රැකියාවේ පීඩනය: 'සති අන්තයේ ගෙදර හිටියත් අපේ ඔළුවල වැඩ කරන්නේ මේ ටාර්ගට් එක ගැන'

රැකියාවේ පීඩනය: 'සති අන්තයේ ගෙදර හිටියත් අපේ ඔළුවල වැඩ කරන්නේ මේ ටාර්ගට් එක ගැන'

බොහෝ දෙනෙකු තම ශාරීරික සෞඛ්‍ය වෙනුවෙන් දක්වන සැලකිල්ල මානසික සෞඛ්‍ය කෙරෙහි දක්වනවා දැයි යන්න ගැටලු සහගතය.

මානසික සුවයේ ඇති වැදගත්කම හේතුවෙන් ඒ වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දිනයක් පවා වෙන් කර ඇති අතර එය සෑම වසරක ම ඔක්තෝබර් 10 වන දාට යෙදී ඇත.

මෙවර එහි තේමාව වූයේ “රැකියා ස්ථානයේ මානසික සෞඛ්‍යයට මුල් තැනක් දෙමු” යන්න යි.

ඉන්දියාවේ පුද්ගලික ආයතනය සේවිකාවක් රැකියාවේ අධික වැඩ ප්‍රමාණය දරා ගැනීමට නොහැකිව පසුගිය දිනක සිය දිවි හානි කර ගැනීමත් සමග ම ලෝකය පුරා සේවා ස්ථානවල සංස්කෘතිය මෙන් ම සේවක ශුභසාධනය කෙරෙහි වැඩි කතා බහක් ඇති විය.

රැකියාවේ පීඩනය දරා ගනිමින් තම ජීවිතය ගෙවන බහුතරයක් දෙනා අතර තෝරා ගත් කිහිප දෙනෙකු සමග බීබීසි සිංහල කතා බහක නිරත විය.

‘කවුන්සලින් කරන්නවත් අපේ ෆැක්ටරිවල කවුරුත් නැහැ’

“මාත් එක්ක වැඩ කරන කාන්තාවන් 50ක් ගත්තොත් 25 දෙනෙක් ම එක්කෝ ඩිප්‍රෙෂන්වලට බෙහෙත් ගන්න අය, එහෙම නැති නම් ඒකට බෙහෙත් ගත්ත අය.” කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ ඇඟලුම් සේවිකාවක වන දර්ශි අප හා කතාව අරඹමින් කියා සිටියා ය.

රට ම වසා දැමූ කොරෝනා වසංගත සමයේ පවා රටේ ආර්ථිකය වෙනුවෙන් ජීවිතය පරදුවට තබා බොහෝ කාන්තාවන් සේවයේ නිරත වූ අතර අපගේ කතා නායිකාව ද ඉන් එක් තැනැත්තියකි.

ඇඟලුම් කර්මාන්ත ශාලා හිමිකරුවන් එහි සේවක සේවිකාවන්ගේ මානසික සෞඛ්‍යය කෙරෙහි දැඩි සැලකිල්ලක් නොදක්වන බව ඇය සඳහන් කළේ, “කවුන්සලින් කරන්නවත් අපේ ෆැක්ටරිවල කවුරුත් නැහැ. HR ඒකේ ඉන්නෙත් පිරිමි, නමුත් අපේ ෆැක්ටරිවල ඉන්නේ ගොඩක් ගැහැනු අය, ඒ අයට විවෘතව ප්‍රශ්නයක් කතා කරන්න කෙනෙක් නැහැ,” යැයි පවසමිනි.

කටුනායකට ආසන්නව කුලී නිවසක රැඳී සිටිමින් නිදහස් වෙළෙඳ කලාපයේ සේවය කරන දර්ශි, එක් දරු මවකි. ඇයගේ රැකියාව නිසා ම ඇගේ දරුවාට මවකගේ උණුසුමේ කල් ගෙවීමට ඉඩ ඇහිරී තිබේ.

“වව්නියාවේ ෆැක්ටරි එකක් තියෙනවා. ඒකේ අඩු ම ගාණේ ඒ ළමයාට ලන්ච් එකට නැගිටිනකම් පැය 6ක් එක දිගට වැඩ, නැගිටින්නවත් දෙන්නේ නෑ. වතුර ටිකක්වත් බොන්න යන්න දෙන්නේ නෑ,” ඇඟලුම් කම්හල් තුළ ඇති තත්ත්වය විස්තර කරමින් ඇය කියා සිටියා ය.

