සෞඛ්‍ය සේවයේ  කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ මුලීන්ම බඳවා ගත්තේ සනීපාරක්ෂක සේවයට - ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති ඩබ්ලිව්. ඒ. ඩී. විමලරත්න

sri-lanka-janaraja-health-union

සියලූම ආගමික ශාස්තෘවරුන් ද රෝගීන්ට උපස්ථාන කිරීම ඉතා ඉහළින් අගය කළ මානව ගුණධර්මයකි.එසේම රෝගී ප්‍රතිකාර  සේවයේ දී වෛද්‍යවරයා සහ හෙදිය මෙන්ම සත්කාරක සේවය ද අත්‍යවශ්‍ය සාධකයකි. එම නිසා ලෝකයේ බොහෝ රටවල රෝගී සත්කාරක සේවය ද වෛද්‍ය හා හෙද සේවය තරමටම ඉහල වටිනාකමක් සහිත වෘත්තියක් ලෙස ගණනය කරයි.

අපේ රටේ රෝහල් ක්ෂේත්‍රයේ රෝගී සත්කාරක සහ සහායක සේවා ඉතාමත්ම පහල  මට්ටමට ඇද දමා ඇත්තේ කුමන නිර්ණායකයක් යටතේ ද යන්න  හඳුනා ගත නොහැක. අදටත් රෝහල් තුළ මෙම රෝගී සත්කාරක සහ සහය සේවා නිලධාරීන් පහළ මට්ටමේ සේවකයන් ලෙස සැලකීම සියලු ආගම්වල ඉගැන්වීමට පටහැනි බව තේරුම් ගන්නා අයකු නැත.

රෝහලට ගෙනෙන රෝගියෙකු වෛද්‍යවරයාට සහ හෙදියට පෙර පළමුවෙන්ම  හමුවන්නේ මේ සත්කාරක සේවා සමූහයටය. ඔවුන් දක්වන කැපවීම මතය බොහෝ දුරට මෙම රෝගියාගේ ජීවිතය ආරක්ෂාවීම ද සිදුවන්නේ. හදිසි අනතුරු,ආපදා, ගැටුම් අවස්ථාවල මෙම සත්කාරක සේවා සමූහයේ සේවා කැපවීම අපි අත්දැක ඇත්තෙමු. නමුත් මේ බොහෝ දෙනකු අදටත් සමස්ත සමාජයේ ගෞරවයට පාත්‍ර වන්නේ අල්ප වශයෙන් බව ද සත්‍යයකි.ඔවුන්ගේ අඩුපාඩු වැරදි නැතුවා නොවේ. නමුත් ඔවුන් රෝහල් සේවා කටයුතුවලදී ඉටුකරන සේවය නොවන්නට රෝහල් අදත් පවත්වා ගෙන යා නොහැකි බවද අනුලංඝණීය සත්‍යයකි.

මෙම සමස්ත රෝහල් සහාය සේවා හා බැඳි රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ හා සහය සේවාවන්ගෙන් සාමාජිකත්වයෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමය මෙරට ක්‍රියාත්මක පැරණිම සෞඛ්‍ය සේවා සංගමය බව කීම වරදක් නොවේ. මන්ද ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයට මේ වසරට වසර හැත්තෑවක් සපිරේ.

එම සංගමය යටගියාව පිළිබඳ කරුණු ඉදිරිපත් කරන, ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ වත්මන් සභාපති ඩබ්ලිව්.ඒ.ඩී.විමලරත්න මහතා.

