මාධ්‍ය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ චීන බලපෑම: ‘අනිද්දා’ පුවත්පත මිළදී ගැනීම නවතා දැමීමේ ගැඹුරු ගම්‍යතා
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ට සම්බන්ධ ආයතනයක් (ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගම) විසින්, විකල්ප ධාරාවේ සිංහල භාෂිත පුවත්පතක් වන ‘අනිද්දා’ මිළ දී ගැනීම කිසිදු සාධාරණ හේතුවක් නොදක්වා එකවර නවතා දැමීම පිළිබද සමාජ මාධ්‍ය වේදිකාවන් තුළ තියුණු කතිකාවක් ආරම්භ වී තිබේ. මෙම තත්ත්වය පිළිබද ‘අනිද්දා’ පුවත්පත සිය මුල්පිටුවේ පුවතක් පළකරමින් ‘ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගමේ සභාපති ධූරයෙන් ටී. අශෝක පීරිස් මහතා කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව කර්මාන්ත හා ව්‍යවසායකත්වය සංවර්ධන ඇමති සුනිල් හදුන්නෙත්ති ඉවත්කිරීම සම්බන්ධයෙන් ‘අනිද්දා’ වෙබ් අඩවිය වාර්තා කිරීමෙන් පසු ‘අනිද්දා’ පුවත්පත මිළ දී ගැනීම සදහා එම ආයතනය ලබා දී තිබූ ඇණවුම අත්හිටුවා තිබේ……” යැයි පවසයි. මෙම ක්‍රියාව, බැලූ බැල්මට සරල ආර්ථික තීරණයක් ලෙස පෙනුනත්, එහි ගම්‍යතා බොහෝ ගැඹුරු විය හැක.( අදාළ ආයතනයේ පාලනාධිකාරියට එවැනි තීන්දුවක් ගැනීමට අයිතිය තිබුණා වුවත්) එය, ජාතික ජන බලවේග (ජාජබ) ආණ්ඩුව, ඔවුන්ට එල්ලවන, සාධාරණ විවේචනාත්මක අන්තර්ගතයන් ඉවසා ගැනීමට ඇති අකමැත්ත පිළිබිඹු කරන සංඥාවකි. මෙම තත්ත්වය, ශ්‍රී ලංකාවේ ආණ්ඩුව චීනය සමඟ ඇති සමීප සබඳතා හා චීනය සමග මාධ්‍ය සංවර්ධනය සඳහා ඇති බව කියන අවබෝධතාවයන් සමඟ බැලූ විට, තවදුරටත් සංකීර්ණ තත්ත්වයකට පත් වෙයි.
‘අනිද්දා’ මිළදී ගැනීම නවතා දැමීම: සරල තීරණයක් හෝ සංඥාවක්?
‘අනිද්දා’ සති අන්ත සිංහල පුවත්පත, ශ්‍රී ලංකාවේ විකල්ප ජනමාධ්‍ය ධාරාවේ සිංහල භාෂිත මාධ්‍යයක් ලෙස, ආණ්ඩුවේ හා ආයතනික ක්‍රියාකාරකම්වල ප්‍රජාතන්ත්‍ර විරෝධී හා ජනතා විරෝධී තත්ත්වයන් සාධාරණ විවේචනයය ලක්කරමින්, යහපත් මාධ්‍ය ක්‍රියාවළියක යෙදෙයි. එවැනි පුවත්පතකට, රාජ්‍ය ආයතනයක් විසින් ලබා දී තිබූ ඇණවුම එකවර අත්හිටුවීම, සරල ආර්ථික තීරණයක් ලෙස බැහැර කළ නොහැක. මෙය, ආණ්ඩුවේ දේශපාලනික ඉවසීමේ හිඟකම සහ විවේචනාත්මක අන්තර්ගතයන්ට එරෙහි බලපෑමක් ලෙස හැඳින්විය හැකිය. මෙම ක්‍රියාවෙන් උත්පාදනය වන හැඟවුම, ජාජබ ආණ්ඩුවට තමන්ට එල්ල වන විවේචන ඉවසීමට හෝ ඒවාට බුද්ධිමය හා සාධාරණ ලෙස පිළිතුරු දීමට ඇති ධෛර්යයේ හිඟකමයි. ‘අනිද්දා’ වැනි පුවත්පතක්, රාජ්‍ය හා ආයතනික බලයේ අඩුපාඩු පෙන්වා දෙමින්, ජනතාවට තොරතුරු සන්නිවේදනය කිරීමේ කාර්යයක යෙදෙයි. එවැනි මාධ්‍යයකට ආර්ථික බලපෑමක් එල්ල කිරීම, මාධ්‍ය නිදහසට එල්ල වන සෘජු තර්ජනයකි. එය, ආණ්ඩුවේ විවෘත භාවය හා විනිවිදභාවය පිළිබඳ බරපතළ ප්‍රශ්න මතු කරයි. මෙම තත්ත්වය, හුදු ආර්ථික තීරණයකට වඩා, මාධ්‍ය නිදහස පාලනය කිරීමේ උපායක් ලෙස සැලකිය හැකි සංඥාවකි. අනිද්දා වැනි විකල්ප ධාරාවේ මාධ්‍ය ජනතාවගේ හඬ නියෝජනය කරන බැවින්, එවැනි මාධ්‍යයකට එල්ල වන බලපෑම්, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට බලවත් තර්ජනයකි.