කටුනායකට ආසන්නව කුලි නිවස රැඳී සිටිමින් නිදහස් වෙළඳ කලාපයේ සේවය කරන දර්ශි එක් දරු මවකි. ඇයගේ රැකියාව නිසා ම ඇගේ දරුවාට මවකගේ උණුසුමේ කල් ගෙවීමට ඉඩ ඇහිරි තිබේ.

රැකියාව නිසා ලිංගික හිංසනයන්ට මුහුණ දීම

රැකියා ස්ථානයේ ප්‍රධානීන්ගෙන් එල්ල වන ලිංගික හිංසා සහ අතවරවලට බොහෝ සේවා ස්ථානවලදී කාන්තාවන්ට මුහුණ දීමට සිදුවේ. දර්ශි ද ඇය මුහුණ දුන් එවැනි අත්දැකීමක් බීබීසී සිංහල වෙත විස්තර කළා ය.

“ගාමන්ට් ෆීල්ඩ් එකේ ඉන්න ගොඩක් අය ඒ අත්දැකීමට මුහුණ දෙනවා. මටත් එහෙම වෙලා තියෙනවා. මම ඉස්සෙල්ලා හිටපු ෆැක්ටරි එකේ මට ප්‍රමෝෂන් යන්න පුළුවන් හැකියාව හොඳට ම තිබුණා. හැබැයි මට ඒ ප්‍රමෝෂන් දෙන්න එතන හිටපු ප්‍රඩක්ෂන් මැනේජර් වගේ ම HR මැනේජර් මගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවා මම ඒකට කැමති වුණේ නැති නිසා මට ප්‍රශ්න ගොඩක් දාලා මාව අයින් කළා.”

“ඒ වෙලාවේ මට ලොකු පීඩනයක් දැනුණා. රස්සාව නැති වෙනකොට මගේ දරුවාත් ඉගෙනීමට ආවා විතර යි. එයාගේ වියදම් දරන්නත් ඕනේ. මහත්තයාගේ ජොබ් එකත් ඒ දවස්වල ස්ථිර වෙලා තිබුණේ නැහැ. ඉතින් මේ ප්‍රශ්නෙත් එක්ක ලොකු අර්බුදයකට මුහුණ දෙන්න වුණා.”

පවුල් ජීවිතය අසාර්ථක වීම සහ ආයතනයේ වගකීම

ඇඟලුම් සේවිකාවකට දිනකට පැය 8කට වඩා කාලයක් සේවයේ නිරත වීමට බොහෝ දුරට සිදු වී ඇත. එබැවින් බොහෝ දුරට ඔවුන්ට පවුලේ උදවිය හා දරුවන් සමග ගෙවා දමන්නට ඇති කාලය ඉතාමත් අඩු ය.

“ජොබ් එක නිසා දරුවන්ගේ දේවල් මග ඇරෙනවා, සැමියාගේ දේවල් මග ඇරෙනවා. ඒ දේවල් මග ඇරෙනවා කියන්නෙ ම පවුල් ජීවිතේ අසාර්ථක වෙනවයි කියන එක,” රැකියාවත්, පවුල් ජීවිතයක් සමබර කර ගැනීමේ කාන්තාවන්ට ඇති අභියෝගය ඇය එලෙස විස්තර කළා ය.

විනෝද චාරිකා සහ අවුරුදු අවසානයේ සාද පැවැත්වීමට ඇඟලුම් කම්හල් කළමනාකාරිත්වය කටයුතු කළ ද ආයතන විසින් කරනු ලැබිය යුත්තේ, සේවක සේවිකාවන්ගේ මානසික සුවය උදෙසා උපදේශන සේවා වැනි කටයුතු කම්හල් තුළ පවත්වාගෙන යාම බව දර්ශි පැවසුවා ය.

රැකියාව නිසා පවුලේ වගකීම් අතපසු වීම

“අපිට ටාගට් තියෙනවා මාසෙකට කරන්න. අලුතින් එකවුන්ට්ස් ඕපන් කරන්න, අලුත් බිස්නස් හොයා ගන්න, ලෝන් එකතු කර ගන්න වගේ ටාගට් තියෙනවා. නමුත් ඒවා කර ගන්න තරම් ස්ටාෆ් එකක් අපේ බ්‍රාන්ච්වල නැහැ. ඒ පීඩනය එක්ක තමයි එදිනෙදා වැඩත් කරන්න වෙලා තියෙන්නේ.” සහකාර බැංකු කළමනාකරුවෙකු සිය රාජකාරියට අදාළව ඇති අධික වැඩ ප්‍රමාණය විස්තර කරමින් කියා සිටියේ ය.

