සිහින සහ ගරුත්වය : මලෛයහ දෙමළ තරුණ තරුණියන් පිළිබඳ කතා - (පළමු කොටස)

සිහින සහ ගරුත්වය : මලෛයහ දෙමළ තරුණ තරුණියන් පිළිබඳ කතා - (පළමු කොටස)

හැදින්වීම :

2023 වර්ෂය යටත් විජිත පාලකයින්ගේ වතුවල වැඩ කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි දකුණු ඉන්දීය දෙමළ වැසියන්ගෙන් ඇතැම් කණ්ඩායම් මුලින් ම පැමිණි බවට වාර්තාවන 1823 වර්ෂයේ සිට වසර 200 ක් ගතවීම සනිටුහන් කරයි. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයින් විසින් ඔවුන්ව කෝපි වතුවල වැඩ කිරීම සඳහා මුලින් ම මෙරටට රැගෙන එන ලද අතර, කෝපි වතු අසාර්ථක වීම ඔවුන්ව අද දක්වාම පැවත එන තේ වතු වල සේවයෙහි යෙදවීමට හේතුව විය. මෙම ප්‍රජාව ශ්‍රී ලංකාවට පැමිධෑමෙන් පසුව, ඔවුන්ගෙන් පැවත එන්නන් පරම්පරා හතරක් දක්වා වන පිරිස මෙම දිවයින ඔවුන්ගේ නිවහන ලෙස හඳුන්වා ඇත.

මලෛයහ හෙවත් කඳුරට දෙමළ ප්‍රජාව අඛණ්ඩව ම තේ වතුවල වැඩ කරමින් තේ වතුවල ම ජීවත් වෙති. ඔවුන් රාජ්‍යය විසින් ඡන්ද අයිතිය අහිමි කරනු ලැබීමට සහ වැවිලි කර්මාන්තය විසින් සූරාකනු ලැබීමට ලක්වී ඇත. ඒ සමග ම, ඔවුහු තම ප්‍රජා අනන්‍යතාවය නිර්මාණය කරගනිමින්, ඉහළ වැටුප් සහ ගරුත්වයෙන් යුතු ජීවන තත්ත්වයන් සඳහා අඛණ්ඩව අරගල කරමින් සිටිති.

මලෛයහ දෙමළ ප්‍රජාව සෑම විටම වතුවලින් පිටත, තමන්ට වඩාත් වාසිදායක යැයි ඔවුන් විශ්වාස කරන විකල්ප රැකියා සොයා ගැනීම සඳහා නගරයට යාමේ අපේක්ෂාවෙන් පසුවූහ. කෙසේ වෙතත්, පසුගිය දශකයක පමණ කාලය පුරා වතු අංශයේ ශ්‍රමිකයින් සංඛ්‍යාවේ විශාල අඩුවීමක් දක්නට ලැබේ. ‘ශ්‍රම බලකාය අහිමි වීම’ ද වැටුප් වැඩි කිරීමට නොහැකි වීමට එක් හේතුවක් ලෙස වතු හාම්පුතුන් විසින් පෙන්වා දී ඇත.

මෙලෙස වතුකරයේ සිට නගරයට සංක්‍රමණය වීම වැදගත් යථාර්ථයක් පිළිබිඹු කරයි - එනම්, වතු අංශය රැකියා සහ සමාජ සංචලනය සඳහා අවස්ථා තිබෙන ස්ථානයක් නොවේ ය යන්නයි. තමන්ගේ සිහින සහ අපේක්ෂාවන් මෙන්ම අනෙකුත් බොහෝ දෙනෙකුගේ සිහින ද වතුකරය තුළ සැබෑ කර ගත නොහැකි බව මෙම පර්යේෂණයට සහභාගී වූ අය සඳහන් කළහ.

ඔවුන්ගේ පෙර පරම්පරාවන් අඩු වැටුපක් ලබා ගැනීම සඳහා තම ශ්‍රමය වැය කරමින් ඉටු කළ යුතු දුෂ්කර කාර්යයන් ඉටු කළ ද, දශක ගණනාවක් තිස්සේ ඔවුන්ගේ සමාජ ආර්ථික තත්ත්වයෙහි සිදුවී ඇති වෙනස ඉතා අල්ප ය යන්න ඔවුන්ගේ අත්දැකීම වී තිබේ. මෙම තත්ත්වයෙහි ප්‍රතිඵලයක් ලෙස, බොහෝ දෙනෙක් නව අනාගතයකට මග සලසන රැකියාවක් හෝ අධ්‍යාපනයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සිටිති.

