''මේ ළඟදි තිබුණ ගුරු දිනයට එක ඉස්කෝලෙක ගුරුවරුන්ට දවල් කෑම කේටරින් සර්විස් එකකට කියලා ඕඩර් කරලා දෙන්න වුණා. ඒකට ගිය වියදම දෙම්ව්පියන් දරන්න ඕන. එකට අමතරව විදුහල්පතිනියටයි, නියෝජ්‍ය විදුහල්පතිනියටයි මල් කළඹවල් දෙකක් අරන් දෙන්න කිව්වා. එතන එක මල් කළඹක ගාන රු.1500යි. ඒකට අමතරව අනිත් ගුරුවරියන්ට පොඩි මල් කලඹ ගානේ අරන් එන්න කිව්වා. මෙහෙම වියදම් කරන්න හැම අම්මා කෙනෙක්ටම තාත්තා කෙනෙක්ටම සල්ලි නැහැ.
1943 දී එවක අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විසින් නිදහස් අධ්‍යාපන පනත් කෙටුම්පත රාජ්‍ය කවුන්සිලයේදී හඳුන්වා දෙන ලදී. බොහෝ විවාදවලින් පසුව එය ක්‍රියාත්මක කිරීම සඳහා අනුමත කරන ලද අතර 1945 ඔක්තෝබර් 01 වැනි දින නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක විය.
එම නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය හේතුවෙන් මෙරට බොහෝ දෙනෙකුට නොමිලේ අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව උදාවිය.
එසේ වුවද අද වනවිට මෙරට පාසල්වල ක්‍රියාත්මක වන මුදල් රැස් කිරීම හේතුවෙන් මව්පියන්ට තම දරුවන් පාසල් යැවීමට සිදුවීම ආර්ථික මෙන්ම මානසිකව ද ගැටළු සහගත තත්ත්වයකට පත්ව තිබේ.
'ප්‍රින්සිපල්ගේ උපන්දිනයේදී තෑග්ගක් අරන් දෙන්න කියලා ප්‍රිෆෙක්ට්ලට කිව්වා '
පාසල්වල සංවර්ධන කටයුතුවලට පමණක් සීමා නොවී ඇතැම් පාසල්වල ගුරුවරුන්ට විවිධ තෑගිබෝග ලබාදීමට ද මුදල් එකතු කරන තත්ත්වයක් මේ වන නිර්මාණය වී ඇති බව බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් පාසල් යන වයසේ සිටින දියණියකගේ පියෙක් පැවසීය.
කොළඹ පිහිටි ප්‍රධාන පාසලක සිය දියණිය අධ්‍යාපනය හදාරන බව පැවසූ එම පුද්ගලයා බීබීසී සිංහල වෙත අදහස් පළ කළේ, සිය අනන්‍යතාව හෙළි නොකිරීමේ පොරොන්දුව මත ය.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මීට වසර 15-20කට ඉහතදී ගුරුවරුන් තමන්ගේ ආහාරය පවා දරුවන්ට ලබා දුන්න ද වර්තමානයේදී එම තත්ත්වය වෙනස් වී ඇති බව ය.
"ඉස්සර අපි ඉස්කෝලේ ගියා ම සමහර ගුරුවරුන් හිටියා කෑම අරන් එන්නේ නැති ළමයි හොයලා බලලා තමන්ගේ කෑම එක දෙන. ඒත් දැන් තත්ත්වය ඊට වඩා වෙනස්.''
''මේ ළඟදි තිබුණ ගුරු දිනයට එක ඉස්කෝලෙක ගුරුවරුන්ට දවල් කෑම කේටරින් සර්විස් එකකට කියලා ඕඩර් කරලා දෙන්න වුණා. ඒකට ගිය වියදම දෙම්ව්පියන් දරන්න ඕන. ඒකට අමතරව විදුහල්පතිනියට යි, නියෝජ්‍ය විදුහල්පතිනියට යි මල් කළඹවල් දෙකක් අරන් දෙන්න කිව්වා. එතන එක මල් කළඹක ගාණ රු.1500යි. ඒකට අමතරව අනිත් ගුරුවරියන්ට පොඩි මල් කලඹ ගාණේ අරන් එන්න කිව්වා. මෙහෙම වියදම් කරන්න හැම අම්මා කෙනෙකුට ම තාත්තා කෙනෙකුට ම සල්ලි නැහැ.''