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක විදේශීය බැංකුවක රැකියාවේ නිරත රොෂාන් තම රැකියාවේ ඇති වගකීම් හා ඉලක්ක නිසා පීඩාවට පත්ව ඇති අයුරු බීබීසී සිංහල වෙත පැවසීය.

“මේ වැඩ නිසාත්, ටාගට් කවර් කරන්න තියෙන නිසාත් අපි වැඩ කරන වෙලාව හවස 5ට ඉවර වුණාට කවදාවත් ඒ වෙලාවට ගෙදර යන්න වෙන්නේ නැහැ. සමහර වෙලාවට රෑ 7,8 වෙන්නත් පුළුවන් වැඩ ඉවර වෙද්දි. ඒ පරක්කු වීම උඩ පවුලේ වගකිම් ඉෂ්ට කරන්න බැරි වෙනවා. ඒවා කරන්න ගියොත් හදිස්සි නිවාඩුවක් ගත්තොත් අපේ ටාගට් හිර වෙනවා. එතකොට මාසේ අන්තිමට ආයතනයට උත්තර දෙන්න වෙනවා.”

'සති අන්තයේ ගෙදර හිටියත් අපේ ඔළුවල වැඩ කරන්නේ මේ ටාගට් එක ගැන'

“ටාගට් එක ගහපුවා ම අපිට හම්බ වෙන්නේ ඊට වඩා වැඩි ටාගට් එකක් මේක කවදාවත් ඉවර වෙන්නේ නෑ, වැඩ වැඩි වෙන එක විතරයි වෙන්නේ. එහෙම වුණා කියලා අපිට අලුතින් ස්ටාෆ් වැඩි වෙන්නේ නැහැ. ඉන්න අයට ම තමයි සේරම කරන්න වෙන්නේ. එතකොට වැඩ වැඩි වෙද්දි අපිට තියෙන පීඩනය තවත් වැඩි වෙනවා,” යැයි ඔහු සඳහන් කළේ ය.

රැකියාවට සිරවීම නිසා පවුල මග හැරීමට අමතරව, ඒකාකාරී ජීවන රටාවකට හුරුවීමට සිදු වී ඇතැයි රොෂාන් කනස්සලෙන් යුතුව කියා සිටියේ ය.

“අපේ ජීවිත මේ රස්සාවට ම හිර වෙලා තියෙන්නේ. උදේ පාන්දර නැගිටිලා රාජකාරියට ඇවිල්ලා උදේ 8.30ට පටන් ගත්තා ම රෑ 8 විතර වෙනකම් අපි රාජකාරියේ ඉන්නවා. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා කාලා නිදා ගන්න එක ඇරෙන්න එතනින් එහා වෙන දෙයක් කරන්න කියලා වෙලාවක් ඉතුරු වෙලා නැහැ. අපි සති අන්තයේ ගෙදර හිටියත් අපේ ඔළුවල වැඩ කරන්නේ මේ ටාගට් එක ගැන. ඉතින් අපි සති අන්තයේ එළියට ගියත් ඒ පීඩනය අමතක කරලා ඉන්න අපිට බැහැ.”

ජීවිතය ම රැකියාවට සිරවීම නිසා ම ඊට අමතර දෙයක් විනෝදංශයක් හෝ වෙනත් යමක් කිරීමට වෙලාවක් හෝ මානසික සුවයක් නොමැති අතර, රාජකාරි ජීවිතය හා පෞද්ගලික ජීවිතය කළමනාකරණය කර ගැනීම ඉතා ම අසීරු බව ඔහු පැවසීය.

‘අම්මයි දුවයි තරහ කරන Work From Home’

මෘදුකාංග ඉංජිනේරුවරියක වන තරුකා හට කොරෝනා කාලයේ හුරු වූ නිවසේ සිට වැඩ කිරිම (Work from Home) අද දක්වා ම කරගෙන යාමට ඇයගේ ආයතනය ඉඩ දී ඇත. එලෙස නිවසේ සිට වැඩ කිරීම ඇයට බලපාන ආකාරය ගැන ඇය බීබීසි සිංහල සමග අදහස් දැක්වූවා ය.

