සිහින සහ ගරුත්වය : මලෛයහ දෙමළ තරුණ තරුණියන් පිළිබඳ කතා - පාසල් අධ්‍යාපනය (දෙවන කොටස)

සිහින සහ ගරුත්වය : මලෛයහ දෙමළ තරුණ තරුණියන් පිළිබඳ කතා - පාසල් අධ්‍යාපනය (දෙවන කොටස)

මලෛයහ දෙමළ තරුණ තරුණියන්ට ඔවුන්ගේ මුල් අවදියේ සිට ම අධ්‍යාපනය අභියෝග යක් වේ. අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා රාජ්‍ය වියදම් නොමැතිකම වතුකරයේ පාසල්වල වඩාත්ම හොඳින් පෙනෙන්නට තිබේ. මෙම අධ්‍යයනයේ දී අදහස් දැක්වූවන් පෙන්වා දුන් ප්‍රශ්න රාශිය මගින් පහසුකම්, විෂය මාලා සහ මෙම ප්‍රදේශ සඳහා රජය විසින් පත් කරන ලද ගුරු මණ්ඩලය නොමැතිකම වැනි ආකාර වලින් ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ දී එම තත්ත්වය බලපාන ආකාරය කෙරෙහි අවධානය යොමු කරයි. ඔවුන්ගේ අනාගතයන් හැඩගැස්වීමේදී ද එය ඉතාමත් වැදගත් වේ.

අදහස් දැක්වූවන් ප්‍රවාහනයේ සිට පාසල්වල ඇති පහසුකම් දක්වා වූ විවිධ ගැටළු පෙන්වා දුන්හ. අනාගත අභිලාෂයක් හඹා යෑම සඳහා අඛණ්ඩව අධ්‍යාපනයෙහි නිරතව සිටින්නේ කෙතරම් සුළු පිරිසක්ද යන්න ඔවුහු පෙන්වා දුන්හ. මෙයට දශකයකට පෙර විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ සිසුන් සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් මේ වන විට විශ්වවිද්‍යාලයට ඇතුළත් වන අතර ම, වැඩි පිරිසක් ආදායමක් උපයා ගැනීම සඳහා රැකියාවක් කිරීම තෝරා ගන්නා බව ද ඔවුන්ගේ අදහස විය.

ප්‍රවාහන ගැටළු පාසල් වෙත ප්‍රවේශවීම කෙරෙහි බලපාන දැඩි සහ අඛණ්ඩව පවතින බාධකයක් වී තිබේ. පාසල් යාම සඳහා දැරීමට සිදු වන වියදම ආරම්භ වන්නේ ඔවුන් ඔවුන්ගේ නිවස ලෙස හඳුන්වන, වතුවල පිහිටි ලයින් කාමර සහ ඔවුන්ට ආසන්න ම පාසල අතර ඇති අති විශාල දුර ප්‍රමාණයත් සමගිනි. විභාග පැවැත්වෙන කාලවල දී මෙම දුර විශේෂ අභියෝගයක් විය හැක.

ඔවුන් වයසින් වැඩෙත්ම, වතු පාසල්වල බොහෝ විට උසස් පෙළ දක්වා පන්ති  පැවැත්වෙන බැවින් ඇතමුන්ට නගරවල පිහිටි පාසල්වලට යාමට සිදු වෙයි. මෙයින් අදහස් වන්නේ මව්පියන්ට දරුවන්ගේ බස් හෝ ත්‍රිරෝද රථ ගාස්තු පියවා ගැනීම සඳහා අමතර වියදමක් දැරීමට සිදුවන බව ය. බස් කොන්දොස්තරවරුන් වතුවලින් පැමිණෙන සිසුන් රැගෙන යාමට ඇති ඉඩකඩ අඩු බැවින් බස් රථයෙන් ගමන් කිරීමට උත්සාහ කිරීම එතරම් විශ්වාස තැබිය නොහැකි ක්‍රමයක් විය හැක. ඔවුන්ගේ වාර ප්‍රවේශපත්‍ර වලින් අනෙකුත් මගීන්ගේ ප්‍රවේශපත්‍රවලින් තරම් ලාභ නොලැබීම එයට හේතුව වේ.

