන මලෛයහ තරුණ තරුණියන්ට දෙමළ භාෂා මාධ්‍යයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීම සැලකිය යුතු ගැටළුවක් විය. විශ්වවිද්‍යාලයට ප්‍රවේශවීම පිළිබඳව සොයා බලමින් සිටි අය හෝ ඒ වන විටත් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා ඇති අය තමන් කැමති පාඨමාලා වෙනත් විශ්වවිද්‍යාලවල දෙමළ මාධ්‍යයෙන් නොපැවැත්වෙන නිසා තමන් නැගෙනහිර පළාතේ හෝ යාපනයේ පිහිටි ඇතැම් විශ්වවිද්‍යාල තෝරාගෙන ඇති බව දැරණියගලදී අදහස් දැකවූවන් සඳහන් කළහ.

මස්කෙලිය ප්‍රදේශයේ දී අප සමග කථා කළ අය, තම දිස්ත්‍රික්කයේ සහ අනෙකුත් වතුවල පවතින තත්ත්වය උතුරු නැගෙනහිර දෙමළ බහුතරයක් වෙසෙන ප්‍රදේශවල පවතින තත්ත්වය සමග සංසන්දනය කළහ. මලෛයහ දෙමළ සිසුන් සංඛ්‍යාවට සාපේක්ෂව සැලකිය යුතු තරම් වැඩි සිසුන් සංඛ්‍යාවක් එම ප්‍රදේශවලින් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙති. සිසුන් පාසල් අධ්‍යාපනය නිමකර අවසාන විභාගවලට පෙනී සිටින විට ඔවුන්ට මග පෙන්වීමක් නොලැබීම එක් ප්‍රධාන ගැටළුවක් විය; ඔවුන් ගමන් කළ යුතු මාර්ග පිළිබඳව සහ ඔවුන්ට තෝරා ගැනීමට ඇති විකල්ප පිළිබඳව ඔවුන්ට උපදෙස් ලබා දිය හැකි ගුරුවරුන් හෝ උපදේශකයින් නොසිටිති. උදාහරණයක් ලෙස, ප්‍රාදේශීය වශයෙන් සුදුසුකම් පිරිනමන අධිකාරීන් විසින් සිසුන් සඳහා නොමිලයේ පවත්වනු ලබන පාඨමාලා කිහිපයක් ඇතත් ඒවා පිළිබඳව සිසුන් අතර ප්‍රමාණවත් දැනුවත්භාවයක් නොමැත.

විශ්වවිද්‍යාලය නිවසින් දුර බැහැර පිහිටා ඇති නිසා අපගේ දෙමව්පියන් ඇතැම්විට අපව විශ්වවිද්‍යාලයට යැවීමට බිය වෙති. මධ්‍යම කඳුකරයේ වතු පිහිටි ප්‍රදේශ ආසන්නයේ පූර්ණ පහසුකම් සහිත රජයේ විශ්වවිද්‍යාල තිබීම ප්‍රයෝජනවත් වනු ඇත.

- මස්කෙළිය -

විශ්වවිද්‍යාලට ඇතුල්වී අධ්‍යාපන කටයුතු සිදුකරගෙන යාම සඳහා විශ්වවිද්‍යාලය අධ්‍යාපනයට පොළඹවන විවිධ උත්ප්‍රේරක ගණනාවක් පිළිබඳව මලෛයහ දෙමළ තරුණ තරුණියන් ප්‍රකාශ කළහ.

විශ්වවිද්‍යාල උපාධියක් ලබා ගැනීමට හෝ උසස් අධ්‍යාපන සුදුසුකමක් ලබා ගැනීමට තෝරා ගත් අය හොඳ රැකියාවක් ලබා ගැනීමට නම් තම පාඨමාලාවල විභාග සමත් විය යුතු බව දැරණියගල ප්‍රදේශයේ දී අදහස් දැක්වූවන් පවසති. එසේ නොවුවහොත්, ‘මෙතරම් ඉගෙන ගත්තේ මන්ද’ යනුවෙන් තමන්ගේ ගමේ මිනිසුන් සිතනු ඇති බව - එනම් අධ්‍යාපනය සඳහම් මෙතරම් මුදලක් වැය කළත් හොඳින් ඉගෙනගෙන නැතැයි ගම්මුන් සිතනු ඇති බව ඔවුහු පවසති.

මම විභාගවලට පෙනී සිටින්නේ මන්දැයි මගේ නෑදැයන් නිතරම ප්‍රශ්න කරනවා - මට දැන් හිතෙන්නේ මම හොඳට පාඩම් කරලා විභාග පාස්වෙන්න ඕනෑ කියලා, එහෙම වුණොත් ඔවුන් කියාවි මම අධ්‍යාපනය සඳහා කාලය සහ මගේ පවුලේ මුදල් නාස්ති කළා කියලා.

- ගලහ -

මෙම මාර්ගයේ ගමන් කිරීම මගින් තමන්ට ඇති කළ හැකි බලපෑම පිළිබඳව මස්කෙළිය ප්‍රදේශයේ තරුණ තරුණියන් දැනුවත්ව සිටිති. ඔවුන් අධ්‍යාපනය තෝරා ගන්නේ නම්, අනෙක් මිනිසුන් එය අනුගමනය කිරීමට දිරිගැන්වීමක් ලෙස සලකමින් තව තවත් අය ඉගෙනීමට යොමු කරනු ඇති බව ඔවුහු සිතති. තමන් අධ්‍යාපනය ලැබීමට තීරණය කළ විට “ගැහැණු ළමයින්ට ඉගෙනගන්න ඕනැ නැහැ” යනුවෙන් තමන්ට පැවසූ බව දැරණියගල ප්‍රදේශයේ සම්මුඛ සාකච්ඡාවට සහභාගී වූ තරුණියන්ගෙන් ඇතමෙක් පැවසූහ.

