සිහින සහ ගරුත්වය : මලෛයහ දෙමළ තරුණ තරුණියන් පිළිබඳ කතා - රැකියා (හතරවන කොටස)

tea-plantation-youth

මෙම සියලු කලාප පුරා බොහෝ තරුණ තරුණියන්, ඇතැම් විට ඔවුන්ගේ අධ්‍යාපනය පවා අතහැර දමා, දැනටමත් වතු වලින් පිටත රැකියාවල නිරතවී හෝ නිරත වීමට සූදානම් වෙමින් සිටින බව අපගේ අවධානයට යොමු විය. අපගේ  ඉලක්කගත කණ්ඩායම් සාකච්ඡාවලට සහභාගී වූ කිසිවෙකුට වතු ප්‍රදේශ තුළ දිගින් දිගටම රැකියා කිරීමට කිසිදු කැමැත්තක් හෝ සැලැස්මක් නොතිබුණි. ඔවුන්ගේ දෙමව්පියන් වතුවල දුෂ්කරතා මධ්‍යයේ කම්කරු රැකියා කළ ද, ඉන් අඩු ආදායමක් ලැබීම සහ සමාජ සංචලනයක් සිදු නොවීම නිසා ඔවුන්ගේ ජීවන තත්ත්වයෙහි වැඩි දියුණුවක් සිදු නොවන බව දැකීමෙන් ඔවුන් ඔවුන්ගේ දෙමව්පියන්ගේ අත්දැකීම් තුළින් බොහෝ දුරට දැනුවත් වීම එයට හේතුව වේ.

දැනට රැකියාවේ නියුක්තවී සිටින තරුණ තරුණියන් තම පවුල් නඩත්තු කිරීමට උපකාර වන කෙටි කාලීන රැකියා වල සේවය කරයි, නැත හොත් කිරීමට අපේක්ෂා කරයි. දීර්ඝ කාලීන වශයෙන් ඔවුන් සේවා නියුක්තයින්ගේ භාර අරමුදල, සේවක අර්ථසාධක අරමුදල සහ එවැනි වෙනත් ආරක්ෂණයන් සපයා දෙන, යම් කාලයක් පුරා රැඳී සිටිය හැකි රැකියාවක් ලබා ගැනීමට ඔවුන් බලාපොරොත්තු වේ.

ඇඟළුම් කම්හල්වල රැකියා මලෛයහ දෙමළ තරුණ තරුණියන්ට වැදගත් රැකියා මූලාශ්‍රයක් විය. ඇඟලුම් කම්හල් සේවකයින් බඳවා ගැනීම සඳහා ක්‍රියාකාරීව ප්‍රදේශයේ වතු සහ කුඩා ගම්මානවලට පැමිණෙයි. වතුවලින් පිටත හොඳ වැටුප් සහිත රැකියාවක් සොයා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින තරුණ තරුණියන්ට මෙම අවස්ථාව තමන් අනෙකුත් කම්කරුවන් හා සමාන තත්ත්වයක සිටින රැකියා කිහිපය අතරින් එකක් වේ. නමුත් ඇඟළුම් කම්හල්වල තිබෙන සේවා කොන්දේසි දුෂ්කර ය.

දැරණියගල ප්‍රදේශයේ දී අදහස් දැක්වූවන් අතරින් කිහිප දෙනෙක් මෙයට පෙර අවිස්සාවේල්ල ප්‍රදේශයේ සහ, විශේෂයෙන් ම, සීතාවක අපනයන සැකසුම් කලාපයේ පිහිටි ඇඟලුම් කම්හල්වල සේවය කර ඇත. පසුගිය වසර දෙක තුළ කොවිඩ් වසංගතය පැවති කාලයේ දී, කර්මාන්තශාලා තුළ කොවිඩ් රෝගය සම්ප්‍රේෂණය වීමේ ඉහළ අවදානමක් තිබීම හේතුවෙන් ඔවුන්ට එම රැකියාවලින් ඉවත් වීමට සිදු විය.

මහනුවර ප්‍රදේශයේ ප්‍රතිචාර දැක්වූවන්ට අනුව, මැදමහනුවර වතුයායේ තරුණ තිරුණියන් ගණනාවක් පාසල් අධ්‍යාපනය නිමවී ඇඟළුම් කම්හල්වල රැකියාවට යති. ප්‍රදේශය අවට දුරකථන කණුවල මෙම කර්මාන්තශාලා සහ ඒවායෙහි බඳවාගන්නන් විසින් සේවකයින් බඳවා ගැනීම සඳහා වන පෝස්ටර් ප්‍රදර්ශනය කර ඇති අයුරු දැකගත හැකිය. බොහෝ දෙනෙක් මහනුවර කර්මාන්ත කලාපයේ ද (කිලෝමීටර් 25 ක් දුරින් පිහිටි පල්ලෙකැලේ), තෙල්දෙණියේ (කිලෝමීටර් 13 ක් දුරින්) පිහිටි තවත් කර්මාන්තශාලා කිහිපයක ද රැකියා සොයා ගනිති.