''ඉස්කෝලේ විදුහල්පතිනියගේ උපන් දිනය දවසට තෑග්ගක් හැටියට සාරියක් අරන් දෙන්න ඉස්කෝලේ ශිෂ්‍ය නායිකාවන්ට කියලා තිබ්බා සල්ලි එකතු කරන්න කියලා. සාරියට විතරක් ගාණ රුපියල් 18,000ක්. ඊට අමතරව මල් කලඹට වෙන ම රුපියල් 1500ක් වියදම් වෙලා තිබ්බා කිව්වා.''
''දැන් ඉස්කෝලේ හැම අවුරුද්දෙ ම 'ෆුඩ් ෆියෙස්ටා' කියලා වැඩසටහනක් කරනවා. අඩු ම තරමින් එක ළමයෙක් රුපියල් 10,000කට වැඩිය කෑම හරි මොනවා හරි අරන් යන්න ඕන. ගිහින් ඒවා විකුණනලා ඒ සල්ලිත් ඉස්කෝලෙට ගන්නවා. අරන් කියනවා මෙදා සැරේ ෆුඩ් ෆියෙස්ටා එකෙන් රුපියල් මිලියන 04ක් හම්බ වුණා... මිලියන 05ක් හම්බ වුණා කියලා. ඒත් මේ විකුණලා ගන්නේ අර දෙමව්පියන්ගේ සල්ලිවලින් අරන් එන බඩු. ඒක හරියට අපේ ම බඩු විකුණලා එයාලා ලාභ තියෙනවා කියනවා වගේ.''
''කවුරු හරි එක අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් ඉන්නවා තමන්ගේ ළමයා ඉස්කෝලේ යවන්නේ ගොඩක් අමාරුවෙන්. ඒත් මේවා පාලනයක් වෙන්නේ නැහැ. පාලනයක් කරන්න කවුරුත් උනන්දු වෙන්නෙත් නැහැ," නම හෙළි කිරීමට අකමැති වූ එම පියා පැවසුවේ ය.
| "එක මල් කළඹක ගාන රු.1500යි. ඒකට අමතරව අනිත් ගුරුවරියන්ට පොඩි මල් කලඹ ගානේ අරන් එන්න කිව්වා. මෙහෙම වියදම් කරන්න හැම අම්මා කෙනෙක්ටම තාත්තා කෙනෙක්ටම සල්ලි නැහැ.
කඩදාසියට පමණක් සීමා වූ චක්‍රලේඛය
පාසල් සිසුන්ගෙන් හෝ මව්පියන්ගෙන් මුදල් හා භාණ්ඩ එකතු කිරීම හෝ ලබා ගැනීම අත්හිටුවමින් 2015 වසරේදී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 5/2015 ලෙස නව චක්‍රලේඛයක් නිකුත් කරන ලදී.
'පාසල් සිසුන්ගෙන් හෝ දෙමාපියන්ගෙන් මුදල් අයකිරීම සපුරා තහනම් කර ඇති අතර, මෙකී නියෝගය පැහැර හරිමින් කටයුතු කරන අවස්ථාවන් වෙතොත් ඒ සඳහා විදුහල්පති සෘජුව වගකිවයුතු බවත්, එවැනි මුදල් අයකිරීම හෝ එක්රැස්කිරීම උදෙසා විදුහල්පතිවරයා කිසිදු පුද්ගලයෙකුට අවසර දීම, සෘජුව හෝ වක්‍රව සිදුනොකළ යුතු බව,' අදාළ චක්‍රලේඛයේ සඳහන් කර ඇත.
මෙම චක්‍රලේඛය මගින් ආදි ශිෂ්‍ය සංගම් හරහා පාසල්වල සිදුකෙරෙන මුදල් එකතු කිරීම් සම්බන්ධයෙන් ද නීති පැනවීමක් කර තිබේ.
ආදි ශිෂ්‍ය සංගම් පාසල් තුළ හෝ බාහිරව සිසුන් යොදා ගනිමින් විවිධ ව්‍යාපෘති සඳහා පාසල් සිසුන්ගෙන් හෝ දෙමව්පියන්ගෙන් මුදල් හා භාණ්ඩ එකතු කිරීම හෝ ලබා ගැනීම ද මෙම 5/2015 චක්‍රලේඛය මගින් තනනම් කර තිබේ.
එමෙන් ම සිසු සිසුවියන්ගෙන් පාසල් සංවර්ධන ගාස්තු අය කිරීම සම්බන්ධයෙන් 5/2015 දරන චක්‍රලේඛයේ සදහන් කර ඇත. පාසල් සංවර්ධන සමිතිය විසින් තීරණය කරනු ලබන අරමුදල් යටතේ සිසුන්ගෙන් මුදල් අය කර ගැනීමට පෙර සෑම විදුහල්පතිවරයෙකු ම අනුගමනය කළ යුතු කරුණු සම්බන්ධයෙන් එම චක්‍රලේඛයේ මෙලෙස සඳහන් කර තිබේ.
