සේවකයින් කම්කරු කාර්යාලයට ගෙන්වන අලුත් EPF ලියාපදිංචියේ 'රස්තියාදුවට' පිළියමක් නැද්ද?
සේවක අර්ථසාධක අරමුදල යනු ශ්‍රී ලංකාවේ සේවයේ නියුක්ත ශ්‍රම බළකායට ඇති වටිනා ම සම්පතකි.
සේවක අර්ථ සාධක අරමුදලෙහි අරමුණ වන්නේ, පෞද්ගලික අංශයේ සමාගම්, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ පෞද්ගලික ව්‍යාපාරවල සේවකයින්ගේ විශ්‍රාමික දිවියෙහි මූල්‍යමය සුරක්ෂිතතාව තහවුරු කිරීම ය.
ව්‍යාපාරයේ ස්වභාවය සහ වර්ගය කුමක් වුවත්, එක් සේවකයෙකු හෝ සිටින සේවා යෝජකයෙකු සේවක අර්ථ සාධක අරමුදල සඳහා දායක මුදල් ගෙවීමට නීත්‍යනුකූලව බැඳී සිටී.
සේවකයෙකු ආයතනයක සේවයට පැමිණි විට එම ආයතනයේ මානව සම්පත් අංශය හරහා අයදුම්පතක් පුරවා 'බී' කාඩ්පතක් සඳහා අරමුදලේ ලියාපදිංචි වීම කාලයක පටන් සිදු කෙරුණු ක්‍රමවේදය යි.
| කාර්යාල දොරටු ඉදිරිපිට ඒවාට අයත් ප්‍රදේශ සටහන් කර නොතිබීමෙන් පිරිස දිගට ම නැගෙහිර කොළඹ කාර්යාලය ඉදිරිපිට පෝලිමක රැඳී සිටියහ
සේවක අර්ථ සාධක අරමුදලේ සේවාවන් වඩා කාර්යක්ෂම කිරීමට අරමුදලේ සාමාජිකයන්ගේ ජෛවමිතික දත්ත පද්ධතිගත කිරීම සඳහා මේ වන ඉහත ක්‍රමවේදය නවත්වා සාමාජිකයා විසින් ඔවුන්ට අදාළ කම්කරු කාර්යාලය වෙත ගොස් අයදුම්පත්‍ර භාර දීමේ ක්‍රමවේදයක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතියි.
සේවකයින් කම්කරු කාර්යාලයට ගෙන්වන අලුත් EPF ලියාපදිංචියේ 'රස්තියාදුවට' පිළියමක් නැද්ද?
මෙම ක්‍රියාවලිය හරහා සේවකයන් මීට පෙර සේවය කළ සේවා ස්ථානවලට අදාළ 'බී කාඩ්පත්' ලබා ගැනීමට එම ආයතන වෙත යාමට සිදු නොවන අතර, මෙම පද්ධතිය හරහා එය එක් කාඩ්පතකට ඇතුළත් කිරීම සිදුවන නිසා එය මෙම ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කරන්නක් බවට අපට නිරීක්ෂණය විය.
එමෙන් ම රාජ්‍ය ආයතනවල සාමාන්‍යයෙන් සේවාවන් ලබා දීම ආරම්භ කිරීමට ප්‍රථම එහි නිලධාරීන් වැඩ කටයුතු ආරම්භ කළ අතර, යුහුසුළුව සහ මිත්රශීලීව විවිධ අවශ්‍යතා සඳහා පැමිණි ජනතාවට සහය ලබා දෙන ආකාරය ද දැකගත හැකි විය.
නිලධාරීන් කෙතරම් කාර්යක්ෂමව කටයුතු කළ ද මෙම ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයේ ඇති ගැටලු හේතුවෙන් ඒ සඳහා පැමිණෙන ජනතාව විශාල අපහසුතාවයකට පත්වන බව අපට නිරීක්ෂණය විය.