මෙම ප්‍රජාවගේ ඓතිහාසික අවස්ථාවක් මෙන් ම ඔවුන්ගේ අනාගතයන් හැඩගස්වා ගැනීමේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් ද වන මෙම අවස්ථාවේ මෙම ප්‍රජාව සිටින තත්ත්වය පිළිබිඹු කිරීමට උපකාර කිරීම නීතිය හා සමාජ භාරය විසින් මෙම ලේඛනගත කිරීම සිදුකිරීමෙහි අපේක්ෂාව වේ.

තරුණ තරුණියන්ගේ අභිලාෂයන් බිහිසුණු මෙන්ම ඉතා ප්‍රබල යන ආකාර දෙකෙන් ම ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ගමන් මග වෙනස් කළ අවස්ථා කිහිපයක් ඇතිවීමට බලපෑ ප්‍රධාන සාධකයක් වී ඇත. මෙම ප්‍රජාවගේ වර්තමාන පරම්පරාවේ මුතුන් මිත්තන් මෙරටට පැමිණ සියවස් දෙකක් ගතවී ඇති මෙම අවස්ථාවේ, ඔවුන්ගේ නවතම පරම්පරාව සැදුම්ලත් තරුණ තරුණියන්ගේ හඬ කෙරෙහි මෙම අධ්‍යනයෙහි ප්‍රධාන අවධානය යොමු කරනු ලැබේ. මෙමගින් දිවයින පුරා පිහිටි තේ වගා කරන ප්‍රදේශවල ජීවත් වන මලෛයහ දෙමළ තරුණ තරුණියන්ගේ අත්දැකීම් සහ අභිලාෂයන් එකට එක් කරයි.

මෙම ප්‍රදේශ දිස්ත්‍රික්ක හෝ පළාත් වෙන්වන පරිපාලන මායිම් දැක්වීමට අවශ්‍යයෙන් ම යොදා නොගැනෙන නමුත්, එම එක් එක් ප්‍රදේශයේ හොඳින් ම වැවෙන තේ වර්ග වෙන්කර හඳුනා ගැනීම සඳහා මෙම ප්‍රදේශ වල නම් යොදා ගනු ලැබේ. තරුණ කථිකයින් තමන් මුහුණ දී සිටින අභියෝග විස්තර කරන විට පවා, ඔවුන්ගේ ප්‍රජාව වෙත දිගින් දිගට ම අහිමි කරනු ලැබ ඇති ගරුත්වය සහ අයිතිවාසිකම් සඳහා ප්‍රජාව තුළ ඇති අවශ්‍යතාවය ද ඉතා වැදගත් ලෙස පිළිබිඹු කළහ.

දිඹුල කලාපය

මස්කෙළිය - ගවරවිල සහ අප්කොට්

තේ වගා කරන කලාප සිතියමේ භූගෝලීය කේන්ද්‍රස්ථානයේ පිහිටා ඇති මස්කෙළිය ප්‍රදේශය රටේ ඉහළම උන්නතාංශවල පිහිටි තේ වතු කිහිපයකින් සමන්විත වේ.

මහනුවර කලාපය

මැදමහනුවර

මහනුවර දෙල්තොට ප්‍රදේශය බ්‍රිතාන්‍ය වැවිලිකරුවෙකු වන ජේම්ස් ටේලර් 1867 වර්ෂයේ දී මෙරට තේ වගා කිරීම ආරම්භ කළ, දිවයිනේ පැරණිතම වාණිජ වතුයාය වන ලූල්කඳුර වතුයාය පිහිටි ප්‍රදේශය වේ.

සබරගමුව කලාපය

දැරණියගල - මියනවිට

මෙම ප්‍රදේශ පළාතේ නගර සහ කාර්මික කේන්ද්‍රස්ථාන කිහිපයකට ආසන්නව පිහිටා ඇති බැවින් මෙම ප්‍රදේශවල ජීවත් වන තරුණ තරුණියන්ට දිනපතා වතුවල පිහිටි තම නිවෙස්වලින් පිටත රැකියාවලට ගොස් ආපසු පැමිණීමට හැකි වී තිබේ.

රුහුණු කලාපය

දෙණියාය

රටේ අනෙකුත් කලාපවල පිහිටි වතු මෙන් නොව, මෙම කලාපය තුළ පිහිටා ඇති වතු සිංහල බහුතරයක් සිටින නගර වලින් වටවී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස පංති කාමර තුළ යොවුන් මලෛයහ දෙමළ ප්‍රජාව සහ සිංහල භාෂාව කතා කරන සිසුන් අතර වැඩි සම්බන්ධයක් පවතියි.