“දුව ඉස්කෝලේ ගිහින් ආපුවාම මම ගෙදර නිසා එයා හිතනවා, අම්මා ගෙදර ඒ නිසා මම එයත් එක්ක සෙල්ලම් කරන්න ඕනේ කියලා. සමහර වෙලාවට මම වැඩක ඉද්දි මට එයාට කාලය දෙන්න බැරුව ගියා ම දුවටත් තරහ යනවා, මම කියන දේ එයාට තේරෙන්නේ නැතුව යද්දි මටත් කේන්ති යනවා, ගොඩක් වෙලාවට මම උත්සහ කරනවා, දුව එන්න කලින් ගෙදර වැඩ ඉවර කරලා ඔෆිස් වැඩවලින් වැඩි ප්‍රමාණයක් ඉවර කර ගන්නවා කියලා. ඒත් ඒක කර ගන්න හරිම අමාරු යි.”

තරුකා පැවසු පරිදි නිශ්චිත වෙලාවක් නොමැතිව රාජකාරි කටයුතුවල නිරත වීම නිසාවෙන් සහ පවුලේ උදවියගේ කටයුතුවලට වේලාව වෙන් කිරිමට සිදුවීමෙන් හා පරිගණක, ජංගම දුරකතන වැනි තාක්ෂණික උපකරණ සමග වැඩි කාල වේලාවක් ගත කරන්නට සිදු ඇති ඇයට, ඇයගේ ශරිර සහ මානසික සෞඛ්‍ය ගැන සොයා බැලීමට කාලයක් නොමැති තරම් ය.

දූරස්ථව වැඩ කිරීම මානසිකව බලපාන්නේ කොහොම ද?

නිවසේ සිට රාජකාරි කටයුතු කරන ඇයට රැකියා කටයුතු සිදු කිරිමට නිශ්චිත වෙලාවක් නොමැති වීම හා දූරස්ථව සිටීමෙන් රැකියා ස්ථානයේ අනිකුත් අයවලුන් සම්බන්ධ කර ගැනීමේ ගැටලුවට ද ඇයට මුහුණ දීමට සිදුවේ.

“සමහර අයගෙන් දෙයක් ඇහුවා ම ඒකට උත්තරයක් එන්න ගොඩක් වෙලාවක් ගියා ම මට මගේ වැඩේ නවත්තගෙන ඉන්න සිදුවෙන වෙලාවල් තියෙනවා. ඒකත් හරි මානසික පීඩනයක්. ඔෆිස් එකේ නම් ඒ අය අපි ගාව ඉන්නවා. එතකොට අපිට කතා කරලා ඒ දේ විසඳගන්න පුළුවන්. එහෙම සමහර අයව සම්බන්ධ කර ගන්න බැරුව අපේ වැඩත් පරක්කු වුණා ම අපිත් ස්ට්‍රෙස් වෙන වෙලාවල් තියෙනවා.”

ඇයට ඇයව අහිමි වීම

තරුකා පැවසූ පරිදි නිශ්චිත වෙලාවක් නොමැතිව රාජකාරි කටයුතුවල නිරත වීම නිසා සහ පවුලේ උදවියගේ කටයුතුවලට වේලාව වෙන් කිරිමට සිදුවීමෙන් හා පරිගණක, ජංගම දුරකතන වැනි තාක්ෂණික උපකරණ සමග වැඩි කාල වේලාවක් ගත කරන්නට සිදු ඇති ඇයට, ඇයගේ ශරිර සහ මානසික සෞඛ්‍ය ගැන සොයා බැලීමට කාලයක් නොමැති තරම් ය.

“ඒ ගැන නම් ටිකක් හිතනවා අඩු යි. ඒකට වෙලාවක් නැති තරම්. ගෙදර වැඩ ටික යි, රැකියාවේ වැඩ යි ඉවර වෙනකොට දවස ඉවර යි. ඒක ලොකු ප්‍රශ්නයක් තම යි. සාමාන්‍ය ජීවිතේ දේවල් ටික කරන්නත් ඉතිරි වෙන්නේ වීක් එන්ඩ් එක. ඉතින් වෙලාවක් හොයාගන්න බැරි එක ඇත්තටම ගැටලුවක්.”

රැකියාවේ නිරත ආයතනය මගින් ඇයට මානසික හා ශාරිරක සෞඛ්‍ය යහපත් ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය උපදේශනය ලබා දීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පැවසු තාරුකා එහෙත් ඒවා ක්‍රියාවේ යෙදවීම පවා අපහසු වී ඇත්තේ රැකියාව හා පවුලේ කටයුතුවලට වැඩි වෙලාවක් යෙදවීමට සිදුව ඇති නිසා බව ඇය පැවසුවාය.

(bbc/Sinhala)