පිළිවෙළක් නැති පෝලිම්
පසුගිය සතියේ දින කිහිපයක් තිස්සේ අපගේ කාර්යාල සගයන් නාරාහේන්පිට පිහිටි කම්කරු මහ ලේකම් කාර්යාලය වෙත ගියේ, අපගේ සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි වීමට අදාළ ලියවිලි භාර දීමට ය.
ඒ සඳහා කම්කරු මහ ලේකම් කාර්යාලය වෙත ගිය අප සගයන්ගේ උපදෙස වූයේ, උදෑසන 6.00ටවත් පෙර එහි ප්‍රධාන පිවිසුම අසල ඇති පෝලිමට එකතු වන ලෙස යි.
ඒ අනුව අප දෙදෙනෙකු පසුගිය දිනකදී එහි ප්‍රධාන ගේට්ටුව අසලට යන විට පෙරවරු 5.30 පසු වී වැඩි වේලාවක් ගත වී නොතිබිණි.
ක්‍රමයෙන් පිරිස රැස් වන්නට වූ අතර, විවිධ අවශ්‍යතා සඳහා ඒ වෙත පැමිණි සියලු දෙනා තනි පෝලිමක රැඳී සිටි අතර, යා යුතු ස්ථානය හෝ ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා කිසිදු නිලධාරියෙකු එහි සිටියේ නැත.
උදෑසන 6.45 වන විට පමණ වන විට ආරක්ෂක නිලධාරියෙකු පැමිණ ගේට්ටුව විවෘත කළෙන් එතෙක් සිටි කිසිදු පෝලිමක් නොතකා සියලු දෙනා ලහි ලහියේ නව ගොඩනැගිල්ලේ විදුලි සෝපානය දෙසට දිව ගිය හ.
විවිධ අවශ්‍යතා සඳහා පැමිණ සිටි ජනතාව ඒ වෙත ගොඩ වූ අතර, එතෙක් ගේට්ටුවෙන් පිටත පෝලිමේ මුල රැඳී සිටි අප ද සෙනග අතරින් තල්ලු වී විදුලි සෝපානයක් වෙත තල්ලු වී ගිය අතර, සෝපානය අප යා යුතු 18 වන මහල වෙත ළඟා වූ පසු එහි සෝපානයෙන් පිටතට ආ පිළිවෙළට නැවත පෝලිමක් සෑදී තිබිණි.
අප යා යුතුව තිබුණේ, නැගෙනහිර කොළඹ ලෙස සටහන් වූ කාර්යාලය වෙත වූ අතර, ඒ කාර්යාල වේලාව ආරම්භ වීමටත් ප්‍රථම වූ නිසා කාර්යාලයේ දොරටු වසා තිබිණි.
බොහෝ දෙනෙකු තමා යා යුතු කාර්යාලය නොදැන සිටි අතර, එහි තිබූ නැගෙනහිර කොළඹ, මැද කොළඹ වැනි කාර්යාල දොරටු ඉදිරිපිට ඒවාට අයත් ප්‍රදේශ සටහන් කර නොතිබීමෙන් පිරිස දිගට ම නැගෙහිර කොළඹ කාර්යාලය ඉදිරිපිට පෝලිමක රැඳී සිටියහ.
පිටත ගේට්ටුවේ පෝලිමේ මුල සිටි අපට ඉහළ මහලේ පෝලිමේ හිමි වූයේ පසුපස ස්ථානයකි.
| ඇතැම් පිරිස් පැරණි ක්‍රමවේදයේ අයදුම්පත් පුරවාගෙන පැමිණ තිබූ අතර, ඔවුන්ට නව අයදුම්පත්‍රයක් පුරවාගෙන එන ලෙස පවසා ආපසු හරවා යැවිණි
මිනිත්තු 6ක් වෙනුවෙන් පැය ගණනක්
මෙම කාර්යාල පිටත ඒ ඒ කාර්යාලයට අදාළ ප්‍රදේශ සටහන් කර නොතිබූ නිසා කාර්යාලය තුළට පැමිණි කිහිප දෙනෙකුට ම ආපසු හැරී යාමට සිදු වූ අතර, වෙනත් විවිධ සේවාවන් ලබා ගැනීමට පැමිණ සිටි අය ද නිලධාරිනියන් විසින් එම අංශ වෙත යොමු කරනු ලැබූහ.