- අත්‍යවශ්‍ය වියදම් (විදුලි බිල්, දුරකතන බිල්, සනීපාරක්ෂක හා ආරක්ෂක කටයුතු වැනි මුල්‍ය අවශ්‍යතා) ඇස්තමේන්තු සැකසීම
- එම ඇස්තමේන්තුව අනුව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හො වෙනත් රාජ්‍ය ආයතනවලින් ලැබෙන මුදල් පුරෝකථනය කර ඇස්තමේන්තු මුදල අතර ඇති පරතරය ගණනය කිරීම.
- එම පරතරය පාසලේ සිසුන් සංඛ්‍යාවෙන් බෙදා එක් සිසුවෙකුට අදාළ වන මුදල් ප්‍රමාණය ගණනය කිරීම.
- සකස් කළ වාර්තාව අධ්‍යාපන අමාත්‍යාංශයට එවා එක් සිසුවෙකුගෙන් පාසල් වියදම් පියවා ගැනීමට අවශ්‍ය මුදල් අය කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීම.
| ''ළමයගේ ඉස්කෝලේ විෂය නිර්දේශ කවර් කර ගන්න මට ළමයව අමතර පන්ති එක්ක යන්න වෙලා තියෙන්නේ. ඉස්කෝලේ තියෙන්නේ බාහිර ක්‍රියාකාරකම් විතරක් කරන්න නෙමෙයි උගන්වන්න කියන එක දැන් දැන් අමතක වේගන එන්නේ."
'උත්සව විතරයි... විෂය නිර්දේශ සම්පූර්ණ නැහැ'
මේ අතර, පාසල් යන දියණියක සිටින මවක ද බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් පැවසුවේ, සෑම වසරක ම පාසලේ පහසුකම් ගාස්තු ලෙස රුපියල් 3,000කට අධික මුදලක් අය කළ ද ඉන් පසුව විවිධ උත්සවවලට යැයි කියමින් මුදල් එකතු කිරීමට කටයුතු කරන බව ය.
"අවුරුද්දේ පහසුකම් ගාස්තු කියලා රුපියල් තුන් දාහකට වැඩි මුදලක් එකතු කරනවා ළමයෙකුගෙන්. ඒ මුදල දුන්නට පස්සේ ආපහු අවුරුද්දේ විවිධ උත්සව තියෙනවා කියලා ඉස්කෝලේ රැස්වීම්වලට එන්න කියලා රුපියල් 1500 ඉදලා 2000 දක්වා සල්ලි එකතු කරනවා.''
''ඉස්කෝලේ බාහිර ක්‍රියාකාරකම් තියෙන්න ඕන කියලා දෙමව්පියන් විදිහට අපි පිළිගන්නවා. ඒත් දැන් බාහිර ක්‍රියාකාරකම් තියෙනවා ඕනෑවට වැඩි යි. ඒත් ඉස්කෝලේ විෂය නිර්දේශය තව ම සම්පූර්ණ කරලා නැහැ.''
''ළමයගේ ඉස්කෝලේ විෂය නිර්දේශ කවර් කරගන්න මට ළමයව අමතර පන්ති එක්ක යන්න වෙලා තියෙන්නේ. ඉස්කෝලේ තියෙන්නේ බාහිර ක්‍රියාකාරකම් විතරක් කරන්න නෙමෙයි උගන්වන්න කියන එක දැන් දැන් අමතක වේගන එන්නේ," එම මව පැවසුවාය.
'චක්රලේඛයටත් එහා ගිහින් දැන් මුදල් එකතු කරනවා'
දෙමව්පියන් ආර්ථික වශයෙන් දැඩි අපහසුතාවකට පත්ව ඇති අවස්ථාවක පාසල් හරහා මුදල් එකතු කිරීම තවමත් සම්පුර්ණයෙන් ම නතර කිරීමට රජය අපොහොසත් වී ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂෆ් ස්ටාලින් පැවසීය.
බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ, වත්මන් රජය මේ වෙනුවෙන් ඉක්මනින් ක්‍රියාමාර්ගයක් ගත යුතු බව ය.
