වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය මුලිනුපුටා දැමීම හා සම්බන්ධ ILO 190 සම්මුතිය

වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය මුලිනුපුටා දැමීම හා සම්බන්ධ ILO 190 සම්මුතිය
 
2019 ජුනි 21දා ජිනීවාහිදී, ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ 108වන සැසියේදී සම්මත කරගන්නා ලද, වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය මුලිනුපුටා දැමීම හා සම්බන්ධ සම්මුතිය
ජාත්‍යන්තර කම්කරු සම්මේලනය - 190 සම්මුතිය

206 නිර්දේශය
වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය මුලිනුපුටා දැමීම හා සම්බන්ධ සම්මුතිය ජාත්‍යන්තර කම්කරු කාර්යාලයේ පාලන සභාව විසින් ජිනීවාහිදී කැඳවනු ලැබ, 2019 ජුනි 10 දින 108වන (සියවස්) සැසියේදී, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මහ සමුළුව, ජාති, ආගම්, ලිංග භේදයෙන් තොරව, නිදහස හා ගරුත්වයත්, ආර්ථික සුරක්ෂාව සහ සම අවස්ථාත් සහිතව, භෞතික යහපැවැත්ම සහ තම අධ්‍යාත්මික සංවර්ධනය පිණිස කටයුතු කිරීමට සියලු මානවයන්ට අයිතිය ඇති බව ෆිලඩෙල්පියා ප්‍රකාශනය මගින් තහවුරු කරන ලද බව සිහිපත් කරමින් සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මූලික සම්මුතිවල අදාළත්වය නැවත තහවුරු කරමින් සහ විශ්ව මානව හිමිකම් ප්‍රකාශය, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය, ආර්ථික, සමාජ සහ සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය, සෑම ආකාරයක ම වාර්ගික වෙනස්කම් පිටුදැකීමේ ජාත්‍යන්තර සම්මුතිය, කාන්තාවන්ට එරෙහිව සෑම ආකාරයක ම වෙනස්කම් පිටුදැකීමේ සම්මුතිය, සියලු සංක්‍රමණික සේවකයන්ගේ සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර සම්මුතිය සහ ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය ඇතුළු වෙනත් අදාළ ජාත්‍යන්තර ලේඛන සිහිපත් කරමින් සහ
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයෙන් සහ හිංසනය ඇතුළු ප්‍රචණ්ඩත්වයෙන් සහ හිංසනයෙන් තොර වැඩ ලෝකයකට සැමට තිබෙන අයිතිය හඳුනාගනිමින් සහ
වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය මානව හිමිකම් උල්ලංඝනයක් සහ අපහරණයක් බව සහ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය සමාන අවස්ථාවන්ට තර්ජනයක් බවත්, එය පිළිගත නොහැකි බවත්, සුනිසි රැකියාවලට නොගැලපෙන බවත් හඳුනාගනිමින් සහ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය වැළැක්වීම සඳහා මානවයාගේ අන්‍යෝන්‍ය ගරුත්වය මත පදනම් වූ වැඩ සංස්කෘතියක වැදගත්කම හඳුනාගනිමින් සහ එවැනි චර්යාවන් සහ භාවිතාවන් වැළැක්වීමට පහසුකම් සැපයීම පිණිස ප්‍රචණ්ඩත්වයට හා හිංසනයට කිසිදු අවස්ථාවක් නැති පොදු තත්වයක් ප්‍රවර්ධනය කිරීමෙහිදී සාමාජිකයන්ට වැදගත් වගකීමක් ඇති බව සහ වැඩ ලෝකයේ සියලු කාරකයන් ප්‍රචණ්ඩත්වය සහ හිංසනය සම්බන්ධයෙන් කටයුතු කිරීම සහ වැළැක්වීම අවශ්‍ය බව සිහිපත් කරමින් සහ වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය පුද්ගලයකුගේ මානසික, ශාරීරික සහ ලිංගික සෞඛ්‍යයටත්, ගරුත්වයටත්, පවුල් හා සමාජ පරිසරයටත් බලපාන බව පිළිගනිමින් සහ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය හේතුවෙන් පොදු හා පෞද්ගලික සේවාවල ගුණාත්මකභාවයට බලපෑමක් සිදුවන බව සහ එමගින් විශේෂයෙන් ම කාන්තාවන් ඇතුළු පුද්ගලයන් ශ්‍රම වෙළඳපොළ වෙත පිවිසීටම, එහි රැඳීසිටීමට සහ ඉදිරියට යාමට බලපෑමක් සිදුවන බව හඳුනාගනිමින් සහ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය තිරසර ව්‍යවසායන් ප්‍රවර්ධනය කිරීම කෙරෙහි පරස්පර විරෝධී බව සහ වැඩ සංවිධානයට, සේවා ස්ථාන සම්බන්ධතාවලට, සේවක කටයුතුවලට, ව්‍යවසාය කීර්තියට සහ ඵලදායිතාවට නිශේධාත්මක ලෙස බලපාන බව සටහන් කරමින් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය අසමානුපාතිකව කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට බලපාන බව පිළිගනිමින් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවී ඒකාකෘතිකරණය, බහුවිධ සහ එකිනෙක විනිවිද යන වෙනස්කම් ස්වරූප සහ අසමාන ස්ත්‍රී පුරුෂ බල සම්බන්ධතා වැනි යටිතලයේ අවදානම් සාධක ග්‍රහණය කරගනිමින්, වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය අවසන් කිරීමෙහිලා අත්‍යවශ්‍ය සියල්ල ඇතුළත්, ඒකාබද්ධ සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවයට ප්‍රතිචාරාත්මක ප්‍රවේශයක් පිළිගනිමින් සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය රැකියා, ඵලදායිතාව, සෞඛ්‍යය සහ ආරක්ෂිතබව කෙරෙහි බලපෑ හැකි බවත්, වෙනත් ක්‍රියාමාර්ගවල කොටසක් ලෙස, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ ප්‍රතිඵල හඳුනාගැනීමට, ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට සහ ප්‍රතිචාර දැක්වීමට උපකාර වීමේ හැකියාව රජයන්ට, සේවායෝජකයන්ගේ සහ සේවකයන්ගේ සංවිධානවලට සහ ශ්‍රම වෙළඳපොළ ආයතනවලට තිබෙන බව සටහන් කරමින් සහ සැසියේ පස්වෙනි කාර්යය ලෙස වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය සම්බන්ධ ඇතැම් යෝජනා සම්මත කරගැනීම පිළිබඳ තීරණය කර සහ මෙම යෝජනා ජාත්‍යන්තර සම්මුතියක ස්වරූපය ගන්නා බව නිර්ණය කරමින්
මෙම 2019 ජුනි 21 දින පහත සඳහන් නිර්දේශ සම්මත කරගනියි. එය 2019 ප්‍රචණ්ඩත්වය හා හිංසනය සම්බන්ධ සම්මුතිය ලෙස දැක්වේ.