ලියාපදිංචියට අංක ලබා දීමෙන් පසු අපගේ වාරය එන තෙක් රැඳී සිටි අප දුටු තවත් දෙයක් වූයේ, මේ වන විට ක්‍රියාත්මක ලියාපදිංචි ක්‍රමවේදය පිළිබඳ ජනතාව හරි හැටි නොදැනුවත් නිසා ඔවුන් පැරණි අයදුම්පත්‍ර පුරවාගෙන පැමිණ තිබූ බව ය.
එවැනි අය නව අයදුම්පත්‍රයක් පුරවාගෙන එන ලෙස පවසා හරවා යැවුණු අතර, එලෙස පැමිණ සිටි කාන්තාවන් දෙදෙනෙකු නිවාඩුවක් ලබාගෙන පැමිණිය ද සිය කාර්ය කරගැනීමට නොහැකි වූයේ යයි කනස්සල්ලෙන් ය.
ඒ අතරතුර අංක 50ට වඩා නිකුත් නොකරන නිසා ඇතැමුන්ට හැරී යාමට ද සිදු විය.
ඒ අතරේ අප පෝලිමේ ඉබි ගමනින් ගමන් කරමින් සිටියෙමු.
එහිදී මාගේ වරයා එළඹී අතර, එක නිලධාරිනියක් පද්ධතියකට දත්ත ඇතුළත් කළා ය.
ඉන්පසු ඇය එහි තිබූ කැමරාවක් හැරවූවා ය.
මෙම කටයුත්ත සඳහා මාහට මිනිත්තු හයක පමණ කාලයක් ගත විය.
මාගේ මිනිත්තු හයක ලියාපදිංචිය සඳහා මම පැය 5ක් ගත කර තිබිණි.
කාලය ඉතිරි කරන විසඳුමක් නැද්ද?
මෙම පැය පහක පමණ කාලය තුළ අපට හමු වූ ජනතාව මෙම සේවාවන් කාර්යක්ෂමව පවත්වාගෙන යාමට විවිධ යෝජනා ඉදිරිපත් කළ හ.
ඔවුන්ගෙන් බොහොමයක් පෙන්වා දුන් ගැටලුවක් වූයේ, නිසි මගපෙන්වීමක් ආයතනය තුළ නොමැති බව ය.
ආයතනය අවට හා එහි කාර්යාල අවට කිසිදු පැහැදිලි මගපෙන්වීම් හෝ උපදෙස් නොතිබූ අතර ඒවා බොහෝවිට තිබූයේ කාර්යාලය තුළ ය.
නමුත් පෝලිම් ආරම්භ වන කාර්යාලයෙන් පිටත එවැනි පැහැදිලි උපදෙස් නොමැති වීම සහ ඒවා මෙහෙයවීමේ කටයුතු සිදු කිරීමට නිලධාරියෙකු නොමැති වීම නිසා තමන් අපහසුතාවට පත්වන බවත් එය සිය කාලය නාස්ති කිරීමක් බවත් ජනතාව පෙන්වා දෙති.
මා පෙර සඳහන් කළ ආකාරයට අලුයම පටන් පෝලිමේ සිටින ජනතාවට එම අවස්ථාව හිමි නොවීම සම්බන්ධයෙන් ද එහි සිටි අය අදහස් පළ කළ හ.
"ගේට්ටුවෙන් අංක දෙන්නේ නැත්නම් පාන්දර ඉඳන් පෝලිමේ ඉඳලා වැඩක් නෑනේ," කාන්තාවක් පැවසුවා ය.
නමුත් දිනකට නිකුත් කරන්නේ අංක 50ක් පමණක් වන නිසා ප්‍රමාද වී පැමිණීමට ද නොහැකි බව ඇය පෙන්වා දුන්නා ය.