"පාසල්වල ළමුන් ඇතුළත් කර ගනිද්දී මුදල් ලබා ගන්න බැහැ කියලා චක්‍රලේඛ පවා නිකුත් වෙලා තියෙනවා. වර්තමාන අධ්‍යාපන අමාත්‍යවරිය ආපු ගමන් පළවෙනිදා ලේකම්වරිය හරහා නිකුත් කළ ලිපිය තමයි කිසි ම කාරණයකට මුදල් එකතු කරන්න බැහැ යි කියලා. නමුත් ඒවා සිදුවෙනවා. ඒක තමයි තියෙන ප්රශ්නය.''
ලංකාවේ අධ්‍යාපනයට ආණ්ඩුවෙන් වෙන් කරන මුදල දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6ක් කියලා කිව්වට වෙන් කරන්නේ සීයයට 1.9ක් විතරයි. 2015 අවුරුද්දේදී එවකට හිටිය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් චක්‍රලේඛයක් නිකුත් කළා.''
''ඒ චක්‍රලේඛයට අනුව වාර්ෂිකව ඉස්කෝලේ සියලු වියදම් ගණන් බලලා ඊට පස්සේ ඒ ගණන ඉස්කෝලේ ඉන්න සිසු සිසුවියන්ගෙන් බෙදලා ගන්න කියලා. සමහර පාසල්වලට ඒ ගණන රු.15,000 ඉදලා පල්ලෙහාට එනවා. නිදහස් අධ්‍යාපනයක් තියෙන රටේ පාසලේ වියදම දරුවන්ගේ සංඛ්‍යාවෙන් බෙදලා ගන්න කියලා කියනවා. එහෙම තියෙන කොට 5/2015 චක්‍රලේඛයට එහා ගිහිනුත් මුදල් එකතු කිරීම් සිදුකරනවා," ඔහු පැවසුවේය.
| "මොකක් හරි යෝජනාවක් ගෙනල්ලා එයාම ඒකට ගානත් වෙන් කරගෙන අනිත් දෙමව්පියන් ගෙන් සල්ලි එකතු කරනවා. එහෙම කළාම ගැලවෙන්න ලේසියි නේ. මේ එක ක්‍රමයක්. මේක නීත්‍යානුකූල නැහැ.
'සල්ලි එකතු කරන අලුත් ම ක්‍රමය'
මේ වන විට රජයේ පාසල් තුළ මුදල් එකතු කිරීම සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව ද ලංකා ගුරු සංගමයේ ලේකම්වරයා පැවසීය.
"ඒ මෙතඩ් එක තමයි පන්තියේ ළමුන්ගේ දෙමව්පියන් අතරින් එක්කෙනෙක් තෝර ගන්නවා. එහෙම තෝර ගන්න කෙනා පාසලේ රැස්වීමේදී මොකක් හරි යෝජනාවක් ගෙනල්ලා එයා ම ඒකට ගාණත් වෙන් කරගෙන අනිත් දෙමව්පියන්ගෙන් සල්ලි එකතු කරනවා. එහෙම කළා ම ගැලවෙන්න ලේසියි නේ. මේ එක ක්‍රමයක්. මේක නීත්‍යනුකූල නැහැ.''
''අනිත් ක්‍රමය තමයි ආගමික ස්ථානවල තියෙන්න ඕන උත්සව ඔක්කොම දැන් ඉස්කෝල ඇතුළේ තියන්න පටන් අරන් තියෙනවා. මේ ළඟදි බොරැල්ල ප්‍රදේශයේ බාලිකා පාසලක කිරි අම්මාවරුන්ගේ දානයකට කියලා මුදල් එකතු කරලා තියෙනවා කියලා තොරතුරු තියෙනවා. මේ තියෙන ආර්ථික ක්‍රමය එක්ක දෙමව්පියන්ගේ වැටුප් වැඩි වෙන්නෙත් නැහැ. එහෙම ගියා ම දෙමව්පියන් ඉන්නේ ගොඩක් අමාරුවෙන් කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.''
''ඒ නිසා අධ්‍යාපන ඇමතිවරිය විදිහට හරිනි අමරසූරිය කිව්ව නම් මුදල් එකතු කරන්න එපා කියලා, එහෙම මුදල් එකතු කරපු අයට විරුද්ධව කටයුතු කරන්න ඕන. එතකොට තමයි මේ දේ නතර කරන්න පුළුවන් වෙන්නේ," ලංකා ගුරු සංගමයේ ලේකම්වරයා පැවසීය.
මේ සම්බන්ධයෙන් අදහස් විමසීම සඳහා බීබීසී සිංහල අවස්ථා කිහිපයකදී අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරීන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද, එය සාර්ථක වූයේ නැත.
(දිනුක් හේවාවිතාරණ - බීබීසී සිංහල)