එම කර්මාන්තශාලා රු. 18,000 ක මූලික වැටුපක් හෝ අතිකාල සමග මසකට උපරිම රු. 35,000 ක වැටපක් පිරිනමයි. මෙම කම්හල්වල පාසලෙන් ගිලිහුණු තරුණ තරුණියන් පමණක් නොව, අඛණ්ඩව අධ්‍යාපන කටයුතු කරමින් සිට දැන් මෙම රැකියාව තෝරාගෙන ඇති අය ද සේවය කරති. මෙම අවම මූලික වැටුප ලබා ගැනීම සඳහා උදෑසන 7.30 ට වැඩ ආරම්භ කර සවස 6.30 දක්වා වැඩ කළ යුතු වේ. එක් වැඩ කරන දිනයක් හෝ සේවයට නොපැමිණය හොත් මාසික පැමිධෑමේ ප්‍රතිලාභය අහිමි වෙයි. සේවකයෙක් අසනීප වුවහොත් හෝ හදිසියේ එදින රැකියාවට යාමට නොහැකි වුවහොත් කළමනාකාරිත්වයට දැනුම් දිය යුතු වේ. මාස හතරකට ආසන්න කාලයක් රැකියාව කිරීමෙන් පසු ඇයට එක් දිනයක් පමණක් නිවාඩු ලැබුණු බව තරුණ සේවිකාවක් පැවසුවාය.

මෙම නිෂ්පාදන අංශවල රැකියා වලින් වතුවල වැටුපට වඩා හොඳ වැටුපක් ගෙවනවා, නමුත් තවමත් ඒවායෙහි ලැබෙන්නෙ අඩු ගරුත්වයක් - ඉතාම සුළු වැරැද්දකට පවා කම්කරුවන්ට බැනවදින බව අපි අහල තියෙනවා.

- මස්කෙළිය -

දෛනික කුලී වැඩ ද පුළුල්ව පැතිර ඇති රැකියා මූලාශ්‍රයකි. දෛනික පදනම මත වැටුප ගෙවනු ලබන මිනිස්බල රැකියා මෙයට ඇතුළත් වේ. කෙසේ වෙතත්, මෙම රැකියාවල ද සේවකයෙකුට ගෙවනු ලබන මූලික වැටුප ඉතා අඩු වන අතර, ප්‍රමාණවත් මුදලක් ලබා ගැනීමට නම් ඔවුන් අතිකාල පැය කිහිපයක් සේවය කළ යුතු වේ.

දැරණියගල ප්‍රදේශයේ මෙම පිරිස දැනට වත්තේ සිට පිළිවෙළින් කිලෝමීටර් 8 ක් සහ 28 ක් පමණ දුරින් වූ දැරණියගල සහ අවිස්සාවේල්ල යන ප්‍රධාන නගරවල දෛනික කුලී වැඩවල නිරත වෙති. ඔවුන් ප්‍රදේශයේ කොන්ත්‍රාත්කරුවන් යටතේ ව්‍යාපෘති පදනමෙන් ඉදිකිරීම්, වඩු වැඩ සහ පින්තාරු කිරීමේ කාර්යයන් සිදු කළහ.

බොහෝ මලෛයහ දෙමළ තරුණ තරුණියන් කොළඹ ප්‍රදේශයේ රැකියා සොයා යති. පාසල් අධ්‍යාපනය නිමවීමට පෙර පාසලෙන් ගිලිහෙන හෝ සාමාන්‍ය පෙළ විභාගය සමත් නොවන තරුණ තරුණියන් බොහෝවිට පිටකොටුව කර්මාන්ත හා වාණිජ ප්‍රදේශය ආශ්‍රිතව විවිධ කඩ සාප්පුවල සේවය කිරීමට කොළඹට යති. බොහෝ පවුල්වලට ආර්ථික පැවැත්ම ඉහළම ප්‍රමුඛතාවය වන අතර, මෙම තත්වයන් තුළ අධ්‍යාපනය අඛණ්ඩව කරගෙන යාමට තෝරා ගැනීම දුෂ්කර කාර්යයක් විය හැක.

මහනුවර දී, සමහර සිසුන් රැකියාවක් සොයා කොළඹට ගිය අවුරුදු 13 සහ 14 තරම් අඩු වයස්වල මිතුරන්ව දැන සිටියහ. නව යොවුන් වියේ දී රැකියා කිරීමට තෝරා ගන්නා අයට එසේ රැකියාවක් කිරීමට සිදු වන හේතු විවිධාකාර වේ. ආර්ථික අරගලය හේතුවෙන් ඇතිවන පවුල් ප්‍රශ්න මෙම සිසුන් අධ්‍යාපනය නිම කිරීමට පෙර පාසල හැර යාමට තීරණය කිරීමට බලපාන ප්‍රධාන හේතුවයි. බොහෝ අවස්ථාවල, විශේෂයෙන් ම පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් දෙමව්පියන්ට තම දරුවන් පාසල් යැවීම සඳහා වැඩි වියදමක් දැරීමට සිදුවේ. එමනිසා, මෙම දරුවන් බොහෝ දෙනෙක් යොවුන් වියේදී ම රැකියා කිරීම ආරම්භ කරති.