1. අර්ථ නිරූපණ

1 වගන්තිය

1. සම්මුතියේ අරමුණු උදෙසා;
(අ) වැඩ ලෝකයේ ‘ප්‍රචණ්ඩත්වය සහ හිංසනය’ යන යෙදුමෙන් අදහස් වන්නේ පිළිගත නොහැකි චර්යාවන් සහ භාවිතාවන් පරාසයක් හෝ තර්ජනයකි. එය වරක් සිදු විය හැකි ය. නැතිනම් නැවත නැවත සිදු විය හැකි ය. එමගින් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය ඇතුළු භෞතික, මානසික, ලිංගික හෝ ආර්ථික හානියක් හෝ ඉලක්ක කළ හැකි ය. නැතිනම් චර්යාවන්ගේ සහ භාවිතාවන්ගේ ප්‍රතිඵල ලෙස එය ඇති විය හැකි ය. එසේත් නැතහොත් ඇති වීමට ඉඩ තිබේ.
(ආ) ‘ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය’ යනුවෙන් අදහස් වන්නේ, ලිංගිකභාවය හෝ ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිසා පුද්ගලයන් වෙත යොමු වන හිංසනයයි. එසේ නැතහොත්, එමගින් කිසියම් ලිංගිකභාවයක් හෝ ස්ත්‍රී පුරුෂ සමාජභාවයක් හෝ විශේෂයෙන් අසමානුපාතිකව පීඩාවට පත් විය හැකි ය. එයට ලිංගික හිංසනය ද ඇතුළත් වේ.