"අපේ රටේ රෝහල් පද්ධතිය ආරම්භ කරන්නේ මීට ශත වර්ෂ දෙකකට විතර පෙර ලන්දේසි යුගයේ දී. ඉන්පසු බ්‍රිතාන්‍ය යුගයේදී මුල්ම කාලේ සෞඛ්‍ය සේවයේ  කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සනීපාරක්ෂක සේවයට බඳවා ගත්තේ "කසල ශෝදක" කියලා එම කම්කරුවන් දකුණු ඉන්දියාවෙන් තමයි ගෙන්වා ගත්තේ. උදාහරණයක් විදිහට පිලවාඩියන් කරුපයියා  මුත්තුලිංගම් 70 දශකයේ මුල් භාගය වෙනකම් අංගොඩ මානසික රෝහලේ සේවය කළා. පසුකාලීනව අනියම් සනීපාරක්ෂක කම්කරු සාමාන්‍ය කම්කරු ලෙසත් තනතුරු වෙනස් වුණා. උපස්ථායක තනතුරත්  (Attendant) මේ වනවිට තිබුණා.  1964 දී එවකට පැවති ආණ්ඩුව මේ උපස්ථායක සේවය අහෝසි කළා. ඒ අහෝසි කළ  උපස්ථායක සේවය යළි පිහිටුවන්න යැයි වෘත්තිය සමිති අවුරුදු ගණනාවක් තිස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියත් ඒකට සාධාරණයක් ඉෂ්ට වුණේ නැහැ.

තනතුරු වෙනස් වූ හැටි

මේ නිසා 1965 සිට 1970 දක්වා  සෞඛ්‍ය සේවකයන්ට බලපෑ පීඩාකාරී තත්ත්වය උත්සන්න වුණා. 1956 කනිෂ්ඨ කාර්ය මණ්ඩලයයි ඊට ඇතුළත් තවත් සේවක ශ්‍රේණී ගණනාවක් නියෝජනය කරන සෞඛ්‍ය වෘත්තීය සමිති ඒකරාශීවෙලා සාකච්ඡා කරලා ඒ වෘත්තීය සමිතිවල එකතුවෙන් "සුවසේවා එක්සත් වෘත්තීය සමිති පෙරමුණ” හදලා, එහි ප්‍රධාන ඉල්ලීම් මත උද්ඝෝෂණ ආරම්භ කළා. නමුත් ඒ කාලේ හිටිය සෞඛ්‍ය අමාත්‍ය එම්.ඩි .එච්. ජයවර්ධන මහතා සමග සාකච්ඡා වට ගණනාවක් තිබ්බත් ඒ ඉල්ලීම්වලට විසඳුම් ලැබුණේ නැහැ. මේ අතර ඇමති මාරුවකින් පසු ඊ.එල් සේනානායක අමාත්‍යවරයා පත් වුණා. ඒ එක්කම  උපස්ථායක ශ්‍රේණිය නැවත ඇති කිරීම, පැය අටේ වැඩ දිනය, පරිවර්තන අතිකාල දීමනා ක්‍රමය අහෝසි කර  වැඩ කරන පැය ගණන අනුව අතිකාල දීමනා ද ගෙවීම, සෞඛ්‍ය සේවක වැටුප රුපියල් 75කින් වැඩි කිරීම, අනියම් සේවකයන් ස්ථිර කිරීම,  නිල ඇඳුම් ප්‍රතිශෝධනය කිරීම, කම්කරු ශ්‍රේණි උසස්වීම් සඳහා කාර්ය පටිපාටියක් ඇති කිරීම යන තම ඉල්ලීම්  වෙනුවෙන් සෞඛ්‍ය සේවකයින්ට සටන් මඟට පිවිසීමට සිදුවුණා.

ඒ ඉල්ලීම් මත  එක් දින සංකේත වැඩ වර්ජනයක් කළා.පසුව  කොළඹ කොටුවේ මහලේකම් කාර්යාලයට රැස් වූ සෞඛ්‍ය සේවක සේවිකාවන්  සුව සේවා වෘත්තීය සමිති එක්සත් පෙරමුණේ නායකයත්වයෙන් මහ පෙළපාලියකින් කොළඹ කොටුව සිට නව නගර ශාලාවට පැමිණ  රැස්වීමක් පැවැත්වුවා.