මෙම ක්‍රියාවලිය පද්ධතිගත කිරීමක් හරහා බොහෝ රාජ්‍ය ආයතනවල සිදු කරන ආකාරයට ඔන්ලයින් ක්‍රමයට වේලාවක් වෙන් කර ගැනීමෙන් කාලය ඉතිරි කර ගත හැකි බව තරුණ පිරිස් පෙන්වා දෙති.
ඔවුන් පෙන්වා දෙන්නේ, ජාතික හැඳුනුම්පත් අංකය හෝ එවැනි අනන්‍යතාවක් හරහා එලෙස වෙලාවක් වෙන් කර ගැනීම වඩාත් පහසු බව ය.
අප එහි ගිය දිනයේදී සේවා ලබාගත නොහැකිව ආපසු හැරී ගිය බවට මීට පෙර සඳහන් කළ කාන්තාවන් දෙදෙනා ඇතුළු බොහෝ දෙනෙකු මෙම ලියාපදිංචිය සඳහා පැමිණ තිබුණේ පෞද්ගලිකව නිවාඩු ලබාගෙන යි.
තවත් දිනකදී එක ආයතනයකින් සේවකයන් 15ක් පමණ එකවර මෙම ලියාපදිංචි කිරීමේ සේවාව ලබා ගැනීමට පැමිණ සිටි බව අප කාර්යාල සගයෝ පැවසූහ.
තව ද ඇතැම් පිරිස් පැරණි ක්‍රමවේදයේ අයැදුම්පත් පුරවාගෙන පැමිණ තිබූ අතර, ඔවුන්ට නව අයැදුම්පත්‍රයක් පුරවාගෙන එන ලෙස පවසා ආපසු හරවා යැවිණි.
මෙම ක්‍රමවේදය සම්බන්ධයෙන් ආයතනවලට නිසි මාර්ගෝපදේශනයක් ලබා දී ඒ සඳහා ආයතන හරහා වේලාව වෙන් කර දීමක් සිදු කරන්නේ නම් ජනතාව මේ තරම් අපහසුතාවට පත් නොවන බව අප සමග පෝලිමේ රැඳී සිටි පුද්ගලයෙකුගේ අදහස විය.
ඔහු පැවසුවේ, එලෙස පෞද්ගලික නිවාඩු ලබා ලියාපදිංචිය සඳහා පැමිණීමට සිදුවීම අසාධාරණ බවත්, එලෙස පැමිණීමෙන් බොහෝ පිරිසකගේ කාලය නාස්ති වන බවත් ය.
එමෙන් ම දිනකට සීමිත අංක සංඛ්‍යාවක් පමණක් නිකුත් කෙරෙන නිසා ඉහත කී පරිදි එක ආයතනයකින් විශාල පිරිසක් එකවර පැමිණීමෙන් එහි ඇති තදබදය තවත් වැඩි කරන නිසා ආයතනවලට වේලාවක් වෙන් කර දීම සුදුසු බව ඔහු පැවසුවේ ය.
ඒ පිළිබඳව සොයා බැලීමේදී එවැනි ක්‍රමවේදයක් කම්කරු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ පවතින බව අපට නිරීක්ෂණය වූ අතර, ඒ හරහා වෙලාවක් වෙන් කරගැනීමට අප උත්සහ කළ ද එය අකර්මණ්‍ය බවක් දිස් විය.
එම පද්ධතිය නැවත ක්‍රියාත්මක කරවීමෙන් සහ ඉන්ටර්නෙට් හරහා එවැනි වෙලාවක් වෙන් කර ගැනීමට අපහසු අයට දුරකතන ඇමතුමක් හරහා වේලාවක් වෙන් කර ගැනීමේ අවස්ථාව සැලසීමෙන් මෙම ක්‍රමවේදය කාර්යක්ෂම කර ගත හැකි අතර, එක් නිලධාරියෙකු වෙනුවට දත්ත ඇතුළත් කිරීම සඳහා කිහිප දෙනෙකු යෙදවීමෙන් වඩා හොඳ සේවාවක් ලබා ගත හැකි බව ද අප සමග අදහස් පළ කළ බොහෝ දෙනෙකුගේ අදහස විය.