චීන බලපෑම: මාධ්‍ය නිදහසට එල්ල වන අභියෝගය
ශ්‍රී ලංකාවේ ජාතික ජන බලවේග ආණ්ඩුව චීනය සමඟ ඇති සමීප සබඳතා, මෙම ගැටලුව තවත් බරපතළ කරයි. චීනය, මාධ්‍ය නිදහස පිළිබද දර්ශකයේ (World Press Freedom Index) 178න් 172වන ස්ථානයේ පසුවන රටක් ලෙස, මාධ්‍ය මර්දනය සහ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් ලොව පුරා විවේචනයට ලක්ව ඇත. තොරතුරු පාලනය, විවේචනාත්මක මතවාද මර්දනය, සහ රාජ්‍ය ප්‍රචාරණය ප්‍රවර්ධනය කිරීම මත පදනම් වූ මාධ්‍ය ආකෘතියකින් චීනය ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකා ආණ්ඩුව, චීනය සමඟ මාධ්‍ය සංවර්ධනය සඳහා සහයෝගිතාවය පිළිබඳව ඉතාමත් උනන්දුවෙන් කතා කරන විට, එම සබඳතාවය ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහසට බලපාන්නේ කෙසේද යන්න ගැඹුරින් විමසිය යුතුය. චීන ආකෘතියේ බලපෑම ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයට එල්ල වුවහොත්, එය මාධ්‍යවල ස්වාධීනත්වයට, ප්‍රකාශන නිදහස ඇතුලු ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට බලවත් තර්ජනයක් විය හැක. උදාහරණයක් ලෙස, චීන බලපෑම යටතේ, ‘අනිද්දා’ වැනි විකල්ප මාධ්‍ය ආයතනවලට රාජ්‍යයට අනුකූල වන පුවත් පමණක් වාර්තා කිරීමට බලපෑම් එල්ල විය හැක. මෙවැනි තත්ත්වයක්, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වලට බරපතළ බලපෑමක් එල්ල කරනු ඇත. චීනයේ මාධ්‍ය ආකෘතිය, රාජ්‍ය පාලනය යටතේ තොරතුරු සීමා කිරීම හා බලවත් ආයතනවලට එරෙහි විවේචන මර්දනය කිරීම මත රඳා පවතින බැවින්, ශ්‍රී ලංකාවේ ආණ්ඩුව එවැනි ආකෘතියකින් ආභාසය ලබන්නේ නම්, ‘අනිද්දා’ වැනි පුවත්පත්වලට එල්ල වන බලපෑම්, ‘අනිද්දා’ වැනි මාධ්‍යට පමණක් නොව, මුද්‍රිත, ඉලෙක්ට්‍රොනික් සහ ඔන්ලයින් ඇතුලු (සමාජ මාධ්‍යත් ඇතුලත්ව) සමස්ත මාධ්‍ය භූමිකාවට බලවත් අභියෝගයක් වනු ඇත.
බහුත්වවාදය සහ විවෘත භාවය
බහුත්වවාදය යනු බහුවිධ මතවාදවලට ඉඩ සලසන, ඒවා සාධාරණ ලෙස සාකච්ඡා කිරීමට ඉඩ දෙන, සහ නිදහස, සාධාරණත්වය සහ යුක්තිය වැනි වටිනාකම් පිළිබඳ ප්‍රශ්න කිරීමට ඉඩ සලසන ආකෘතියකි. එම තත්ත්වයන් තුළ ජෝන් ස්ටුවර්ට් මිල් වැනි දාර්ශනිකයන් අවධාරණය කළේ, විවිධත්වය සහිත මත හරහා සත්‍යය හෙළිවන බවයි. අනිද්දා වැනි පුවත්පත්, එම විවිධත්වය ඉදිරිපත් කරමින්, ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය ආරක්ෂා කිරීමට උත්සහා කරයි. එවැනි මාධ්‍යයකට එල්ල වන බලපෑම්, ආණ්ඩුකරණයක ප්‍රධාන ලක්ෂනයක් වන විවෘත සහ විනිවිදභාවයට එල්ල වන තර්ජනයකි. ආණ්ඩුවකට, විවේචනාත්මක මතවාද ඉවසීමට සහ ඒවාට බුද්ධිමය ලෙස පිළිතුරු දීමට හැකියාව තිබිය යුතුය. එහෙත්, ‘අනිද්දා’ පුවත්පත මිළදී ගැනීම නවතා දැමීමෙන්, ජාතික ජන බලවේග ආණ්ඩුව පෙන්නුම් කරන්නේ එම ඉවසීමේ හිඟකමයි.