1976 වසරේ දී පැවැති රජයේ සෞඛ්‍ය අමාත්‍ය ජෝර්ජ් රාජපක්ෂ මහතා සමග ගැටලුව සම්බන්ධව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා ගත් අතර මේ සඳහා ‍ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමය පාර්ශවයෙන් එවකට එහි ප්‍රධාන ලේකම් එස්. ගුණවර්ධන මහතා ඇතුළු  නිලධාරීන් පිරිසක් ද රජය පාර්ශවයෙන් නියෝජ්‍ය ඇමතිනි ශිවා ඔබේසේකර මහත්මිය ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වින්සන් පණ්ඩිත මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වුණා . එල්. බී. ද සිල්වා වැටුප් කොමිෂන් සභාවේ වැටුප් නිර්දේශ අනුව සෞඛ්‍ය සේවකයින්ට හිමිවන වැටුප් තීරණය කිරීම ඉක්මනින් ක්‍රියාත්මක කිරීමටත් එවකට නිල ඇඳුම් නොලැබූ අංශවල සේවකයන්ට ද ඒවා ලබාදීමටත් එවකට ලබා දුන් නිල ඇඳුම් වෙනුවට නිල ඇඳුම් රෙදි ලබාදීමටත් සෞඛ්‍ය සේවිකාවන්ට දින පනස් දෙකක නිවාඩුව ලබාදීමටත් ඇමතිවරියා මෙහිදී එකඟ වුණා. සතියක දිවා රාත්‍රී  පැය 78ක් සේවයේ යෙදෙන  සෞඛ්‍ය සේවකයන්ට අතිකාල ගෙවීම සාධාරණ බවත් ඇමතිවරයා පිළිගත්තා.එම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස ජෝර්ජ් රාජපක්ෂ ඇමතිතුමා උපස්ථායක සේවය නැවත පිහිටවූවා.

අපේ මූල්ම ඇඳුම

මුලින්ම  පිරිමි අයට අඳින්න ලැබුණේ කාකි කමිසයයි කොටු සරමයි. කාන්තාවන්ට රතු චෙක්ලෝත්  එකයි හැට්ටයයි. පසුව නයිලෝන් සාරිය , ඔයිල් සාරිය අඳින්න ලැබුණා . අද රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අඳින කාන්තාවන්ට සුදු ගවුමයි පිරිමි අයට සුදු දිග කලිසම සහ ෂර්ට් එක කියන යුනිෆෝම් එක අප සංගමය දිගු කලක් කළ  සටන් වැලකින් පසු දිනා ගත්අයිතිවාසිකමක්.

එදා සිට අද දක්වා මෙම රෝහල්වල උපස්ථායක සහ රෝගී සත්කාරක සේවා ක්‍රියාත්මක කරන්න වෙනම පිරිසක් හිටියේ, මේ සත්කාරක සේවා නැතුව රෝහලක් පවත්වා ගෙන යන්න බැරි නිසයි. රෝගියා රෝහලට රෝගියා බාර ගැනීම, රෝගියා වෛද්‍යවරයා වෙත රැගෙන යෑම,  ඇඳ පිළියෙළ කිරීම, රෝහල් පිරිසුදු කිරීම  සනීපාරක්ෂක කටයුතු, රෝගියා පිරිසුදු කිරීම, ආහාර පාන සැකසීම්, රෝගීන් විවිධ තැන්වලට රැගෙන යාම,වි දුලි සෝපාන, ගිලන් රථ සහාය සේවා, ශල්‍යාගාර සහ ප්‍රතිකාර සහය සේවා, පමණක් නොව මියගිය රෝගීයකුට අදාළ රෝහලේ අවසන් කටයුතු සියල්ල සිදුවන්නේ මෙම රෝහල් සත්කාරක සහය සේවා සමූහය තුළින්. රෝහල් සත්කාරක සේවා රෝහලක සේවයට මොන තරම් අත්‍යවශ්‍යද කියලා දැනෙන්නේ ඔවුන් වැඩ වර්ජනයක් කරපු දවසට තමයි. සාමාන්‍ය වචනයෙන් කියනවා නම් කනිෂ්ඨ  සේවකයෝ ස්ට්‍රයික් කළාම මුළු රෝහලම නතර වෙන එක කාටවත් නැහැ කියන්න බැහැ.