වතු ලයින් කාමරවලට ළඟින් ම පිහිටි බස් නැවතුමට යන්න එක පැත්තකට විනාඩි තිහක විතර කාලයක් පයින් යන්න වෙනවා. පාරවල් කැඩිලා, ත්‍රීවීල් එකකටවත් යන්න බෑ. ඒ නිසා පයින් යනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.

- පූනාගල -

මහනුවරට ඔබ්බෙන් පිහිටි මැදමහනුවර ප්‍රදේශයේ සිසුන් ප්‍රධාන මාර්ගයට ළඟාවීම සඳහා කිලෝමීටර් 3 ක දුරක් පයින් ගමන් කර ඉන්පසු බස් රථයකින් පාසලට යා යුතුය. ඇතැම් විට තම නිවෙස්වල සිට ප්‍රධාන මාර්ගයට ගමන් කිරිමට ත්‍රිරෝද රථයක් ලබා ගැනීමට ඔවුන්ට හැකි වන නමුත් ඒ සඳහා අයකරන ගාස්තුව, විශේෂයෙන් ම වර්ෂාව ඇති අවස්ථාවල, වැඩි විය හැක. පාසැලේ ක්‍රමානුකූල ආකාරයකට ඉගැන්වීමක් සිදු නොවන බැවින් හෝ පෞද්ගලික උපකාරක පංති වලට සහභාගී වීමට ඇති සමාජ අපේක්ෂාව නිසා ඇතැම් සිසුන් පෞද්ගලික පන්ති වලට සහභාගීවීම සඳහා දිගන (කි.මී. 21) හෝ මහනුවර (කි.මී. 38) දක්වා දුරක් ගමන් කරති. එපමණක් නොව, ඔවුන් උපකාරක පන්ති සහ අනෙකුත් ගාස්තු  සඳහා විශාල මුදලක් ද වැය කරන අතර, ඇතැම් දෙමව්පියන් ඒ සඳහා ඔවුන්ගේ වැටුප මදි වූ විට එම වියදම් පියවා ගැනීම සඳහා ණය ලබාගෙන ණයගැති භාවයට පත් වී ඇත.

මෙම ප්‍රදේශයෙන් අධ්‍යයනයට සහභාගීවූවන් අන්තර්ජාල සම්බන්ධතා නොමැතිකම ද ගැටළුවක් ලෙස සඳහන් කර ඇත. ඔවුන්ගේ දුරකථන සඳහා වඩාත්ම පැහැදිලිව සංඥා ලබා ගත හැක්කේ කඳු මුදුනේ ඇති පයින් වනාන්තරයට ගමන් කළ හොත් පමණි. මෙහි බිම කූඩැල්ලන් ගහන වන අතර වල් ඌරන් ද ප්‍රදේශයේ නිතර ගැවසෙන බව ඔවුහු පැවසූහ. එම නිසා සවස 5 න් පසුව යම් පංතියක් පැවැත්වීමට නියමිත වුව හොත් සිසුන්ට එම පන්ති මගහැරීමට සිදු වේ.

තමන් දක්ෂතාවය දක්වන හෝ ඉගෙනීමට කැමති ඇතැම් විෂයයන් දෙමළ මාධ්‍ය පාසල්වල උගන්වන්නේ නැති බැවින් විෂයයන් සඳහා ප්‍රවේශය සීමිත වීම ද ගැටළුවක් බව සහභාගිවන්නන් පෙන්වා දුන් අතර, මෙම තත්ත්වය නිසා තමන් අකමැති හෝ තමන් දක්ෂතාවයක් නොදක්වන විෂයයන් ඉගෙන ගැනීමට ඔවුන්ට සිදු වෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස, බොහෝ දෙනෙකුට උසස් පෙළ විෂයයන් හැදෑරීම සඳහා එම විෂයයන් උගන්වනු ලබන්නේද සහ ගුරුවරුන් සිටින්නේද යන කරුණු සැලකිල්ලට ගෙන ‘වඩා ලොකු පාසලකට’, එනම් නගරය ආසන්නයේ පාසලකට ඇතුළත් වීමට සිදුවේ. විෂයයන් සඳහා ඇති ප්‍රවේශය සීමිත වීම ඔවුන්ට රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුල් වීමට ඇති අවස්ථාව තවදුරටත් අවහිර කරන අතර, ඔවුන්ගේ රැකියා විකල්පයන් ද වඩාත් පටු කරයි.