යහපත්, සෞඛ්‍ය සම්පන්න ප්‍රජාතන්ත්‍රවාදයක අවශ්‍යතාවය අර්තයෙන් විග්‍රහ කළත්, අනිද්දා පුවත්පත මිළ දී ගැනීම නවතා දැමීම(කිසිදු සාධාරණ හේතුවක් නොදක්වා), ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහසට එල්ල වීමට නියමිත තර්ජනයන්ගේ එක් සංඥාවක් විය හැකිය. එය, වත්මන් ආණ්ඩුවට එල්ලවන විවේචන ඉවසීමට ඇති අකමැත්ත සහ දේශපාලනික ඉවසීමේ හිඟකම පිළිබිඹු කරන සංඥාවකි. යහපත් ප්‍රජාතන්ත්‍රවාදයකට, විවේචනාත්මක මතවාද ඉවසීමට, ඒවා විවෘතව සාකච්ඡා කිරීමට, සහ ජනතාවට තොරතුරු ලබාදීමට හැකියාව තිබිය යුතුය. ශ්‍රී ලංකා ආණ්ඩුව, ‘අනිද්දා’ වැනි විකල්ප මාධ්‍යවල නිදහස සුරැකීමට සහ චීන බලපෑම වැනි බාහිර තර්ජනවලින් එය ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතුය. මාධ්‍ය නිදහස යනු ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකම කුළ්‍රණක් වන අතර, එය ආරක්ෂා කිරීම යනු ජනතාවගේ අයිතිවාසිකම් සුරැකීමයි. අයිතිවාසිකම් ප්‍රවර්දනය කිරීමයි.
පසු සටහන – අනිද්දා මිළදී ගැනීම නවතා දැමීමේ සැඟවුණු චේතනා
ආණ්ඩුවක නියෝජිතයෙක් හෝ ආයතනයක් විසින් ‘අනිද්දා’ වැනි විවේචනාත්මක පුවත්පතක් මිළ දී ගැනීම එකවර නවතා දැමීම, එම පුවත්පත බිඳවැටීමට හේතු නොවුණත්, එහි පිටුපස ඇති චේතනාව ගැඹුරින් විමසිය යුතුය. මෙම ක්‍රියාව, හුදු ආර්ථික තීරණයකට වඩා, මාධ්‍ය නිදහසට හා ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වලට එල්ල වන අනතුරුදායක සංඥාවකි. එය, ආණ්ඩුව වෙත එල්ලවන සාධාරණ විවේචන ඉවසීමට ඇති අකමැත්ත හෝ ඒවාට මුහුණ දීමට ඇති බිය පිළිබිඹු කරයි. මෙම තත්ත්වය පිළිබඳ විමසීමේදී, අපි ගැඹුරින් සලකා බැලිය යුත්තේ, මෙම තීරණයට මුල් වූ අදහස සහ එහි පිටුපස ඇති සැඟවුණු සත්‍යයයි. ‘අනිද්දා’ වැනි පුවත්පතක්, රාජ්‍ය හා ආයතනවල අඩුපාඩු හෙළිදරව් කරමින්, ජනතාවගේ හඬ නියෝජනය කරයි. එවැනි පුවත්පතකට එරෙහි ආර්ථික බලපෑමක් එල්ල කිරීම, එම හඬ මර්දනය කිරීමේ උත්සාහයක් ලෙස ද හැඳින්විය හැකිය. මෙය, ආණ්ඩුවේ බලය කෙසේ හෝ තහවුරු කර ගැනීමට හෝ ආණ්ඩුවේ ක්‍රියාකාරකම් පිළිබඳ ඇති සාධාරණ විවේචන අවම කිරීමට ගත් උපාය මාර්ගික පියවරක් විය හැකි බවට සැකයක් මතු කරයි. එසේම, මෙම ක්‍රියාව මාධ්‍ය ආයතනවලට ආර්ථික බලපෑම් එල්ල කිරීමේ මුල් පියවරක් ලෙස දැකිය හැකිය. ‘අනිද්දා’ වැනි විකල්ප මාධ්‍ය, බොහෝවිට සීමිත ආර්ථික සම්පත් යටතේ ක්‍රියාත්මක වන බැවින්, රාජ්‍ය ආයතනවලින් ලැබෙන මිළදී ගැනීම්, වෙළද දැන්වීම් ආදී දේවල් එවැනි මාධ්‍යවල පැවැත්මට බලපායි. එවැනි ‘මිළදී ගැනීමක්’ එකවර නවතා දැමීම, එම මාධ්‍ය ආයතනවල ආර්ථික ස්ථායිතාවයට බලපෑමක් එල්ල කිරීමේ උත්සාහයක් ලෙස සැලකිය හැක. එය, මාධ්‍ය නිදහසට එල්ල වන බලපෑමක මුල් පියවරක් විය හැකි බවට අනතුරු ඇඟවීමකි. සංඥාවකි.
| සම්පත් සමරකෝන් | vikalpa.org