2. මෙම වගන්තියේ 1 ඡේදයෙහි (අ) සහ (ආ) අනුඡේදයන් සම්බන්ධයෙන් පූර්ව විනිශ්චයකින් තොරව, ජාතික නීති සහ රෙගුලාසි අර්ථ නිරූපණ විසින් තනි සංකල්පයක් හෝ වෙනස් සංකල්ප සපයනු ඇත.

2. පරාසය

2 වගන්තිය

1. ජාතික නීති සහ භාවිතාවන් විසින් අර්ථ නිරූපණය කර තිබෙන පරිදි සේවකයන් ඇතුළු වැඩ ලෝකයේ සේවකයන් සහ වෙනත් පුද්ගලයන්, එසේම, කොන්ත්‍රාත් තත්වය කුමක් වුවත්, පුහුණු වෙමින් සිටින ඉන්ටර්න්වරුන් සහ ආධුනිකයන් ඇතුළු පුද්ගලයන්, සේවය අවසන් කර සිටින සේවකයන්, ස්වේච්ඡා සේවකයන්, රැකියා සොයන්නන් සහ රැකියාවලට අයදුම් කළ පුද්ගලයන් ද, බලය පාවිච්චි කරන පුද්ගලයන් ද සේවායෝජකයන්ගේ කාර්යයන් සහ වගකීම් ද මෙම සම්මුතිය විසින් ආරක්ෂා කරනු ලැබේ.
2. පෞද්ගලික හෝ රාජ්‍ය අංශවල විධිමත් හා අවිධිමත් ආර්ථිකයේ සහ නාගරික හා ග්‍රාමීය සියලු ක්ෂේත්‍රවලට මෙම සම්මුතිය අදාළ වේ.

3 වගන්තිය

වැඩ කිරීම තුළින් පැන නගින හෝ වැඩ කිරීම අතරතුර වැඩ ලෝකයේ සිදු වන ප්‍රචණ්ඩත්වය සහ හිංසනය සම්බන්ධයෙන් මෙම සම්මුතිය යොදාගනු ලැබේ.
(අ) සේවා ස්ථාන ලෙස සැලකෙන පොදු හා පෞද්ගලික ස්ථාන ඇතුළු සේවා ස්ථානයේදී,
(ආ) සේවකයාට ගෙවීම් කරන ස්ථානවලදී, වැඩ අතරතුර විවේක ගන්නා හෝ ආහාර ගන්නා ස්ථානවලදී හෝ සනීපාරක්ෂක, සේදීම් සහ ඇඳුම් මාරුකිරීම් සිදුකරන ස්ථානවලදී,
(ඇ) සේවය හා සම්බන්ධ ගමන් බිමන්වලදී, චාරිකාවලදී, පුහුණුවලදී, අවස්ථාවලදී හෝ සමාජ කටයුතුවලදී,
(ඉ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය මගින් ක්‍රියාත්මක වන සන්නිවේදනය ඇතුළු වැඩ හා සම්බන්ධ සන්නිවේදනයේදී,
(ඊ) සේව‍ යෝජකයා විසින් සම්පාදනය කරන ලද නවාතැනකදී සහ
(උ) සේවය සඳහා යාම හා සේවයේ සිට ආපසු ඒම කරන අතරතුරදී මෙය අදාළ වේ.