ඒ දවස්වල රෝහල්වල තිබුණේ බාල්දි වැසිකිලි. මේ බාල්දි වැසිකිළිවල අපද්‍රව්‍ය එකතු කරලා ඔවුන් ඒවා  කඳේ බැඳගෙන අරගෙන ගිහින් තමයි රෝහල් භූමිය කෙළවරේ හරි කනත්තේ හරි වල දමන්නේ හෝ නගර සභාවේ කරත්තවලට භාර දෙන්නේ ඒ කාලේ කනිෂ්ඨ සේවකයෝ. මේ අය පැය දොළහක් වැඩ කරන්න ඕනේ. ඒ කියන්නේ රාත්‍රී සේවය ආරම්භ කරන දිනයේ  දවල්  දොළහට වැඩට ආ යුතුයි.  දවස් 15 ක් රාත්‍රී සේවය අවසන් කර රාත්‍රී සේවය නිමා කරන දිනයේ දවල් 12 ට සේවය අවසාන කරන්න ඕනේ. ප්‍රවාහන පහසුකම් එහෙම බොහෝම අපහසු කාලයක්. ඒකාලෙ සෞඛ්‍ය සේවය වහල් සේවයක් වගේ. ඊළඟට වැඩට ඉන්න එක්කෙනා ආවේ නැත්නම් ඒ ෂිෆ්ට් එකත් ඒ සේවකයා වැඩ කරන්න ඕනේ. රෑ වැඩ දවස් පහළොවක් අනිවාර්යයි. ඒක ගෑනු පිරිමි කියල භේදයක් නැහැ. පෝය නිවාඩුව හැර දින විසිපහක්ම වැඩ කරන්න ඕනේ. කොච්චර වැඩ කළත් පරිවර්තක  අතිකාල දීමනාව ලබා දුන්නේ  රුපියල් දහයයි.

අපි වැඩ කලේ වහලුන් වගේ

ජනරජ සෞඛ්‍ය සේවා සංගමය බිහි වන්නේ,1972 ජනරජ ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය සේවකයන්ට දේශපාලන නිදහස ව්‍යවස්ථාපිතව ලැබිච්ච නිසයි. ඒ අවස්ථාවේ රෝහල් සත්කාරක සහ සහාය සේවා කාර්යමණ්ඩලය වෘත්තීය සමිති තුනක් තිබුණා. සමස්ත ලංකා ආණ්ඩුවේ ආරෝග්‍ය ශාලා කම්කරු සංගමය, සමස්ත ලංකා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කම්කරු සමිතිය සහ රජයේ ආරෝග්‍ය ශාලා උපස්ථායක සංගමය කියන සමිති තුනම එකට එකතු වෙලා තමයි 1974 ඔක්තෝම්බර් 26 වැනි දින ශ්‍රී ලංකා  ජනරජ සෞඛ්‍ය සේවා සංගමය පිහිටවනුු ලැබුවේ. ඒකෙ පැරණිම සංගමය තමයි ආණ්ඩුවේ ආරෝග්‍ය ශාලා කම්කරු සංගමය. එහි ලියාපදිංචි අංකය 1072.ඒ අනුව ඒ ලියාපදිංචි අංකයම යටතේ තමයි අපි අදත් ලංකා ශ්‍රී ජනරජ සෞඛ්‍ය සේවා සංගමය ක්‍රියාත්මක වන්නේ. ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයට අවුරුදු පනහක් පිරුණත්, ආණ්ඩුවේ ආරෝග්‍ය ශාලා කම්කරු සංගමය පිහිටුවා තිබුණේ ඊට අවුරුදු විස්සකටත් කලින්. ඒ නිසා මෙම වෘත්තීය සමිතියේ ඉතිහාසයට අවුරුදු හැත්තෑවක් වෙනවා.

මේ වෘත්තිය සමිතිය ගොඩනගන්න මුළු ජීවිතයම කැප කළ අය අතර, එස් ගුණවර්ධන, ඩබ්ලිව්.චන්ද්‍රපාල, එස්.ඒ.ගුණවර්ධන, ජිනදාස සහෝදරයා, වික්ටර් සහෝදරයා, ගාල්ලේ සිංහවංශ සහෝදරයා වගේ ගොඩක් අය හිටියා.