ඌව කලාපය

බණ්ඩාරවෙල - පූනාගල

දිවයිනේ නායයෑම්වලට ගොදුරු වීමේ වැඩිම අවදානමක් සහිත පළාත තුළ පිහිටා ඇති මෙම කලාපයේ ජීවත්වන ජනතාව අයහපත් කාලගුණ තත්ත්වයන්හි දී තම නිවෙස්වල රක්ෂාව සම්බන්ධයෙන් ද දැඩි අවදානමකට මුහුණ දෙති.

වතුකර ප්‍රජාව මුහුණ දෙන ඉඩම් හිමිකම් සහ අනෙකුත් ගැටළු සම්බන්ධයෙන් නීතිය හා සමාජ භාරය දීර්ඝ කාලයක් පුරා සම්බන්ධවී කටයුතු කරන, එම වතුවල සහ වතු ආශ්‍රිත ප්‍රදේශවල ක්‍රියාත්මක වන ප්‍රජා පාදක සංවිධානවල සහාය නිසා මෙම පර්යේෂණය සිදු කිරීමට හැකි විය. එම සංවිධාන ක්‍රියාත්මක වන ප්‍රදේශවල ජීවත් වන මලෛයහ දෙමළ ප්‍රජාවට අයත් තරුණ තරුණියන් සම්බන්ධ කර ගැනීම සඳහා එම සංවිධාන උපකාර කළේය.

මෙම ලේඛනගත කිරීම සඳහා නිතිය හා සමාජ භාරය අවුරුදු 16 ත් 21 ත් අතර වයසේ පසුවන, තමන් ගමන් ගනිමින් සිටින මග එකිනෙකාගෙන් වෙනස් වූ තරුණ තරුණියන් සමග කතා කළේය. ඔවුන්ගෙන් සමහරෙක් ඔවුන්ගේ අවසාන පාසල් විභාගවලට පෙනී සිටිමින් සිටියහ; තවත් අය විශ්ව විද්‍යාලයට අයදුම් කරමින් හෝ විශ්වවිද්‍යාල ගමන ආරම්භ කිරීමට සූදානමින් සිටියහ; තවත් සමහරු ඒ වන විටත් වත්තෙන් පිටත රැකියා කරමින් සිටියහ. අපගේ පර්යේෂකයින් ඉලක්කගත කණ්ඩායම් සාකච්ඡා හරහා ඔවුන්ගේ අධ්‍යාපනය, රැකියා, අනාගත අපේක්ෂාවන් සහ ඔවුන් ජීවත් වන සන්දර්භය තුළ එම අපේක්ෂා සාක්ෂාත් කර ගැනීම සඳහා පවතින බාධක පිළිබඳව ඔවුන් සමග කතා කළහ.

වර්තමානයේ පවතින අධ්‍යාපන සහ රැකියා තත්ත්වයන් පිළිබඳව මෙන්ම ඒ සම්බන්ධයෙන් පවතින අනාගත අපේක්ෂාවන් පිළිබඳව ද ගවේෂණය කිරීම සඳහා මෙම සංවාද වලදී මාතෘකා රාශියක් පිළිබඳව සාකච්ඡාකරන ලදී. එම සාකච්ඡා වලින් මතු වූ ගැටළු බොහෝ ආකාරවලින් එකිනෙකට අනුකූල සහ එකිනෙක හා අන්තර් සම්බන්ධිත විය. එම තරුණ තරුණියන්ගේ ප්‍රතිචාර තුළින් ඉස්මතු වූ ප්‍රධාන තේමාවන් මෙම ලියවිල්ලෙහි වර්ගීකරණය කර ඇත.

(මෙම ලියවිල්ල "නීතිය හා සමාජ භාරය" විසින් සකස් කරන ලද වාර්තා හා සාකච්ඡා කරන ලද්දකි. එය වසර 200ක් පැරණි මලෛයහ තරුණ තරුණියන්ගේ සිතුම් පැතුම් හා ඔවුන්ගේ අදහස් වලින් සමන්විත වාර්තාවකි. එය wedabima.lk වෙබ් අඩවියේ කොටස් වශයෙන් මෙසේ පළකරමු. ස්තුතිය - නීතිය හා සමාජ භාරයට" )