3. මූලික මූලධර්ම

4 වගන්තිය

1. මෙම සම්මුතිය අපරානුමත කරන සෑම සාමාජිකයෙක් ම වැඩ ලෝකයේ සෑම කෙනෙකුට ම ප්‍රචණ්ඩත්වයෙන් සහ හිංසනයෙන් තොරව කටයුතු කිරීමට තිබෙන අයිතියට ගරු කරයි; ප්‍රවර්ධනය කරයි; අවබෝධ කරගනියි.
2. සෑම සාමාජිකයෙක් ම ජාතික නීති සහ තත්වයන් අනුව, සේවායෝජකයන්ගේ සහ සේවකයන්ගේ සංවිධානවල නියෝජිතයන්ගේ උපදෙස් විමසා, වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය නිවාරණය හා මුලිනුපුටා දැමීම පිණිස, ඇතුළත් කරගන්නා, ඒකාබද්ධ සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවී ප්‍රවේශයක් සම්මත කරයි. එවැනි ප්‍රවේශයක් විසින් තුන්වන පාර්ශ්වයන් ද ඇතුළත් වන ප්‍රචණ්ඩත්වය සැලකිල්ලට ගනියි. අදාළ තැන්වලදී එයට පහත දැක්වෙන කරුණු ඇතුළත් වේ.
(අ) ප්‍රචණ්ඩත්වය සහ හිංසනය නීතියෙන් තහනම් කිරීම;
(ආ) අදාළ නීති විසින් ප්‍රචණ්ඩත්වය සහ හිංසනය පිළිබඳ අවශ්‍ය දේ කරන බව තහවුරු කිරීම;
(ඇ) ක්‍රියාත්මක කිරීමේ සහ අධීක්ෂණය කිරීමේ යාන්ත්‍රණයන් පිහිටුවීම හා ශක්තිමත් කිරීම;
(ඉ) වින්දිතයන්ට ප්‍රතිකර්ම හා සහාය සඳහා ප්‍රවේශය තහවුරු කිරීම;
(ඊ) සම්බාධක පැනවීම;
(උ) යෝග්‍ය පරිදි සහ පහසුවෙන් ලබාගත හැකි පරිදි මෙවලම්, මාර්ගෝපදේශ, අධ්‍යාපනය සහ පුහුණුව සහ දැනුවත් කිරීම් සංවර්ධනය කිරීම;
(උ) ප්‍රචණ්ඩත්වය සහ හිංසනය සම්බන්ධ සිදුවීම් විමර්ශනය හා පරීක්ෂාව සඳහා ඵලදායී මාර්ග තහවුරු කිරීම. එයට ශ්‍රම පරීක්ෂණ ඒකක හෝ වෙනත් බලයලත් ව්‍යූහයන් අයත් වේ.
3. මෙම වගන්තියේ 2 ඡේදයේ දැක්වෙන ප්‍රවේශය සම්මත කිරීමෙන් හා ක්‍රියාත්මක කිරීමෙන්, සෑම සාමාජිකයකු විසින් ම රජයන්ගේ, සේවායෝජකයන්ගේ සහ සේවකයන්ගේත්, ඔවුන්ගේ අදාළ සංවිධානවලත් වෙනස් හා අනුපූරක භූමිකාවන් හඳුනාගනු ලැබේ. එහිදී අදාළ වගකීම්වල වෙනස් වන ස්වභාවය සහ ප්‍රමාණය ද සැලකිල්ලට ගනු ලැබේ.

5 වගන්තිය

වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය වැළැක්වීමේ සහ අහෝසි කිරීමේ දැක්මකින් යුතුව, සෑම සාමාජිකයෙකු ම විසින් සේවයේ මූලික මූලධර්මවලට සහ හිමිකම්වලට ගරු කරනු, ප්‍රවර්ධනය කරනු සහ අවබෝධ කරගනු ලැබේ. ඒවා නම්, සංවිධානය සඳහා නිදහස සහ කේවල් කිරීමේ සාමූහික අයිතිය පිළිගැනීම, සෑම ආකාරයක ම බලහත්කාර සහ අනිවාර්ය ශ්‍රමය අවසන් කිරීම, ළමා ශ්‍රමය කාර්යක්ෂම ලෙස අහෝසි කිරීම සහ රැකියා සහ වෘත්තීන් සම්බන්ධයෙන් වෙනස්කම් කිරීම් අහෝසි කිරීම ද, සුනිසි රැකියා ප්‍රවර්ධනය කිරීම ද වේ.

6 වගන්තිය

වෘත්තියේදී හා රැකියාවේදී කාන්තා කම්කරුවන් මෙන් ම එක් හෝ එකකට වැඩි අවදානම් කණ්ඩායම්වලට අයත් වන කම්කරුවන් හෝ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය හේතුවෙන් අසමානුපාතිකව පීඩාවට පත් වීමේ අවදානම් තත්වයන්ට මුහුණ දෙන කණ්ඩායම් හෝ වෙනත් පුද්ගලයන් වෙනුවෙන් සමානාත්මතාව සහ වෙනස්කම් නොකිරීම තහවුරු කිරීම සඳහා සෑම සාමාජිකයකු විසින් ම නීති, රෙගුලාසි සහ ප්‍රතිපත්ති සම්මත කරගනු ඇත.

4. ආරක්ෂාව හා නිවාරණය

7 වගන්තිය

පූර්ව විනිශ්චයන්ගෙන් තොරව සහ 1 වගන්තියට අනුකූලව, සෑම සාමාජිකයෙක් ම ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය ඇතුළු වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය අර්ථ නිරූපණය හා තහනම් කිරීමට නීති හා රෙගුලාසි සම්මත කරනු ඇත.