භීෂණයෙන් ජීවිත අහිමි වුන නායකයින්

ඒ වගේම මේ වෘත්තිය සමිති සටන් නිසා ජීවිතය පූජා කළ අයත් අපේ වෘත්තීය සමිතියේ ඉන්නවා. 1989 වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවල නියුතු වුණු අපේ වෘත්තීය සමිතියේ ක්‍රියාකාරී සහෝදරයන් එවකට පැවති  ආණ්ඩුවේ දැවැන්ත මර්දනයට හසුවුණා.නුවර සුසිරිපාල සහෝදරයා එයාගේ පවුලේ  පස් දෙනෙක් එක්ක කපා කොටා මරලා දැම්මා.කොළඹ මහ රෝහලේ හිටපු ප්‍රේමතිලක සහෝදරයා  කෑලි කෑලිවලට කපලා මරලා දැම්මා. ඒ අතරේ අපේ කාර්යාලයට පැමිණ මාවත් තවත් සහෝදරයන් දෙන්නෙක්වත් ඇස් බැඳලා කකුල් වලට මාංචු දාලා අත් ගැට ගහලා අරගෙන ගිහිල්ලා මාසයයි සති දෙකක් දස වද දුන්නා.ඒ කාලේ ආරක්ෂක ඇමතී රංජන් විජේරත්න. නමුත් අපි අපේ වෘත්තිය සමිති සටන් ව්‍යාපාරය අඛණ්ඩව අරගෙන ආව නිසා තමයි අදත් අපේ රෝහල් සහාය කාර්ය මණ්ඩලය භුක්ති විඳින මේ සියලු දේ දිනාගන්න හැකි වුණේ.

ඉහලට යාමේ අවස්ථා අඩුයි

අපේ රෝහලේ සුළු සේවකයන් හැටියට සිට අද රෝහල් ක්ෂේත්‍රයේ හෙද, ඕවර්සියර්, වැනි ඉහළ තනතුරුවල ඉන්න අය ගොඩක් සිටිනවා. නමුත් රෝහල් කාර්ය මණ්ඩලයේ සිටින මේ කනිෂ්ඨ  සේවකයන්ට ඒ ඉහළ තනතුරුවලට යන්න තියෙන අවස්ථා ඉතාම අවමයි. මේ කනිෂ්ඨ සේවකයන් බොහෝ දෙනෙකු පත්වීම් ලබන්නේ දේශපාලන පසුබිම් මතයි. ඔවුන් බොහෝ දුරට සාමාන්‍ය අධ්‍යාපන පසුබිමක් ඇති අය. ඔවුන් සිය වෘත්තීය  ක්ෂේත්‍රයේ ඉහළට යන්න එතරම් උනන්දුවක් දක්වන්නේ නැත්තේ ඒක නිසයි.ඒ නිසා අපේ සාමාජික සහෝදරයන්ගේ වෘත්තීය උසස්වීම් සම්බන්ධව ඔවුන් උනන්දු කරවන්නත් ඊට අදාළ තීන්දු පාලක පැත්තෙන් ගන්න සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය අවදි කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා.

නමුත්  අද ඔවුන් භුක්ති විඳින ඔවුන්ගේ නිල නාමයේ සිට නිල ඇඳුමේ සිට වෘත්තිය අයිතිවාසිකම් දක්වා ඔවුන්ගේ වෘත්තීය අභිමානය ගොඩනගන්න අතීතයේ සිටි වෘත්තීය සමිති නායකයන්ගේ සිට අද සිටින අපේ සාමාජිකයන් දක්වා සියලු දෙනා විශාල වැඩ කොටසක් කර තිබෙනවා.

අපේ සාමාජිකයන්ගේ වෘත්තීය ජීවිතයේ තවත් සංවර්ධනය විය යුතු ආචාර ධාර්මික කොටස් ගොඩක් තියෙනවා. බොහෝ දෙනෙක් අපේ සේවකයන්ව විවේචනය කරන්නේ එ් ආචාර ධාර්මික අඩුපාඩුකම් නිසයි.

එ් නිසා අපි අදහස් කළා හැත්තෑ වන සංවත්සරයත්  එක්ක අපේ මේ වෘත්තීය සමිති ව්‍යාපාරය නව පිම්මක් ආරම්භ කරන්න. අද රටේ පවතින මේ වෘත්තීය සමිති නිහඬතාවය බිඳින්න.ඒ වෙනුවෙන් අපේ සංවත්සරයේ දී අපි යෝජනා ගණනාවක්  ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.

upul janaka jayasinghe

| සාකච්ඡා කොට සකස් කළේ උපුල් ජනක ජයසිංහ