ඩිජිටල්කරණය සම්බන්ධයෙන් වඩාත් අවධානයක් යොමුව ඇති කාලයක, මෙම දත්ත පද්ධතිගත කිරීම වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා මාර්ගගතව දත්ත ඇතුළත් කිරීමට ලියාපදිංචිවන්නන්ට අවස්ථාව ලබා දීම මෙම සියලු ගැටලුවලට ඇති පහසු ම විසඳුම යි.
දැනට බොහෝ රටවල් වීසා ලබාදීමට භාවිත කරන ක්‍රමවේදය වැනි ක්‍රමවේදයක් අනුගමනය කිරීමෙන් ලියාපදිංචි වන අයගේ ඡායාරුප ද ලබාගත හැකි නිසා එවැනි ක්‍රමවේදයක් අනුගමනය කර, අවශ්‍ය නම් සත්‍යාපනය කළ පිටපතක් ලබා ගැනීම සඳහා පමණක් කම්කරු කාර්යාලය වෙත පැමිණීමෙන් බොහෝ පිරිසකගේ කාලය ඉතිරි කර ගැනීමේ හැකියාව පවතියි.
එසේ කිරීමට අපහසු පුද්ගලයන් සඳහා දැනට පවතින ක්‍රමවේදය වඩාත් විධිමත්ව යොදාගැනීම සිදු කළ හැකි ය.
අලුත් ක්‍රමවේදයක් ඇරඹීමට හේතුව කුමක් ද?
පැරණි ක්‍රමවේදය යටතේ බොහෝ ආයතන සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි වී නොතිබීම සහ ඇතැම්විට ගෙවීම් කිරීමට යාමේදී සේවකයන් එහි ලියාපදිංචි වී නොසිටීම නිසා 2021 වසරේදී නව ක්‍රමවේදය යටතේ ලියාපදිංචිය ආරම්භ කළ බව බීබීසී සිංහල සිදුකළ විමසීමකදී කම්කරු දෙපාර්තමේන්තුවේ සේවක අර්ථසාධක අරමුදල් අංශයේ කම්කරු කොමසාරිස් දීප්ති සුමනසේන පැවසුවා ය.
"මේ තීරණය අවේ 2021 අවුරුද්දේ ගැසට් එකකින්. ගෙවීම් කරන්න යද්දී ආයතන සහ සේවකයන් රෙජිස්ටර් වෙලා නෑ වගේ ප්‍රශ්න නිසා තමයි මේ ක්‍රමවේදය ආරම්භ කරලා තියෙන්නේ. 2022 ආරම්භ කරන්න හිටියට ඒ කාලේ රටේ තිබුන ආර්ථික තත්වය නිසා අවශ්‍ය උපකරණ මිලට ගන්න බැරි වුනා. ඒ නිසා 2024 අන්තිම කාලයේ තමයි ක්‍රියාවට නංවන්න සිදුවුණේ," ඇය පැහැදිලි කළා ය.
මේ වන විට ඇතිව තිබෙන තදබදයට හේතුව සම්බන්ධයෙන් ද ඇය මෙලෙස අදහස් පල කළා ය.
"අලුත් සිස්ටම් එක තියෙන කම්පියුටර් එක ඔෆිස් එකකට එක බැගින් තියෙන්නේ. ලංකාවේ හැම ඔෆිස් එකකටම එක ගානේ දීලා ඉවර කරන 2024 දෙසැම්බර් වගේ වුණා. කොළඹ ඔෆිස් පහට වැඩිපුර පිරිසක් එන නිසා සහ එක මැෂින් එකකින් දත්ත ඇතුලත් කරන නිසා තමයි මේ ප්රශ්නය ඇතිවෙලා තියෙන්නේ. අපි තව කම්පියුටර් ගන්න දැනට ප්‍රසම්පාදන කටයුතු කරලා තියෙනවා."
එහි දී අප විමසා සිටියේ මෙම සේවය අන්තර්ජාලය හරහා සිදුකරගැනීමට ක්‍රමවේදයක් ආරම්භ කරන්නේ ද යන්නයි.