8 වගන්තිය

වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය වැළැක්වීම සඳහා සෑම සාමාජිකයෙක් ම යෝග්‍ය ක්‍රියාමාර්ග ගනු ඇත. එයට පහත දැක්වෙන පියවර ඇතුළත් වෙ;
(අ) අවිධිමත් ආර්ථිකයේ කම්කරුවන් සම්බන්ධයෙන් පොදු අධිකාරීන්ගේ භූමිකාවේ වැදගත්කම හඳුනාගැනීම;
(ආ) උනන්දුව දක්වන සේවායෝජකයන්ගේ සහ සේවකයන්ගේ සංවිධානවල උපදෙස් ලබාගැනීමෙන් හා වෙනත් මාර්ගවලින්, සේවකයන් සහ වෙනත් අදාළ පුද්ගලයන් ප්‍රචණ්ඩත්වයට සහ හිංසනයට වැඩිපුර නිරාවරණය වන වෘත්තීය අංශ සහ සේවා වින්‍යාසයන් හඳුනාගැනීම;
(ඇ) එවැනි පුද්ගලයන් ආරක්ෂා කිරීමට ඵලදායී පියවර ගැනීම.

9 වගන්තිය

සේවායෝජකයන් තම පාලනයේ මට්ටම අනුව, වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය සම්බන්ධයෙන් යෝග්‍ය පියවර ගැනීම අවශ්‍ය දෙයක් බවට පත් කිරීම සඳහා සෑම සාමාජිකයෙක් ම නීති සහ රෙගුලාසි සම්මත කරනු ඇත. එයට ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය ද, විශේෂයෙන් ම, මේ දක්වා සාධාරණ ලෙස ප්‍රායෝගික වන්නා වූ පහත දැක්වෙන පියවර ද ඇතුළත් වේ.
(අ) කම්කරුවන්ගේ සහ ඔවුන්ගේ නියෝජිතයන්ගේ උපදෙස් මත, ප්‍රචණ්ඩත්වය සහ හිංසනය සම්බන්ධයෙන් සේවා ස්ථාන ප්‍රතිපත්තියක් සම්මත කිරීම හා ක්‍රියාත්මක කිරීම;
(ආ) වෘත්තීය ආරක්ෂාව හා සෞඛ්‍යය කළමනාකරණයේදී ප්‍රචණ්ඩත්වය සහ හිංසනය සහ ඒ හා බැඳුණු මනෝ සමාජයීය අවදානම් ගැන වගවීම;
(ඇ) සේවකයන්ගේ සහභාගිත්වයෙන් සහ නියෝජනයෙන් ප්‍රචණ්ඩත්වය සහ හිංසනය සම්බන්ධ උපද්‍රව හඳුනාගැනීම, අවදානම් තක්සේරු කිරීම සහ ඒවා වැළැක්වීම හා පාලනය සඳහා පියවර ගැනීම; සහ
(ඉ) හඳුනාගත් උපද්‍රව සහ ප්‍රචණ්ත්වය සහ හිංසනය පිළිබඳ උපද්‍රව හා අවදානම් සහ ඒ ආශ්‍රිත නිවාරණ සහ ආරක්ෂණ ක්‍රියාමාර්ග පිළිබඳ සේවකයන්ට සහ වෙනත් අදාළ පුද්ගලයන්ට තොරතුරු සහ පුහුණුව යෝග්‍ය, පහසුවෙන් ලබාගත හැකි ආකෘතිවලින් ලබාදීම. එයට මෙම වගන්තියේ (අ) අනු ඡේදයේ දැක්වෙන ප්‍රතිපත්තියට අනුව සේවකයන්ගේ සහ අදාළ වෙනත් ප්‍රද්ගලයන්ගේ හිමිකම් සහ වගකීම් ද අයත් වේ.