ඇතැම් අය පාසලේදි අධ්‍යාපන කටයුතුවලට දක්ෂතා නොදක්වන නිසා ඔවුන්ට යොවුන් වියේදී ම පාසලෙන් ඉවත් වී රැකියාවක් සොයා ගැනීමට සිදු වේ. අදහස් දැක්වූ ඇතමුන් තමන්ගේ අධ්‍යාපන කටයුතු ප්‍රමාද කර, නැත හෙත් අත්හැර දමා, තමන්ට ලැබෙන වැටුපෙන් තම බාල සහෝදර සහෝදරියන්ගේ අධ්‍යාපනයට මුදල් යෙදවීමට හැකි වන නිසා කියාවක් කිරීමට තීරණය කර ඇත. ඔවුන්ගේ දෙමව්පියන් දෛනික කුලී කම්කරුවන් හෝ රැකියා සොයා විදේශගත වූවන් වේ.

ඇතැම් අවස්ථාවල දී, අවුරුදු 17 හෝ අවුරුදු 20 තරම් අඩු වයසේ සිටින දරුවන් ඔවුන්ගේ රැකියාවෙන් උපයා ගන්නා වැටුපෙන් ඔවුන්ගේ මුළු පවුලම නඩත්තු කරති. බණ්ඩාරවෙල දී අදහස් දැක්වූවන් රැකියා සොයා ගමේ සිට ප්‍රධාන නගරවලට සංක්‍රමණය වූ තම සහෝදර සහෝදරියන් සහ තමන්ට වඩ වැඩිමහල් අනෙකුත් යෞවනයින් පිළිබඳ අත්දැකීම් විස්තර කළහ. ඇඟළුම් කම්හල්වල රැකියා ලබා ගෙන ඇති තරුණියන් මෙන්ම සුපිරි වෙළෙඳසැල්වල සහ රෙදිපිළි වෙළෙඳසැල්වල සේවය කරන තරුණ තරුණියන් ද, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සේවය කරන තරුණයින් ද බොහෝවිට එලෙස සංක්‍රමණය වූවන්ට අයත් විය.

අපි අපේ අධ්‍යාපන කටයුතු දිගටම කරගෙන යාමට, නැති නම් තාක්ෂණ හෝ වෘත්තීය පාඨමාලාවක් හැදෑරීමට පවා කැමතියි. නමුත් නිවසේ තිබෙන ආර්ථික ප්‍රශ්න නිසා අපි රැකියාවක් කිරීමට තීරණය කළා.

- මහනුවර -

මෙම තරුණ තරුණියන් නගරයට ගිය පසු තමන් ඔවුන් සමග එතරම් සන්නිවේදනයක් සිදු නොකරන බවත්, එහෙත් ඔවුන් නිවාඩුවක් සඳහා ආපසු නිවසට පැමිණි විට, ඔවුන් යොවුන් සිසුන්ට උපදෙස් දෙමින් අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන යන ලෙසටත්, ඔවුන් මෙන් කටයුතු නොකරන ලෙසටත් පවසන බව අදහස් දැක්වූ අය පැවසූහ. තවදුරත් තම අධ්‍යාපන කටයුතු කරගෙන නොගොස් රැකියාවක් සොයා වත්තෙන් සහ තම දිස්ත්‍රික්කයෙන් පිටව යාමට තමන්ම සිතූ බව අදහස් දැක්වූවන් ගෙන් තුනෙන් එකක් පමණ දෙනා පැවසූහ.

අපි පොඩි කාලේ හිතුවේ අපි වෛද්‍යවරු, නීතීඥවරු, නැත්නම් පොලිස් නිලධාරීන් වෙන්න ඕනැ කියලා. නමුත් අපිට ඒවා යථාර්ථයක් බවට පත්කර ගන්න ඕනැ සහයෝගය ලැබෙන්නෙ නැහැ. අපේ ගෙවල්වල ආර්ථික තත්ත්වය ඉතාම දුෂ්කරයි. අපේ අධ්‍යාපනය ගැන හිතනවාට වඩා අපේ පවුලේ අනෙක් අයගේ, නැත්නම් අපේ රෝගී ඥාතීන්ගේ අවශ්‍යතා ගැන සලකා බැලිය යුතුයි.

 (මෙම ලියවිල්ල "නීතිය හා සමාජ භාරය" විසින් සකස් කරන ලද වාර්තා හා සාකච්ඡා කරන ලද්දකි. එය වසර 200ක් පැරණි මලෛයහ තරුණ තරුණියන්ගේ සිතුම් පැතුම් හා ඔවුන්ගේ අදහස් වලින් සමන්විත වාර්තාවකි. එය wedabima.lk වෙබ් අඩවියේ කොටස් වශයෙන් මෙසේ පළකරමු. ස්තුතිය - නීතිය හා සමාජ භාරයට" - ඡායාරූප : සෙල්වරාජා රාජසේගර්)

(ලබන සතියේ - රැකියා අභිලාශයන් අවස්ථා - පස්වන කොටස)

සැබැඳි පුවත්