"දැනට අපි E-Service එකක් පටන් ගන්න IT එකට කියලා තියෙනවා. එකට තව මාස දෙකක්වත් යයි කියලා තමයි ඒ අය කියන්නේ," ඇය පවසයි.
"ඔන්ලයින් වෙලාවක් වෙන් කරගන්න එක වෙබ්සයිට් එකට දාන්න කියලා මම දැනට IT එකට දැනුම් දීලා තියෙනවා."
දැනට පවතින තදබදය නිසා කම්කරු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් හැර වෙනත් දැනුවත් කිරීම් සිදු කර නැතැයි ඇය පැවසුවා ය.
"මේ වෙලාවේ අපි මේ ගැන දැනුවත් කළොත් අපට දරාගන්න බැරි සෙනගක් එනවා. දැනටත් සමහර අය ඇවිත් මටත් බැනලා ගිය අවස්ථා තියෙනවා. ඉදිරියේදී අන්තර්ජාලය හරහා ලියාපදිංචිය වගේ දේවල් ආරම්භ කළා ම අපි ප්‍රසිද්ධ දැන්වීම් පල කරනවා," කොමසාරිස්වරිය පැවසුවා ය.
"විශාල පිරිසක් ඉන්න ආයතනවලට විතරක් දැනට දැනුවත් කිරීම් කරලා තියෙනවා."
ඇය පෙන්වා දුන්නේ, වත්මන් ක්‍රමවේදය බී කාඩ්පත් ක්‍රියාවලිය වඩා කාර්යක්ෂම කරන බවයි.
"ඇත්තටම මෙතැනදී එක්කෙනෙක්ට ජිවිත කාලයට ම එක වතාව යි මේ ලියාපදිංචිය කර ගන්න අවශ්‍ය වෙන්නේ. එතනින් පස්සේ ඔක්කොම මේ සිස්ටම් එකට එනවා. දැනට හැම ඔෆිස් එකක ම වගේ කාර්ය මණ්ඩලයේ දහ දෙනෙකුගේවත් අඩුවක් තියෙනවා. ඒ ප්‍රශ්න සහ ප්‍රසම්පාදනවලට කාලය ගත වෙන වගේ විවිධ ප්‍රශ්න මැද්දේ තමයි අපි මේක දැනට කරගෙන යන්නේ."
"තව මාස කිහිපයකින් මේ තියෙන තත්ත්වයට වඩා හොඳ විදිහට මේ ක්‍රියාවලිය සිදුවේවි."
සේවක අර්ථ සාධක අරමුදල වැදගත් ඇයි?
සේවක අර්ථ සාධක අරමුදල 1958 අංක 15 දරන පනත යටතේ පිහිටුවන ලද අතර, එය දැනට ශ්‍රී ලංකාවේ පවතින විශාලතම සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය වේ.
පනතට අනුව, සේවකයාගේ මාසික මුළු ඉපයීම්වලින් අවම වශයෙන් 8%ක දායකත්වයක් සේවකයා විසින් ද අවම වශයෙන් 12%ක දායකත්වයක් සේවායෝජකයා විසින් ද දායක මුදල් වශයෙන් ගෙවිය යුතු ය.
ඒ අනුව, සේවකයාගේ සේවක අර්ථ සාධක දායකත්ව මුදල්, සුරක්ෂිත ආයෝජනයන් තුළ ආයෝජනය කෙරේ.
සාමාජිකයාහට පූර්ව විශ්‍රාම ප්රතිලාභ ලෙස, නිවාස ණයක් ලබාගැනීම සඳහා ණය ඇපකරයක් ලබා ගැනීමේ අවස්ථාව සහ අරමුදලෙන් 30% ක මුදලක් නිවාස ඉදිකිරීම් හෝ සෞඛ්‍යමය හේතු සඳහා ලබා ගැනීමේ අවස්ථාව, සේවක අර්ථ සාධක අරමුදල මගින් සලසා ඇත.
(bbc/sinhala)