ප්‍රදේශයේ දෙමළ මාධ්‍ය පාසල්වල ඉගැන්වීම සඳහා ගුරුවරුන් නොමැතිකම ද වතුකරය ආශ්‍රිත පාසල් තුළ වර්ධනය වෙමින් පවතින ගැටලුවක් වී තිබේ. බොහෝ පන්තිවල ගුරුවරුන් නොමැති විට තමන්ගේ දෙමව්පියන් තමන් පාසල් යැවීම සඳහා දරන වියදම නාස්තියක් ලෙස සිසුන් දකින බැවින් එය පාසල් අධ්‍යාපනය හැර යාමට වක්‍රාකාරයකින් සිසුන්ව පොළඹවයි.

ප්‍රදේශයේ සිංහල මාධ්‍ය පාසල්වලට සාපේක්ෂව දෙමළ මාධ්‍ය පාසල්වල ක්‍රීඩා පිට්ටනි සහ විෂය බාහිර ක්‍රියාකාරකම් වැනි පහසුකම් අඩු ය. ඇතැම්විට පන්ති කාමර ඉඩකඩ වැනි මූලික අවශ්‍යතා පවා නෙමැත.

- මැදමහනුවර -

උදාහරණයක් ලෙස, මෙම වත්තේ සිසුන් අධ්‍යාපනය ලබන මැදමහනුවර පාසලේ 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා වන සියලු පන්ති පවත්වනු ලබන්නේ එකම ගොඩනැගිල්ලක් තුළ ය. අයහපත් කාලගුණය හේතුවෙන් ඔවුන්ගේ පාසලට හානි සිදු වූ විට, ඔවුන් තාවකාලිකව ප්‍රදේශයේ සිංහල මාධ්‍ය පාසලක ගොඩනැගිල්ලක් තුළ ස්ථානගත කරනු ලැබුවේය.

 

මාසයකට පසුව ඔවුන් නැවතත් ඔවුන්ගේ පාසලට පැමිණි විට එය තවමත් අලුත්වැඩියා කර නොමැති බව ඔවුන්ට පෙනී ගියේය. බණ්ඩාරවෙල ප්‍රදේශයේ දී, ඇතැම් සිසුන්ට ඔවුන්ගේ උසස් පෙළ ප්‍රතිඵල ලැබී තිබුණු අතර ඔවුන්ට එම තත්ත්වයට පැමිධෑමට පවා කෙතරම් අපහසු වූයේද යන්න පිළිබඳව ඔවුහු කතා කළහ. ඔවුන්ට වඩාත්ම ආසන්න පාසලේ උසස් පෙළ වාණිජ සහ කලා විෂය ධාරාවන් පමණක් උගන්වනු ලබන අතර, එය සිසුන්ගේ උසස් අධ්‍යාපන තේරීම දැඩි ලෙස සීමා කර ඇත. විද්‍යා හෝ ගණිත විෂයයන් හැදෑරීමට කැමති සිසුන්ට ඒ සඳහා කි.මී. 17 ක දුරක් ගමන් කරමින් බණ්ඩාරවෙල නගරයට යාමට සිදු වේ.

තම ප්‍රදේශයේ පිහිටි පාසලේ සාමාන්‍ය පෙළ පන්තියේ සිසුන් 85 ක් තරම් සංඛ්‍යාවක් සිටිය ද උසස් පෙළ පන්තියේ සිටියේ සිසුන් 21 දෙනෙක් පමණක් බව මෙම සිසුහු සඳහන් කළහ. මෙම සංඛ්‍යාව අඩුවීමට හේතු වී ඇත්තේ වෙනත් විෂයයන් හැදෑරීම සඳහා සිසුන් නගරයට යාම සහ සිසුන් පාසලෙන් ගිලිහීම වැනි කරුණු කිහිපයක එකතුවක් වේ.