5. බලාත්මක කිරීම සහ ප්‍රතිකර්ම

10 වගන්තිය

සෑම සාමාජිකයකු ම විසින් පහත දැක්වෙන කාරණා සම්බන්ධයෙන් යෝග්‍ය පියවර ගත යුතු ය:
(අ) වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය සම්බන්ධයෙන් ජාතික නීති සහ රෙගුලාසි අධීක්ෂණය සහ බලාත්මක කිරීම;
(ආ) වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය සම්බන්ධ සිද්ධිවලදී යෝග්‍ය හා ඵලදායී ප්‍රතිකර්ම වෙත, ආරක්ෂිත, සාධාරණ සහ ඵලදායී වාර්තාකරණය වෙත සහ ආරාවුල් නිරාකරණය කිරීමේ යාන්ත්‍රණයන් සහ පටිපාටි වෙත පහසු ප්‍රවේශය සහතික කිරීම; ඒ අතරට පහත කාරණා ඇතුළත් වේ.
i. සේවා ස්ථාන මට්ටමේ පැමණිලි සහ විමර්ශන පටිපාටි මෙන් ම යෝග්‍ය පරිදි ආරාවුල් නිරාකරණය කිරීමේ යාන්ත්‍රණයන්;
ii. සේවා ස්ථානයට බැහැරින් ආරාවුල් නිරාකරණය කිරීමේ යාන්ත්‍රණයන්;
iii. උසාවි හෝ විනිශ්චය සභා;
iv. පැමිණිලිකරුවන්ට, වින්දිතයන්ට, සාක්ෂිකරුවන්ට සහ අකටයුතු නාදකයින්ට එරෙහිව ඔවුන් වින්දිතයන් බවට පත්කිරීමට හෝ පළිගැනීමට හෝ එරෙහි ආරක්ෂාව; සහ
v. පැමිණිලිකරුවන් සහ වින්දිතයන් වෙනුවෙන් නීතිමය, සමාජමය, වෛද්‍ය සහ පරිපාලනමය සහයෝගී ක්‍රියාමාර්ග
(ඇ) සම්බන්ධ වූ පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය හැකි තරම් දුරට සහ යෝග්‍ය පරිදි ආරක්ෂා කිරීම සහ පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය අපහරණය නොකිරීමේ අවශ්‍යතාව තහවුරු කිරීම;
(ඉ) වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය සම්බන්ධ සිද්ධිවලදී යෝග්‍ය පරිදි සම්බාධක පැණවීම;
(ඊ) වැඩ ලෝකයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයේ සහ හිංසනයේ වින්දිතයන්ට ඵලදායී ලෙස පැමිණිලි කිරීමේ සහ ආරාවුල් නිරාකරණය කිරීමේ යාන්ත්‍රණයන්, සහයෝගය, සේවා සහ ප්‍රතිකර්ම සැපයීම;
(උ) ගෘහස්ථ හිංසනයේ ප්‍රතිඵල හඳුනාගැනීම සහ මෙතෙක් සාධාරණ ලෙස ප්‍රායෝගික වන පරිදි වැඩ ලෝකයේ එහි බලපෑම අවම කිරීම;
(ඌ) ප්‍රචණ්ඩත්වය සහ හිංසනය හේතුවෙන් ජීවිතයට, සෞඛ්‍යයට හා ආරක්ෂාවට අනිවාර්ය බරපතල අනතුරක් ඇති කරන බවට සාධාරණ හේතු සහිතව පෙන්විය හැකි සේවා තත්වයන්ගෙන් ඉවත් වීමට සේවකයන්ට තිබෙන අයිතිය තහවුරු කිරීම. එහිදී පළිගැනීම්වලට හෝ වෙනත් අයෝග්‍ය ප්‍රතිඵලවලට මුහුණ නොදී සිටිය හැකි විය යුතු ය. ඒ පිළිබඳ කළමනාකරණයට දැනුම් දීමේ වගකීමක් සේවකයාට තිබේ;
(එ) වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ශ්‍රම පරීක්ෂණ ඒකක සහ වෙනත් අදාළ අධිකාරීන් යෝග්‍ය පරිදි බලසතු කර තිබෙන බව තහවුරු කිරීම. වහා ක්‍රියාත්මක කළ හැකි බලයක් සහිතව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සහ ජීවිතයට, සෞඛ්‍යයට හා ආරක්ෂාවට අනිවාර්ය බරපතල අනතුරක් ඇති වැඩ නැවැත්වීමට අණ නිකුත් කිරීම ද එයට ඇතුළත් වේ. එය නීතියෙන් සම්පාදිත අධිකරණ හෝ පරිපාලන අධිකාරියකට අභියාචනා කිරීමේ අයිතියට යටත් ය;