ඔවුන්ට විශ්වවිද්‍යාලයට ඇතුල්වීමට ලැබීම එයට ප්‍රතිරෝධය දැක්වීම සඳහා අවස්ථාවක් වූ අතර, ඒකාකෘති වැරදි බව ඔප්පු කිරීමට ද අවස්ථාවක් විය. මස්කෙළිය ප්‍රදේශයේ බොහෝ දෙනෙක් ඔවුන් කුඩා කල සිටම උනන්දුවක් දැක්වූ වෘත්තියක් වන වෛද්‍යවරයකු වීම සඳහා විශ්වවිද්‍යාලයට ගොස් අධ්‍යාපනය ලැබීමට සැලසුම් කර තිබුණි.

බොහෝ තරුණ තරුණියන් අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යාමට තීරණය කිරීමේදී අධ්‍යාපනය කෙරෙහි ඔවුන්ගේ දෙමව්පියන් තුළ ඇති ආකල්ප වැදගත් වේ. ‘තමන් මෙන් දුක් විඳින්නේ නැතිව’ හොඳ, ගරුත්වය සහිත රැකියාවක් සොයා ගත යුතු බව වතුවල වැඩ කළ බොහෝ දෙමව්පියන් ඔවුන්ට පවසා ඇත. රැකියාවක් කිරීම සඳහා පාසලෙන් ඉවත් වීමේ අදහස හොඳ යැයි සිතූ සිසු සිසුවියන් තම දෙමව්පියන් තමන් එසේ කිරීම අධෛර්යමත් කළ බව පැවසූහ.

යම් අධ්‍යාපනයක් ලබා ඇති දෙමව්පියන් ද අධ්‍යාපනයට යම් නිරාවරණයක් ලබා ඇති බැවින් තම දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට ඔවුන්ට අවශ්‍යවී ඇති බව අදහස් දැක්වූවන් සඳහන් කළහ. සුළු අධ්‍යාපනයක් ලබා තිබූ, නැතහොත් අධ්‍යාපනය ලබා නොතිබූ දෙමව්පියන් ද තම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීම කෙරෙහි ඒ හා සමාන උද්‍යෝගයක් දැක්වූහ. මෙම කණ්ඩායම් දෙකට අයත් අය ඔවුන්ගේ මුළු ජීවිත කාලය පුරාම වතුවල වැඩ කර ඇති අතර - ඇතැම් අවස්ථාවලදී, ඔවුන් එසේ වැඩ කළ අවසාන පරම්පරාව විය - සූරාකෑමට ලක්වීමේ ක්‍රමවේදයකින් මිදී තම දරුවන්ට එයින් පිටතට යා හැකි ගමන් මාර්ගය අධ්‍යාපනය ලැබීම යැයි සැලකූහ.

තම පියා දරුවන් තිදෙනෙකුට අධ්‍යාපනය ලබාදීම සඳහා රැකියා දෙකක් කරන බව  බණ්ඩාරවෙල ප්‍රදේශයේ දී අදහස් දැක්වූ එක් සහභාගීවූවෙක් පැවසුවේ ය. තම අධ්‍යාපනය දිගටම කරගෙන යා යුතු බවත්, එවිට ඔහුට විදේශ රැකියාවක් ලබා ගැනීමට සහ එමගින් මුළු පවුලම රැකබලා ගැනීමට මාර්ගයක් සොයා ගත හැකි බවත් එම පියා ඔහුගේ පුත්‍රයාට පවසා ඇත.

වතු කළමනාකාරීත්වය තමන්ට ‘වහලුන්ට මෙන්’ සලකන බව අපගේ දෙමව්පියන් අපට කියා තිබෙනවා, එබැවින් අපි වඩා හොඳ රැකියාවක් කරන එක තමයි ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙන්නෙ. ඉගෙනීම අපට සමාජය තුළ ‘හොඳ නමක්’ ලබා ගැනීමට උපකාරී වනු ඇති අතර, අපට යම් ගරුත්වයක් ද ලබා දෙනු ඇත. කිසිවෙකුත් පරම්පරා ගණනාවක් වතුවල කම්කරුවන් ලෙස වැඩ කර ඇති මෙම ප්‍රජාවේ සාමාජිකයින්ව ගණන් නොගන්නා බව ඔවුන්ට හැඟෙයි.

- මස්කෙළිය -

(මෙම ලියවිල්ල "නීතිය හා සමාජ භාරය" විසින් සකස් කරන ලද වාර්තා හා සාකච්ඡා කරන ලද්දකි. එය වසර 200ක් පැරණි මලෛයහ තරුණ තරුණියන්ගේ සිතුම් පැතුම් හා ඔවුන්ගේ අදහස් වලින් සමන්විත වාර්තාවකි. එය wedabima.lk වෙබ් අඩවියේ කොටස් වශයෙන් මෙසේ පළකරමු. ස්තුතිය - නීතිය හා සමාජ භාරයට" - ඡායාරූප : සෙල්වරාජා රාජසේගර්)

(ලබන සතියේ - රැකියා අවස්ථා - හතරවන කොටස)

සැබැඳි පුවත්