ක්‍රීඩා සහ විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා ප්‍රවේශය සීමිත වීම ද මලෛයහ දෙමළ සිසුන් නිබඳව ප්‍රකාශ කළ ගැටලුවක් විය. ක්‍රීඩා සඳහා පාසලේ ඇති පහසුකම් සීමා සහිත වීම හෝ කිසිදු පහසුකමක් නොතිබීම නිසා ක්‍රීඩා හැදෑරීමට සහ ක්‍රීඩා කිරීමට කැමති සිසුන්ට එම අවස්ථාව අහිමිවී තිබේ. විධිමත් ක්‍රීඩා කණ්ඩායම් ඇත්තේ කුඩා පාසල් වලින් ඉතාමත් අල්පයක වන බැවින් සිසුන්ට ක්‍රීඩා තරගවලට සහ තරගාවලීන්ට සහභාගී වීමට අවස්ථාව ලැබෙන්නේ අල්ප වශයෙනි.

මම කැමතියි ඉහළ මට්ටමකට, ඒ කියන්නේ ක්‍රීඩා කණ්ඩායමකට ක්‍රීඩා කරලා ක්‍රීඩා පුහුණුකරුවෙක් වෙන්න. ඒත් එහෙම කරන්න නම් මට ගෙදරින් ඈත තියෙන ලොකු ඉස්කෝලවලට යන්න, එහෙම නැත්නම් ක්‍රීඩා සමාජවලට බැඳෙන්න වෙනවා. මට හැකි උපරිම මහන්සියෙන් උත්සාහ කිරීමට මම අධිෂ්ඨාන කරගෙන හිටියත්, මට මේ මාර්ගය අනුගමනය කරන්න සරල ක්‍රමයක් නැහැ.

- දෙනියාය -

ඔවුන් තමන් විසින් ම නිල ඇඳුම් සහ උපකරණ ආදිය සඳහා වන වියදම් ද ආවරණය කර ගත යුතු යි. මේ සඳහා සම්බන්ධ වීමට පාසල් වලට නොහැකි බැවින් ඒ පුද්ගලයින් විසින් ම සියල්ල ඉටුකර ගත යුතුයි. බොහෝ සිසුන්ට තම නිවසේ ඇති වගකීම් ද සමග ඔවුන්ගේ විෂය බාහිර ක්‍රියාකාරකම්වල ද නිරතවීම දුෂ්කර ය.

බණ්ඩාරවෙල ප්‍රදේශයේ දී අධ්‍යයනයට සහභාගීවූවන් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට කැමති සිසුන් සිටියත් ඔවුන්ට ඒ සඳහා අවස්ථාවක් නොමැති බව ප්‍රකාශ කළහ. ඔවුන්ට අත්විඳීමට සිදුවී ඇති පහසුකම් ලබාදීම ප්‍රතික්ෂේප කරනු ලැබීමට හේතුව ඔවුන් මලෛයහ දෙමළ ප්‍රජාවේ අය නිසා ය යන්න ඔවුන්ගේ හැඟීමයි.

මහනුවර දී, ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවේ තරුණ කණ්ඩායම් වතුවල දරුවන් සමග අවංකභාවයෙන් යුතුව හෝ තිරසාර ආකාරයකට සම්බන්ධ නොවන බව ප්‍රතිචාර දැක්වූවන් සඳහන කළහ. ඔවුන් ඇතැම් අවස්ථාවල යම් යම් ක්‍රියාකාරකම්වලට ඔවුන්ව සම්බන්ධ කර ගන්නා නමුත් මෙම ප්‍රජාව කෙරෙහි ඔවුන් දක්වන අවධානය අල්ප ය, නැත හොත් අවධානය යොමු නොකරයි.

(මෙම ලියවිල්ල "නීතිය හා සමාජ භාරය" විසින් සකස් කරන ලද වාර්තා හා සාකච්ඡා කරන ලද්දකි. එය වසර 200ක් පැරණි මලෛයහ තරුණ තරුණියන්ගේ සිතුම් පැතුම් හා ඔවුන්ගේ අදහස් වලින් සමන්විත වාර්තාවකි. එය wedabima.lk වෙබ් අඩවියේ කොටස් වශයෙන් මෙසේ පළකරමු. ස්තුතිය - නීතිය හා සමාජ භාරයට" ) 

(ලබන සතියේ - විශ්වවිද්‍යාල අධ්‍යාපනය - තෙවැනි කොටස)

සැබැඳි පුවත්