6. මාර්ගෝපදේශය, පුහුණුව සහ දැනුවත්භාවය නැංවීම

11 වගන්තිය

සෑම සාමාජිකයෙකු ම, සේවායෝජකයන්ගේ හා සේවකයන්ගේ සංවිධානවල උපදෙස් විමසමින් පහත දැක්වෙන කරුණු සහතික කිරීමට ක්‍රියා කළ යුතු ය;
(අ) වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය සම්බන්ධයෙන් කටයුතු කිරීමට අදාළ ජාතික ප්‍රතිපත්ති සම්පාදනය. එයට වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍යය, සමානාත්මතාව හා වෙනස්කම් නොකිරීම සහ සංක්‍රමණය අයත් වේ;
(ආ) වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය හා හිංසනය පිළිබඳ මාර්ගෝපදේශනය, සම්පත්, පුහුණුව හෝ වෙනත් මෙවලම් පහසුවෙන් ලබාගත හැකි ස්වරූපවලින්, යෝග්‍ය පරිදි සේවායෝජකයන් හා සේවකයන්, ඔවුන්ගේ සංවිධාන සහ අදාළ වෙනත් අධිකාරීන් වෙත ලබා දිය යුතු ය. එයට ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය හා හිංසනය ද ඇතුළත් විය යුතු ය;
(ඇ) දැනුවත්භාවය නැංවීමේ ක්‍රියාමාලා ඇතුළු මුලපිරුම් ක්‍රියාත්මක කළ යුතු ය.

7. ක්‍රම සහ භාවිතය

12 වගන්තිය

ජාතික නීති සහ රෙගුලාසි විසින් මෙන් ම සාමූහික ගිවිසුම් සහ වෙනත් ජාතික භාවිතාවන්ට අනුකූල ක්‍රියාමාර්ග මගින් ද මෙම සම්මුතියේ විධිවිධාන ක්‍රියාත්මක කරනු ලැබේ. පවත්නා වෘත්තීය ආරක්ෂාව දීර්ඝ කිරීම හෝ ඇතුළත් කිරීම සහ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය ආවරණය කිරීමේ සෞඛ්‍ය ක්‍රියාමාර්ග ද, අවශ්‍ය අවස්ථාවන්හිදී නිශ්චිත ක්‍රියාමාර්ග සංවර්ධනය කිරීම ද එයට ඇතුළත් වේ.

8. අවසන් විධිවිධාන

13 වගන්තිය

මෙම සම්මුතිය විධිමත් අන්දමින් අපරානුමත කිරීම ලියාපදිංචි කිරීම සඳහා ජාත්‍යන්තර කම්කරු කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට සන්නිවේදනය කරනු ලැබේ.
14 වගන්තිය
1. මෙම සම්මුතිය සමග බැඳෙන්නේ, තමන් විසින් සම්මුතිය අපරානුමත කර ඇති බව ජාත්‍යන්තර කම්කරු කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත සන්නිවේදනය කර ලියාපදිංචි කරන ලද ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සාමාජිකයන් පමණි.
2. සාමාජිකයන් දෙදෙනෙකු විසින් එය අපරානුමත කර ඇති බවට අධ්‍යක්ෂ ජනරාල්වරයා හමුවේ ලියාපදිංචි වී මාස 12කින් එය බලාත්මක වේ.
3. ඉන් පසුව, අපරානුමත කිරීම ලියාපදිංචි කර මාස 12කින් පසු ඕනෑම සාමාජික රටක් වෙනුවෙන් මෙම සම්මුතිය බලාත්මක වේ.

15 වගන්තිය

1. සම්මුතිය අපරානුමත කර ඇති සාමාජිකයෙකු විසින් සම්මුතිය මුලින් ම බලාත්මක කළ දින සිට වසර දහයකින් එය ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කළ හැකි ය. ඒ සඳහා සම්මත කරගනු ලබන පනත ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලියාපදිංචිය සඳහා සන්නිවේදනය කළ යුතු ය.එවැනි ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කිරීමක් එය ලියා පදිංචි කළ දින සිට වසරක කාලයක් යන තුරු ක්‍රියාත්මක වන්නේ නැත.
2. මෙම සම්මුතිය අපරානුමත කර තිබෙන හා ඉහත ඡේදයේ සඳහන් කර තිබෙන වසර 10ක කාලය අවසන් වීමට පෙර එය ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කිරීමේ ලා මෙම වගන්තියෙන් ලබා දී තිබෙන අයිතිය භාවිතා නොකරන සෑම සාමාජිකයෙකු ම තවත් වසර දහයක කාලය සඳහා එය සමග බැඳී සිටියි. ඉන් අනතුරුව, සෑම දස වසරක ම කාලයකට පසුව එළඹෙන පළමු වසර තුළදී මෙම වගන්තියේ සඳහන් කර ඇති ආකාරයට එය ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කළ හැකි ය.

16 වගන්තිය

1. සංවිධානයේ සාමාජිකයන් විසින් සන්නිවේදනය කර තිබෙන සියලු අපරානුමත කිරීම් හා ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කිරීම් පිළිබඳ ජාත්‍යන්තර කම්කරු කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සියලු සාමාජිකයන් වෙත දැනුම් දෙනු ඇත.
2. දෙවන අපරානුමත කිරීම ලියාපදිංචි කිරීම පිළිබඳ සන්නිවේදනය කර ඇති බව සංවිධානයේ සාමාජිකයන්ට දැනුම් දීමේදී, සම්මුතිය බලාත්මක වන දිනය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සංවිධානයේ සාමාජිකයන්ගේ අවධානයට ලක්කරනු ඇත.

17 වගන්තිය

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 102 වගන්තිය ප්‍රකාරව, ඉහත වගන්තියට අනුකූලව ලියාපදිංචි කර තිබෙන සියලු අපරානුමත කිරීම් සහ ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කිරීම් පිළිබඳව ජාත්‍යන්තර කම්කරු කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා වෙත සන්නිවේදනය කරනු ඇත.

18 වගන්තිය

අවශ්‍ය යයි සිතනු ලබන අවස්ථාවලදී, ජාත්‍යන්තර කම්කරු කාර්යාලයේ පාලන ව්‍යූහය විසින් මෙම සම්මුතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ වාර්තාවක් මහ සමුළුව වෙත ඉදිරිපත් කරනු ලැබේ. එය සමස්තයක් ලෙස හෝ කොටස් වශයෙන් හෝ සංශෝධනය කිරීමේ ප්‍රශ්නය න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමේ යෝග්‍යතාව අධ්‍යයනය කරනු ලැබේ.

19 වගන්තිය

1. මෙම සම්මුතිය සංශෝධනය කරමින් අලුත් සම්මුතියක් සම්මත කරගන්නා විට, නව සම්මුතිය විසින් පහත දැක්වෙන කරුණු සම්පාදනය කළ යුතු ය.
(අ) නව සංශෝධිත සම්මුතිය සාමාජිකයකු විසින් අපරානුමත කිරීම සමග මෙම සම්මුතිය වහා නීතියෙන් ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කිරීම ද සිදු වේ. එහිදී නව සංශෝධිත සම්මුතිය බලාත්මක වීම සිදු වේ ද, එසේ සිදු වන්නේ කවදා ද යන කරුණ සම්බන්ධයෙන් ඉහත 15 වගන්තිය අදාළ වන්නේ නැත.
(ආ) නව සංශෝධිත සම්මුතිය බලාත්මක වීම සිදු වන දිනයේ සිට මෙම සම්මුතිය අපරානුමත කිරීම සඳහා සාමාජිකයන්ට විවෘත වීම අවසන් වේ.
2. කෙසේ වෙතත්, මෙම සම්මුතිය සහ එහි අන්තර්ගතය එය අපරානුමත කර තිබෙන, එහෙත් සංශෝධිත සම්මුතිය අපරානුමත කර නැති සාමාජිකයන් වෙනුවෙන් එහි සත්‍ය ස්වරූපයෙන් බලාත්මකව පවතියි.

20 වගන්තිය

මෙම සම්මුතියේ ඉංග්‍රීසි මෙන් ම ප්‍රංශ භාෂා පිටපත් ද සමාන අධිකාරි බලයකින් යුක්ත ය.

ඉහත දක්වනු ලැබුවේ 2019 ජුනි 21දා ජිනීවාහිදී සමාප්ත වූ බව ප්‍රකාශයට පත් කරන ලද, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මහා සම්මේලනයේ 108වන සැසියේදී නිසි පරිදි සම්මත කරගන්නා ලද, වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය මුලිනුපුටා දැමීම හා සම්බන්ධ සම්මුතියේ පිටපතයි.
එයට පක්ෂපාතීව අප විසින් 2019 ජුනි මස මෙම දිනයෙහිදී අපගේ අත්සන තබා එකතු වන්නෙමු.